ඒ සෙනසුරාදා දිනයකි. දේශන නොපැවැත්වෙන දිනක් වුව ඊෂාත් මමත් සරසවි පුස්තකාලයට ආවේ පැවැරුමකට පොත් කිහිපයක් සොයන්නට ය. දිනුක අප එනතුරු මඟ බැලුව ද හිමල්කට එන්නට නොහැකි බව දන්වා තිබිණි. උවමනා කරන පොතපත සොයා අවසන් වූ පසු උද්‍යාන බංකුවකට වී ඊෂාත් දිනුකත් දිගු කතාවකට මැදි වූහ. මට කරන්නට කිසිත් නැත. මම පොතක් පෙරළාගෙන වැඩ ඇරඹූයෙමි.
ඊෂා හිඳින්නේ සතුටිනි. ප්‍රේමය එතරම් ම මිහිරි බව මට දැනෙන්නේ ඈ ආදරයක පැටලී ගත් පසු ය. ඕනෑම ගැටලුවක අග මුල ලෙහා ගන්නටත් නොනවත්වා කියවන්නටත් එක්ව අරමුණු හඹා යන්නටත් දිනුක ඇගේ අත අල්වා ගැනීම ගැන ඈ හිඳින්නේ අප්‍රමාණ සතුටකිනි. දිනුක වැනි හොඳ කොල්ලෙකුගේ පෙම්වතිය වීමට තරම් ඈ වාසනාවන්ත වීම ගැන මම ඈ තරමට ම තුටු වූයෙමි.
“මං ඉස්සර හිතාන හිටියා ලව් කරනවා කියන්නේ නීති හාර කෝටියක හිර වෙන එක කියලා..” දිනක් ඊෂා මට පැවසුවේ හිනැහෙමිනි.
“දිනුකගේ නීති නැද්ද..”
මගේ පැනයට ඊෂා දෙවුර සලා හිනැහුණා ය.
“නෑ.. නේ… දිගට ඇඳන් ගිය දවසටත් හොඳයි.. කොටට ඇන්දත් හොඳයි..ස්ලීව්ලස් ඇන්දත් ලස්සනයි… කොහොම හිටියත් කියන්නේ ෆැෂන් ගැන දන්නේ ඔයානේ ඊෂා කියලා..ඉතින් මම වෙලාවකට අහනවා, මං මොන මඟුල කරත් ඔයාට කමක් නැද්ද කියලා.. මොකක්ද දන්නවද කිව්වේ..”
දිනුක ඉතා සුබවාදී පිළිතුරක් දෙන්නට ඇති බව මට විශ්වාස ය.
“එයා කියනවා, ඊෂා මං ඔයාට ආදරේ වුණේ ඔයා මුලින්ම දැකපු දවස්වලමයි. ඒ ඊෂා මකලා මට ඕන විදියේ ගෑනියක් ඔයාගෙන් බලාපොරොත්තු වෙලා මොකටද, ඔයා අඳින පළඳින හැසිරෙන විදිය වෙනස් කරාම වෙන ඊෂා කෙනෙක් මතුවෙයි.. මට ඔයා එපා වෙයි කියලා..”
ඈ දිගටම කියවන්නට පටන් ගත්තා ය.ඇය ගිරවියක සේ කියවන්නට හපනියකි. දිනුක මේ මොහොතේ ද ඊෂාගේ කියවිල්ල දෙස දයාර්ද්‍ර නෙත් ඇතිව බලා හිඳිනු මම දුටිමි. එහෙත් මට දිගු වෙලාවක් ඒ ආදරය රස විඳින්නට ලැබුණේ නැත. මගේ ළඟ කවුරුන් හෝ අසුන් ගන්නා බව දැනිණි.
“මලිඳු??”
“මං ලෙක්චර්ස් ඉවර වෙලා යනකොට දැක්කා උඹලා ඉන්නවා.. ආවා ඉතිං..”
ඔහු මගේ වතුර බෝතලයෙන් වතුර උගුරක් බොමින් කීවේ ය. දින කිහිපයකට පසු ඔහු දැකීම නිසා මගේ හදවත පුරා මල් පිපෙනු මට දැනේ. හින්දි චිත්‍රපටියක නිලියක සේ ගී ගයමින් සරසවි බිම පුරා නටමින් යා හැකි තරමේ ප්‍රීතිමත් හිතක් මට දෙන්නට ඒ දීප්තිමත් දෑසට හැකි ය.
“අර ජෝඩුව මාව දැක්කෙත් නෑ…”
ඔහු ඊෂාත් දිනුකත් වෙත දෑස් දල්වමින් කීවේ ය. එතැන් සිට මිනිත්තු කිහිපයක් ම වැය වූයේ ඊෂා මොනතරම් නිදහස් ප්‍රේමයක අයිතිකාරියක දැයි මලිඳුට විස්තර කරන්නට ය. මා එය හද උතුරන සතුටකින් කියවමින් මලිඳු දෙස බලද්දී ඔහු සෝපහාස සිනාවක් දෙතොලට කැන්දාගෙන තිබිණි.
“ඔහොම ඕන මඟුලක් කරගන්න දුන්නම එතැන ලව් එකක් තියනවා කියලද ඔයාගේ හිතේ. මං එෆ්බී එකෙත් දකිනවා ඊෂා ඔයාලගෙ බැච් එකේ කොල්ලන්ගේ කරේ නැගගෙන ෆොටෝස් දානවා…”
ඔහු කියන්නේ ඒ සමච්චලයෙනි.
“නීති දාලා කෙල්ලක්ට ආදරේ කළෑකිද අනේ.. මං ෆේස්බුක් එකේ දැක්කා ටොක්සික් රිලේෂන්ශිප් එකක ඉන්න කෙල්ලක් ඒ ගැන මාර හෑල්ලක් ලියලා.වැඩේ තියෙන්නේ කොල්ලා ගහන ඒවා කුණුහරප කියලා බනින ඒවා කෙල්ලට සතුටක්. ඌ හොර ගෑනුන්ට චැට් කරලා හරි තමන්ටත් කතා කරනවනෙ කියලා එයා ලියලා..පිස්සු.. එහෙම හිසේරද හැදෙන රිලේෂන්ශිප් වලට වඩා මෙහෙම සැහැල්ලු ජීවිතයක් ශෝක් නැද්ද..”
මම බලාපොරොත්තු සහගත දෑස් ඇතිව ඔහු දෙස බැලුවෙමි.
“කෙල්ලන්ට ඕන ඕන විදියට නටන්න දෙන කොල්ලන්ට අපි නම් කියන්නේ කොල්ලො කියලා නෙවේ වෙන වචනයක්..”
මට මලිඳු ගැන සියුම් අප්‍රසාදයක් දැනෙන්නට ගත්තේ ජීවිතයේ පළමු වතාවට ය. නමුත් ඔහු ඈත කඳුකර ජීවිතයක් හිමි කොල්ලෙකි. පවුල් අවුල් කරගන්නා ගැමි ගැහැනු අනන්ත ඇති ගමක කොල්ලෙකි. ඔහු ලෝකය දෙස බලන්නේ දිනුක තරම් පුළුල් ව නොවේ.කොළඹ ජීවිතය හුරු වෙද්දී මේ අදහස් ඔහු වෙතින් පලා යන බව සිතන්නට මම මගේ හිතට තරවටු කළෙමි.
ඊෂාත් දිනුකත් අප වෙත ආවේ ඒ මොහොතේ ය.
“මලිඳු කොහොමද මචං..කෝස් එක ෂේප් ද?”
දිනුක ඔහුට පුරුදු මිත්‍රත්වය මලිඳුට ද දිගු කළේ ඔහුගේ කරට අතක් දමා ගනිමිනි. දැන් මොහොතකට පෙර ඊෂාත් දිනුකත් ගැන එතරම් හොඳක් නොකියූ මලිඳු ට ඔවුන් සමඟ කදේ වැටෙන්නට වැඩි වෙලාවක් ගියේ නැත.
“එක අතකට ඔයා මලිඳුට මැරීගෙන යන හේතුව වැරදිත් නෑ වගේ…”
ගෙදර යන්නට ටැක්සියක නැගගත් පසු ඊෂා කියන්නේ කොමල කරමිනි.
“ඇයි…”
මට සිනා මැද ගැටලුවකි.
“මෑන්ස් ඇස් දිහා කෙලින් බලන ඩයල් එකක්.. උඹේ හිත කඩා වැටෙන හේතුව මට පැහැදිලියි.. ඌ හිනා වෙන්නෙත් ඇස් වලින්.. කතා කරන්නෙත් ඇස් වලින්.. මටත් අදනෙ බොලේ ඒක මීටර් වුණේ..අනේ මටනං වැඩක් නෑ, මම සස්වාමිකයි ස්වාමිනෙ..”
ඊෂා හිනැහෙන්නට ගත්තා ය.
“ආයේ එහෙම මලිඳුගේ ඇස් දිහා බලලා අහු වුණොත් උඹව මරනවා..”
මම ඇගේ අත කෙනිත්තුවෙමි.
“පිස්සුනෙ.. මට උගේ ඇස් තමා දැන් ප්‍රශ්නෙ.. එහෙමද හිතන්නේ.. තමුසෙත් ඔන්න ඔය ඇස් දෙක අමතක කරලා හොඳ කොල්ලෙක් හොයා ගනිං…”
ඊෂා ජංගම දුරකථනයට එබුණේ එහෙම කියමිනි.
“මලිඳු කියනවා නීති නැති ආදරයක් වැඩක් නෑලු..”
මම සුපුරුදු පරිදි කේලම් මල්ල ලිහා ගතිමි.ඕනෑම කෙනෙකු ගැන ඕනෑම දෙයක් කියන්නට මට හිඳින්නී ඊෂා ය.ඇය සමඟ කාට හෝ කැත නැතිව බනින්නට වුවත් බිය නැත.අප දෙදෙනාගේ රහස් අප අතර වූ නිසා අපේ මිත්‍රත්වයට බලපෑම් කරන්නට කේලමකට හෝ වැරදි වැටහීමකට හැකි වූයේ ද නැත. මලීෂා සහ රවීනා ගෘප් චැට් එකක බෙදා ගත් ඕපාදූපයක් තවත් එකියක් පන්තිය පුරා ගෙන ගිය අතීතයක් සිහි වෙද්දී මුවට නැගුණු සිනාවෙන් ම මම ඊෂාට මලිඳුගේ සිතුවිලි විස්තර කළෙමි.
“ඔය ගොං මලිඳුට හොඳක් කීවොත් ඊළඟ විනාඩියෙම හිතෙනවා එහෙම කීව ගොංකම කියලා. මොන ගොං කතාද බලපං.. ගොඩේකම කියන්නත් බෑ.. දැන් අර ශාලින්ද රොස්මිඩ් ප්ලේස් ඉන්න එකෙක්.බලහං නෙතූ හුස්මක් ගන්න ඕනත් උගෙන් අහලා.මට නම් ඒ ජාතිය මෝඩ ලව් මාර අප්‍රසන්නයි බං..”
ඊෂා මලිඳුට දුන් ලකුණු සියල්ල ආපසු ඇද ගත්තා ය. මලිඳුගේ ආකල්ප ගැන හදවත සමඟ සටන් කරමින් මම නෙත් පියා ගතිමි.