පිනි සේල – 26

“මට ප්‍රපෝසල් එකක් ආවේ කාගෙන් ද?”

අමෝද අයියා සිනාබර වතකින් හදිසියේ අප සොයා පැමිණීම සමඟ නංගිගේ ආරංචිය සමපාත කරමින් මම ඇසුවෙමි.

“මාලිනී නැන්දා ආවා.එයා ගෙනාවේ..”

නංගි කියන්නේ සමච්චල් හඬකිනි. සීතල බැල්කනියේ හිඳ ගැනීමට මට ඕනෑ වූයේ නැත. නමුත් දෙපා පණ නැති වෙද්දී මට හිඳ ගැනීමට සිදු විණි.

“මොකක්…”

“ඔව්! අම්මා නම් කැමැත්තක් අකමැත්තක් කිව්වේ නෑ.. මාලිනි නැන්දා කියන්නේ ඔයයි මලිඳුයි කොහොමත් යාළු එකේ මේවා කතාබහ කරලා තියමු කියලා..එයාලත් හිතන්නේ ඔයාලා අතරේ අෆෙයා එකක් තියේ කියලනේ..”

නංගිගේ හඬෙහි කිසිම කැමැත්තක් නැත. ඇය මලිඳු ගැන බොහෝ දොස් පවසන්නියකි. මේ හදිසියේ මලිඳුගේ ගෙදර අය විවාහ යෝජනාවක් රැගෙන පැමිණීම ඇය කෝපයට පත් කර ඇති සැටියකි.

“අක්කියා.. මං දන්නවා ඔයා මේක අවුරුදු ගාණක් බලාගෙන හිටිය දෙයක් කියලා. ඇත්තටම ඔයාට සතුටු ඇති. මලිඳු අයියත් කැමති නම් ඔයාලා මැරි කරන එකේ වැරැද්දක් නෑ.. ඒත් ඉතිං ඔයාලට තාම විසි දෙකයිනෙ. මැරි කරන්න කල් තියෙනවනෙ. ඒ කාලේදිවත් මලිඳු අයියා ඔයාට ඇත්තටම ආදරේ වෙයිද කියලා අපි බලමු…”

ඇය දුරකථනය විසන්ධි කළේ එසේ පැවසීමෙන් පසු ය.

මම තරු පිරි අහසට නෙත් අලවාගෙන ඔහේ බලා සිටියෙමි.ඒ තරු අතර තාත්තා හිඳින තරුව ඇත්තේ කොහේදැයි මට සොයා ගැනීමට උවමනා ය.මෙවැනි මොහොතක ඔහු හිඳින්නට තිබිණ. කළ යුත්තේ කුමක්දැයි ඔහුගෙන් අසන්නට මට නොහැකියාවක් නැත. හොඳම දේ ගැන මට වඩා හොඳින් දන්නේ තාත්තා ය.

මීට මාස කිහිපයකට පෙර මෙවැනි කතාන්දරයක් අසන්නට ලැබුණේ නම් හඬමින් ගොස් ඊෂා වැලඳගෙන ඒ සතුටුදායක ආරංචිය පවසන පිනිදි ප්‍රාර්ථනා දැන් මෙතැන නැත.ඒ වෙනුවට මේ හදිසි ආරංචියෙන් කම්පනයට පත් වූ පිනිදි කෙනෙකු ඉතිරිව සිටියා ය.කිසිම මොහොතක ආදරයක සේයාවක් හෝ නොපෙන්වූ මලිඳු මා ජීවිතයට සම්බන්ධ කර ගැනීමට සිතන බව මට සැබෑවටම විශ්වාස කළ නොහැක. ඔහු ඇතැම් මොහොතක දී උවමනාවටත් වඩා මා ගැන සොයා බැලූව ද මට ප්‍රේම කරන්නට හෝ විවාහ යෝජනාවක් කරන්නට ඔහු පෙළඹෙතැයි සිතිය නොහැක.මේ ඔහුගේ අම්මාගේ තීරණයක් බව සිතීම මට පහසුවකි.

“නංගිට අවුලක්ද පිනී…”

නැවත කාමරයට ආ මගෙන් ඊෂා ඇසුවේ මදෙස විමසුම් නෙත් දල්වමිනි. මගේ රතුව ගිය මුහුණ එවැනි සැකයක් ඇති නොකරන්නේ ද නැත.

“නෑ..මොකුත් නෑ ඊෂූ..”

මට අවශ්‍ය වූයේ නාන කාමරයට වැදී හඬන්නට ය. වසර ගණනක ඒක පාර්ශවීය ප්‍රේමය විවාහ යෝජනාවක් ව මවෙත පැමිණ තිබේ.අවුරුදු පහළොවක කෙල්ලක කාලයේ පටන් මා දරා ගත් වේදනාව මලිඳුට තුරුලුව දිය කර හරිමින් හඬන කාලයක් පැමිණ ඇතැයි සතුටු වන්නට මට සිත් දෙන්නේ නැත.මේ ගැටලු රැසක ඇරඹුම මිස අන් කිසිවක් යැයි මට සිතෙන්නේ ද නැත.

“පොඩ්ඩි එක්සෑම් ස්ට්‍රෙස් අරන් ද පිනී..”

අමෝද අයියා විමසද්දී නංගීට උසස් පෙළ ලියන්නට තව දෙසතියකට වඩා නැති බව මට සිහි විය. නුවුමනා කාරණා සිතෙහි පුරවා ගැනීම නිසා මගේ අය මගෙන් ගිලිහෙමින් පවතිනවා නොවේ ද?

“තරිඳි නංගි හරි දක්ෂ ළමයෙක්. අනික ඉතිං එහෙ ඉසෙඩ් එක බලන්නෙත් අඩුවෙන්. කෙල්ල කොහොමහරි මෙඩිසින් යයි. මට ඒක ෂුවර්…”

ඊෂා මේ සිහින දකින්නේ මගේ නැගණිය ගැන ය. අප ඇඳුමක් මිලට ගන්නට ගිය ද “තරූටත් ගමු..” කියන්නට අමතක නොකරන ඈ මගේ නංගීට ආදරය කරන තරම ගැන මට අරුමයක් නැත. ඊෂා එහෙව් ආදරණීය කෙල්ලකි.

“නංගි කොළඹ හරි ජපුරේ හරි සිලෙක්ට් වුණොත් එයාවත් මෙහෙ තියා ගන්න ඕනෑ..”

ඈ නැගී සිටියේ එසේ කියමිනි.

“හරි ෂෝක්.. කවදාහරි මගේ ගෑනි ආවම අහයි නෑනලා මෙච්චර ගොඩක් එක්ක මං මෙහෙ ඉන්නේ කොහොමද පැටියෝ…කියල”

අමෝද අයියාගේ සැහැල්ලු සිනාව පිපී ආවේ ය.

“මල විකාරනෙ.අපි එක්ක හොඳින් ඉන්න බැරි එකියක් ආවොත් පස්සට පයින් ගහලා පන්නන්නෙ…”

ආහාර භාජනවල ඉතුරු බිතුරු රැගෙන ඊෂා කාමරයේ දොර අසලට ගියේ අමුතු හිනාවක් ද රැගෙන ය.

“මට ඕන මොන නෑනද කියලා කොච්චරවත්ම අම්මයි මායි කිව්වට ඔයාගේ කිසිම ප්‍රගතියකුත් නෑනෙ ඉතිං.. එපා වෙනවා..”

ඇගේ වචන ඇසුණු වහා අමෝද අයියා ඊෂාට රැවුමක් පා කළේ ය. ඔහු සම්බන්ධයෙන් නිවසේ කුමක් හෝ තීරණයක් ගනිමින් පවතිනවා විය හැක. නමුත් ඒ හැම දෙයක්ම මා දැන සිටිය යුතු නැතැයි අයියා නොසිතන්නට හේතුවක් නැත.

“පිනී.. එක්සෑම් ඉවර වුණාම ද ගමේ යන්නේ..”

අයියාගේ හඬ මා පියවි ලෝකයට රැගෙන ආවේ ය.

“නංගිගෙ එක්සෑම් එකට කලිනුත් යන්න බලන්න ඕන අයියේ. මටත් එක්සෑම් තියෙනවා හැබැයි ඒ දවස්වලට..”

ඔහු කිසිත් නොදොඩා තත්පර කිහිපයක් මදෙස බලා හුන්නේ ය. මලිඳුගේ විදුලි කොටන දෑසට වඩා ඔහුගේ සන්සුන් දෑස් බැල්ම උහුලා ගත නොහැකි ව යන තත්පර ද ඇති බව දැනෙන්නේ එවැනි තැනක දී ය.

“අපි එක්සෑම් ඉවර වෙලා ගමේ යමු. මට අම්මා එක්ක කතා කරන්න දේවල් ටිකක් තියනවා.”

අමෝද අයියා නැගී සිටියේ තවත් ප්‍රහේලිකාවකට මා ඇද දමා ය.

“බිස්නස් පාඩු ද අයියෙ?”

ඔහු හිනැහෙමින් මොහොතක් කල් ගත්තේ ය.

“නෑ දරුවෝ.. ඒවා හිතුවටත් වඩා හොඳයි. ඉතිං තව කොච්චර දේවල් කරන්න තියෙනවද කියලත් මතක් වෙනවා එතකොට..”

එදින රැය මට නිදි නැතිරැයකි. විවාහ යෝජනාවක් පැමිණියේ මලිඳු ද දැනුවත් ව නම් ඔහු මට මොනයම් මොහොතක හෝ අමතනු ඇතැයි සිතමින් මම මඟ බැලීමි.අනිත් කාරණාව යාන්තමට සමත් වන්නට තිබූ විභාගයක් ඉහළින් ම සමත් වූවා වැනි හැඟීමක් සිත වෙළා ගැනීම ය. කෙදිනක හෝ මලිඳු මගේ ප්‍රේමය පිළි ගනීවි යැයි මම සිහින දුටුවෙමි.ඒ සිහිනය සැබෑ වී ඇත්තේ ඔහුගේ අම්මා ම මා ඔහුට ගැලපෙන බව පවසමිනි.මේ යෝජනාවට එකඟ විය යුතු බව නින්ද යන්නට පෙර මම තීරණය කළෙමි. බොහෝ දෑ සිතන්නට අවශ්‍ය නැත.අවුරුදු හය හතක් තිස්සේ මට උවමනා වූ දේ මගේ දෝතට ම පැමිණ අවසන් ය.නෙත්මි ගැන මලීෂා පැවසූ දේවල් මසිතින් මැකී යමින් තිබිණ.

අලුත් දවසකට හිරු පායා ආවේ මගේ සිත තරමට ම පැහැබරව ය.මලිඳුට ඇමතුමක් ගන්නට මට සිත් විය. යෝජනාවට කැමැති බව මා පැවසිය යුත්තේ ඔහුට ය.

“ඔයා කොහොමද පිනී මෙහෙම කරේ.. මගේ සහෝදරියක් කියලා මං ඔයා ගැන හිතුවෙ. ඇයි මෙහෙම කරේ.. ඇයි අපිව බාල්දු කරේ. අනික එහෙම කතාවක් කියන්න තරම්…”

ඊෂා කාමරයට කඩා වැදුණේ කුණාටුවක වෙස් ගෙන ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles