ශුභ කටයුත්තක දී කඳුළු ඉස්සර කරන එක හොඳ නැති බව දැන සිටියෙන් මම නාඬා සිටියෙමි. නමුත් මා මුළුමනින් ම හැඬුම්බර වූ බව තුෂී සේ ම යුගාන්තත් හොඳින් වටහා ගත් බව මම දනිමි. යුගාන්ත ඉදිරි කැඩපතින් කිහිප වරක් මදෙස බැලුවේ ය. ඒ බැල්මේ හිතෛශී බවක් මට ඉඳුරා දකිත හැකි විය.
බණ්ඩාරවෙල පැළ තවාන් කියන්නේ මල් ලෝකයකි. මා ඒ ලෝකයෙහි කැමැත්තෙන් ම අතරමං වූ බවට කිසිදු සැකයක් නැත. හිතේ හිර වී මට දුක් දෙන සියලු කාරණා අමතක කොට දමා මම හැබෑ ප්‍රීතියක් අත්වින්දෙමි.
“ගයාත්මි මේ වැඩේ හොඳට ම කරගෙන යයි. ඒ කියන්නෙ සල්ලි ටිකක් හම්බ කර ගන්න පරමාර්ථයෙන් විතරක් නෙවෙයි. ආදරෙං ආසාවෙං මේ වැඩේ කරයි”
සේද මිහිදුම් සළු කඳු සිරස් වැළඳ ගෙන ඉන්නවා පේන දර්ශනීය බොජුන් හලක අප දිවා ආහාර ගන්නට සූදානම් වෙත්දී යුගාන්ත කීවේ ය. මම ඒ ඈත කඳු හිස් මෑත සිට දෑසින් සිප ගතිමි.
“මට මොකක් හරි දෙයක් එහෙම ආදරේකිං කරන්න ඕන වෙලා තිබුණා කියල දැං හිතෙනව අයියෙ. ඒක සමහර විට මං ඉපදිච්ච දවසෙ ඉඳලම හිතේ හිර වෙලා තිබුණ ආදරයක් වෙන්න ඇති. දෙන්න කෙනෙකුත් නැතුව…ගන්න කෙනෙකුත් නැතුව…”
මුලින් ම යුගාන්ත ඉදිරියේ මා හදවත විවර කළ තැන එතැන විය යුතු ය. ඒ සිහිලැල් මනස්කාන්ත පරිසරය විසින්, ගල් වී තිබුණ හිත මඳක් ලිහිල් කොට තබන්නට ඇත.
යුගාන්ත මෙන් ම තුෂී ද මොහොතකට ගොළු වූහ. අප කාගේවත් කට හඬක් නෑසුන ඒ දීර්ඝ නොවූ කාලය මට කල්පයක් සේ දැනිණි.
“අපි හැමෝගෙම ජීවිත වල කතාවක් තියනව නංගි. හැබැයි අපි මහන්සි වෙන්න ඕනෙ ඊට වඩා ප්‍රබල කතාවක් අපේ ජීවිත වල ලියාගන්න…”
මා හඬන්නට නො සිටි බව දිව්රා කිව හැකි ය. නමුත් කඳු නිම්නයක් ඔස්සේ හෙමිහිට ගලා බසින දිය දහරක් සේ, දෙනෙත් උල්පත් තුළ උපන් කඳුළක්, නෙත් කෙවෙනි නිම්න වලින් පිට මං ව කොපුල් තලා දිග ගලා යන්නට විය. එකඳුළ, මේසය මතට ටක් ගා වැටුණේ ය. යුගාන්ත තුෂී ගේ මූණ දෙස තිගැස්මෙන් බලනවා මම දුටිමි.
“ඔයාට අඬන්න ඕනනං අඬන්න ගයා. වැළපෙන්න ඕන තැන් වලත් කඳුළක් හෙළන්නැතුව හිත ගල් කරන් හිටපු හැටි මං දන්නවනෙ. ඒත් අර විසප්පු ගෙඩියකට පිටිං බේත් දාල වැඩක් නෑ වගේ…ඒක සුද්ද කරල සැරව ටික මිරිකල ඇරල සුද්ද කරල බෙහෙත් දාන්න ඕන වගේ…ඔය කඳුළු ටික අද එළියට දාලම ඔයා ජීවිතේ මුල ඉඳල පටං ගන්න එක හොඳයි”
මේසය මත වූ මගේ වමත, තුෂී හෙමිහිට පිරිමැද්දා ය. රිදුම් පිරිමදින්නට ළෙංගතු හිතක් ළඟක සිටිය යුතු ම ය. ඈ මා ගැන නො දන්නා දෙයක් නැත. නමුත් යුගාන්ත කිසිත් නො දනී. හදිසියේ ම සීයලා ගේ ගෙදරට පහළ වූ කෙල්ලක සතුව නවකතා පොතක් ලියන්නට තරම් දුක්බර කතාවක් ඇතැයි ඔහු හිතුවේවත් නැතිවා විය යුතු ය.
“ගයා කියන්නෙ ටිකක් ආඩම්බර කෙල්ලෙක් කියලයි මං හිතුවෙ. දෙයක් ඇහුවොත් පොඩි උත්තරයක් දීල මගෑරල යනව මිසක් කතා කරන්නවත් කැමැත්තක් පෙන්නුවෙ නැති නිසා. ඇත්තටම සීයවත් මට මුකුත් කියල තිබුන්නෑ එයාලගෙ මිණිපිරී කිව්ව මිසක්”
යුගාන්ත ගේ හඬ පවා වෙව්ලා ගියේ ය. මම දෙනෙත් පියන් තද කොට පියා කඳුළු මිරිකා හැරියෙමි.
“එයාලගෙ දුවගෙ පළවෙනි කසාදෙ දුව මං…අම්ම ආයෙ මැරි කළේ ගිය මාසෙ අයියෙ. මං ඒ ගැන දුකෙන්වත් කේන්තියෙන්වත් කළකිරීමෙන්වත් ඉන්නව නෙවෙයි. මං තනි වුණේ අම්මගෙ සෙකන්ඩ් මැරේජ් එකටත් වඩා හුඟක් කලිං”
“අපි හැමෝම තනියම ඇවිත් තනියම යන අය ගයාත්මි. ඉන්න ටිකේ අපිව තේරුං ගන්න අයට ලං වෙලා ඉන්න එක පහසුවක් තමයි. ඒත්…අඬන්නෙපා අප්ප ඔහොම…දැං ඔයාට සීයායි අත්තම්මයි ඉන්නව. යාළුව ඉන්නව. කරන්න පුළුවන් දෙයක් මාත් කරන්නං. ඔයා කැමති තැනිං ජීවිතේ පටං ගමු. ම්…අපි ඉන්නවනෙ”
එහෙම වචනයක් වුණත් බිඳී ගිය හිතකට හයිය හදන ඔසුවකි. දිවා ආහාර ගැනීමෙන් පස්සේ අපි විශාල පැළ තවාන් දෙක තුනක සැරිසැරුවෙමු. යුගාන්ත ඒවායේ හිමිකරුවන් සමග කතා කරමින් අදහස් රැසක් ගොනු කර ගත්තේ ය. ඒවා මේ අරඹන්නට යන ව්‍යාපාරයේදී මහත් ඵලදායක වන කාරණා ය.
“මෙහෙං පැළ ගෙනියන්න කලිං අපි ඒව ස්ටෝ කරන විදිහ එහෙ හදල ඉන්න ඕන නංගි. හෙවන ඕන ප්ලාන්ට්ස් වලට නෙට් හවුස් හදල…රැක්ස් ගහල තමයි පැළ ගෙනියන්න ඕනෙ. එතකොට ඒවට ඩැමේජ් නොවී එක පාරම අදාල තැං වලිං තියන්න පුළුවන්”
බොහෝ දේ තීරණය කළේ යුගාන්ත ය. ඔහු එහෙම කරන එක ගැන මා තුළ කිසිදු නො සතුටක් නොවිණි. බණ්ඩාරවෙලට සමු දෙන්නට පෙර මම රෝස පැළ කිහිපයක් මිල දී ගතිමි. ඉන් එකක්, මේ දවස සිහි වනු වස් ගෙදර ගෙන යන්නට කියා තුෂී ට දුන්නෙමි. පාට පහකින් තවත් රෝස පැළ පහක් මා මිල දී ගත්තේ යුගාන්ත වෙනුවෙනි.
“අයියගෙ අලුත් ගෙදර මිදුලෙ හිටවන්න”
මම මඳහසින් බලා සිටියෙමි. ඔහු මඳහසක් වත් නැති නෙතකිනි මදෙස බලා සිටියේ. නමුත් ප්‍රතික්ෂේපයකින් තොර ව ඔහු ඒවා භාර ගත්තේ ය.
“ආව් ආව්…හමිං බර්ඩ් ට ඉස් ඉස්සෙල්ලම රෝස මල් දුන්නා එහෙනං”
අප කාමරයේ තනි වූ ගමන් තුෂී කෝලම් කරන්නට ගත්තා ය.
“ඒක සුවනියර් එකක් මෝඩයො. එයා නොහිටියනං අපිට තනියම කීයටවත් ඔය විස්තර ටික හොයා ගන්න බෑ. යුගාන්ත කළේ එසේ මෙසේ උදව්වක් නෙවෙයි”
“එයාගෙ මිදුලෙ අලුත් රෝස මල් පිපිල සුවඳ වෙනකොට මාව මතක් වෙයි නේ”
“ඔයාව මතක් වෙනවනං මං කැමතියි”
“බෙල්ල මිරිකන්නෙ බෙල්ල”
තුෂී ඇත්තට ම මගේ බෙල්ලෙන් ඇල්ලුවා ය. කිති ගැන් වී මම කෑ ගසා සිනා සුණෙමි. ඒ සිනහවේ දෝංකාරය නිසා තිගැස්සී ගිහින් මා වඩාත් හොඳින් කන් දුන්නේ ඒ මගේ ම සිනහව දැයි සැක හැර දැන ගන්නට මෙනි. පුදුම සැහැල්ලුවක් හා නිර්ව්‍යාජ සතුටක් ද, බලාපොරොත්තුවක නො ඉවසිලිමත් සෙවනැල්ලක් ද මම ඒ සිනහවේ තිබී හඳුණා ගතිමි.
ඊළඟ දවස් කිහිපය ගත වූයේ රාක්ක සැකසීම, දැල් ආවරණ මඩු සැකසීම ආදී කටයුතු එක්ක ය. ඒවා සාදවා ගැනීමේ ඇනවුම් ලබා දීමට යාම වෙනුවෙන් යුගාන්ත දිනක නිවාඩුවක් ද ලබා ගත්තේ ය.
“අයියට මං නිසා කරදරේ”
මා කීවේ ඇත්තට ම ය. ඒ වෙලාවේ යුගාන්ත ගේ ඇස් බැල්ම විඳ ගැනීමේ ශක්තියක් මට නො තිබුණා කීවත් නිවැරදි ය. ඒ තරමට ම ඒ ඇස් කතා කරමින් තිබුණේ ය.
“සමහර කරදර වුණත් සුන්දරයි. පොඩි එකෙක්ව ලොකු කරන එක අම්ම කෙනෙක්ට පොඩි කරදරයක්ද…ඒත් ඒ අම්ම ඒක කරන්නෙ කොච්චර කැමැත්තකින්ද…”
ඔහු නො කියා කීවේ ඔහු ඒ අයුරින් මා නමැති කරදරය විඳ ගන්නට සූදානම් බවද?
ඒ දින කිහිපය තුළ මම යුගාන්ත ට බෙහෙවින් සමීප වීමි. ඒ කෙතරම් විවෘත වූ සමීප වීමක් ද කියනවා නම් කුසල් ගැනත් ඇත්ත ම ඇත්ත ඔහු හා කියන්නට මට හැකි විය. ඒ, කුසල් ගෙන් දුරකතන ඇමතුමක් ආ වෙලාවක ‘බෝයි ෆ්‍රෙන්ඩ්ද’ කියා ඔහු කෙලින් ම ප්‍රශ්න කිරීම නිසා ය.
“කුසල් ගැන කියපු එක හොඳයි. ඒ වෙලාවෙ හමිං බර්ඩ් ගෙ රිඇක්ෂන් එක බලාගන්න නැති වුණානෙ මට”
තුෂී කීවා ය.
“එහෙම වෙනසක් තිබුන්නෑ. එයා අහං හිටිය”
“අකුසලයව අතාරින්න කිව්වෙ නැද්ද..”
“නෑ”
“ඒත් මට දෙයක් විශ්වාසයි”
“මොකද්ද…”
“හොඳ දේවල් ලං වෙනකොට නරක දේවල් ඉබේම අපේ ජීවිත වලිං ඈතට යනව ගයා. යක්කුන්ටයි දෙවියන්ටයි එකට ඉන්න බෑ වගේ”
මා දන්නේ නැත. මා හිටියේ සිහිනයක ය. ඒ මගේ ජීවිතය ස්ථාවරත්වයකට පත් කර ගැනීමේ සිහිනයයි.
ජංගම දුරකතනය හැඬවෙන්නට වූයේ ය. අම්මා කියා එහි සනිටුහන් ව තිබිණ. මම තුෂී ගේ මූණ බැලුවෙමි.
“දඩයක්ද දන්නෑ. කතා කරල බලනව”
හිස් හැඟීමකින් යුතු ව මම දුරකතනය සවනට ගත්තෙමි.
ඊළඟ කොටස අඟහරුවාදා ට..