පාට සේදුනු වත්සුණු – 28

මට තාමත් ඒ සියල්ල සිහිනයක් සේ ය. පවුලක් වශයෙන් ඒ මා එහෙම ගමනක් ගියා ම ය. අම්මා ගේ වෘත්තියේ වූ කාර්ය බහුලත්වය නිසා හා ජීවිතයේ සතුට තියෙන තැන් හොයා ගන්නට ඇයට වූ නුවුවමනාව නිසා, කිසි දා මට අම්මා එක්ක එවන් විනෝද ගමනක් යන්නට ලැබී නැත. තාත්තා අප හා සිටි කාලයේ අප තිදෙනා සීගිරි දඹුලු ගිය ගමනක් ගැන අම්මා කීවත් මට එහෙම මතකයක් නැත.

මේ ගමන තනිකර ම තුෂී ගේ උවමනාවට, ඇගේ මැදිහත් වීමෙන් සංවිධානය වූවකි. අත්තම්මා හා සීයා ද ගමන ගැන බලාපොරොත්තු සහගත ප්‍රීතියකින් පසු වූහ.

“අපිත් සෑහෙන කාලෙකිං හුලං ටිකක් වදින්නවත් එළියට ගියෙ නෑනෙ…නේද පුතාලගෙ තාත්තෙ…”

“නැත්තං. මේකට ඉතිං පින් දෙන්න ඕන අර ඉලන්දාරියට තමයි”

සීයා එහෙම කියත්දී මා සීතල වී යනවා දැනිණ.

“යුගාන්ත පුතා නෙවෙයි තුෂී දුව තමයි මේක යන්න උනන්දු “

“අනේ නන්දා ඔයා දන්න තරම තමයි. මේ කෙල්ලො දෙන්න කවදාවත් මේ නාකි අපිත් එක්ක විනෝද ගමං යන්න හිතයිද…අර ඉලන්දාරියවත් මේකට පටලෝගන්න මේ කෙල්ලො දාපු උප්පරවැට්ටියක් තමයි මේ”

සීයා ගේ සිනා හඬ ගෙයි බිත්ති වල වැදී දෝංකාර දුන්නේ ය. මම සිනහ වෙන්නට පවා බැරි ව සසල ව ගොස් බලා සිටියෙමි.

“එතකොට සීයා හිතන්නෙ එහෙමයි නේ…”

තුෂී ව ඒ වෙලාවේ මට පෙනුණේ ගැලවුම්කාරියක සේ ය.

“සීයගෙ මහ ලොකු යුගාන්ත පුතා අපිට කලිනුත් කිව්ව මේ ගමන යං කියල. කෝ…එයා සීයට කතා කළාද යන්න…දැං අපි ඕගනයිස් කරපු නිසා තමයි ඔය දෙන්නව එක්කං යන්න හිතුවෙ. කොහෙං ගියත් නම යන්නෙ එයාගෙ”

“අනේ මේ…උඹල බබාල. ඉලන්දාරිය එක්ක තනියම ගියා කියල අහගන්නෙ නැති වෙන්නයි මේ නාකි අපි දෙන්නවත් ඇදං යන්නෙ. මේගොල්ලො හිතන්නෙ ඔය නූල් සූස්තර අපි දන්නෙ නෑ කියලයි. නැද්ද නන්දා…අපි ඔය වයසෙදි ගහපු ගැට උඹලට හිතාගන්නත් බෑ කෙල්ලනේ”

පවුලක් වශයෙන් සතුටෙන් ඉන්නට අවස්ථාව උදා වෙනවා කියන්නේ ම මාහැඟි වූවකි. මට මෙතුවක් පවුල කියන දේ අහිමි ව තිබිණ. අම්මා හිටියා ට, පවුලක් කියා දෙයක් අප අතර ගොඩනගන උවමනාවක් ඇයට වූයේ නැත. ඇගේ ඒකායන අරමුණ වූයේ මුදල් ඉපයීමයි. ඒ වෙනුවෙන් ඈ සිය මුළු කාලය ම කැප කළා ය. නමුත් අම්මා ඉතිරියක් කොට නැති බව ද දැන් පැහැදිලි ය.

ගමන යන්නට කතා වෙනවා ඇහුණ වෙලාවේ පටන් අම්මා හොඳ මූණක් පෙන්වූයේ නැත.

“අම්මලත් ළමයින්ට තේරුං කරල දෙනව නෙවෙයි…ඒ ළමයින්ට තවත් උල්පන්දං දෙනව. පිට මිනිස්සුත් එක්ක මොකට ඔය ගමං යනවද…”

රෑ කෑම මේසයේදී අම්මා සිය අප්‍රසාදය අත්තම්මා මතින් යැව්වා ය. අත්තම්මා සීයා ගේ මූණ බලනු මම දුටිමි.

“පිට මිනිස්සු කියන්නෙ කාටද කියල දන්නවද කෝසලා…”

පිළිතුරු දෙන්නට සූදානම් වූයේ සීයා ය.

“පිට මිනිස්සු කියන්නෙ අපේ හදවත් වලට පිටස්තරයි වගේ දැනෙන මිනිස්සුන්ට. ඒක නෑකමකට සම්බන්ධ දෙයක් නෙවෙයි. හදවතට සම්බන්ධ දෙයක්. ඒක නිසා යුගාන්ත පුතා අපිට පිට කෙනෙක් නෙවෙයි”

“ඒ කොල්ලා වශීයක් කවලද කොහෙද මේ දෙන්නට. ශුවර් එකට ඉනා බේතක් දීල ඇති….මේගොල්ලංව රවට්ටගෙන මේ ගෙදර හරි ලියා ගන්න”

“කෝසලා හිතං ඉන්නෙ අපිත් ඔයා වගේ මෝඩයි කියලද…ඉනා වලට අහු වෙලා ගේ දොර නැති කර ගන්න…”

කල් යල් බලා හරියට ම නියම තැනට පහර එල්ල කළේ අත්තම්මා ය. අම්මා ගේ මූණ හැකිළී යනු මා බලා ගෙන ය. තත්පර කිහිපයක ඇවෑමෙන් මේසයෙන් නැගිට ගත් අසංක, අත සෝදා ගෙන නික්ම ගියේ කේන්තියෙන් සේ ය.

“මොකද්ද අම්ම ඒ කියපු කැත කතාව..අසංක මොනා හිතන්න ඇද්ද…”

ටික වෙලාවකට පස්සේ අම්මා රහස් හඬකින් අත්තම්මා ට සැර වූවා ය. අත්තම්මා හඬෙහි වෙනසක් නො කොට ම අම්මා ට සැර කළා ය.

“ආ…දැං මං අපේ ගෙදර කතා කරන්න ඕනත් එයා මොනවත් හිතයි කියල බයේද…අනේ මේ කෝසලා…මගෙං මොනවත් අහගන්නැතුව කාපං”

“නන්දා…අපි මේ හිතේ සැහැල්ලුවෙන් හෙට පාන්දර ගමනක් යන්න ඉන්න එකේ කේන්ති නොගෙන කෑම ටික කමු”

සීයා ඉක්මනින් ඒ මාතෘකාව වෙනස් කරන උවමනාව ඇති ව කීවේ ය. අපි වෙනදාට වඩා කලින් නිදනු වස් කාමර වලට වැදුණෙමු.

“මට ලියන්න පුළුවන් වුණානං මේ සිද්ධි අල්ලල නවකතාවක් ලියනව ඇත්තමයි”

නිදි ඇඳේදී තුෂී මඳහසකින් කීවා ය. මා පිළිතුරු දෙන්නට නො ගියේ, හදවත බෙහෙවින් දොඩමළු ව තිබි නිසාවෙනි. ඉක්මනින් නිදන්නට කියා ඇඳට වැටුණාට නින්ද වෙනදා තරම්වත් ළඟ පාතක නො විණ.

සමහර දේවල් ගැන දුරට දිගට සිතාගෙන යත්දී ජීවිතය වූ කලී මොන තරම් ක්ෂුද්‍ර වූ නවාතැනක් දැයි කල්පනා වේ. අප මේ සියල්ල කරන්නේ කෙතරම් කුඩා වූ ජීවිත කාලයක් වෙනුවෙන්ද? බොහෝ විට පරමායුෂ භුක්ති විඳින්නට අවස්ථාව හිමි කර ගන්නේත් කීයෙන් කී දෙනාද? එහෙව් ජීවිත රඟ මඬලේදී අපි මොන තරම් විප්‍රකාර ජීවිත ගත කරන්නෙමුද? ස්වභාව ධර්මය කියන්නේ චක්‍රීය වූ සිදුවීම් රැසක් බව එදෙස හොඳින් බලත්දී දැකිය හැකි වේ. ඒ අනුව සියල් ජීවීන් ගේ ජීවිත ද ප්‍රතිචක්‍රීය බව අනුමාන කළ හැකි ය. අපි ද ඉපදෙමින් හා මියෙමින් ද නැවත ඉපදෙමින් ද යළි යළි සසර සරන්නෙමු. එහෙව් ගමනකදී, ජීවත් වන වර්තමාන මොහොත සතුටින් ගත කිරීම නැණවත් ම ක්‍රියාව බව පිළිගත යුතුවා නොවේ ද?

ඒ දවස උදා වූයේ නිදි නැති – ඒත් කෝටි ගාණක් කෙටි සිහින දුටු රාත්‍රියකින් අනතුරුව ය. යන්නේ ළඟ පාතට වී ද දුර ඈතකට යන සෙයින් කළබල ගැස්මක් හදවතෙහි විය. රත්තරං පාට ඉර එළිය කිරණක් සේ පාන්දර යාමයේ ම යුගාන්ත ව අපේ මිදුලේ දැකිය හැකි විය. සීයා ඔහු ව පිළි ගත්තේ උස් වූ උණුහුම් සිනහවකිනි.

“බොරුද නන්දා මං කිව්වෙ මේකාට රෑ නින්දක්නං නැතුව ඇති කියල”

උස් හඬින් ම සීයා එහෙම කියනුත්, යුගාන්ත රතු වී යනුත් මා බලා ගෙන ය.

“නින්ද ගියෙ නැති අය මේ පැත්තෙත් හිටිය මං හිතන්නෙ”

තුෂී එය වෙන කාටවත් නෑසී මට පමණක් ඇසෙන්නට කී එක ගැන මම දෙවියන්ට පින් දුන්නෙමි.

අපට සුබ පතා සමු දෙන්නටවත් අම්මා නැගිට ආවේ නැත. මම ඇගේ කාමරයේ දොරට ගසා අප යන බව කීවෙමි. අම්මා හ්ම් කීවේවත් නැත. මම ඒ ගැන දුක් වන්නට හෝ දුරට හිතන්නට නො ගියෙමි.

සීතාවක සිරි නැරඹීම අපේ අදහස වී තිබුණත් යුගාන්ත ගේ රිය ඉදිරියට ම ඇදී ගියේ ය.

“කොල්ලට පුරුදු මග තොටත් අමතක වෙලා වගෙයි නන්දා”

ඉදිරි අසුනේ හිඳ උන් සීයා පිටුපස හැරී බලා කියමින් කොක් හඬ ලෑවේ ය. මගේ ඇස්, ඉදිරි කැඩපත මත්තෙහි වූ යුගාන්තගේ ඇස් වල හැපිණි.

“ඇයි පාර වැරදුණාද..”

තුෂී කලබල වූවා ය.

“නෑ නෑ…”

යුගාන්ත කලබල නැති මඳහස් ස්වරයකින් කතා කළේ, මට ඇස් වලින් සිනහවක් දෙමිනි.

“වෙලාවක් හදාගන්න පුළුවන් වුණ එකේ මට හිතුණ ටිකක් උඩහට ගිහිං ආවනං හරි කියල. මේ අවටනං ඕන වෙලාවක බලා ගන්න පුළුවන් නෙ”

“මේකා බලහංකො”

තුෂී මගේ සවනට කොට කෙඳිරුවා ය.

“හා කිව්ව විතරයි තනි තීරණ ගන්නත් පටං අරංනෙ”

මා සිනහව තද කර ගත්තේ දෙතොල් තදින් සපා ගැනීමෙනි. සීයා ගේ සිනහව යළිත් රිය තුළ රැව් දෙන්නට ගති.

“කොල්ලෙක් වුණහම මෙන්න මේ වගේ වෙන්න ඕන නන්දා”

“කොල්ල කාලෙ ඔයත් ඔය වගේ තමයි හිතුවක්කාර”

අත්තම්මා කතා කළේ රහසිගත ආඩම්බරයකිනි. සීයා ඒ මතකය දිගේ තරුණ ජවයකින් හිනැහුණේ ය.

රිය තුළ වූයේ තනිකර ම සතුටයි. ජීවත් වෙන කෙටි කාලයට අවශ්‍ය වන්නේ එබඳු සැනසීමක් බව ඒ මොහොත මට ප්‍රත්‍යක්ෂ කරමින් සිටියා සේ ය.

“හැමදාම මේ වගේ බෝනස් ලැබෙන්නෙ නෑ සීයා. සමහර විට මේ ලයිෆ් ටයිම් එකේදි ලැබෙන මුල්ම සහ අන්තිම බෝනස් එක වෙන්න පුළුවන් “

තුෂී සීයා ට උල්පන්දම් දුන්නා ය.

“අන්න කතාව”

සීයා එයින් උද්දාමයට පත් වූයේ ය. යුගාන්ත සිනහ වෙවී සිටියත් මා නම් හිටියේ හිස ඔසවා ගත නො හැකි ලජ්ජාවකිනි.

“ඒක නෙවෙයි. මාත් මේ දැනගන්න ඕනකමේමයි හිටියෙ. ඇයි දන්නෑ නේද අපේ නේබර් යුගාන්ත පුතා අපි ගැන මේ තරං සැලකිලිමත්….”

“ඇයි ගයා සීයලට තාම කිව්වෙ නැද්ද…එයා තමයි දන්නෙ හේතුව”

මා සසලවා ගෙන යුගාන්ත කීවේ ය. සත්තකට ඔහු එහෙම කතාවක් කියාවියි මම කොහෙත් ම බලාපොරොත්තු නො වුණෙමි. හැම ඇසක් ම මවෙත යොමු වී ඇති බව දැනෙත්දී, මා ඒ කුඩා අවකාශයේ අංශු මාත්‍රයක් ව හැකිළී යන බවක් මට දැනෙන්නට ගත්තේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles