විසිහතරට වැඩි නම් මේ විදියට වෙනස් වෙන්න

ඔබේ වයස අවුරුදු විසිහතරට වැඩි ද? එහෙමනම් මේ තොරතුරු අනිවාර්යයෙන් ම ඔබ දැනගන්න ඕනේ. ඔබ තවම ගතකරන්නේ තරුණ වයසේ මුල් ම කාලයයි. ඒත් ඉක්මණින් ම ඔබ තරුණ වැඩිහිටියෙක් බවට පත්වෙනවා. හිටියට වඩා වෙනස් විදියට ඉන්න පටන්ගන්න මේ තමයි හොඳම වයස. කොහොම ද ඔබේ ජීවිතය වෙනස් කරගන්නේ?

ලාබ සහ බාල ඇඳුම් මිළ දී ගන්න එපා

යොවුන් වියේ දී අතට හසුවුණු ඇඳුමක් මිළ දී ගෙන වරක් දෙවරක් ඇඳ ඉවත දමන පුරුද්ද ඔබටත් තියෙන්න ඇති. ඒත් මේ වෙනකොට ඔබේ පළමු රැකියාව සමහරවිට පටන් අරගෙන ඇති. වෙළඳපොළේ ලාබෙට ගන්න තියෙන ඇඳුම් තවදුරටත් අල්මාරියෙ පුරවාගන්න එක දැන් ඔබ නතර කළ යුතුයි. ඔබේ පෙනුමට වෘත්තීමය ටිනාකමක්, කඩවසම්බවක්, ආකර්ෂණීය බවක්, දකින අයට ගෞරවනීය හැඟීමක් ඔබ ගැන ඇතිවන විදියෙ වටිනා ඇඳුම් තෝරාගන්නට දැන් ඔබ සූදානම් විය යුතුයි.

නොගැළපෙන අයථා පෙම්සබඳතාවලින් ඈත්වෙන්න

ඔබ හොඳින් අවබෝධ කරගත්, ජීවන සහකරුවෙක් සමග ස්මාර්ට් (SMART)සම්බන්ධතාවක් ගොඩනගාගන්නට දැන් ඔබට හැකිවිය යුතුයි. තවදුරටත් අත්හදාබලමින් ආදරය කරන්නට කාලය මිඩංගු කිරීම දැන් ඔබ නතර කර දැමිය යුතුයි. තමන්ට ගැළපෙන්නේ නැති සම්බන්ධතාවලින් ඉක්මණින් ම ඈත් වෙන්න. යථාර්ථවාදීව හිතන්නට හැකි, ඔබේ ජීවිතයට ශක්තියක් විය හැකි  සහකරුවෙක් සමග පමණක් සම්බන්ධතාවක් ගොඩනගාගන්න.

අනෙක් අය සිතන දේවල් ගැන අනවශ්‍ය විදියට කරදර වෙන්න එපා

වයස අවුරුදු විසිහතරක් පසුකර සිටින ඔබට ඔබ ගැන තනිව නිවැරදි තීරණ ගැනීමේ ශක්තිය තිබිය යුතුයි. හොඳ ආත්ම විශ්වාසයක් තිබිය යුතුයි. මෙහෙම ඇඳුම් ඇන්දොත් අනික් අය මොනව හිතාවිද? මෙහෙම කතාකරන එක ගැන ඒ අය මොනව කියාවිද වැනි අනුමානවල රැඳෙමින් ඔබේ තීරණ යටපත් කරගත යුතු නැහැ. හැබැයි ඔබ කවරක් කළත් එයින් කිසිවෙකුටත් හානියක් අයහපතක් අත් නොවිය යුතුයි.

දෙමව්පියන්ට දොස් පැවරීම නතර කරන්න

වයස විසි හතර පහුවනවිට බොහෝ දෙනෙකුට තමන්ගේ දෙමව්පියන්ගේ උපදෙස් කතාබහ, යෝජනා එතරම් වටින්නේ නැහැ. ඔවුන් මොනව ද මේ ගැන දන්නේ. පරණ අදහස් එක්ක වැඩ කරන්න අමාරුයි වැනි ප්‍රකාශ හරහා දෙමව්පියන්ගේ බලපෑම වළක්වාගන්න. මේ වයසේ බොහෝ දෙනා උත්සාහ කරනවා. ඇත්තටම එයාල මට බලපෑම් කරනවා වැඩියි. ඒ විදියට මේ වයසේ සමහර දරුවන් සෘජුවම දෙමව්පියන් විවේචනය කරන්න පටන්ගන්නවා. මේ සියල්ල නොකළ යුතු දේවල්. දෙමව්පියන් සර්ව සම්පූර්ණ නැහැ. ඒත් දෙමව්පියන් ඔබට යමක් පැහැදිලි කර දෙන්නේ ඔවුන්ගේ ජීවිත අත්දැකීම් ද එකතු කරගනිමින්. කාලය සහ තාලය වෙනස් වුණත් දෙමව්පියන්ගේ අදහස් මගහරින්න බැහැ. ඒවා බොහෝදුරට නිවැරදියි. ඔබේ ජීවිතයට ඔවුන්ගෙන් ලැබෙන සහයෝගය ඔබ අපේක්ෂා කළ මට්ටමට වඩා අඩු ද? නමුත් ඔබ දැන් ඔවුන්ට දොස් පවරා පලක් නැහැ. ඔබට ඔවුන්ගේ සතුට වෙනුවෙන් කරන්නට හැකි දේ කරන්න. මේ ඒ සඳහා සුදුසු ම කාලයයි.

අනවශ්‍ය කලබල වීම් නවත්වන්න

තාරුණ්‍යය කියන්නේ තරමක් නොසන්සුන් හිතිවිලි පිරුණු වයසක්. බොහෝ දේ එකවර හිතන්නට යන නිසා මේ වයසේ බොහෝ දෙනාට අමතකවීම්, අතපසුවීම්, මඟහැරීම් සිදුවන වාර වැඩියි. ඒ නිසාම නිතර නිතර කලබලයට පත් වූ අවස්ථා ඔබේ ජීවිතයේත් තියෙන්නට ඇති. එහෙත් වයස විසිහතර පහුකළාට පස්සේ මේ කලබලය ටිකෙන් ටික නතර කරගන්න ඕනෙමයි. දැන් ඔබ පැමිණ සිටින්නේ ජීවිතයේ වගකීම් දරන්නට සුදුසු වයසටයි.

පැරණි සිහින සහ බලාපොරොත්තු පැත්තකින් තියන්න

ජීවිතයේ විවිධ අරමුණු  ඉටු කරගැනීම වෙනුවෙන් ගොඩනඟන සිහින එකින් එක සැබෑ කරගන්නට හැම කෙනෙක් ම වෙහෙස වෙනවා. මෙහිදී කාලයත් සමග ඔබේ ඉලක්ක සහ බලාපොරොත්තු අලුත් කරගන්න ම වෙනවා. ඉටු නොවුණු බලාපොරොත්තු ගැන දුක් වෙමින් ගත කරන්න දැන් ඔබට කාලයක් නැහැ. හැකි ඉක්මණින් ම අලුත් සිහින සහ බලාපොරොත්තු ගොඩනගාගන්න. ඒ මත ජීවිතයේ ඉදිරිය සොයා යන්න. විසිහතරෙන් පටන්ගන්න. පරිණත ජීවිතයකට දැන් ඔබ සූදානම් විය යුතුයි.

-නිරංජලා-

Related Articles

Don't Miss


Latest Articles