fbpx

සඳක් කළ සක්මන් -16

මා ඉදිරියේ අම්මා හා නංගී දෙදෙනා ම සිටියහ. දුරකතනයේ අනිත් ඉම වූයේ ආකාශ් ය. ඔහුත් එක්ක මේ විදිහට ඔවුන් ඉදිරියේ දුරකතනයෙන් කතා කරන්නට වීම මා තුළ ඉසිහින් ලජ්ජාවක් ඇති කරන්නට හේතු විය. 

“අනේ අයියෙ මට මොකටද මෙහෙම ෆෝන් එකක්…මේක ආපහු ගන්න”

මා එසේ කීවේ නංගී ගේ හිතේ මා පිළිබඳ නො රිස්සුමක් වී නම් එය තුනී කර දමනු වස් ය. ඇය කට ඇද කරනු මා බලා ගෙන ය. එසේ කියන්නට එපා යි අම්මා සිය අතින් පයින් මට කන්නලව් කරමින් සිටියා ය.

“මේ. විකාර කියවන්නැතුව ඕක තියා ගන්න. මගෙ ෆෝන් නම්බර් එක ඕක කියල කියන්නයි මං කතා කළේ. එහෙනං…මං තියන්නද…”

හා කියන්නට මට ලෝබ සිතිණි. නමුත් එපා කියන්නේ කෙසේ ද? අම්මා ත් නංගී ත් දෙපස හිඳ මදෙස බලා සිටිති. මා මුණිවතින් සිටිය දී ආකාශ් දුරකතන සම්බන්ධය බිඳ දැමුවේ ය.

“මෝඩ වෙන්න එපා හලෝ. ඔච්චර වටින ෆෝන් එකක් එපා කියන්නෙ…”

“කියල වැඩක් නෑ. එයා හදන්නෙ මේ ලකුණු දාගන්නනෙ. මං හරී හොඳයි. මං කාගෙංවත් එහෙම දේවල් බලාපොරොත්තු වෙන්නෙ නෑ වගේ”

අම්මා ගේ කතාවට නංගී පොහොර දැම්මේ මට ඇනුම් පදයක් ද සමගිනි. මා සිහිනයකිනුදු එසේ සිතුවා නොවේ. නමුතු මම ඒ නිවැරදි කරන්න ට නො ගොස් කර බා ගතිමි.

“අපිට ඔහොම ෆෝන් එකක් ලැබිච්ච එක කොච්චර හොඳද…මටත් යූ ටියුබ් එකේ වීඩියෝ වගයක් තියෙනව බලන්න”

නංගී තව දුරටත් කීවා ය. මම කාමරයට වැදුණෙමි.

ඉන්පසු දවස ඇරඹුණේ ආකාශ් ගෙන් ලැබුණ කෙටි පණිවිඩයකිනි. දවස අවසාන වූයේ ත් එසේ ය. ආදරය මොන තරම් මිනිස් හදවත් සුවපත් කරනවා දැයි මම අලුතෙන් අවබෝධ කර ගනිමින් සිටියෙමි.

නංගී මටත් වැඩිය ඒ දුරකතනය පාවිච්චි කළා ය. එම අංකයට ඇය ට එන දුරකතන ඇමතුම් ගණන ද එන්න එන්න ම වැඩි විය. 

“කවුද ඔය තරං කෝල් කරන්නෙ…”

මා එසේ විමසූයේ ඇයට වැඩිපුර ඇමතුම් ආවේ පිරිමි හඬවල් වලින් වන නිසා ය.

“කව්ද අහන්නෙ…මිනිස්සුනෙ”

“මිනිස්සු කියල මං දන්නව…නැතුව යක්කු පෙරේතයො නෙවෙයිනෙ. මං අහන්නෙ ඔය තරං කතා කරන්න ඉන්න මිනිස්සු කවුද කියලයි. ඇරත් කොල්ලො…”

“ඇයි කොල්ලො ඉන්න බැරිද යාළුවො…”

“නංගි මේ. මං මෝඩයෙක් කියල හිතන්න එපා හරිද…එක එක කොල්ලන්ට මේ නම්බර් එක එහෙම දෙන්නෑ මීට පස්සෙ. මොක්කුද උං….රස්තියාදුකාරයො…බලනවකො කතා කරන හැටි”

මා තදින් කතා කළේ ඇය යන පාර ඒ තරම් හොඳ නැති බව මගේ ගැහැනු ඉවට දැනෙන්නට වූ නිසා ය. ඈ මගේ නංගී ය. අප එක කුසයක සිට බිහි වූ සොයුරියෝ වෙමු. ඇය ට යහපතක් වෙනවා නම් මට සතුටුයි සේ ම ඇය ට නරකක් වෙනවා නම් මට එය දරා ගත නො හැකි ය. නමුත් නංගී එය බාර ගත්තේ වෙනත් ආකාරයකට ය.

“අනේ තියා ගන්නව තමුසෙගෙ මහ ලොකු ෆෝන් එක. ෆෝන් දැකල නැති එවුන්ට හොඳයි. අනිත් එක මේ අපිට කතා කරන්නෙ රස්තියාදු කාරයො. තමුසෙට විතරනෙ කාර් වලින් යන පොශ් කොල්ලො කතා කරන්නෙ”

නංගී ඒ අන්තිම පේළියෙන් ඉඟි කළේ මට ආකාශ් කතා කරන වග ඇය දන්නා බව නොවේ ද? ඔහු හා මා අතර ඇසුරක් වන බව ට ඇය සැක කළා දැයි මම නො දනිමි. එසේ සිතන්නේ නම්, ඈ ආකාශ් ට කැමැත්තෙන් සිටි බව දැන දැන ම මා ඒ අවස්ථාව අහිමි වන සේ කටයුතු කළා යි සිතා ගන්නට ද ඇත.

ඒ ආසන්නයේ එක උදයක මා අවදි වන විට නංගී යහනෙහි වූයේ නැත. සාමාන්‍යයෙන් මා පාසල් යත්දී ඇයට පෙර අනිවාර්යයෙන් ම අවදි වූයේ මා ය. වසර ගණනාවක් ම පාසල් යන්නට හිමිදිරි පාන්දර අවදි වූ පුරුද්දට, ඇති වෙන තුරු නිදන්නට ඉඩ කඩ තිබූ මේ දවස් වලත් මා නින්දෙන් පිබිදිණි. ඒ වෙත්දී හැම දාම නංගී යහනෙකි මා පසෙකින් වැතිර සිටියා ය. එහෙයින් ම මේ උදයේ අවදි ව හිස් යහන දුටු මට වෙනසක් දැනිණ. මඳක් නෙතු පියා නැවතත් නිදන්නට උත්සාහ කළ ද මට එසේ නෙතු පියා සිටිය නො හැකි විය. මම යහනෙන් බැස නාන කාමරයේ නංගී වෙත්දැයි බැලුවෙමි. ඇය එහි වූයේ නැත. ගෙතුළ ද කුස්සි කෑල්ලෙහි ද ඇය විමසූ මුත් ඒ කිසි තැනක ඇය නොසිටියා ය. අම්මලා නිදන ඉස්සරහා කෑල්ලේ ලෑලි දොර අගුළු දමා නැති බවත් එය අඩවන් කොට ඇති බවත් මා දුටුවේ අහම්බෙනි. එසැනෙන් මගේ සර්වාංගයෙහි අප්‍රාණිකත්වයක් ඇති විය.

“අම්මේ”

මට කෑගැසිණි.

“ඇයි ඇයි….”

කියා ගෙන තාත්තා ඇඳෙන් පැන්නේ ය. අම්මා ද ඉක්මන් කොට ඇඳෙන් බැස මවෙත ආවා ය.

“ඇයි ලොක්කි…මොකද වුණේ…”

“අනේ අම්මෙ නංගි”

මගේ කට හඬ වෙව්ලා ගියේ ය. මගේ ඇස් ලොකු වී තිබෙන්නට ද මා වේගයෙන් හුස්ම ගනිමින් සිටින්නට ද ඇත.

“ඇයි ඇයි නංගිට මොකද…”

“අම්මෙ නංගි”

“ලොක්කි හීනයක් දැකල බය වෙලාද කොහෙද සුමිත්‍රා”

“හීනයක් නෙවෙයි තාත්තෙ. නංගි ඇඳේ නෑ. මං හැම තැනම බැලුව. නංගි කොහෙවත් නෑ තාත්තෙ”

එවර මට හැඬුම් ආවේ ය.

“හීනයක් දැකල තමයි අනේ මෙයා. බලන්න පොඩ්ඩි ඇඳේ නිදි ඇති”

තාත්තා මා විශ්වාස කළේ ම නැත. නමුත් අම්මා ක්ෂණික භීතියකට පත් වූවා ය. ඕ වහා ම අපේ කාමරයට කර පොවා බැලුවා ය.

“ඇඳේ නං නෑ”

“බාත් රූම් එකේ ඇති එහෙනං”

“මං බැලුවා තාත්තෙ…නෑ…”

“බාත් රූම් එකෙත් නෑනෙ”

අම්මා වඩාත් බියට පත් ව සිටියා ය. ඇය ‘පොඩ්ඩී’ කියමින් මිදුලට බැස කතා කරන්න ට ද වූවා ය. නමුත් නංගී ගෙන් කිසිදු ප්‍රතිචාරයක් වූයේ නැත.

“පුරුද්දට වගේ මට හැමදාම පාන්දර ඇහැරෙනවනෙ. අද නංගි ඇඳේ නැති නිසයි මං බැලුවෙ”

“මෙ ළමය කොහේ ගිහින්ද රංජි”

“කොහෙ යන්නද අනේ….ඒකි ඇති”

එසේ කීවත් කිසියම් සැක මුසු බවක් තාත්තා කෙරේත් වන්නට ඇත.

අප තිදෙනා ගේ ම හිත් වල ගින්දරක් විය. නංගී දැන් දැන් ගෙට ගොඩ වනු ඇතැයි සිතන්නට අප කාටත් ඕන වී තිබෙන්නට ඇත. 

“තේ ටිකක් හදනවකො”

තාත්තා අම්මා ට කීවේ ය. ඇය තකහනියේ ලිප ගිනි මෙලවූවා ය. තේ බිව් තාත්තා දුම් වැටියක් දල්වා ගත්තේ ය. කෙමෙන් හාත්පස අඳුර පහ ව යමින් ද ආලෝකය උදා වෙමින් ද තිබිණි. නංගී අහල පහල ගෙදරකට හෝ යන්නට ඇත්දැයි මම විමසිලිමත් වීමි. නමුත් මේ තරම් උදේ පාන්දර එසේ යන්නට හේතුවක් සිතා ගත නො හැකි ය. 

අම්මා යාබද නිවෙස් වලට ද ගොස් නංගී ව සෙව්වා ය. ඇගේ මිතුරියන් යයි මගේ දුරකතනයේ සටහන් ව තිබූ අංක වලට ද මම ඇමතුම් දී බැලුවෙමි. ඒ කිසි කෙනෙකු ඈ ගැන හෝඩුවාවක් දැන සිටියේ නැත.

අපේ ගෙදර කලබලකාරී බවක් වන බව නෙරංජලා ට දැනෙන්නට ඇත. ආකාශ් ගේ ගුඩ් මෝනිං පණිවිඩය ට අද මට ප්‍රති පණිවිඩ යවන්නට හැකි නො විණි. ගුරුගේ මැදුරේ දුරකතනයෙන් මගේ දුරකතනයට ඇමතුමක් ආවේ ය. මම කලබලයෙන් ම පිළිතුරු දුනිමි.

“හෙලෝ”

“පුතේ මං නෙරංජලා ආන්ටි. මොකද්ද දරුවො කලබලේ…”

“අනේ ආන්ටි අපේ නංගි ගෙදර නෑනෙ”

“ඒ කිව්වෙ…”

“උදේ ඇහැරෙනකොටත් එයා ඇඳේ නෑ. කොහෙ ගියාද කියල දන්නෑ. දන්න කියන කිසි තැනකට ගිහිං නෑ”

“පුදුම වැඩක්නෙ. ඉන්නකො මං එන්න”

කියා ඇය දුරකතනය තැබුවා ය. එසැනෙන් ගුරුගේ යුවළ ද ආකාශ් ද පාරේ, අපේ ගේ ළඟට පැමිණියහ.

“අනේ බලන්න මැඩම්…මේ ළමය කොහේ ගියාද කියල නෑනෙ”

අම්මා ඇය ට දුක කියා ගෙන ඈ වෙත ගියා ය.

“මුකුත් ප්‍රශ්නයක් එහෙම වුණාද…මං කියන්නෙ මේ…ළමයට බැන්නා ගැහුවා වගේ දෙයක්…”

“අනේ නෑ මැඩම්. එහෙම කිසි දෙයක් වුනෙ නෑ”

“ඒ වගේ දෙයක් වුණහමත් ළමයි හිතුවක්කාර කමට ඔය විදිහට හැසිරෙනවනෙ…ඒකයි මං එහෙම ඇහුවෙ”

අම්මා ත් තාත්තා ත් ගුරුගේ යුවළ සමග විස්තර කතා කරන අතරේ ආකාශ් හෙමිහිට මට සමීප වූයේ ය. 

“මං ඔයාට කිව්ව නේද නංගි ගැන විමසිල්ලෙන් ඉන්න වෙයි කියල…”

“අනේ අයියෙ…මේ ළමය මුකුත් නරකක් කර ගනීද…”

“කලබල නොවී ඉන්නකො. අපි බලමු මොකද්ද කරන්න පුළුවන් කියල..ම්…”

“අයියෙ මගෙ නංගි…”

මට හැඬුම් ආවේ ය. මොහොතක් මදෙස බලා උන් ආකාශ් සුසුමක් හෙළුවේ ය. මේ මොහොතේ මා හිස පිරිමැද මසිත සනසන්නට බැරි සාංකාව ඔහු වෙත වන්නට ඇත.

නංගීට කුමක් සිදු වන්නට ඇත් ද? මගේ හිතෙහි නොයෙකුත් කාරණා හොල්මන් කරන්න ට විය. ඇයට අනතුරක් ද? නැත්නම් ඇය වයසේ වැරැද්දට කරදරයක පැටළුණා ද? ඒ ගැන කිසිදු සාක්ෂියක් ඉතිරි නො කරන්නට ඈ සිතූයේ ඇයි?

“තව ටිකක් බලල පොලීසියෙ කම්ප්ලේන් එකක් දාන්න තමයි වෙන්නෙ”

ආනන්ද ගුරුගේ කීවේ ය. තාත්තා හිස සැළුවේ හිතකින් නො වන බව මට හොඳට ම දැනිණ.

 ආරංචිය ලද සැනෙන් ආච්චම්මා දුව ගෙන ආවා ය.

“මං උඹට කඩ කැඩෙනකල් කිව්ව සුමියෝ”

ඇය අම්මා දවාලන බැල්මකින් කීවා ය. මගේ හදවත ගැස්ම හොඳට ම උච්ච වෙමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x