පාට සේදුණු වත්සුණු – 6

තුෂී ඉරිදා පත්තර මිටිය ම දිග ඇර ගෙන රැකියා පුරප්පාඩු කියවමින් ද ඒවා අතරින් ඇගේ හිත ගන්නා ඒවා සටහන් කර ගනිමින් ද සිටියා ය. වැහි වළාවකින් අහස් ගං දිය බොර පාට ගැන්වී තිබි නිසාවෙන් පරිසරයෙහි වූයේ දුක්බර අඳුරු බවකි. මම ඉස්තෝප්පුවේ වූ ඉපැරණි ඇඳි පුටුවකට වී, ඈතින් පෙනෙන නිල් කඳු යාය දෙස බලා ගෙන සිටියෙමි. අද ඒ කඳු යායෙහි නිල් පාට දීප්තිමත් නැත.

ඔය මන්දාරම් අහස වැනි ම වැහි කළුවකින් මසිත ද අඳුරු වී තියේ. බර වී තියේ. කඳුළු මේඝය ඉහිරෙන්නට ආසන්න වී තියේ. කුසල් ව හමු වන්නට පැමිණෙන ලෙස ඔහු කිහිප වතාවක් ම බල කොට ද තර්ජනය කොට ද කියා සිටියේ ය.

“ආවෙ නැත්තං මං ඔය ගෙදරට ඇවිත් තමයි දෙකෙං එකක් බේර ගන්නෙ. අන්න ඒක කරගන්න ඕන නැත්තං එළියෙදි මාව හම්බවෙන්න”

ඇත්ත ම ඇත්ත නම් මට ඔහු මුණ ගැහෙන්නට උවමනා නැති බවයි. නමුත් කුසල් කියන්නේ මිනිස් ගති වලට වඩා නො මිනිස් ගති ඇත්තෙක් බව දැන් දැන් මම පසක් කරමින් හිඳිමි. ඔහු මේ ගේ දොරකඩට ඇවිත් ආත්තම්මලා ටත් කෑ ගසා ලැජ්ජා කර යනවා දකින්නට මට උවමනා නැත.
කුසල් කියන්නේ මට වූ අත් වැරැද්දක් බව දැන් මම පිළිගමි. ආදරය කරන්නට පිරිමියෙකු තෝරා ගනිත්දී යුවතියක කොයි තරම් කල්පනා කොට දුර දිග බැලිය යුතු ද කියා තේරුම් ගනිත්දී මා මඳක් පමා වී තියේ. නමුත් එක ප්‍රමාදයක් නිසා ජීවිතයක් මත මොන තරම් ලොකු ව්‍යසනයක් සිදු වන්නට පිළිවන්ද? කුසල් වූ කලී මා පෙම් කරන පිරිමියා නො වන බව ටික ටික දැනෙමින් තිබුණත්, ඔහු ගැන සිත් හි දැවැන්ත කළකිරීමක් ඇති වූයේ අම්මා ගේ දෙවන විවාහය ගැන ඔහු කී කතා ටික නිසාවෙනි. අම්මා ගත් තීරණ යෙහි වරද නිවරද භාවය කෙසේ වී නමුදු, ඇගේ පෞද්ගලික ජීවිතය ගැන කතා කරන්නට ඔහු ට නොමැති අයිතියක් පාවිච්චි කිරීම පිලිබඳ ව මා තුළ කිසිදු ප්‍රසාදයක් නැත. කුසල් ගෙන් ඈත් වන්නේ කෙසේද කියා සිත සිතා සිටි මට, මේ කළකිරීම වූ කලී පනින රිලවුන්ට බැඳි ඉණිමගක් වූයේ ය. නමුත් කුසල් මට ඒ තරම් පහසුවෙන් මිදෙන්නට හරින බවක් සිතිය නොහැකි ය. මා ඔහු ව මගහරින උත්සාහයක හිඳින බව දැනෙන නිසා දෝ ඔහු වැඩි වැඩියෙන් මා හඹා එන්නට පටන් ගෙන තියේ.

“මොනාද ඔච්චර කල්පනා කරන්නෙ…හමිං බර්ඩ් ගැනද නැත්තං අර පාං කිරිත්තා ගැනද…”

මට සිනා ගියේ ය. මා දුකෙන් හිඳින ඕනෑ ම මොහොතක මගේ මුවෙහි සිනහවක් උපද්දන්නට තරම් මගේ යෙහෙළිය අප කුඩා උන් සා වියේ පටන් ම සමත් ය.

“දැං මොකද්ද කරන්න හදන්නෙ…යනවද මීට් වෙන්න…”

“නොයා හිටියොත් ඊට වඩා ලොකු ප්‍රශ්නයක් ඇති වෙයිද කියල මට හිතෙනව”

“ඉතිං ඕකට කැමති නැත්තං කතා කරල නවත්තනවකො”

“අපි මැච් වෙන්නෑ වගේ කියල දැනුණ ගමං මං කිව්ව තුෂී…මේ අෆෙයා එක බ්‍රේක් කරමු කියල. ඒත් එයා ඒකට ඉඩ දෙන්නෑ”

“ඉඩ දෙන්නෑ කියන්නෙ…මොනාද කියන්නෙ…”

“එයා මැරෙනවලු. වහ බොනවලු. මට බයයි අප්ප”

“අනේ ඔය කියන ඒව කරන්නෑ ඕයි”

“සුයිසයිඩ් කර ගන්නෙ මං ගැන ඔක්කොම ලියපු පොස්ට් එකක් එෆ් බී දාලලු”

“මූ මහ වසලයෙක්නෙ”

“මට ගැලවීමක් නෑ තුෂී”

“එහෙනං එයාට ගිය රටනෙ. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියල”

කියනකොට ම දුරකතනය හැඬවුණේ කුසල් ගේ නමිනි.

“හෙලෝ”

මට පවා දැනෙන තරම් මගේ හඬ මළානික වී තිබිණ.

“මං දැං එන ගමං. පාදුක්ක පහු කරල ඉන්නෙ. ටවුන් එකට එනවද…නැත්තං මට ගේ තියන තැන කියන්න”

“මං…ටවුන් එකට එන්නං”

තුෂී ට උවමනා බඩු වගයක් ගන්නට යනවා යි අත්තම්මා ට බොරුවක් කියා අපි අවිස්සාවේල්ල බස් එකක නැගුණෙමු. සම හාරා පාරා ගෙන ගැඹුරට ඇනුණ කටුවක් නිසා දැනෙනාකාරයේ රිදුමකින් මම පීඩා විඳිමින් සිටියෙමි. එකටු ගලවා දැමීම ද පහසු කටයුත්තක් නොවේ.

“පළවෙනි දේ ඔයා බයයි කියන එක අඟවන්න එපා. කෙල්ලො අහිංසකයි කියල දැනුණහම කොල්ලො ගෝනි නැතුවයි කරේ නගින්න එන්නෙ. ලෝකෙ කාලයි ඉන්නෙ කියල පෙන්නගෙන ඉන්න තරමට ඇඟට ගුණයි”

තුෂී මට මග දී උපදෙසක් දුන්නා ය.

“එයාව ගැලපෙන්නෑ කියල හිතෙන නිසා මේක නවත්තමු කියල බලනවකො”

“මං මට ම සාප කරනව තුෂී. කුසල් එක්ක සම්බන්ධයක් ඇති කර ගත්තට”

“පිස්සුද…”

“කිසිම දුවෙක් ව ඒ වගේ තනි කරන්න හොඳ නෑ දෙමව්පියො. කෙල්ලො පිටිං ආදරේ හොයන්න ඉක්මං වෙන්නෙ ගේ ඇතුළෙං ඒක නොලැබෙනකොට”

“ඒක ඇත්ත”

දැන් වැරදුණ තැන් නිවැරදි කළ නො හැකි ය. නමුත් ඒ වැරදීම වත් නිවැරදි කළ හැකි නම් මොන තරම් හොඳ ද?

කුසල් හිටියේ අවිස්සාවේලෙන් රත්නපුරා පැත්තට යන මං සන්ධියේ ය. යතුරු පැදිය මත හිඳ, හෙල්මට් එක ගලවා අතේ එල්ලා ගෙන, ජංගම දුරකතනයට එබී ගෙන සිටි ඔහු වෙතින් කඩවසම් පෙනුමක් විද්‍යමාන විය. මා ළඟට ම ගිය විට හෙතෙම අවු කණ්ණාඩි හිස් මුදුනට කර ගනිමින් හිනැහුණේ ය.

“මේ මගෙ යාළුව.. තුෂී …”

මුලින් ම මම කුසල් ට තුෂී හඳුන්වා දුන්නෙමි. ඔහු ඈ ගැන ඒ තරම් තැකූ බවක් නො පෙනිණ.

“ගයා. මං එහෙනං ටිකක් ටවුන් එක වටේ කැරකිල එහෙම එන්නං. ඔයා මට කෝල් එකක් දෙන්නකො”

තුෂී කුසල් දෙස බලන්නේවත් නැති ව මගෙන් සමු ගත්තා ය. ඈ යන දෙස බලා හිඳ මා හැරී බලත්දී කුසල් ගේ මූණේ ත් හොඳක් වූයේ නැත.

“මොකද්ද අප්ප මාව හම්බවෙන්න එනකොටත් එක එක කෑලි එල්ලං එන්නෙ…”

ඔහු ගේ අප්‍රසාදයට හේතුව මා තනි ව නොආ එක ය. මම පිළි වදන් දෙන්නට නො ගියෙමි.

“කොහෙට හරි යං ටිකක් කතා කරන්න”

මම වට පිට බැලුවෙමි. මේ නගරය මා දන්නා එකක් නොවේ. ඇහැ ට පේන මානයේ අවන්හලක් වූයේ ය.

“අතන පේස්ට්‍රි ශොප් එකක් තියනව. එහෙනං එතෙන්ට යං”

මම ඉක්මන් යෝජනාවක් ගෙනාවෙමි. කුසල් හඬ නගා හිනැහුණේ ය. මම විශ්මය රැඳුණු නෙතින් ඔහු දෙස බැලුවෙමි.

“පේස්ට්‍රි ශොප් වලට ගිහිං කතා කරන්න අපි මොන්ටිසෝරි බබාලද…”

“ඇයි…”

“ඇයි කියන්නෙ…නිදහසේ කතා කරන්න පුළුවන් තැනකට යං. මං එනකොට දැක්ක ඔය හරියෙ ලස්සන ගෙස්ට් හවුස් එකක් තියනව”

“මොකක්…”

“නගින්නකො. මට ටිකක් නිදහසේ කතා කරන්න ඕනෙ. ඔයා මගෙං ඈත් වෙන්න හදනව කියල දැනෙනව ගයා. අපි කතා කරල හැම වැරදි අවබෝධයක්ම නැති කර ගමු”

“ඔයාට පිස්සුද…මට එහෙම තැං වලට යන්න බෑ”

එහෙම ප්‍රතික්ෂේප කරන්නට මට ලැබුණේ කොහේ තිබුණ හයියක් ද කියා මම නො දනිමි. කුසල් මා දෙසට හෙල්මට් එකක් දිගු කළේ ය.

“අනේ මේ. බබා වෙන්නැතුව නගින්න”

“ඔයා මං ගැන හිතං ඉන්නෙ කොහොමද කුසල්…ඔක්කෝටම ඉස්සෙල්ල මට ඒක කියල ඉන්න”

“වෙන මොනාද ඉතිං. අම්මල වගේම නැතෑ දූලත්. නගිනව නගිනව බොරු නැතුව”

මට දැනුණේ මා වෙව්ලනවා සේ ය. ඇස් දෙකෙන් ගින්දර පනින්නට හදනවා බඳු දැවිල්ලක් දැනිණ. අත වූ හෙල්මට් එක උදුරා ඔහු ගේ ඔළුවට දමා ගසන්නට තරම් කේන්තියක් දැනුණත් මම මා ව පාලනය කර ගතිමි.

“ෂී කුසල්. මට හරිම ලැජ්ජයි ඔයා ගැන. මේ වගේ මනුස්සයෙක්ට ද මං ඉඳල ඉඳල ආදරේ කරන්න පටං ගත්තෙ…අපි අතරෙ මොනා හරි තිබුණනං ඒක මෙතනිං ඉවරයි කියල හිතා ගන්න”

“ඒයි…මොකද මේ…මං විහිළුවක් නෙ ළමයො කළේ”

ක්ෂණික ව ඔහු වෙස් මාරු කළේ ය.

“හරි හරි නගින්නකො. අපි ඔය නිදහස් තැනකට ගිහිං කතා කරමු. බලන්නකො. මං ඔයාව බලල යන්න කොච්චර දුරක් ආවද…ඒ ආදරේ නිසා නෙවෙයිද…”

“කතා කරන දෙයක් මෙහෙම ඉඳං කතා කරමු කුසල්”

“අනේ ඉතිං”

“මං එනවනං එන්නෙ අර පේස්ට්‍රි ශොප් එකට විතරයි”

“ඔච්චර හිතුවක්කාර වෙන්න එපා ළමයො”

“ඒ තීරණේ වෙනසක් වෙන්නෑ”

මා දැඩි ව සිටි හින්දා කුසල් ට කිසිත් කර ගත නො හැකි විය. මුමුණමින් මට බැණ වැදුණු ඔහු ටික වෙලාවකින් නික්ම ගියේ මෙහි එන්නට පෙට්‍රල් වලට වියදම් කළ මුදල පිළිබඳව මට දෙස් තබමිනි.

“හොඳයි කොන්ද කෙලිං තියාගෙන කතා කරපු එක. මහ ජරා යකෙක්. මේ කාලෙ ඉන්න හුඟක් කොල්ලො ඔහොමයි. ලේසි නෑ හොඳ කොල්ලෙක් හොයන එක.”

තුෂී විස්තර අසා කීවා ය. මසිත් හි වූයේ ඉසිහින් සන්තාපයකි. හිත ට කොයි අතකින් වත් සැනසුමක් ඇත්තේ නැත.

“තමුසෙ වගේ ගොබ්බ ගෑනියෙක්ව ආයෙත්නං මට ඕන්නෑ”

කුසල් ගේ ඒ වචන හදවත ඇතුළේ දෝංකාර දෙමින් තිබිණි.

අපි නගරයෙහි ඔබ මොබ ඇවිද්දෙමු. අප දෙදෙනාට ම නුහුරු නගරයක් වූවත් ඒ පරිසරය ඉක්මනින් ම අපේ සිත් බැඳ ගති.

“ඔයාට මේ පැත්තෙං ජොබ් එකක් හොයාගන්න තියනවනං හොඳයි නේද…එහෙනං හැමදාම ආත්තම්මලගෙ ගෙදර ඉන්න තිබුණා අපිට”

පාර පනින්නට තුෂී මගේ අතින් අල්ලා ගත් වේලේ මම කීවෙමි.

“මේ සැරේනං මං ඉන්නෙ තූත්තුකුඩියෙං හරි ඉස්සෙල්ලම හම්බ වෙන එකට යනව කියලයි අප්ප”

පාර පැන ගත් ගමන් අප පසු කොට මඳක් ඉදිරියට ගිය රිදී පැහැති ඇක්වා රථයක්, හෙමිහිට අයිනට කොට නැවතිණ. අප ඒ අසලින් යත්දී රියෙහි නලාව හැඬවිණ. නමුත් මම එදෙස නොබැලීමි.

“හායි”

තුෂී නතර වෙමින් එදෙසට අත වැනුවේ මුව පිරි සිනහවෙනි. මෙහි ඈ හඳුනන අයත් සිටිනවා ද? මා රියදුරු අසුන දෙස බැලුවේ දෙගිඩියාවෙනි.

යුගාන්ත!

“කොහෙද මේ යන්නෙ…”

ඔහු සිනහවෙන් විකසිත වෙමින් ඇසුවේ ය.

“ටවුන් එකට ආව වැඩ වගේකට”

“වැඩ කරගෙන ඉවරද…මාත් මේ එහෙ යන ගමං”

“ආ එහෙනං අපිත් එන්නං”

තුෂී මගේ අතින් ඇද ගෙන ම රිය ට ලං වූවා ය. ඈ ඉදිරි දොර විවර කර ගෙන ආරාධනා දෑසින් මදෙස බැලුවත්, මම එනො දුටුවා සේ පිටුපස අසුනට නැගුණෙමි. ඉතින් තුෂී ඉදිරි අසුනට ගොඩ විය යුතු විය.

“මේ පැත්ත ලස්සනයි නේද…”

කතාව පටන් ගත්තේ තුෂී ය.

“ගොඩක් ලස්සන තුම්මෝදර පැත්ත. ලස්සන පොඩි පොඩි දිය ඇලි…තේ වතු…කඳු…තව අර අලුතෙන් හදපු ට්‍රොපිකල් ගාඩ්න් එක එහෙම තියෙන්නෙත් තුම්මෝදර පාරෙ”

“අනේ…අපි යංකො ගයා ඒ පැත්තෙ ඇවිදල එන්න”
“හ්ම්”

මම යන්තම් කොඳුරා ගතිමි. මාත් මේ පැත්ත ගැන හෝ පාරවල් පිළිබඳව වැඩි යමක් නො දන්නා බව ඇය නො දන්නී ද? නමුත් මම ඒ ගැන කිසිත් කියන්නට නො ගියෙමි. කෙසේ වතුදු තුෂී ට ම ඒ බව සිහි වන්නට ඇත.

“ආ ඔයා දන්නෙත් නෑනෙ නේද…අපි සීයගෙං පාරවල් ගැන අහගෙන යමු”

“හ්ම්”

“ඕන්නං මට එක්කගෙන යන්න පුළුවන් “

මම වහා නෙතු නගා බැලීමි. මගේ ඇස් වලට හසු වූයේ ඉදිරි කැඩපතින් මදෙස බැලු යුගාන්ත ගේ දෙනෙතයි. සීතාවක රාජධානියෙහි පැතිරුණ සාමකාමී නිසංසල බව මට ඒ ඇස් වලින් දැක ගත හැකි විය.

ඊළඟ කොටස සිකුරාදාට

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles