පිනි සේල – 15

බොහෝ වෙලාවක් යනතුරු ම කාරය තුළ කිසිවෙකුත් වදනකුදු දෙඩුවේ නැත. ඊෂා මගේ අතකින් අල්ලා ගත්තා ය. හිතේ ආවේගය නිසා අමෝද අයියාට මලිඳු ගැන කියවාගෙන යාම ගැන ඈ ශෝකයෙන් පසු වන බව මට වැටහිණි.නමුත් මට කෝපයක් දැනුණේ නැත. ඒ ඇගේ අයියා ය. මා හඬන කාරණය ඔහුට හෙළි නොකර සිටියානම් එය සැබෑ වරදකි.

“අයියා කීවා මතකද ඔයා එයාගේ අනිත් නංගි කියලා..”

ඊෂා සිහින් හඬින් කෙඳිරුවා ය. මම හිස වැනුවෙමි. එය කිසිසේත් ම අමතක වන්නක් නොවේ. හදවත පතුලේ ම සටහන් වූ වදන් වැලකි.

“එහෙම එකේ උඹේ ප්‍රශ්නේ එයාට නොකියා ඉන්න බෑ පිනී.. මලිඳු එක්ක කතා කරන එක නම් අනේ මන්දා ඉතින්..අපි බලමු..”

ඊෂා එයට මනාප නැත. ඈ පමණක් නොව මගේ පවා එයට වැඩි මනාපයක් ඇත්තේ නැත.

ඊෂාත් මාත් කුටුකුටු ගාන කාරණය දිනුක අවබෝධ කරගන්නට ඇත. ඔහු අමෝද අයියා සමඟ දිගු කතාබහකට වැටුණේ එනිසා ය. අමෝද අයියා එතෙර ගෙවූ ජීවිතයෙන් ඇරඹුණු කතාව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට මාරු වෙද්දී අප කිලෝමීටර ගණනක් පසු කර තිබිණ. හෑන්ඩ්ස්ෆ්‍රී කනේ ගසාගෙන ගී අසමින් හිඳින්නටවත් හිතේ නිදහසක් නොවිණි. මොනයම් හෝ ගීතයක කොණක මලිඳු මතු වී හදවත පෑරීම සිදුවන්නේ අදක ඊයේක නොවේ. නැවත හඬන්නට ගතහොත් අමෝද අයියා කේන්ති ගන්නවාට සැකයක් නැත. ඊෂා ක්‍රිකට් කතා මැදට පැන්න ද මා ක්‍රිකට් ගැන දන්නා දෙයක් ද නොතිබිණි.

සැබෑවට ම නින්ද ගිය බව මට වැටහුණේ ඊෂා මා සොලවද්දී ය.සුපිරි වෙලඳසැලක් ඉදිරිපිට නැවතී තිබූ කාරයේ සිටියේ ඊෂාත් මමත් පමණි.

“කෝ දිනුකලා..”

ඊෂා පිළිතුරු දෙන්නේ දුරකථනයට ඇස අලවා ගෙන ය.

“මොනවා හරි බඩු ටිකක් අරන් යමු කියලා අයියා කීවා. ඕං දෙන්නා අරක අස්සට රිංගා ගත්තා. තාම නෑ. ගෙදරක කන බොන බඩු ගැනම දන්න මිනිස්සු.. මිරිස් තුනපහ එහෙම කිලෝ ගාණට ගෙනෙයිද දන් නෑ…”

ඇය කියන්නේ හිනැහෙමිනි. ගමනට එක්වන්නට නොහැකි හිමල්කට ගමනේ විස්තර කියමින් ඈ කාර්යබහුල ය. කියන්නට තරම් ගමන් විස්තරයක් නොවූ බව සිහි වෙද්දී මට දුකක් දැනිණි. මා ඊෂාට නැඹුරු වූයේ ද ඒ සොවිනි.

“ඊෂූ..මට දුකයි.. අනේ අපිට මඟ නවත්තලා බලන්න එහෙම කොච්චර ලස්සන තැන් තිබ්බද.. කිසි දෙයක් කරන්න උන් නෑ මං මේ මූඩ් අවුල් කරන් නිදි කිරන නිසා..”

ඊෂා හිමල්කට හිනා මුහුණු පේළියක් යවා ඊට බොහෝ ලස්සන හිනාවක් මට පා කළා ය.

“අනේ පිනී.. මේ ට්‍රිප් එකක්ම නෙවෙයිනෙ. අයියට ඔයාලගෙ ගෙදර යන්න හිතුණා. අපි යනවා. බලන්නයි ඇවිදින්නයි ලස්සන තැන් ඕන තරන් ඔයාලගෙ ගමෙත් තියෙන්නේ. ඇරත් කොළඹ කංකරච්චලෙන් ගැලවිලා ඔයාලගෙ ගෙදර සනීපෙට නිදා ගන්න දවස් දෙකත් ට්‍රිප් එකක් තමා..”

ඇය බැරෑරුම් මුහුණකට මාරු වූයේ ඉන් අනතුරුව ය.

“හැබැයි පිනී, අපි මීට් වෙච්ච දවස්වල ඉඳන්මනෙ ඔයා මට මලිඳු ගැන කියන්න පටන් ගත්තෙ. මට දැන් තේරෙනවා උඹ මේ නිසා හොඳටම අවුල් වෙනවා. ඒක දැන් ලිමිට් පැනලා.. දවසක් දිනුකත් මට කිව්වා මේක මලිඳුට කතා කරමු කියලා.. අයියා කියන එකත් හරි.. එහෙම කතා කරානං මේක ඉවරයක්.. ඕකා මොකක් හරි ගොං කතාවක් කියලා අයියා ඕකගේ දත් හැලෙන්න ගහයි කියන බය මිසක් නැත්තං කමකුත් නෑ..”

මලිඳු මා ප්‍රතික්ෂේප කළහොත් මට එය කොහොමවත් දරා ගැනීම අපහසු ය. කිසිම කතාබහකින් තොරව ඔහුට ඒකපාර්ශ්වික ආදරයක් පිරිනැමීම තරම් ඔහුගේ ප්‍රතික්ෂේප කිරීමකින් පසු දරා ගැනීම පහසු වන්නේ නැත.

අයියාත් දිනුකත් බඩුමුට්ටු බරට ඔසවාගෙන විත් පටවා ගත් හ. එතරම් කරදර නොවන්නැයි ඉල්ලීමටවත් මගේ වචන සොයා ගත නොහැකි විණි.

“ඔයාලා බඩු ගන්නත් දන්නවා නෙහ්..”

ඊෂා වදේ ගැසීම ඇරඹුවා ය.

“දිනුකව අම්මා හොඳට කඩේ යවලා තියනවා.. නියමෙට දන්නවා ඒ වැඩේ..”

බොහෝ වෙලාවකට පසු සැහැල්ලු අමෝද අයියා පැමිණ තිබිණි.

“මරු ඉතිං…”

ඊෂා පැවසූ දේට මට ද සිනා නැගිණි. වැඩි සිතා බැලීමකින් තොරව ඇය ඒ ගැන අවංක සතුට ප්‍රකාශ කළා ය.

“ඔව් ඉතිං..දිනුකයා එහෙම වගකීමක් ඇතුව හැසිරෙන එක ගැන නම් සතුටුයි. අනාගතේම ඌට කඩේ යයා ඉන්න වෙන එකේ ඒක පිළිවෙලකට කරාම හරිනෙ..”

අයියා කියන්නේ ඊෂා ට ඇනුම්පදයකි. ඇය වහා එය නොදන්නා මුහුණක් මවා ගත්තා ය.

“ඇයි…”

“ඇයි මල්ලි උඹ එච්චර මෝඩ කියලා තමා මාත් අහන්නේ.. මෙච්චර මේ පිනී දැක දැක දිනුක උඹ ඇයි මල්ලි මගේ මස්සිනා උනේ.. කමක් නෑ ඉතින් කරුමයක් තියනං ගෙවෙන්නත් එපැයි…”

දිනුක ද ඊෂා ද උඩබිම බලන්නට විය. සැකයේ බැල්ම මට එල්ල වන්නට පෙර අමෝද අයියා නැවත කියවන්නට පටන් ගත්තේ ය.

“පිනී ඕවට නෑ හරිද..තමුසෙලා දෙන්නා එකාට එකා ෆේස්බුක් එකේ දාගන්න කමෙන්ට්ස් දිහා බලලා තමා මං මුලින්ම සැක කරේ. අද ඉතිං ෆයිව් මිනිට්ස් දෙන්නා දිහා බලන් ඉන්න විතරයි තිබ්බේ.. වැඩෙ කන්ෆර්ම්..”

ඊෂා ඉතා සතුටු සිනාවක් පැළඳ ගත්තා ය.

“ඉතිං දිනුකගෙ කන පැලෙන්න ගහන් නැද්ද…මං කොල්ලෙක් හොයා ගත්තම එහෙම කරනවා කිව්වනෙ..”

අමෝද අයියා හිනාවක් පා කළේ දිනුකට ය.

“නෑ.. මේ කොල්ලා විහිං අමාරුවෙ වැටිලනෙ.. මං මේ හිතුවේ දිනුකත් එක්ක බිස්නස් එකක් පටන් ගන්න. තමුසෙව ඔය ගනුදෙනුවලදි වැඩිය විශ්වාස කරන්න අමාරු වුණාට දිනුක විශ්වාස කරන්න පුලුවං කියලා හිතුණා. අලුත් වැඩේ ඇදන් යන්න උඹේ සපෝට් එක ඕනෑ මල්ලි…”

ව්‍යාපාරයක් වෙනුවෙන් ලැබිය හැකි අපූරුම හවුල් කාරයෙකු අමෝද අයියාට ලැබී ඇත. කැපවීම සහ ඒ පිළිබඳ දැනුම අතින් දිනුක ඉතා ඉහළ තැනක හිඳින බව මම හොඳින් ම දනිමි. මට ඊෂා ගැන ඇති වූයේ ඉමිහිරි සතුටකි. ඇගේ කුඩා ලෝකය විචිත්‍රවත් ව ගොඩ නැඟෙමින් පවතී.

“පිනී…”

අයියාගේ හඬ මතු වූයේ මවෙත ය.

“මං අර බෝයිටත් කතා කරන්නං.. මලිඳු නේද? මට බිස්නස් පාට්න’ස්ලා කීප දෙනෙක් ඕන කොහොමත් ඔයාගේ පාට්නර් වෙන කෙනාගෙං මේ වැඩේට ලොකුම සපෝට් එකක් ඕන වෙලාවක මං ඉන්නේ…”

අමෝද අයියා මලිඳු සමඟ කතා කිරීම ස්ථිර ය. මිනිත්තු කිහිපයක් පැවති සැහැල්ලු හැඟීම් ඉවතට තල්ලු කළ මම නැවත අඳුරු වළා පැළඳ ගතිමි. ඉරණම බරපතල යමකට මා තල්ලු කරමින් හිඳින සෙයකි.

” ඔය කන්ද උඩ පේන්නේ පිනීලගේ ගේ.. කපුකං නවත්තලා ඔය ඉස්සරහින් හරවන්න තියනවා කියලා මතක තියාගෙන යං…”

ඊෂා වහා මාතෘකාව වෙනස් කළා ය.

“ෂා.. මාර තැනකනේ ගේ තියෙන්නේ පිනී..මෙහෙ නවතින්න හිතෙනවා..”

මෝටර් රථයේ ඉදිරිපස වීදුරුවෙන් පෙනෙන දසුන දෙස මත් වූ බැල්මකින් බලමින් අමෝද අයියා පැවසී ය. ඊෂා ඔහුගේ උරහිසට ඇන්නා ය.

“ඒක පොඩ්ඩක් අමාරුයි..පිනීගේ නංගි මේ පාර ඒ ලෙවල්.. ඒ ළමයා පොඩි වැඩී ඔයාට ඒ ගේ අයිති කරගන්න.. කොහොමත් පිනීලගෙ අම්මා ඔය ගේ විකුණන්නෙත් නෑ…”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles