සුළි සුළඟක සුසුමක් – 32 වන කොටස

දැඩි තීරණයක් ගැනීමේ හැකියාව මට තිබුණේ ය. අයියා ට ඕන දෙයක් කර ගන්න යයි කියා, රියට නැගී පිට ව රත්නපුරයෙන් නවතින්නට බැරි කමක් මට නැත. නමුත් සිතිය යුතු වූයේ ඉන් පසු උදා විය හැකි තත්වයන් ගැනයි. අම්මා දැන් හදවත් රෝගියෙකි. අප අතරේ ඇති වන සුළු ප්‍රශ්නයක් මත වුව ඇය යළි ගිලන් වන්නට පුළුවන. අප්පච්චි නැති වූ කල දියණියක ගේ සිතේ අම්මා ගැන ඇති වන්නා වූ බර ගැන, එහෙව් අත්දැකීමක් නැති අයෙකු හට වටහා ගත නො හැකි ය. හැම හුස්මක් ගානේ ම මම අම්මා ගැන බයකින් පසු වීමි. මා නැති ව ගියත් ඇය නැති කර ගත නො හැකි ය!

අනිත් අතට මම සංකල්ප නිසා උපන් ප්‍රේමය ගැන වද වෙමින් සිටියෙමි. අවුරුදු විස්සක් මා සිය හදවත දරා උන් පිරිමියෙකු පහු කර ගෙන කොහොම නම් මම අයියා තෝරා දෙන මනාලයෙකු වෙත යමි ද?

ඒ වගේ ගමනක් මෙලොව සිටිනා කිසිදු කෙල්ලකට පහසු යයි සිතිය නො හැකි ය.

“උත්තරා  අරවින්දව මැරි කරන්න කැමති නෑ කියල කිව්ව නේද…”

කෙටි නින්දකින් පස්සේ අම්මා මා විචාලා ය. මා සිටියේ ඇය ට සුප් බඳුනක් පිලිගන්වමිනි.

“ඉතිං එහෙනං ඇයි හවසට එයාව මුණගැහෙන්න කැමති වුණේ….”

“අම්ම නිසා”

මම ඉතාමත් හෙමිහිට පැවසීමි.

“මං බෑ කිව්වොත් අයිය මෙතන ඩෙඟා නටන්න අරං…අම්ම ආයෙ අසනීප වෙයි කියල මට බයයි”

ඕ තොමෝ මදෙස බැලුවේ විනිවිද දකිනා බැල්මකි. මම මගේ දුප්පත් ඇස් දෙක බිමට හරවා ගතිමි.

“අපිට දෙයක් ඕන නැත්තං කවුරු නිසාවත් හිත රවට්ටගන්න ඒ දේ කරන්න ඕන නෑ උත්තරා. කසාදයක් කියන්නෙ සෙල්ලමක් නෙවෙයි. හදවතින් ම කෙනෙක් එක්ක බැඳෙන්න බෑ කියල දැන දැන එක ගමනක් යන්න එකඟ වෙන එක දෙන්නටම කරගන්න වරදක් වෙන්න පුළුවන්”

“මං ඒ මනුස්සයව මැරි කරන්නෙනං නෑ අම්ම”

අම්මා ටික වෙලාවක් මදෙස බලා ගෙන ම සිටියා ය. සුප් බඳුන හිස් කළ ඕ එය මා අත තැබුවේ තීරණාත්මක ප්‍රකාශයක් ද සමගිනි.

“ලෑස්ති වෙන්න රත්නපුරේ යන්න”

“අම්ම…”

“ටික දවසකට මටත් ඇඳුං අරගන්න”

මම හනි හනික සියල්ල සූදානම් කොට ගතිමි. රත්නපුර යන්නට අම්මා ගත් තීරණය ගැන අයියා විරුද්ධ වූයේ ය.

“මට ටිකක් රෙස්ට් කරන්න ඕනෙ. ඒක නිසා මං ටික දවසක් එහෙට වෙලා ඉන්නව”

“ඒත් හවසට අරවින්ද මෙහෙ එනව”

“නංගි ඒ ළමයට කැමති නැත්තං ඒ කසාදෙ කරල තේරුමක් නෑනෙ පුතා. හදිසි නොවී අපි හෙමිහිට බලමු…එයා කැමති වෙන කෙනෙක්ව හොයා ගන්න”

“අම්ම පණින රිලවුන්ට ඉණිමං බඳින්නයි ඔය හදන්නෙ. මෙහෙට වෙලා රෙස්ට් කරන්න. බිස්නස් මං බලා ගන්නං. මෙයාවත් එහෙ යවන්න ඕන නෑ”

“බලෙං කසාද කරන්න බෑ පුතා. මෙයා ටික දවසක් ගිහිං ඩිවෝස් වෙන්න ඕන කිව්වොත් ඔයාට පුළුවන් ද ඒකෙ වගකීම ගන්න…ඒ නිසා කලබල නොවී පොඩ්ඩක් බලමු”

අම්මා ගැන මා තුළ ඇති වූයේ අසීමිත ස්නේහයකි. ප්‍රියංවදා පුපුරා හැළුණා ය. මා අම්මා ව රවටා ගෙන ඇතැයි චෝදනා කළා ය. නමුත්, ඔවුන් මොනවා කීවත් මා තුළ වූ ශාන්තිය බිඳුණා නොවේ. හදවත අසීමිත සමාදානයක් අත්වින්දේ ය.

මා රිය පැදවූයේ ඉතා හෙමිහිට ය. අම්මා ට සුළු ගැස්මක් හෝ නො දැනෙනු වස් ඉතා ප්‍රවේසමෙන් යන්නට ඇරඹුමේදී ම මම සිතා ගතිමි. මග දිගට මා මුවග මන්දස්මිතයක් විය. එය බලාපොරොත්තුවක් හා බැඳී තිබුණ එකකි. බලාපොරොත්තුව විසල් වන තරමට ගමන දිගු වන්නට පුළුවන!

“අපි ඔය බිස්නස් ඔක්කොම අයියට දෙමු අම්ම”

මම මගදී කීවෙමි. අම්මා සැහැල්ලු මඳහසක් නගා ගත්තා ය.

“අයිය ඔය ටික අතට ගන්නයි මාව එයාට ඕන විදිහෙ කෙනෙක්ගෙ ඇඟේ ගහන්න හදන්නෙ”

සත්තකට ලොකු ව්‍යාපාර ජාලයක් හෝ ධනයක් නොවුණා ට ජීවිතය ලස්සනට විඳිත හැකි බව මාත් වටහා ගත්තේ අප්පච්චි මිය ගොස් මා රත්නපුරයේ හුදෙකලා වූ ඉක්බිති ය.

“ලුණුයි බතුයි කාල පැලක හරි ආදරෙන් ජීවත් වෙමු කියල කසාද බඳින ජෝඩු කීයක් ඒ ආදරෙංම මුළු ජීවිතේම එකට ඉන්නවද උත්තරා…ඒව නිකං සුරංගනා කතා. අගහිඟකං  ගෙට එබෙන්න ගන්නකොට ආදරේ පෑළ දොරෙං පැනල යනව කියල කතාවක් තියෙනව. අන්න ඒක තමයි ප්‍රායෝගික ඇත්ත”

අම්මා නැවතිල්ලේ සහ අවධාරණයෙන් යුතු ව කතා කර ගෙන යන්න වූවා ය.

“දුකක් කරදරයක් වෙච්ච වෙලාවට තමයි සල්ලි වල අගේ හරියටම දැනෙන්නෙ. ඉපදුණ නිසා ඕන මනුස්සයෙක් මැරෙනකල් ජීවත් වෙනව තමයි උත්තරා. නමුත් පහසුවෙන් ජීවත් වීමයි අපහසුවෙන් ජීවත් වීමයි අතරෙ ලොකු වෙනසක් තියෙනව. ඔයා පොඩ්ඩක් හිතන්න. සමහර මිනිස්සු ලෝකෙ වටේ ඇවිදල බලා කියා ගනිද්දි….අපේ රටේ ඇවිදින්නවත් වත්කමක් නැති මිනිස්සු අප්‍රමාණයි. අන්න ඒකයි මනුස්සයෙක්ට හොඳ ආදායමක් ඕනෙ. තමංගෙ දේවල් රැක ගන්න ඕනෙ…”

අම්මා කියන්නේ ඇත්ත වන්නට පුළුවන. නමුත් මානසික සුවය කියන දේ අනිත් සියල්ල ට වඩා වැදගත් යයි මම සිතුවෙමි. අයියා ව්‍යාපාර කොටස් වෙනුවෙන් හිලව් කර ගන්නට හදන්නේ මගේ මානසික සුවයයි!

කොල්ලන් දෙතුන් දෙනෙකු සමග ගල් බැම්ම මත සිටි සංකල්ප මගේ රිය දැක ඇස් උඩ හිඳුවා ගත්තේ ය. මම දෙතොල් තද කර ගෙන සිටියෙමි. අම්මා ඔහු ට සිනහ වූවා ය. මඳක් ඉදිරියට ගොස්, නැවත පසු පසට විත් මම රිය නැවතීමි. ඔහු ගල් බැම්ම මතින් පැන විත් කවුළුව ළඟ පහත් වූයේ ය.

“එනව කියල කිව්වෙවත් නෑනෙ”

ඒ ඇස් මත මල් පෙති දිග හැරෙමින් තිබිණි.

“හදිස්සියෙමයි පුතා එන්න තීරණේ කළේ. ටික දවසක් මෙහෙට වෙලා රෙස්ට් කරන්න හිතුව”

ඔහු සිටියේ වචන අමතක ව බව මට දැනිණි.

“අපි යන්නද සංකල්ප එහෙනං…අම්ම ටිකක් හාන්සි වෙන එක හොඳයි දැං”

ඔහු හිස සැළුවේ ය. මම රිය පෙර ට ගතිමි.

පෝටිකෝව යට දී රියෙන් බැස ගත්දී හදවතට දැනුණේ පුදුම සැනසිල්ලකි. ඒ සැනසීම කිසිවෙකු ගේ කිසිදු බලපෑමක් මත අහිමි කර ගත යුතු නැතැයි අම්මා ව කාමරයට කැටිව යන අතරේ මම සිතා ගතිමි.

කෙසේ වෙතත් වෙනදා සේ හයිලන්ඩ් ගෙස්ට් වෙත දිව යන්නට මට හැක්යිවක් වූයේ නැත. අම්මා සිටියදී එසේ කළ නො හැකි බවට ස්වයං වාරණයක් හදවත විසින් පනවා ගෙන තිබුණේ ය. ඒ ස්වයං වාරණයට මම රිසි වීමි.

සංකල්ප රෑ වී අම්මා එක්ක කතා කරනා මුවාවෙන් හෝ පැමිණේවියි මා සිතුවත් ඔහු ආවේ නැත. අප කෑම කත්දී ඔහු අනිත් තරුණයන් සමගින් සින්දු කියනවා ඇහුණේ ය.

“සංකල්පද අර…”

අම්මා ඇසුවා ය. මම යන්තම් හිස සලා පත් පත දෙසට නෙතු හරවා ගතිමි.

“ලස්සනට සින්දු කියනව නේ..”

මා පිළිතුරක් දෙන්නට ගියේ නැත.

“හරි වැඩක්නෙ ලොකු නෝනා වුණේ අපේ සුදු බබා මෙහෙට ආපු මුල් දවස් වල…”

මට මතක් කරන්නට ඕනා නොවුණ ඒ කතාව නීලා ගේ කටින් පිට විය.

“කොල්ලො ටික ඔහොම සින්දු කිව්වයි කියල අපේ සුදු බබා ගිහිං බැන්නනෙ”

“ඈ…”

මගේ ඇස් අම්මා වෙත හැරුණේ කුඩා සන්දියේ වරදක් කොට ඇගේ දඬුවමට ලක් වන්නට ඔන්න මෙන්න ව සිටියදී සේ ය.

“නෑ ඉතිං…මහ රෑ හයියෙං සින්දු කියනකොට නිදියන්න බෑනෙ”

“ඔයානං උත්තරා…”

“සුදු බබා කොච්චර බැන්නත් සංකල්ප ළමය කට හෙළෙව්වෙ නෑ”

“වෙන කොල්ලෙක්නං හොඳවයිං කියයි”

“ආ..ඒව කොහෙද මාත් එක්ක”

“ඒ ළමය නිසා හොඳයි”

“මල් පිපෙන තුරු ලතා මඳ සුළඟෙ නැලැවුණා සිත දකින දකින සිහිනෙදි ඔබ මට මතක් වුණා…ඇසිපිය හෙළන්න මොහොතක් වත් මතක නැති වුණා…සේපාලිකා මලයි…සුදු පාට මීදුමයි හරි ලස්සනයි සුදුයි ඇත්තටම ඔබ වගෙයි”

ඔහු ගයන්නේ හදවතේ ගැඹුරු ම තැනක උපදිනා ළයාන්විත බවකිනි. කතා කිරීම නවතා අම්මා ද ඒ ගී හඬ අසා ගෙන සිටියා කියා මම සිතමි.

“ඉස්සර කෙල්ල කාලෙ මගෙ කටෙත් සින්දුම තමයි. මට අසාවක් තිබුණා ගායිකාවක් වෙන්න. අපේ ගෙවල් වලිං ඒ කාලෙ ඕවට අවසර නෑනෙ. විශේෂයෙංම ගෑනු ළමයින්ට…”

අම්මා සිය අතීතය ට වැදීගෙන මිමිණුවා ය. ඇගේ ඇස් වලින්, ඒ අතීතයට අයිති ව තිබූ බලාපොරොත්තුවේ එළිය මට දකිත හැකි විය.

“ඊට පස්සෙ මට ඕන වුණා සින්දු කියන කොල්ලෙක්ව බඳින්න”

“අන්න ඒකනං හොඳ අදහස”

මම මැද්දෙන් පැන්නෙමි. මා කලබල වූවා වැඩි යයි සිතුණේ එය කීවාට පසු ය.

“ඒත් අප්පච්චි සින්දු කියනව මටනං ඇහිල නෑනෙ”

“අප්පච්චිට සින්දු තියා කවියක්වත් තාලෙට කියා ගන්න පුළුවන් කියල මං හිතන්නෑ”

අම්මා ගේ මුහුණේ සිනහවක් විය. ඒ සිනහව යට පසුතැවීමක් මම නො දකිමි. ඇය කෙතරම් නම් උපේක්ෂාවෙන් ජීවිතය දුන් දේ වැළඳ ගන්නට ඇත්ද?

“එහෙනං ලොකු නෝනා වගේ තමයි අපේ සුදු බබාත්”

මා උස්සා පොළොවේ ගසන්නට නීලා ගේ ඒ වචන ටික සමත් වන්නට ඇත.

“සුදු බබාත් දැං ඔය සංකල්ප ළමයගෙ සින්දු අහං ඉන්න පුදුම ආසාවක්නෙ තියෙන්නෙ”

“එහෙම ආසාවක් නෑ ඉතිං…”

මා කෙඳිරුවේ අම්මා ගේ මුහුණ මග හරිමිනි. විස්තර කොට කිව නො හැකි මොකක්දෝ තිගැස්මක් හදවතේ එහෙ මෙහෙ වන්නට වූයේ ය. අම්මා ට බෙහෙත් දී කාමරයට ගිය ගමන් මම සංකල්ප ට ඇමතුමක් ගතිමි.

“කොහොමද සුදු මැණික…”

මම කවුළු වීදුරුවේ මූණ ඔබා ගෙන ඔහු ගේ ඡායාවක් වත් දැක ගන්නට හැකි දැයි බැලුවෙමි.

“ඔයාව ආපහු දැක්කහම තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ. හැබැයි මට දුකයි”

“ඇයි…”

“ආයෙ කවද ඔයා ළඟ ඉඳන් සින්දුවක් කියන්නද කියල හිතෙනකොට”

හැර දැමූ කවුළුවෙන් ඇතුළට ආ කණාමැදිරියෙක් මගේ කොපුලක වැදී ගෙන ගියේ ය. ඌ කෙතරම් සීතල දැයි මට සිතුණි.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

මුතු බෙලි හදවත – 21 වන කොටස

ආදිත්‍යා ට මුලින් ම දැනුණේ සිය දෙපා සීතල වෙනවා ය. ඒ සීතල වීමත් එක්ක අයිස් සේ ගල් වීමක් ද සිදු විය. ඇගේ...

මතක දිගහැරුම 74 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැත්තෑ හතරවන දිගහැරුම ,කණ්ඩායමෙන් ඉවත් කිරීම නිසා දැඩි ලෙස මානසිකව පීඩාවට පත්වී සිටි හෂාන්ට ධෛර්ය දීම සඳහා දෙමව්පියන්...

මීදුම් මාරුත -18

"දඟම කාලේ නේද උදාරා දැන්.."මොළකැටි සිනා නගන බිළිඳියගේ සුරතලය දෙස බලා ඉන්නා අතර කාව්‍යා ඇසුවේ ආදරයෙනි.උදාරා ද ඒ...

හිත ගිය තැන්

අශානි ඉක්මන් ගමනින් ගේට්ටුව ඇරගෙන ඇවිත් මහ ගෙදරට ගොඩ උනා.ඇගේ පැමිණීම බලාපොරොත්තුවෙන් කල්‍යාණි බලාගෙන හිටියේ දොරකඩට වෙලා." පයින්...

මවකගේ ලෝකය – 7 වන කොටස

පවුලේ ඥාති දියණියකගෙ විවාහ මංගල උත්සවයකට යන්න අපි ලකලැහැස්ති වුණේ උනන්දුවෙන්. දුවට ගැලපෙන විදිහට ලස්සන විලාසිතාවක ඇඳුමක් තෝරල දෙන්න මං හුඟක් මහන්සි...
Click to Hide Advanced Floating Content
Click to Hide Advanced Floating Content