“මොනවද මලිඳු කියන්න තියෙන්නේ..”
නිහඬතාවය උසුලා ගන්නට ම නොහැකි තැන හඬ මතු වූයේ මවෙතිනි. මලිඳු කිසිවක් නොකියාම ලීක්ස් පාත්තියකට පොහොර ඉසිමින් සිටි සේවකයෙකුට නෙත් අලවාගෙන හුන්නේ ය. මගේ හදවත ගැහෙන හඬ ඔහුට ඇසේදැයි බියකින් පෙළෙමින් මම මෝඩියක සේ බලා සිටියෙමි.
“කෙල්ලක් ගැන..”
අහස හිස මත කඩා වැටෙන්නට එන බවක් දැනේ. ඒ කෙල්ල මා නොවන බව මට සහතික ය. ඇය ගැන ඔහු පවසන දේ මට ම අසන්නට සිදු වීම මොනතරම් වේදනාවක් දැයි කියා ගන්නට මට නොතේරේ.මම ඔහේ අසා සිටියෙමි.
“මං කෙනෙක්ට ආදරෙයි පිනී..” මලිඳු කියන්නේ ගොවිපොළ පුරා දුව යන ඊෂා ට ඇස අලවාගෙන ය. මම එදෙස තත්පර කිහිපයක් බලා සිටියෙමි. ඒ තත්පර කිහිපය මිනිත්තුවකට පෙරළෙන්නට කලින් සැබෑව දැන ගන්නට මට ඕනෑ විය. පසුගිය දින කිහිපයකම මා පෙළූ බරපතල සැකයක් නැතිවා ම නොවේ.
“ඊෂා ට ද?”
මලිඳු මදෙස ක්ෂණික බැල්මක් හෙළී ය.අනතුරුව පුපුරා ගිය හිනාව රැගෙන ආවේ පැරණි මලිඳු ව ය. මගේ හදවත මුළුමනින් ම ඩැහැ ගත් මලිඳු ය. ඔහු නොනවත්වා හිනැහෙමින් සිටියේ ය.
“අර තොරොම්බල් කරත්තේ.. උඹට පිස්සු ද.. ඒකිට ලව් කරන්න කොල්ලෙක් තාම ඉපදිලත් නැතුව ඇති. මොන කන්දොස්කිරියාවක්ද බලපං විනාඩි පහක් ළඟ හිටියොත්…”
ඔහු හිනැහෙයි. ඊෂාට දෙන චරිත සහතික මට මෙවෙලේ උවමනා ම නැත. ඔහුගේ සිත නතර වූ තැන මිස කිසිත් දැන ගන්නට උවමනා නැත.
“ඊෂා නෙවෙයි බං.. මෙච්චර මං ගැන දන්න උඹට තේරෙන් නෑනෙ මං කැමති ටයිප් එකේ කෙල්ලන්ව..”
තරු තරඟයක තරඟයෙන් ඉදිරියට යන්නට බලා හිඳින තරඟකරුවන්ගේ මානසික මට්ටම හොඳින් දැනෙන මොහොතක් මා පසු කරමින් හිඳිමි. ඒ ඊෂා නොවන්නේ නම් මා වන්නට කුඩා හෝ ඉඩක් නැතිදැයි මගේ හිත කෑගසමින් තිබිණ.
“අපේ බෑන්ක් එකට ට්‍රේනින් ආවා ළමයි වගයක්. අර ඒ ලෙවල් ඉවර වෙලා එන්නේ. ඒ ගර්ල් කෙනෙක් අෆෙයා එකක් තිබ්බා පිනී මට.හැබැයි ඒකි කරේ බොරුවක් මම හිතන්නේ. කොල්ලෙක් බැන බැන ෆේස්බුක් චැට් පටන් ගත්තා.මාව මුණ ගැහෙන්නත් ආවා.ඒක ස්කූල් ලව් එකක් කියන්න ගත්තා.ඊට පස්සෙ එයා බෑන්ක් එක එන එකත් නැවතුණා. දැන් නම් කැම්පසුත් පටන් අරන්..”
ඔහු කියවාගෙන යයි. මා ඔහු දිනා ගන්නට සිහින දකිමින් හිඳිමි. ඔහුව දිනා ගත් තරුණිය ඔහුගේ හිත රිදවා නික්මී ගොස් අවසන් ය.දෛවය මොනතරම් අසාධාරණදැයි මම සිතන්නට ගතිමි.
“ඇයි ඔයා මට ඕක නොකීවේ…”
“ඒක තිබ්බේ නෑ මාස තුනහතරක්වත්.බූට් එක වැදුණු දවසේ මං හවස මෙහෙ එන්න හිටියේ.. හැබැයි ඊට කලින්…”
ඔහු වචන නවතාලී ය.අනතුරුව වඩා මෘදුව මදෙස බැලී ය.
“අම්මා මං ගෙට ගොඩ වෙනකොටම ගාමිණී අංකල් ඇක්සිඩන්ට් වුණු කතාව කීවේ. ඊට පස්සෙ ඉතින් ඕවා කතා කරන්න වෙලාවක් කොහෙද..”
මගේ ලෝකය බිඳ වැටුණු දිනයේ ම ඔහු ද කඩා වැටීමකට ලක් වී ඇත. දෛවයේ සමහර තීරණ අමුතු ය. ඒවා ගැන සිතා තේරුමක් නැත.
“මං හිත හදා ගන්න ට්‍රයි කරා පිනී… තේරුමක් නෑ. මං අපේ හෙඩ් ඔෆිස් එකේ වේකන්සි එකක් දැකලා ඇප්ලයි කළා. ඒක හම්බෙලා.මං ඔයාට කියන්න හැදුවේ මාත් කොළඹ එනවා කියලා..”
මගේ මුවට ආවේ එක පැනයකි. තවත් හිමි වන්නට අලුත් වේදනාවක් නැති නිසා එය නොඅසා ඉන්නට නොහැක.
“අර කියපු නංගි…එයා දැන් කොහෙ යුනිවර්සිටි ද..”
“ඒ ළමයා ගියේ රුහුණට.. මං කොළඹ එන එකෙයි ඒකෙයි සම්බන්ධයක් නෑ…”
මම සුසුමක් පා කළෙමි. කඳුකරය ම ගිනි වැදෙන තරමට එහි වේදනාවක් තිබෙන්නට ඇත.නමුත් කළ හැකි යමක් නැත. ඔහු අසල හිස්තැනකි. ඒ හිස්තැන පිරවීමේ අයිතිය මට ලැබේවිදැයි සිතීම ද මෝඩකමකි. අඩුම තරමේ ඔහුට මගේ දෑස් බොඳව ඇති අයුරු නොවැටහීම ම දුකක් නොවේ ද?
“ඔයාලා කවද්ද කැම්පස් යන්නේ? “
“අපි හෙට යනවා මලිඳු.. වැඩ ගොඩක් පාඩු වුණා. එක්සෑම් ඩවුන් වුණොත් රිපීට් ලියන්න සල්ලි ගෙවන්න වෙනවා.දැන් ඒවා කරන්න තරමේ සල්ලියක් නෑ..”
මම සැහැල්ලු වන්නට උත්සාහ දරමින් සිටියෙමි.
“මටත් හිතෙනවා ඔයාලගේ කොලේජ් එකේ පාට් ටයිම් කෝස් එකක්වත් පටන් ගන්න. බිස්නස් මැනේජ්මන්ට් හරි මොකක්ම හරි… වීක් එන්ඩ් එකේ පුලුවන් නේද?”
ඔහු ජීවිතයට බලාපොරොත්තු සොයා ගැනීම සතුටකි. මම කිසිම බලාපොරොත්තුවක් නැතිව ඔහේ පා වෙමින් සිටින මොහොතක වුව ඔහු වෙනුවෙන් හිඳින්නට සිතුවෙමි.වචන ගිලෙමින් තිබෙන මොහොතක දී පවා කොහොන්දෝ වචන ගලා ආවේ එනිසා ය. සියල්ල අවසන් වෙමින් තිබියදී පවා මම ඔහුට අලුත් බලාපොරොත්තු එකතු කරන්නට දෝත පාමින් සිටියෙමි.
“මං උදව් කරන්නං..”
ඔහු මඳ සිනාවක් සහිතව බලා සිටියේ ය.
“මං යන්නං.. ඔයාලා දැන්ම එන එකක් නෑනෙ..” අනතුරුව ඔහු ඊෂාට අත වැනී ය. අප වෙතට නොපැමිණම ඇය ඒ සමු ගැනීමට පෙරළා අත වැනුවා ය.
මම පිටුපා යන මලිඳු දෙස ඔහේ බලා හිඳින විට ඊෂා පැමිණ මගේ අතකින් අල්ලා ගත්තා ය.
“සෑහෙන සීරියස් කතාවක නේද හිටියේ…”
ඒක පාර්ශවීය ප්‍රේමයක දී උසුලා ගත යුතු දරුණුම වේදනාව උසුලාගෙන ඔහේ බලා හුන් මගේ ඇසට ඊෂා ඇඟිල්ලකින් ඇන්නා බඳු ය.මට ඉතිරි වූයේ ඇගේ උරහිස බදා වැළපෙන්නට ය. තාත්තාගේ මතක ඉතිරි වගාබිමේ මා ඉකි ගැසීම අරුමයක් නොවේ. මා විලාප තැබූව ද කිසිම සේවකයෙකු මා නළවන්නට හෝ හේතු විමසීමකට නොඑන්නේ ඒ කඳුළ තාත්තාට අයිති බව සිතන නිසා ය.
ඊෂා මට හඬන්නට ඉඩ හැරියා ය. සුපුරුදු ලෙසම හේතු අසමින් මා වෙහෙස නොකර ඈ මගේ හිස අතගාමින් නිසොල්මන්ව සිටියා ය.
“මොකද කීවේ.. අලුත් කතාවක සතුටු කඳුලක් ද. නැත්නම් පරණ කතාවේ අවසාන කඳුල ද..”
එසේ බොහෝ වෙලාවකට පසු ඈ ඇසුවා ය. ඉතින් මම ඉකි බිඳිමින් ඇයට මලිඳුගේ කතාව හෙළි කළෙමි.
ඊෂා මොහොතක් කල්පනාවක ගිලුණා ය. අනතුරුව කිසිත් නොකියාම දුරකථනය අතට ගත්තා ය. ඇය අමතන්නේ දිනුකගේ අංකයට වීම මට කුහුලක් ද ඊට වඩා බියක් ද ඇති කරන්නට සමත් විණි.
“ඔය මොකද…”
“මං දිනුකයට කියනවා උඹව බලා ගනිං.ළඟදිම උඹේ කැමැත්ත හම්බ වෙයි කියලා.මොන මඟුලක්ද… ඒ කොල්ලා උඹ වෙනුවෙන් ඕන දෙයක් කරයි.. උඹ මේ ගොං වස්සා මත්තේ මැරෙන්න යනවා…”
තවත් කුණාටුවකට පෙර ඊෂාව නැවතිය යුතු ය. නැත්නම් සිදු වන්නේ මා තවත් පඹ ගාලක පැටලී යාම ය. මම දුරකථනය උදුරන්නට තැත් කළෙමි. ඊෂා මා ඉවතට තල්ලු කර ඈතට ගියා ය. ඇය ඇමතුමට සම්බන්ධ වෙන හැටි මා හිස හිරි වැටෙද්දී බලා සිටියෙමි.
ඊළඟ කොටස බදාදා ට.