ඒ සිදු වූයේ කොහෙත් ම නො සිදු විය යුතු ව තිබූ දෙයක් කියා මම සිතමි. මා කම්පිත ව ගියේ ඊට යුගාන්ත ට සේ ම මගේ අම්මා ටත් මැදිහත් වන්නට වූ එක ගැන ය. අසංක එන පොට හොඳ නැති බව කොහොමත් මගේ ගැහැනු ඉවට දැනී තිබුණේ ය. නමුත් මම නිහඬව සහ කිසිත් නො තේරුණ සෙයින් ඔහු මගහරිමින් සිටියෙමි. ඒ, දැනටමත් අසංක මගේ පවුලට සම්බන්ධ වී සිටින නිසාවෙනි. ඔහු මගේ මව ගේ සැමියා වී ඇති නිසාවෙනි. ඔහු මගේ සුළු පියා වී ඇති නිසාවෙනි.
නමුත් අම්මා මේ සිදුවීමේ දී කෙලින් ම චෝදනා කළේ මට ය.
“හෝස් එක ගන්න යද්දි අසංකගෙ අත ඔයාගෙ අතේ වැදිල. එහෙම දෙයක් වෙන්න බැරි කමක් නෑනෙ. එහෙම එකේ ඔයා අසංකට චෝදනා කළේ හරිම කැත විදිහට ගයා”
මා උඩ ගොස් බිම වැටුණා සේ ය. අම්මා මුළුමනින් ම අසංක ව විශ්වාස කොට තිබේ.
“ඊටත් ගෙදර මිනිස්සුයි පිට මිනිස්සුයි ඔක්කොම ඉස්සරහ. අර චණ්ඩියා අසංකට අත උස්සගෙනත් ආව නේ. ඔයා මාර මිනිහෙක් එක්කනෙ ජෝඩු වෙලා තියෙන්නෙ”
දුවකගේ හදවත ඒ විදිහට රිදවන්නට අම්මා කෙනෙකුට හැකි ද? මගේ අම්මා මගේ හදවත කීතු කොට ඉරා දමන්නට වූවා ය.
“ඔයා අසංකගෙන් සමාව ගන්න ඕනෙ ගයා. මදැයි උදව්වක් විදිහට වතුර දාන්න ගිහිං මේ මනුස්සය පෙරල ගත්ත බාල්දිය. වඳින්න ගිය දේවාලෙ ඉහේ කඩං වැටෙනව කියන්නෙ මේවට තමයි”
“නෑ ගයා කාගෙංවත් සමාව ගන්න ඕන නෑ”
අත්තම්මා එක හෙළා කීවා ය. අම්මා ගේ වත රතු වෙනු මා බලාගෙන ය.
“ගයා වැරැද්දක් කරල නෑ සමාව ගන්න. වැරදි කරපු අයයි සමාව ගන්න ඕනෙ”
“අම්මෙ. අම්මත් හිතනවද අසංක ඒ වගේ මිනිහෙක් කියල…”
“මට අනිත් මිනිස්සු ගැන තක්කෙට කියන්න තරං නුවණක් නෑ කෝසලා. හැබැයි ගයාත්මි බොරු කියන ළමයෙක් නෙවෙයි කියල මං දන්නව. කෝසලා ට තමුංගෙ දුව ගැන විශ්වාසයක් නැති වුණාට මට මගෙ මිණිපිරීව විශ්වාසයි”
ඉනික්බිති අම්මා නිහඬ වූවා ය. නමුත් ඇගේ හිතේ හොඳක් නොවූ බව මම දනිමි.
පසු දා උදයේ යුගාන්ත ආවේ ය.
“ඇයි ඔෆිස් ගියෙ නැද්ද…”
පැළ තවානේ දී ඔහු දුටු මම පුදුම වීමි.
“ගිහිං වැඩ කරන්න තරං හිතේ එකලාසයක් නෑ”
ඔහු සුසුමක් අත්හැරියේ ය.
“මං නිසා නේද…”
සිහින් ආත්මානුකම්පාවක් මසිතේ දලු ලමින් තිබිණි.
“මං අයියට මුලිංම කිව්වෙ…මගෙ ළඟ තියෙන්නෙ අවාසනාවම තමයි. මට ලං වෙලා ඔයත් ප්‍රශ්න වල පැටලෙනව”
යුගාන්ත කුඩා කුටිය ඉදිරියේ වන බංකුවෙහි අසුන් ගත්තේ ය.
“මගෙ හිත කලබල වෙලා තියෙන්නෙ ඔයාව දිගටම මේ හිවලා ඉන්න තැන තියන්නෙ කොහොමද කියලයි”
“මට දුක අම්මා මාව විශ්වාස නො කරන එක ගැන…”
“ඒ ජාතියෙ අම්මල කලාතුරකින් ඉන්නව නංගි. තරුණ දුවල ඉන්නව කියල හිතන්නෙ නැති…හැමදාම එයාලගෙ තරුණ වයස තියනව කියල හිතන අම්මල. එයාල ඒ සුරංගනා ලෝක වලිං බහිනකොට සෑහෙන්න ප්‍රමාදයි”
“ඔයාගෙ ගෙදරිං කැමති වෙන එකක් නෑ මෙහෙම ප්‍රශ්න තියන පවුලකට සම්බන්ධ වෙනවට”
“මට මගෙ ජීවිතේ ගැන නිදහස තියනව ගයා. මං තෝර ගන්න ගෑනු ළමය යහපත් කෙනෙක්ද කියන එක විතරයි අපේ අම්මලට වැදගත් වෙන්නෙ”
නමුත්, ඔහු එහෙම කීවත් බියක් මසිත් හි නො වුණා නොවේ. තුෂී නම් කීවේ මූද හත් ගවුවක් තබා ස්විමිං කිට් නො හැඳිය යුතු බවයි.
“දැං ඔයාගෙ බිස්නස් එක මොනා වුණත් හොඳ මට්ටමක තියනවනෙ. අර යුගාන්ත කියපු ලෑන්ඩ්ස්කේපිං කෝස් එකත් කරන්න. එතකොට ඔයාට වෘත්තීය වටිනකමක් තියනව. මේ කාලෙ ඒව මාර ඩිමාන්ඩ්නෙ”
“මගෙ හිතේ තව ආසාවක් තියනව තුෂී”
“ඒ මොකද්ද…”
“ඉන්ටීරියර් ඩිසයිනිං කෝස් එකක් කරන්න”
“නියමයිනෙ. ඔය ලස්සනට කැපෙන්නෙ යන්න ඕන පාර. යුගාන්ත හොඳ කොල්ලෙක් තමයි. ඒත් පිරිමියෙක්ට නිකංම නිකං ගෑනියෙක් වෙලා බත් තම්බ තම්බ ඉන්නවට වඩා…මොකක් හරි දෙයක් කරන ගෑනියෙක්ගෙ වටිනකම වැඩියි ගයා. ඒකෙං අදහස් කරන්නෙ කීයක් හරි හම්බ කරනව කියන්නෙ පිරිමින්ට යටත් වෙන්න ඕන නෑ කියන එකම නෙවෙයි. කාටත් ස්වාධීනත්වයක් තියන එක හොඳයිනෙ. වටිනාකමක් තියන එක හොඳයිනෙ”
ඒ මට කිසි දා ක සිතී නො තිබි දේවල් ය. පිරිමියෙකු ගේ ඇල්ම බැල්ම කරුණාව නැතිව අම්මා ජීවිතයත් එක්ක ඔට්ටු වූ අයුරු දුටු මා සිතා හිටියේ පිරිමියෙකු ගේ රැකවරණය යටතේ ගෙවන පහසු ජීවිතයක් ගැන පමණකි. විශ්ව විද්‍යාලයට ඇතුලත් වීම ගැන හෝ මගේ මිතුරියන් තරමට උනන්දුවක් මවෙත වූයේ නැත. නමුත් ජීවිතය වූ කලී වෙන කෙනෙකු ගේ අතට දී බලා සිටිය යුතු දෙයක් නොව මුළුමනින්ම තමන් ගේ ග්‍රහණය යටතේ පැවතෙමින්, තමන්ට අවශ්‍ය තැනට දක්කාගෙන යා යුතු දෙයකැයි දැන් දැන් මට පසක් වෙමින් තිබේ.
සිදු වූ දෙයින් අසංක පාඩමක් උගත් බව නො පෙනිණ. පොඩි ළමයෙක් වුණත් වරදක් කළ විට දෙමාපියන් විසින් ඒ වරද පෙන්වා දිය යුතු ය. යළිත් ඒ වරද නො වනු වස් අවවාද උපදෙස් ලබා දිය යුතු ය. අවශ්‍ය තැනදී නිසි දඬුවම් ද ලබා දිය යුතු ය. දරුවෙකු ගේ වරදක් දැක එය වරදක් සේ හුවා දක්වන්නට දෙමාපියන් නො පෙළඹෙත්දී ළමා සිත ද ඒ වරදක් සේ ග්‍රහණය කර නො ගනී. අම්මා අසංක ගේ වචන විශ්වාස කොට ඔහු ගේ වරද පෙන්වා නො දීම මත ඔහු තවත් වරදකට බිය සැක නැතිව ම මාන බැලුවේ ය.
“දැක්කනෙ. ඔයාගෙ අම්මා කීයටවත් මං ගැන සැක කරන්නෙ නෑ. ඒක නිසා ඔයා කොච්චර මගෙ වැරදි කිව්වත් වැඩක් වෙන්නෑ”
පැළ තවානේ දී මා හා තනි වෙන්නට අවස්ථාව ලද මුල්ම වතාවේ අසංක උදම් ඇනුවේ ය. මා තුළ මහත් පිළිකුළක් ඇති විය. මීට පෙරත් ඔහු ගේ අනිසි හැසිරීම් දැක දැකත් මා ඒවා ඉවසා ගෙන සිටියේ අම්මා ට කේලාම් කියා ඔවුන් ගේ යුග දිවියෙහි අර්බුධ ඇති කරන්නට මට උවමනා නොවූ බැවිනි. නමුත් මා ඒ ගැන පැමිණිලි කළත් අම්මා විශ්වාස කරන්නේ මාව නොව අසංක ව බව දැන් සක් සුදක් සේ පැහැදිළි ය.
“හැබැයි අර පණ්ඩිතයනං මගෙං කනව හොඳේ. අර නාකි ජෝඩුව උන්දැව හුරතල් කළාට මට ඒ හුරතල් වලිං ඇති වැඩක් නෑ”
කිසිත් කතා නො කළ මම මිනිස්සුන්ට මේ සා ලැජ්ජා නැති ලෙස හැසිරිය හැකි දැයි කල්පනා කරමින් සිටියෙමි.
“මොකද්ද දැං මෙතන වෙන්නෙ…”
කියමින් දැඩි ස්වරයකින් හා බැල්මකින් යුතු ව අප වෙත ආවේ සීයා ය.
“අසංක…මං තමුන්ට ආයෙ කියන්නෙ නෑ. ගයාත්මි වටේ කැරකෙන එක වහාම නතර කළොත් හොඳයි”
“අංකල් මේ මොනා කියනවද මන්දා”
සීයා ගේ කේන්තිය දොයිතුවකට මායිම් නො කළ අසංක සිනහ වෙමින් කීවේ ය. මට ඔහු ගැන දැනුණේ මහත් අප්‍රසන්න හැඟීමකි.
“මං කියන්නෙ මොකද්ද කියල මං හොඳට දන්නව…අසංකත් ඒක දන්නව කියල මං හිතනව”
“ගයා මං ගැන වැරදියටයි හිතල තියෙන්නෙ. මට ඕනෙ ඒ මිස් අන්ඩස්ටෑන්ඩින් එක කරෙක්ට් කරන්නයි”
“මේ මේ මේ අසංක. අනේ කරුණාකරල ඔයා ඕගොල්ලංගෙ දෙයක් බලාගෙන ඉන්න. මේ ළමය ගැන බලන්න අපි ඉන්නව. දැං ඒ ළමය මැරි කරන්න කැමති වෙච්ච කෙනෙකුත් ඉන්නවනෙ. ඉතිං නිකං අන්නෙසිසිරි ප්‍රොබ්ලම්ස් දාගන්නෙ මොකටද නේ…”
සීයා ගේ මැදිහත් වීම අසංක තුළ ලජ්ජාවක් ජනිත කරවන්නට ඇත. නමුත් තුෂී කියන්නේ කිසි සේත් එවැන්නක් සිදු විය නො හැකි බවයි.
“පිස්සුද…ඔය විදිහෙ දේවල් කොච්චර වුණත් කිසි ලැජ්ජාවක් නැති උන් ජාතියක් ඉන්නව. අසංක අන්න එහෙම එකෙක්”
මට වඩා තුෂී ට මිනිසුන් ගැන අවබෝධයක් ඇති බව මම දැන සිටියෙමි.
“උන්ට ලැජ්ජාවක් නැති නිසා බයකුත් නෑ. ඒක නිසා ඕනම දහදුරා වැඩක් කරන්න උන්ට පුළුවන්. ඔය අසංකයව කිසිම වෙලාවක විශ්වාසනං කරන්න එපා. මිනිහ ලෝක තක්කඩියෙක්”
ඇතැම් විට ඔහු අම්මා ගේ හිත ගන්නට ඇත්තේ ත් ඒ තක්කඩි කමෙන් විය හැක. අම්මා වූ කලී රැවටෙන සුළු ගැහැනියකි. ඇය සිය තරුණ වයසේ දී ම ආදරය අහිමි ව ගොස් සිටි තැනැත්තියකි. එහෙව් ඇය අසංක ගේ මායම් වල පහසු ගොදුරක් වූවා යි නො සිතිය හැකි ද?
යුගාන්ත ට විරුද්ධ ව අම්මා ව උසි ගන්වන්නේත් අසංක බව මට තේරුම් යන්නට විය. එසේ නො විණි නම් යුගාන්ත වැනි තරුණයෙකු සිය දියණිය ගේ අත පැතීම මෙලොව කිසිදු අම්මා කෙනෙකු ට ගැටළුවක් විය හැක්කේ නැත. එය මවුවත් හදවතකට සැනසීමක් ම විය යුතු ය. අම්මා යුගාන්ත ට නො කැමති වන්නට තිබි එක ම හේතුව අසංක යි.
“මෑන් දන්නව ඔයා විතරක් නෙවෙයි මං ඉන්නකල් සීයලවත් රවට්ටගන්න එයාට බෑ කියල. ඒකයි ඔය ප්‍රශ්නෙ. කොටිංම දැං අසංක ඉන්නෙ මාත් එක්ක තරහෙං නෙවෙයි…ඊරිසියාවෙං”
යුගාන්ත මඳහසකින් කීවේ ය.
“ඔයා පරිස්සමෙන් ඉන්න යුගාන්ත අයියෙ”
“කාගෙන්ද…අසංකගෙන්ද…”
යුගාන්ත සීයා මෙන් හඬ නගා හිනහිණ.
“මිනිහ කපටිකං ඇරෙන්න වෙන දෙයක් කරන්න පුළුවන් කෙනෙක් නෙවෙයි ගයා. මට පොඩි සැකයක් තියෙනව අපේ ගෙදරට අනං මනං කේලං කියල තියෙන්නෙ ඔය අසංකද කියල”
“කේලං කියල…මොනාද අයියෙ කියල තියෙන්නෙ…ඔයා මට එහෙම දෙයක් ගැන කිව්වෙ නෑනෙ”
“ඔයා කලබල වෙන නිසයි මං කියන්නැතුව හිටියෙ. අනික අත්තම්ම වුණත් හිත රිදෝගනී මේව නිසා”
“අයියෙ…මොනාද කියල තියෙන්නෙ…අනේ දෙයියනේ මගෙ හිතට සැනසීම කියන දේ අයිති නැති හැටි”
“ඔය ඉතිං…ගයාත්මි…මොන ප්‍රශ්නයක් නිසාවත් ඔයාව අතෑරල පැනල දුවන්න නෙවෙයි මං ඔයාගෙ අත අල්ලගත්තෙ”
ඒ මොහොතේත් යුගාන්ත මගේ අත තදින් අල්ලා ගෙන සිටියේ ය. නමුත් අදෘශ්‍යමාන යමක් සිදු වෙමින් පවතින බව මගේ යටි හිතට දැනෙන්නට විය.