පිනි සේල – 7

ඉනික්බිති ඇරඹියේ කලබලකාරී දවසකි. ඊෂාට මා වහා කැටුව යාමට උවමනා වූ අතර ඇය අද පාන්දරම අපේ බෝඩිමට කඩා වදින විට මා අවදි ව සිටියේවත් නැත. යමක් සිතුණු විට එය හිතූ පමාවට කරන්නට සමතියක වූ ඊෂාට මගේ කලමනා පොදි ගසා ගැනීම මහ වැඩක් වූයේ නැත.

“මෙහෙම යනවට අපේ නං කැමැත්තක් නෑ ඉතිං”

බෝඩිමේ ඇන්ටී අමනාපය වචන වලට පෙරළුවා ය. ඇයට අපේ අම්මා ඊයේ රාත්‍රියේ දුරකථන ඇමතුමක් දී තිබුණ ද තවම ඇගේ මුහුණ කළු වළාවලින් බර වී තිබිණ. ඈ මා පසුගිය වසර පුරා බලා ගත් බව ඇත්ත ය.නමුත් මේ අසීරු දවස් මෙහෙම “පිට තැනක” ගෙවා දැමීම අමාරු බව මට ද නොවැටහෙනවා ම නොවේ.

ඊෂා බෝඩිමේ ඇන්ටි සමඟ කියවන අතර මම මගේ කදමලු ඊෂාගේ වාහනයේ අසුරා ගතිමි. බෝඩිමේ මිතුරියන්ට සමු දීම අසීරු නැත. එය කොහොමටත් හදවතේ මිතුරුදම් ගොඩ නැගුණු තැනක් වූයේ නැත.

“මං බෝඩිමේ ඇන්ටිට කීවා ඔයා ඉන්නේ ඩිප්‍රෙස් වෙලාය, මොනා හරි කරගත්තොත් එහෙම කියලා අපේ අම්මි එක්කන් එන්නම කියනවය කියලා. ආං එතකොට එයාගෙ කට වැහුණා. ඔය උඹට ආදරේට නෙවේනෙ..බෝඩිමට ළමයෙක් අඩු වෙනවට..”

ඊෂා කියවන්නට ගත්තේ අප ගමන ඇරඹූ විගස ය. මම කිසිත් නොදොඩා හුන්නෙමි.

මහා මාර්ගය කලබලකාරී ය. මෝටර් රථයේ වීදුරු අතරින් මම ඔහේ බලා සිටියෙමි.නිමි ඇඳුම් හල්වල සෙනඟ පිරී ඉතිරී යයි.ඊෂා සමඟ ෂොපින් ආ කාලය අයත් අතීතය ට ය. ෆේස්බුක් තිරයේ දකින විවිධ ඇඳුම් කඩවල අලුත් විලාසිතා දෙස නොබලාම ඉන්නට මා පුරුදු වී ඉතා කෙටි කාලයකි. ඕනෑ දෙයක් ඉල්ලූ විගස ලැබුණු කාලය අයිති තාත්තා ජීවත් ව සිටි කාලයට බවත් දැන් අප වඩා පිරිමැසුම්දායක විය යුතු බවත් සිතන්නට මා පුරුදු වූයේ ඉබේට ම ය. ඊෂා මෙන් ධනවත් යුවතියක නොවුණා ට මම මධ්‍යම පාන්තික පවුලක සැපට හැදුණු දැරියක ව සිටියෙමි. සමහරවිට අප අත මිලමුදල් රැදුණු කාලය අතීත කාලයට අයත් වීම ඉක්මනින්ම සිදු වනු ඇත. ගොවිපොළ කටයුතු පවත්වාගෙන යාම ගැන කිසිවක් සිතා ගත නොහැකි වද්දී පුරුදු ලෙසම දෑස් බොඳව යනු මට දැනිණි.

“ඕං අම්මගේ හොඳ දූ එක්ක ආවා..”

ඊෂා නිවසට ඇතුළු වූයේ සැහැල්ලුවෙනි. ආන්ටි ඉතා ආදරයෙන් මා වැළඳ ගත් අතර මට අම්මා සිහි විණි. අම්මලා ළඟ ඇත්තේ පොදු සුවඳකි.සමාන ආදරයකි. මගේ හිස සහ හිත නිවෙන්නට පටන් ගන්නා’යුරු මට ම දැනිණි.

“ඔය කොහෙද යන්නේ…”

ඇඳුම් බෑගය ඔසවාගෙන ඊෂාගේ කාමරයට යන්නට හදන මගෙන් ඊෂා ඇසුවේ සිනාබරව ය. අප කැටුව උඩුමහලට ආ ආන්ටි ද සිනාවක් දෙතොලට ගත්තා ය.

“පුතාට වෙනම කාමරයක් ලෑස්ති කරා මං.. දැන් දිගටම අපි එක්කනෙ.. පාඩම් කරනකොට දෙන්නට එක කාමරේක ඉන්න බැරියැ. මෙච්චර ඉඩ තියන ගේක ඊෂාගේ කාමරේම හිර වෙන්න ඕන නෑනෙ”

ආන්ටි ඊෂාගේ කාමරය අසලම කාමරයේ දොර හැර දුන්නා ය.

“මහන්සි වෙන්නේ අපරාදේ ආන්‍ටි..”

මම අසීරුවෙන් කියා ගතිමි.

“මහන්සි වෙන්න මොකෝ අපේ අම්මි ඕවා අස් කරා යැ.ඕක විමලා අස් කරේ. ඔයා එයාට තෑන්ක්ස් කරන්න. කොහොමත් ඕකේ ඔයාගෙ ලට්ට ලොට්ට ටික අහුරගන්නයි නිදාගන්නයි තිබ්බාම මදැයි. කාමර දෙකක ඉඳන් මක් කරන්නද.. අපි එක කාමරේකට වෙලා අපේ සියලුම අමන ක්‍රියා ප්ලෑන් කරමු..”

ඊෂා කියවන්නී ය.ආන්ටි මගේ අතකින් අල්ලාගෙන ඇඳ මතින් හිඳ ගත්තා ය.

“ඔයා පිනිදි එක්ක ඩිග්‍රි එකට මහන්සි වෙන්න චූටි. එයාවත් අල්ලන් කෝලං නොකර.ඔයා වගේ නම් නෙවෙයි පිනිදි. මේ ආපු ටිකට ගෙදරම පිරුණා..”

ඊෂා හඬ නඟා හිනැහුණා ය.

“අම්මා නිකං හැසිරෙන්නේ ලේලියක් ගෙනාවා වගේනෙ. ඕවා අම්මාගෙ ලේලි ගෙනාව දවසට කියන්න පරිස්සං කරගන්න.. පිනී අම්මාගෙ ලේලිගෙ කැරැක්ට එකට නං හරි යන් නෑ..”

ආන්ටි නැගී සිටියේ සුසුමක් හෙළමිනි.

“හොඳ පුතෙක් හිටිය නම් පිනිදිව මං තියා ගන්නවා තමයි. ඒත් ඔයාට වගේම මං පිනිදිට ආදරෙයි. දැනගෙන අමාරුවේ දාන් නෑ ඉතිං”

ඇය පිටව ගියේ සැබෑවටම හිත රිදවාගෙන ය. ඊෂා ඇගේ කෙළිලොල් මුහුණ ඉවතට ඇද දමා බැරෑරුම් මුහුණක් මවා ගත්තී ය.

“මට දුකයි බං… අපේ මෝඩ තඩියා නිසා අම්මා විඳවනවා.. මේ මිනිහට කෙල්ලො ඇලජික්. බෝතල් තමා නිර්වානේ.. අපරාදේ ඉතිං කොල්ලන්ටවත් කැමති වුණානං මං අපෙ හිමා ව පිටත් කරලා අරිනවා එයා ගාවට..”

කණගාටුදායක මොහොතක පවා විකාර කියවන මිතුරිය ගැන මට සිනාවක් නැගේ.ඇගේ ජීවිතය කුරුළු පිහාටුවකට ද වඩා සැහැල්ලු ය.

” නිකං බොරුවට බොක්කෙන් ලව් කරන්න ගිහින් එයා නාගත්තා..දැන් ඔය රට ගිය වැඩේවත් හරියට කරන් නෑනේ.. ඕං ලබන සතියේ ද කොහෙද එනවත්ලු.. ආවා කියලා මේ බිස්නස් බාර ගන් නෑනෙ බං..මට අපේ තාත්තා ගැන දුකයි..”

ඊෂාගේ අයියා මවුරට පැමිණෙන බව ඇසූ මට බියක් දැනිණි. නාඳුනන කෙල්ලක තමන්ගේ නිවසට කඩා වැටීම ඔහු කොහොම දරා ගනීවිදැයි කියන්නට මම නොදනිමි. ආවාට වඩා වේගයෙන් බෝඩිමක් සොයා පිටව යන්නට සිදු වනු ඇතැයි මට සිතේ. මම කාමරයේ කවුළුවක් හැර දැමුවෙමි. කලබල බොරලැස්ගමුව නගරයෙන් මත්තට වන්නට පිහිටා තිබූ ඊෂාගේ නිවසට පිටුපස වෙල් යායකි. ගිනි මද්දහනේ පවා ඉන් සිහිලැති සුළඟක් හමා ආවේ ය. මම දැවෙන සිත නිවා ගන්නට තැත් දරමින් සිටියෙමි.

” වැඩක් නෑ පිනී ඕවා කතා කරලා.. ඔයාගේ තාත්තාට ඔයාලට බිස්නස් කියා දෙන්න වෙලාවක් නැති වුණා.. අපේ තාත්තිට මේවා කියා දෙන්න කෙනෙක් නෑ.. “

ඊෂාට කියන්නට ඉතා වැදගත් කාරණාවක් මා සතු බව මට සිහි විණි. ඇය එය බාර ගන්නා හැටි ගැන අදහසක් නොවුණ ද මෙය සඟවා ගත යුතු ආරංචියක් නොවේ.

“අංකල්ට හොඳ බෑනෙක් හම්බෙයි ඉක්මනින්..”

ඊෂා මවෙත බැල්මක් හෙළා ඉවත බලා ගත්තා ය.

“මට කොල්ලෙක් හම්බෙනකොට බැරියැ.. උඹට නම් සම්තින් හැපනින් නෙහ්.. මට ඊයේ හිමා කිව්වා කතාවක්.. උඹෙත් තියන ලොකුකමට ඒවගෙ හොඳ කතානම් කියන් නෑ.. අර මෝඩ හිවලා ගැන නම් හෑල්ල පුරයි මගෙ කන් පිරෙනකම්..”

මම ඊෂා වෙත සමීප වුණෙමි.”ඕකි යාලුකමත් නැති කරයිද දන් නෑ…”දිනුකගේ සිනාබර මුව දෑස් ඉදිරියේ මැවී පෙනෙයි. මම සිනාවකින් ම කතාව ඇරඹුවෙමි.

“ඊයේ දිනුක මා එක්ක කතා කරා..ඇත්තටම එයාගේ හිතේ අදහසක් තිබිලා..”

ඊෂා කවුළුව වෙත ගියා ය. මට පිටුපා ගත් ඇයට කතාව අසන්නට වැඩි උවමනාවක් ඇත්තටම නැති බවක් මට දැනෙයි.නමුත් මම කියවාගෙන ගියෙමි.

“දිනුක අපි එක්ක මුල ඉඳන්ම හිටියනෙ.. එයා මට ක්‍රෂ් කියලා කතාව යන්න කලින් ඉඳලම මේක එයාගේ හිතේ තිබිලා..ඒත් අර මෑතක බැච් එකේම උන් කතා හදන්න ගත්තම ඉක්මනින්ම කියන්න හිතුණලු..”

ඊෂා හැඟීමක් නැති මුහුණකින් හැරී බැලුවා ය.

“දැන් ඉතිං උඹලා සෙට් ද..අර මෝඩ මූසලයට නම් යසයි..මහන්සි බං.. මං වොෂ් එකක් දාන් නිදා ගන්නං..”

“ඊෂා… ඔයා කතාව අහන් නැද්ද.. දිනුක කැමති මට නෙවේ ඔයාට…”

ඊෂා මොහොතක් බලා සිටියා ය. අනතුරුව මා තදින් වැළඳ ගත් ඈ ඉකි ගසන්නට පටන් ගත්තා ය.අපේ මිත්‍රත්වය ඇරඹි දා පටන් මා හඬන විට ඈ නැළෙව්වා විනා ඈ හඬද්දී මා ඇය නැළවූ දවසක් නැත. ඉතින් මම ද ගල් ව ගියෙමි.

“මං… මං… දිනුකට කැමැත්තෙන් හිටියේ.. ඔයා මලිඳුට වගේම..ඒත් ඔයාලගෙ ෆියුනරල් එක වෙලාවේ දිනුක හැම තත්පරේම ඔයාව බලා ගත්තා.. මට හරියට ජෙලස් හිතුණා.. ඒත් ඔයත් මගේ ජීවිතේ ලොකු කොටසක් පිනී.. මං ඔයාගෙ සතුට ගැන සතුටු වුණා..”

මලිඳුගේ කැමැත්ත ඊෂාට යැයි මා බියපත් වී තවම සතියක් වත් ගෙවී නැත. ඒ හැඟීමේ පීඩාකාරි බව ගැන මම ඕනෑවටත් වඩා දනිමි.තත්පර කිහිපයක් මා පෙළූ හැඟීම ඊෂා තුන් මසකටත් වඩා දරාගෙන හිඳීම ගැන සිතමින් මා ඇගේ හිස පිරි මැද්දෙමි. අප්‍රමාණ මිතුරු ප්‍රේමයකින් මගේ හදවත පිරී ගියේ ය.

“වන් සයිඩ් ලව් එකක තියන වේදනාව නං ඊෂා මං තරම් කවුරුත් දන්නෑ..ඔයා ඒකෙන් තනියම විඳෝපු එකයි මට දුක.. ඔයාට මතකද.. මං ෆේස්බුක් එකේ Unwritten Poem පේජ් එකේ කවියක් පෙන්නුවා.. ඔයා එදා මට බැන්නට ඒක ඔයත් ෂෙයාර් කළා කියලා දැනුයි මතක් වුණේ”

අප්‍රකාශිත ප්‍රේමය..
ප්‍රකාශිත ප්‍රේමයටත් වඩාත්..
පරිත්‍යාග කළ ප්‍රේමය..
අයිති කරගත් ප්‍රේමයට වඩාත්..
බලවත්ය..

සංසාරය දිගු බැවින්..
නිහඬවෙමි…
අයිතිවාසිකම් නොකියමි..”

“මට ඒක කටපාඩං පිනී.. තිලිනි අක්කා ඒක මටම ලිව්වා කියලා මං හිතුවේ. ඔයාට දිනුක පරිත්‍යාග කරා කියලා මං හිත හදා ගත්තා..”

කෙළවරක් නැතිව කියවන, ඕනෑම මොහොතක කට කැඩුණු කතාවක් කියන,කොල්ලන් සමඟ වාදයට සහ රණ්ඩුවට යන දඟ මල්ලක වූ මගේ මිතුරිය තුළ මෙවැනි සංවේදි යුවතියක හිඳින බව මා මීට පෙර දැන සිටියේ ම නැත. ඇය අද සම්පූර්ණයෙන්ම වෙනස් කෙල්ලකි.

“පිස්සියක් නෙ.. මට පරිත්‍යාග කරන්නෙ මොකටද.. ඕං දැන් එයා ඔයාගේ..”

ඊෂා ලැජ්ජාසහගත මුහුණකින් නැගී සිටියා ය. ඇය කාමරයෙන් පිටව ගියේ ද රතු කරගත් මුහුණකිනි.

ප්‍රේමයට සියල්ල වෙනස් කළ හැකි බවත් ගල් වැනි හදවත් පවා දිය කර දැමිය හැකි බවත් සිතමින් මම කාමරය අස් කරන්නට පටන් ගතිමි.

දුරකථනය එළිය වූයේ මලිඳුගේ වට්ස් ඇප් පණිවිඩයකිනි.

ඊළඟ කොටස සෙනසුරාදා ට

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles