වට පිටාවේ ඉන්න අයට ඉරිසියා කරන නොකර තමන්ගේ  උපරිමේ වෙනුවෙන්  විතරක් වැඩ කරන්න!

අලුත් ඒඩී මිස් ගැන කට කතා ඔෆිස් එකේ පැතිරෙනවට චාරුණී හිටියේ හිතේ සතුටින්. ඒඩී මිස් චාරුණීගේ පහල බැජ් එකේ. ජූනියර් කෙනෙක් ඒඩී වෙලා එනකල්, තමන්ට සංවර්ධන නිලධාරිනියක් විදියට ඉන්න වෙලා තියෙන එක ගැන චාරුණීට තිබුණේ ඉරිසියාවක්. ඒක පැහි පැහි උතුරන ඉරිසියාවක්.

චාරුණීයි , ඒඩී මිසුයි එකම කැම්පස් එකේ කියලා ඉස්සෙල්ලාම කිව්වෙත් ඒඩී මිස්. ඒ හින්දාම ඒ කට කතා තහවුරු කරගන්න කට්ටිය හැරුණේ චාරුණි දිහාවට. 

“මේහ්.. ඒඩී මිස් කැම්පස් කාලේ ඉඳන් ඉන්නේ ලිවින් ටුගෙදර්ලු නෙහ්… තවම බැඳලා නැහැලු… පත්තරකාරයෙක් ලූ නේද? “

කල්පනී මිස් චාරුණීගේ මේසේ ඉස්සරහින් වාඩි වුණේම එහෙම කියාගෙන. චාරුණී හිනා වුණා විතරයි.

“ඊයේ සංවර්ධනේ වට්සැප් ගෲප් එකෙ කතා කරලා තියෙන්නේ.. මට කිව්වේත් වාසනා මිස්.. “

එහෙම කිව්වාම චාරුණී දන්න විස්තර ලුණු ඇඹුල් එක්කම කිව්වා. ඒඩී මිස්ට කැම්පස් කාලේ ආදර කතා දෙක තුනක්ම තිබුණ බවත්, ඔය එකට ඉන්න පිරිමි ළමයා ඒ තුන් වෙනියා කියලත් කිව්වා. 

ඒඩී මිස්ගේ පලහිලව්වක් නිසා කොල්ලෝ දෙන්නෙක් ගහගෙන පන්ති තහනම් වෙලා හිටියා කියලාත් කිව්වා. ශාරදත් සම්බන්ධතා කිහිපයක්ම පහු කරගෙන ආව කෙනෙක් බවත්, දෙන්නා මුණ ගැහිලා තියෙන්නේ මුහුණුපොතෙන් කියලාත් කිව්වේ කට උල් කරගෙන. 

කල්පනී මිස් ඔක්කොම අහගෙන හිටියේ, උදේ වාසනා මිස් කිව්වාට වඩා ඕපාදූප හවසට යනකොට වාසනා මිස්ට කියන්න පුලුවන් කියන සතුට එක්ක. 

ඒඩී මිස්ගේ පළවෙනි රැස්වීම තිබුණේ ඒඩී මිස් ඇවිල්ලා සතියකින්. ලේකම්තුමා ඒඩී මිස්ව කාර්‍යමන්ඩලයට අඳුන්වලා දුන්නා. ඊට පස්සේ ඒඩී මිස් හැමෝටම කතා කලා. එකට වැඩ අරන්න සහයෝගය ඉල්ලුවා. 

ඒ කතා කරන අතරේත් සංවර්ධන අංශේ වට්සැප් ගෲප් එකේ කට්ටිය කලේ ඒඩී මිස් ට ඇණුම් පද පණිවිඩ යවාගත්ත එක. 

අනෙක් අය තමන් ගැන දරණ මතේ ගැන වගේ වගක් නොතිබුණ ඒඩී මිස් පුලුවන් උපරිමෙන්ම දෙපාර්තමේන්තුව වෙනුවෙන් කැප වුණා. ඒ අතරේ පෞද්ගලික ජීවිතේ හරිම සැනසීමෙන් බැලන්ස් කරගෙන ඉස්සරහට ගියා. 

චාරුණී ට ඒඩී මිස්ගෙන් විශේෂ අවධානයක් ලැබුණේ නැතත්, ඉඩක් ලැබෙන හැම වෙලාවකම කැම්පස් කාලේ චාරුණීව දන්න අඳුනන බව කියන්න අමතක කලේ නැහැ. ඒ වගේම චාරුණී අක්කේ කියන ආමන්ත්‍රණය මඟෑරියෙත් නැහැ.  ඒ හැම දේම චාරුණීට දැනුනේ ලෙංගතුකමක් විදියට නොවෙන නිසා චාරුණී ඒ හැම වතාවකම ව්‍යාජ හිනා, කතා එක්ක ඒඩී මිස් ගැන අහිතක්ම හිතා ගත්තා.  

චාරුණී කලේ ප්‍රසම්පාදන විෂය. ඒ නිසා නිතරම ඒඩී මිස් එක්ක ගැටෙන්න වුණ එකත්, චාරුණීට ඇති කලේ අහිතකර සිතුවිලිමයි. 

දවසක් උදේ ඒඩී මිස් ඔෆිස් එකට එනකොට ඔක්කොමලා හිටියේ  චාරුණීගේ මේසේ වටේ. චාරුණී මේසේට ඔලුව ගහගෙන ඉන්නෙ කියලා ඒඩී මිස් දැක්කා.

“මොකද වෙලා තියෙන්නේ ?”

ඒඩී මිස් කට්ටිය අතරට එනකොට කට්ටිය ඉඩ දුන්නා. චාරුණී හිස එසෙව්වා.

“මොකද වුණේ .. ? ඇයි මේ අඬන්නේ ?”

“සෙකට්‍රි සර් චාරුණී අක්කට බැනලා  ඒඩී මිස් …”

“බැනලා ?” …”

“ඔව්.. අද ඕපන් කරන්න තිබුණ ටෙන්ඩර් එකක් ගැන සර්ට ඊයේ කිව්වේ නෑ කියලා ..”

“හය්යෝ.. ඔයා ඊයේ මට කියලනේ ෆයිල් එක මිනිට් කරගත්තේ….එන්නකෝ චාරුණී අක්කා…එන්න…”

ඒඩී මිස් චාරුණීවත් එක්කගෙන කැබින් එකට ගියා. චාරුණි නහය උඩට ඇද ඇද කඳුළු පිහිදගත්තා.

” ඔයා ටෙන්ඩර් ඕපන් එක ගැන මට කිව්වනේ…ඔයාට සර්ට කියන්න අමතක උනාද ?”

“ඔව්..ඊයේ හවස සංවර්ධනේ කට්ටිය එක්ක කතා කර හිටියා නෙහ් ෆයිල් සයින් කරගන්න ගිහින් … එහෙමම මට අමතක වුණා.. “

ඊයේ හවස ඒඩී මිස්ගේ පෞද්ගලික ජීවිතේ අහුකොන් ගැන කියව කියද හිටිය හැටි මතක් වෙනකොට චාරුණිට තදට  ලැජ්ජ හිතුණා. හරියට නොදැනගෙන උන්න ඒඩි මිස්ගේ කැම්පස් කාලේ ආදර කතා ගැන දන්නවා වගේ කියලා එවෙලේ එතන හිටපු කට්ටිය අතරේ  එක දාගත්තු හැටි චාරුණීගේ ඇස් ඉස්සරහ මැවිලා පෙනුනා. ඒ අතරේ තමන්ගෙන් වුණ අඩුපාඩුවක් නිසා ඇති වුණ ප්‍රශ්නයක් වෙනුවෙන් තමන්ගේ පැත්තෙන් හිටගන්න සූදානමින් ඉන්න ඒඩී මිස්ගේ හිනාව චාරුණීගේ ඇස් ඉස්සරහම පෙනුනා.

“ජොබ් එක කරන වෙලාවට වෙන සමහර අත් වැරදීම් වලින් ලොකු බලපෑම් වෙනවනේ චාරුණී අක්කේ… මඟෑරගන්නම බැරි වෙන අවස්ථා වෙනයි. ඒත්, අපි කල්පනාවෙන් හිටියොත් මඟෑරගන්න පුලුවන් අත් වැරදීම් වලට බැණුම් අහගන් වෙන එක අපරාදේ .. ඒ ඔක්කොටම වඩා ඒකෙන් ඔයාගේ පර්සැනිලිටි එකට වෙන පාඩුව ගැන හිතන්නකෝ…”

චාරුණී ඔලුව වැනුවා. 

“ඔයා කොච්චරක් දක්ශයිද ? ඉස්සර අපිට කුප්පි දාන කාලේ මට මතකයි. ඒ නිසාමනේ ඔයාට ප්‍රොකියුමන්ට් සබ්ජෙක්ට් එක මෙච්චර කල් අවුලක් නොවීම කරන්නත් පුලුවන් වෙලා තියෙන්නේ. ඇත්තටම ඔයාගෙන් තමා මාත් ඉගෙනගන්නේ ඒ සබ්ජෙක්ට් එක නම්. ඉතින්, අර වගේ තැන් මඟෑරගන්න එපා… අනෙක,  මේ පාර ලිමිටඩ් එකෙන් ඔයා අනිවාර්යයෙන් සර්විස් යනවා..”

චාරුණීට ඒඩී මිස්ගෙන් සමාව ඉල්ලන්නම හිතුණා. චාරුණීට තමන් ගැන පලවෙනි වතාවට නොසෑහෙන්න ලැජ්ජාවක් දැනුණා. 

“අහ්හ්.. දැන් ඒක අමතක කරන්න. මම සර්ට කරන්නම්  ආයේ  සර්  ඒ ගැන මතක් කලොත් … ඒ අඩුව අමතක වෙන්න අද හොඳටම වැඩ කරමු..හරිද ?”

“හරි ..”

” ඒක නෙවෙයි .. අක්කේ…ආරාධනාවකුත් තියෙනවා .. ඔෆිස් එකෙන්  ඔයාට විතරයි  කියන්නේ.  ලබන මාසේ මායි ශාරදයි එන්ගේජ් වෙනවා..සෙනසුරාදාවක්.. එන්න ඕනි හොඳේ..”

ඒ ආරාධනාවට ප්‍රතිචාර දක්වන විදියක් චාරුණීට තේරුණේ නෑ. ආයාසෙන් හිනාවක් මවාගන්න උත්සාහ කලත් ඒ හිනාවත් ගැලවිලා වැටෙන වග චාරුණීට තේරුණා. ආයෙම හැරිලා ඒඩී මිස් ළඟට ගිහිලා වැළඳගෙන ඉස්සර සහෝදරකම වෙනුවෙන් සමාව ඉල්ලන්න චාරුණීගේ හිත දහස් වතාවක උත්සාහයක් ගත්තා. ඒත්, චාරුණී ඉස්සරහට ගියා.

ජීවිත වලට තියෙන ටයිම් සෝන් වෙනස්. අවුරුදු ගණන් වලින් තමන් වටේ ඉන්න අය එක්ක ජීවිතේ සසඳන්න ගත්තාම තමන්ට නොදැනීම තමන් විෂකූරු ගැහැණියක් වෙන්න ගන්නවා. ඒ නිසා  තමන්ගේ වට පිටාවේ ඉන්න අයට ඉරිසියා කරන එකෙන් මිදිලා, තමන්ගේ  උපරිමේ වෙනුවෙන්  විතරක් වැඩ කරන හය්ය ගැහැණියක්  වෙන්න අපි ස්මාර්ට් විදියට උත්සාහ කරමු.

| අපේක්ෂා ගුණරත්න | 

More Stories

Don't Miss


Latest Articles