ඉඳුදුන්න -06

ඉඳුවර රූපවාහිනි නාලිකාවේ මැදිරි අංගනයට පිවිසියේ කලබලයෙනි.ඔහු නිර්මාණය වූ රියැලිටි වැඩසටහනේ විශේෂාංගයකට එන්නැයි පණිවිඩයක් ආවේ හදිසියේ ය.හදිසි කැඳවීමකට පවා ප්‍රතිචාර දැක්විය යුතු බව ඔහු දැන සිටියේ ය.නමුත් ඉඳුවර සැබෑවටම හුන්නේ දැඩි නිදිමතකිනි.කාර්යබහුල ජීවිතය තුළ හුස්ම ගන්නට පවා ඇති ඉඩ අල්ප බව දැනේ. කොරිඩෝව දිග ඇවිද යන අතර ඉඳුවර අදීෂගෙන් ආ ඇමතුම සිහි කළේ ය. සනුරි පැවසූ දෑ ඉඳුවර තම මිතුරා වූ අදීෂට පැවසුවේ පෙරදා රාත්‍රියේ ය.

අමා හරි..ඒකි හිතුවෙ උඹ කවදහරි ලෙක්චර කෙනෙක් වෙයි කියල.උඹ එහෙම පාරක් තෝරාගනී කියල ඒකි හිතන්න ඇති..”

එකම තරගයකට සහභාගී වී අතරමැද තරු සිහිනය නිමා කළ අදීෂ ඉඳුවරට එසේ පැවසී ය.අදීෂ සිටියේ වැඩිදුර අධ්‍යාපනයට සැරසෙමිනි.එවන් සිහින තමාට තිබුණේ සරසවියට පිවිසුණු කාලයේ බව ඉඳුවර සිතුවේ ය.නමුත් මේ මාවතේ ඇවිද යාමට ඔහුට දැන් උවමනා ය.

“උඹ ඩ්‍රාමා එකේ ඇක්ට් කරනව මෙලෝ රහක් නෑ කියලා අපේ අංජනයා ෆේස්බුක් හෑල්ලක් ලියල තිබ්බා.”

අදීෂ කියන්නේ හිනැහෙන අතර ය.අංජන රියැලිටියේ දෙවන වටයේදී පැරදුණේ තමාට ය.ඔහු ඒ තරහ පිරිමසන බව ඉඳුවර සිතුවේ ය.ඔහු එය අදීෂට පැවසී ය.

“පැරදුණේ ඌ විතරක් නෙවේ.උඹත් පැරදුණා.කොහෙවත් හිටිය ගොවිරාළ කෙනෙක් තමා දිනුවේ..නෑ බලන් ගියාම උඹලා ඔක්කොම දිනලා.අර අහිංසකී පැරදුණා.”

අදීෂ පවසන්නේ මොනවාදැයි ඉඳුවර සිතුවේ ය.අදීෂ ඒ ගැටය ඉක්මනින් ලෙහා දැමී ය.

“අංජනයට අමා ගැන අදහසක් තිබුණා.ඒකි උඹ මත්තෙ නැහෙනකොට ඌ වැඩේ අතෑරියා.අන්තිමටනෙ අපි දන්නේ උඹ ඒ කෙල්ලට එච්චර දුකක් දුන්නු විත්තිය.අමා ප්‍රපෝසල් වලිනුත් අර වගේ මිනිහෙක් තෝරාගත්තෙ උඹ හින්දා බං..රළු නූගත් මිනිහෙක්ව තෝරාගත්තම තමන්ටම රිද්දා ගන්න පුලුවං කියලා අමා හිතන්න ඇති..”

අදීෂ කියද්දී ඉඳුවර හඬ නඟා හිනැහිණ.ඔහුට අමන්දී සම්බන්ධයෙන් වූයේ වෙනත් කියවීමකි.

“අමා බැන්දෙ පට්ට සල්ලිකාරයෙක්.ඌ කම්පැනියක ලොක්කා වෙලා පුටුවෙ කැරකි කැරකි නෑ තමයි.ඒත් ඒ කොල්ලා මඩේ වෙලේ බැහැලා සල්ලි හොයන එකෙක්.අමා ඒ සල්ලි වලට ආදරේ වෙන්න ඇති..”

අදීෂ ඇමතුම නිමා කළේ නොපහන් හැඟීමෙනි.අමන්දී තවම විඳවන බව ඔහුට සහතික ය.ඇගේ විවාහය දා පවා මළානික ඇස් සහිත මනාලියක සිටි බව ඔහු සිහි කළේ ය.නමුත් දැන් කිසිවකට ඉඩ නැත.එය අතීතයට අයත් පරිච්ඡේදයකි.

ඉඳුවර සිටියේ සියල්ල අමතක කර දමන මානසිකත්වයක ය.ඔහු මේ ගමන සන්තෝසයෙන් යන්නට සිත එකඟ කරගෙන අවසන් ය. වේදිකාවට පිවිසුණු වහා ඔහුට අමන්දී අමතක විණි.අමන්දී අමතක කර දමන්නට සිත එකඟ කරගත් වේදිකාවට නැවත වාරයක් ගොඩ වූ ඉඳුවර ඈ බොහෝ ප්‍රිය කරන ගීයක් ගැයුවේ ය.ඒ අතීතයේ මේ ගීය ගයද්දී තමා වෙත ඇස් දැල්වූ ප්‍රේමණීය දෑස ගැන මතකයක් නැතිව ය.තමන්ගේ ඉදිරිපත් කිරීම අවසන් කළ ඔහු තරගයෙන් ඉවත් වන සාමාජිකයන්ට ඇස අලවාගෙන සිටියේ ය.

” අර වැඩේ නම් හරි අවුල්..තරිදි තමයි ඔය දෙන්නගෙන් ඉස්සරහට යන්න ඕන.සෙනාල් නෙවෙයිනෙ.”

එක් යුවතියක තරගයෙන් ඉවත් වන අන්දම දුටු ඔහු තරගයේ නිෂ්පාදකවරයෙකුට පැවසී ය. ඈ බොහෝ හපනියකි.කිරුළේ සැබෑ හිමිකාරිනිය ඇය විය යුතු බව ඉඳුවර සිතුවේ ය.

“ඉඳුවර සෙකන්ඩ් ප්ලේස් අරන් ජීවන්ත ෆස්ට් උනාම රටේම මිනිස්සු ඕක කීවනෙ…”

නිෂ්පාදකවරයා ඉඳුවර දෙස අඩැසින් බැලී ය.එය අතිශය අසාධාරණයක් බව ඉඳුවර අදට ද සිතයි.ජීවන්ත ඔහුගේ පියාගේ අභාවය ගැන කියමින් කඳුළු සැලුවා මිස දක්ෂතාවය ඔපමට්ටම් කරගන්නට සිතුවේ නැත.ජයග්‍රහණය තමා අත බව සිතූ ඉඳුවරට අදට ද ජීවන්තගේ දිනුම ගැටලුවකි.

“ජීවන්තට අපිම ඔය මොකක්හරි ප්‍රෝග්‍රෑම් එකකට ඉන්වයිට් කරොත් මිසක්කා මෑන් කිසිම චැනල් එකක නෑනේ.ඉඳුවරව වැඩකට ගන්න අපිත් වේටින් ලිස්ට් ඉන්නෙපැයි..”

නිෂ්පාදක රජීව් කියන්නේ හිනැහෙමිනි.

“ඉඳුවරට උනේ අසාදාරණයක්.මිනිස්සු උඹට සාධාරණේ ඉෂ්ට වෙනකන් බලන් හිටියනෙ කොල්ලො..දැන් තරිදිටත් උනේ අසාධාරණයක්..ඒකටත් සාධාරණයක් වෙයි..”

රජීව් ආයතනික රහසක් සරලව හෙළි කළේ ය.ඉඳුවරට සිනා පහළ විණි.

“ලබන මාසේ ඉඳන් ඉඳුවරගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් වෙන්නේ තරිඳි..ආ වැරදුණා..ඉඳුවරගෙ නෙවෙයි, කේසරගෙ..මේ ටෙලි ෆීල්ඩ් එකේ කේසර කියන කැරක්ටර් එක පිස්සුවක් වෙනවා ඉඳුවර.ඒකට ඕන අලුත් මූණක්.ඔය ශානුව දැනට කතාවෙ තියන් ඉන්නේ මිනිස්සු අල්ලා ගන්න.තරිඳි කතාවට ගත්තම ශානුගෙ කැරැක්ටර් එක එක්කො මහණ කරනවා, නැත්තං හප්පලා මරනවා..”

ඉඳුවර යන්නට පිටත් වූයේ රජීව්ගේ කතාවට හිනැහෙන අතර ය.තරගයේ දෙවැනියා වීම ගැන කෝපය මුසු ශෝකයෙන් ඉන්නට ඔහුට එතරම් කලක් නොලැබිණ.නාලිකාව තමාට දෙන ඉඩ ඉතා වැඩි බව ඔහු අවබෝධ කරගත්තේ ය.කේසර, එහි අලුත්ම පියවර ය.කේසරගේ චරිතය තමන් බබළන තාරකාවක් කරන බව ඉඳුවර තරයේ විශ්වාස කළේ ය.

තරිඳි කඩවුණු බලාපොරොත්තු ඇතිව මැදිරියෙන් පිටතට පැමිණියා ය.ඉඳුවර කොරිඩෝව දිග පැමිණෙන අයුරු ඈ දුටුවේ ඒ මොහොතේ ය.හදවත රිදී පෑරෙන මොහොතක මේ ආකර්ෂණීය තරුණයාගෙන් සිනාවක් ලැබේදැයි සිතා ඈ නැවතී බැලුවා ය. ඔහුට උමතුවෙන් මනාප පළ කරද්දී තරු සිහිනය උපන් බව ඉඳුවරට කියන්නට තිබුණා නම් යැයි තරිඳි සිතුවා ය.එක්වරම ඉඳුවර ඇය අසල නැවතුණේ දිදුලන හිනාවකිනි.ඔහු ඈ දෙස මොහොතක් බලා සිටියේ ය.තමන් දියව යන බවක් දැනෙද්දී පවා තරිඳි හිනැහුණා ය.

“හිත රිද්දා ගන්න එපා නංගි..ඔයාගෙ ජීවිතේ හිතන් නැති තැනකින් වෙනස් වෙයි..බලන්නකො..”

ඉඳුවර එසේ කියන්නට නැවතිණ.ඒ වචන අසමින් තරිඳි අනන්තයට පා වී ගියා ය.මේ සිනාව අනාගතයේ බොහෝ දෑ වෙනස් කරන බව නොසිතාම ඈ ඉඳුවරගේ සිනාවට මත් වන්නට පටන් ගත්තා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles