පාට සේදුනු වත්සුණු -26

වස්සානය ඇරඹී තිබිණි. දරුණු ඉඩෝරයකට නතු ව තිබි දෙරණ තෙමාගෙන ඒ මුල් ම වැස්ස පතිත වූයේ රාත්‍රියේ මැදියමත් ඉක්මවා තිබූ හෝරාවක ය. ඒ වෙලාවේත් මම අවදියෙන් කල්පනා කරමින් සිටියෙමි.

දැන් සතියක් ඉක්ම ගොසිනි. තවමත් මම කල්පනා කරමින් හිඳිමි. යුගාන්ත ගේ ප්‍රේමාරාධනයට තවමත් මා නිසි ප්‍රතිචාරයක් දක්වා තිබුණේ නැත.

“අනේ මේ ගණං උස්සන්නැතුව ඉන්නව. ඕක තමයි අතට ලැබුණ ටොෆිය කටට දාගන්න සමහර උන්ට පින නෑ කියන්නෙ. එහෙම නැත්තං යුගාන්ත වගේ කොල්ලෙක්ව පැනපු ගමං කසාද බැඳගන්න මොන කෙල්ලද අකමැති වෙන්නෙ…මං අහන්නෙ අකමැති වෙන්න තියෙන හේතුව මොකද්ද…”

තුෂී මට සරදම් කළා ය. ඈ හිතාගෙන ඉන්නට ඇත්තේත් සම්ප්‍රදායික ගැහැනු කමට මා අදිමදි කරන බවක් වන්නට ඇත. නමුත් මට තිබුණේ එසේ ‘ගණං ඉස්සීමේ’ හුදු ගැහැනු ගතියක් නොවේ සත්තකින් මම අතරමං ව මග හොයමින් සිටියෙමි.

කුසල් වූ කලී මා පැතූ ආකාරයේ පුරුෂයෙකු නො වන බව මා දැන ගත්තේ පමා වී ය. නමුත් එතෙක් මම ඔහු ට පෙම් කරමින් හිටියෙමි. ඔහු ව මගේ හදවත ප්‍රතික්ෂේප කළා වී ද තවමත් මගේ හිතෙහි යම් ඉඩක් මගේ කුළුඳුල් ප්‍රේමය විසින් අත්පත් කරගනු ලැබ සිටින ලදී.

යුගාන්තට මගේ උඩු සිතෙහි ඉතා විශාල ගෞරවයක් විය. නමුත් යටි හිත තවමත් ඒ ආදරයක් ලෙස පිළිගන්නට සූදානම් වූයේ නැත.
‘එයාට මට වැඩිය හොඳ කෙනෙක්වයි ලැබෙන්න ඕනෙ’ වැනි කතා මා කීවේ හිස් තැන් පිරවුම් ලෙසින් විනා, එය මුළුමනින් ගැටළුවට හේතුව නො විණි.

“අපි මැරි කළාට පස්සෙ හෙමිහිට ඔයා මට ආදරේ කරයි”

යුගාන්ත ගේ ඒ වචන මගේ හදවත ඇතුළේ නිරන්තර දෝංකාර නංවමින් පැවතිණ.

ආදරයක් කියන්නේ, කොයිතරම් පරමාදර්ශී ලෙස අප වටේ කැරකෙමින් පැවතියා වුව ද අපට ස්පර්ශ කිරීමේ වරම් නැති වස්තුවක් වුව විය හැකි බව මා තේරුම් ගත්තේ මේ කාලයේ දී ය.

“කොච්චර කල්පනා කළත් අහස පොළොව අල්ලල ගැටගහන්න බෑ. සොබා දහමෙ නියමයන් වෙනස් කරන්නත් බෑ”

යුගාන්ත මා ඉදිරියේ බංකුවේ අසුන් ගත වෙමින් කීවේ ය. මම මඳහසකින් බිම බැලුවෙමි. යුගාන්ත ළඟ දී වෙනදා නො දැනුණ ලජ්ජාවක් දැනෙන්නට පටන් ගෙන වත් ද?

“ඔයා හිතනව ඇති මෙච්චර ඉක්මනට මං ඔයාට යෝජනාවක් කළේ මොකද කියල. සමහර විට…එහෙම කෙනෙක්ගෙ මොකක්ම හරි ප්‍රශ්නයක් ඇති කියලත් ඔයාට හිතෙනව ඇති…”

යුගාන්ත ඒ යෝජනාව ගැන ඒ මුල් දිනයෙන් පසු කතා කළ ප්‍රථම අවස්ථාව ඒ ය. මම ඔහු ගේ බැල්ම මගහැර සිටියෙමි.

“ඇත්තටම ඔයා මෙහෙට ආව මුල් දවස් වලම මට දැනෙන්න ගත්ත ඒක දෛවයෙ මුණගැස්සීමක් වෙන්න ඇති කියල. ඒත් ඒ වෙන කොටත් ඔයා කුසල් එක්ක සම්බන්ධයක් තියෙනව කියල දැන ගත්තට පස්සෙ මං පැත්තකට වුණා. දැන් තියෙන තත්වෙ හැටියට…කුසල් එක්ක සම්බන්ධයකුත් නැත්තං…සමහර දේවල් වලට ඉක්මන් නොවුණොත් පසුතැවීමකුත් ඒත් එක්කම එන්න පුළුවන්නෙ”

මම යුගාන්ත ගේ මූණ දෙස බැලුවෙමි. ඒ වත මත කිරි දරුවෙකු ගේ වන් අව්‍යාජ සිනහවක් විය.

“ඔයාගෙ අම්මයි අසංකයිනං මට කැමති වෙන එකක් නෑ කියල හිතෙනව”

“එයාලගෙ කැමැත්තෙං මට වැඩකුත් නෑ අයියෙ”

ඉක්මන් කොට මා එහෙම කීම ගැන ලජ්ජාවක්, ක්ෂණික ව ඉපදිණි.

“මං කියන්නෙ…හොඳ නරක අඳුරගන්න මං දන්නව. කුසල්ව වුණත්…මට ගැලපෙන්නෑ කියන එක ඉක්මනටම මං තේරුං ගත්තා. හරියට තේරුං ගන්නැතුව එයාට ආදරේ කරපු එකයි මං කරපු වැරැද්ද”

කතාව නවතා මම මඳක් කල්පනා කළෙමි.

“පුද්ගලය වෙනස් වුණාට ආදරේ කරන්නෙ අපේ එකම හිතනෙ. ආයෙ ආයෙත් ඒ එකම කම්පාව විඳගන්නනං හිතේ හයියක් නෑ කියල මං දන්නව. ඒකයි තාමත් මං හිතන්නෙ…අයියට ලං වෙන්න මට පුළුවන් ද කියල”

“මේ දවස් වල අපේ ගෙදරිං මට ප්‍රපෝසල්ස් ගේනව. ඒකයි මං හිතුවෙ…හිතේ කැමැත්තක් ඇති කරපු ගෑනු ළමයෙක් තෝර ගෙන ඒ ගමන යන එක වඩා හොඳයි කියල. ඒත් නංගිට එහෙම දේකට හිත හදා ගන්න බැරි නං…”

“අයි…යෙ…”

“ඔයාගෙ අකමැත්තක් නැත්තං මේ ගැන සීයයි අත්තම්මයි එක්ක කතා කරන්න වුණත් මං ලෑස්තියි”

“අනේ…දැන්ම එයාලට මුකුත් කියන්න එපා”

ශිෂ්‍යත්ව පන්තියේ දැරියක සේ මම බිය පත් ව සිටියෙමි. යුගාන්ත ලස්සන සිනහවක් නගා ගත්තේ ය. ඒ සිනහව තුළ අතරමං වීම ජීවිතයේ වෙහෙස නිවන බව යළිත් වතාවක් මම පසක් කර ගතිමි.
අසංක ගේ මෝටර් රථයත් අහිමි වීම නිසා අම්මා ට අවිස්සාවේල්ලේ සිට නුගේගොඩ පිහිටි සැලෝන් එකට බසයේ යා හැකි තත්වයක් නො විණ. මේ නිසා සීයලාගේ ඉඩමේ, ප්‍රධාන පාර ට මුහුණ ලා ගොඩනැගිල්ලක් ඉදි කොට රූපලාවන්‍යාගාරයක් විවෘත කරන්නට අම්මා ට උවමනා විය.

“අනේ කරුණාකරල වෙන තැනක් කුළියට හරි හොයාගනිං කෝසලා”

අත්තම්මා ඒ යෝජනාව ප්‍රතික්ෂේප කළේ කරුණාවෙනි.

“ඇයි අම්මෙ ඔහොම කතා කරන්නෙ…අපිත් ජීවත් වෙන්න ඕන නේද…අසංකටත් ප්‍රශ්න ඇති වෙලා තියෙන වෙලාවෙ…අම්මලත් අපිට උදව් කරන්නැත්තං කවුද කරන්නෙ…”

අම්මා දුක් ගැනවිලි කීවා ය. මොනවා වුණත් අම්මා කෙනෙකු වශයෙන් අත්තම්මා ගේ හිත උණු වෙන්නට ඇත.

“ඉතිං උඹලට සල්ලි තියෙනවද බිල්ඩින් හදන්න…”

“අම්ම තාත්තට කියනනකො කඩ කාමරයක් හදල දෙන්න කියල…අපි කුළිය ගෙවන්නං. අසංකත් බියුටි කල්චර් ඉගෙන ගන්නයි හිතං ඉන්නෙ. එතකොට දෙන්නටම එකතු වෙලා මේ බිස්නස් එක දියුණු කර ගන්න පුළුවන් නෙ අම්මෙ”

නමුත් අම්මා ගේ යෝජනාව සීයා විසින් ප්‍රතික්ෂේප කරන ලද්දේ සැහැල්ලු සිනහවකිනි.

“අපේ ළමයි තාමත් හිතන්නෙ අපි ළඟ ගොඩ ගහල සල්ලි තියෙනව කියලයි නන්දා”

කෙසේ වෙතත් අම්මා පාර අයිනේ බෝඩ් ලෑල්ලක් අටවා ගෙන ගෙදර කාමරයක් ම සැලෝන් එක වශයෙන් පාව්ච්චි කරන්නට පටන් ගත්තා ය. වෘත්තීය මට්ටමේ රූපලාවන්‍යාගාරයකට සේ වැඩ නො තිබුණත්, පොඩි පොඩි වැඩ අම්මා ට ලැබුණ බව පෙනෙන්නට තිබිණි. දවසක් මේ ගැන උදහස් වී ගෙන මාමා මහ ගෙදර පැමිණියේ ය.

“එහෙම කොහොමද අම්මල මේ ගේ එයාට දෙන්නෙ…දෙනවනං මේක දෙන්නටම බාගෙ බාගෙ දෙන්න ඕනෙ. මාව මෝඩයට අන්දන්නනං හිතන්න එපා අම්මේ”

ඔහු කෑ ගෑවේ අත්තම්මලා මහ ගෙදර අම්මා ගේ නමට ලියා දුන්නා මෙනි.

“උඹට පිස්සුද ලොකු ළමය…අපි මේක නංගිට දෙන්න අදහසක්වත් නෑ. උඹල දෙන්නටම දෙන්න ඕන ඒව නිසි වයසෙදි අපි දීලයි තියෙන්නෙ”

“එතකොට මේක කාට දෙන්නද හිතං ඉන්නෙ…”

“ඒව කියන්න බෑ. අපි අනාත නිවාසෙකට ගියොත් එතනට ලියල දාන්න වුණත් බැරි නෑ”

සීයා එහෙම කියා හඬ නගා හිනැහිණ. මාමා බලා සිටියේ දෑත් ඉඟෙහි ගසා ගෙන ය.

“ඇයි…අපි දරුවො වෙනුවෙන් යුතුකං ඉෂ්ට කරලනෙ තියෙන්නෙ”

“තාත්තෙ මේ…කෝසලාලව පවුල් පිටිංම මෙහෙ දාගෙන නටන නාඩගම ගැන මං ඇහැ ගහගෙනයි ඉන්නෙ. හැබැයි මාත් නිකං ඉඳියි කියලනං හිතන්න එපා”

මාමා එසේ තර්ජනය කොට නික්මුණ පසුත් සීයා හිනැහුණේ සැබෑ සැහැල්ලුවකින් නොව හඬන්නට බැරි කමට වාගේ මට දැනිණ.

ජීවිතය වූ කලී මේසා අවුල් ජාලයක් විය යුතු යයි මම නො සිතමි. සීයා හා අත්තම්මා මා මේ ගෙදරට පැමිණි අලුත හිටියා බඳු සැහැල්ලුවකින් පැවතීම ජීවිතය විය යුතු යයි මම සිතමි.

“මාව මෙහෙට ගෙන්න ගත්ත නිසයි ඔක්කොම කරදර”

ඉස්තෝප්පුවේ පුටුවක හිඳ උන් අත්තම්මා ගේ උකුලෙහි හිස හොවාන මම එක වැහිබර හැන්දෑවක කීවෙමි. ඕ තොමෝ සෙනෙහස ඇඟිලි තුඩගින් මා හිසෙහි තවරමින් සිටියා ය.

“ගයා ආවට පස්සෙ අපේ ජීවිත වල තිබුණ පාළුවක් නැති වෙලා ගියා කියලයි අපි දෙන්න හිතන්නෙ. ගයා දවසක හොඳ කොල්ලෙක්ව බැඳල…පවුල් පිටිංම අපිත් එක්ක ඉන්නවනං…අපිට සතුටෙන් මැරෙන්නත් පුළුවන් වෙයි. හැබැයි ඉතිං මේ කාලෙ හොඳ කොල්ලො හොයනව කියන එක කළු නික හොයනවටත් වඩා අමාරුයි දරුවො”

යුගාන්ත මසිත්හි ඇඳී මැකී ගියේ ය.

“ආ…මේ මොකද මේ අලි බබෙක් හුරතල් වෙන්නෙ…”

මම වහා හිස නගා ගතිමි. ලොකු පාට කුඩයක් සෙවනේ යුගාන්ත සිනා සිසී බලා සිටියේ ය.

“එන්න පුතා ඇතුළට. ඔය දැන්ද ආවෙ…”

මම අත්තම්මා සෙවනෙන් නැගිට ගතිමි.

“ඔව් අත්තම්ම. එන ගමං මගදි හොඳ වඩේ ටිකක් ගත්ත”

ඔහු ඒ බෑගය මවෙත පාමින් හිටියේ ය. මම අත්තම්මා දෙස බැලීමි.

“ඒක හොඳයි. එහෙනං මං ශාන්තිට කියන්නං ඉඟුරු දාල තේ ටිකක් හදන්නයි කියල”

කියාගෙන අත්තම්මා ඇතුල් ගෙට ගියා ය. හිරිකඩ සුළඟක් අප වෙලාගෙන හැමුවේ ය.

“අපරාදෙනෙ මේව ගෙනාවෙ”

මා එහෙම කීවේ කියන්නට දෙයක් නැති කමට ය. අපේ ඇස් කිසියම් චුම්බක බලයකින් සේ අප ආකර්ෂණය කර ගෙන තිබිණ.

“මගෙ අනාගත වයිෆ්ටනෙ ඉතිං”

“මං එහෙම දේකට එකඟ වෙලා නෑනෙ”

මා මුවග නලියන මඳහසක් විය.

“ඒත් මං දන්නව එකඟයි කියල”

“ඒ කොහොමද…”

“ඔයාගෙ ඇස් මට එහෙම කියනව”

ඇත්තට ම මගේ හිතත් එහෙම කියමින් තිබුණා ද? නොදනිමි. ආදරයක් හිතේ උපදින මොහොත ගැන කිසිදු අනාවැකියක් කිව නො හැකි ය. එය තීරණය කරන්නේ ඉරණමයි.

“ආ…මං බැලුව මේ වෙලාවෙ හොරෙක් වගේ ගෙට රිංගල කුටු කුටු ගානව ඇහෙන්නෙ කවුද කියල”

අසංක ගේ හඬ දොරකඩින් මතු විය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles