ඉතා දීප්තිමත් ව හිරු පායා එමින් තිබිණ.
සරසවියට නොගොස් අවන්හලක හමු වීමේ තීරණය සහිත මලිඳුගේ කෙටි පණිවිඩය මගේ ගමන් මාර්ගය වෙනස් කළ අතර ඔහු නිසා මා බොහෝ වෙනස් වෙමින් පැවති මොහොතක ත්‍රීරෝද රථයට ගමනාන්තය වෙනස් කරන්නට මතක් කිරීම මට සුළු කාරණාවක් විණි.
මලිඳු ඇණවුම් කළේ ය. මා ඒවාට ප්‍රිය නොකරන බව කියන්නට මතක් වූව ද මම නිහඬ වූයෙමි. ඔහු කැමති දේට හුරුවෙමින් ඉතිරි ජීවිත කාලය ගෙවන්නට මට උවමනා ය. ඒ වෙනුවෙන් මා කැමතිම දේවල් අමතක කරන්නට ද මට පුළුවන.
“මං මේ තීරණේ ගන්න පරක්කු වුණාට සමාවෙන්න පිනී. අවුරුදු ගාණක් තිස්සේ මට ඇත්තටම ඔයාව ඕනෑ නෑ කියලයි මං හිතාගෙන හිටියේ. ඒත් අමෝද ඔයාට ළං වෙනකොට මට තේරුම් ගියා මට ඇත්තටම ඔයාව ඕනෑ කියලා..”
මිතුරෙකු කාලයේ මලිඳු මගේ අතකින් ඇද නොයෙක් දේ පෙන්වා ඇත. අප රංචු ගැසී කඳු නගිද්දී අත දෙමින් මඟ කියා ඇත. නමුත් ඔහු අද අත අල්ලා ගත්තේ වෙනත් කතාවක් කියමිනි. මම ගල් ගැසී අසා හුන්නෙමි.
“මං ඔයාට ආදරෙයි පිනී. අවුරුදු ගාණක් තිස්සෙ කියන්න බැරි වුණු දේ එකපාර ඔයාට කියා ගන්න හයියක් තිබ්බේ නෑ.. ඒ නිසා මම අම්මාට චාන්දනී නැන්දට කතා කරන්න කිව්වා..”
මලිඳු මට ප්‍රේමාරාධනාවක් ගෙන පැමිණියොත් මා හින්දි නිළියක මෙන් නටමින් ඉන්නා තැන දෙවනත් කරනු ඇතැයි මා ඊෂා සමඟ පැවසුවේ ඉස්සර දවසක ය.නටන්නට තබා හිත කිසිම සතුටකින් බර නොවෙද්දී මට මා ගැනම පුදුමයක් හට ගත්තේ ය.
“මං ඔයාගේ හැමදේටම ඉන්නවා පිනී.. ඔයා ඔය ඊෂලා අමෝදලාගෙන් හයිය ගන්න එක නවත්තන්න. මං කැමති ෆාම් එක බාර ගන්නත්. අමෝදලාට කුණු කොල්ලෙට එළවලු දෙන එක නවත්තලා දාමු..”
අමෝද අයියා රෑ නොනිදා ව්‍යාපාර සැලසුම් සකසන ආකාරය දෙනෙත් ඉදිරිපිට මැවී පෙනෙද්දී මට මලිඳුට එරෙහි වන්නට ඕනෑ විණි. නමුත් වචන පිට වූයේ නැත.
“ඔයා ඊෂලාගේ ගෙදරින් අයින් වෙන්න..”
මලිඳු මගේ දෑසට එබුණේ එහෙම කියමින් ය.
“මං බෝඩිමක් හොයා ගන්නං..”
වචන අමතක ව යද්දී මම මිමිණුවෙමි.
“ඕන නම් අපි පොඩි ඇනෙක්ස් එකක් ගමු.. අපි දෙන්නට..”
ඒ කතාව මගේ සීමාවට එහා කතාවකි. වසර ගණනක් දැන හුන් කෙනෙකු වුව ද ආදරයක් ගැන කතා කළ මුල්ම අවස්ථාවේ විවාහයට පෙර එක්ව ජීවත් වන්නට හඬ ගසන මලිඳු මට රතු එළියක් වී දැල්වෙන්නට පටන් ගත් සෙයකි. මට නැවත අමෝද අයියා සිහි විණි. ඔහු රාත්‍රියක තබා දහවලකවත් ඊෂා නැති නම් මගේ කාමරයට එබෙන්නේ නැත. කිසිම වෙලාවක බැල්මකින් වත් අවැඩක් නොවූ ඔහු ගැන හිත යළි යළිත් සිහි ගන්වද්දී මම මලිඳු දෙසම බලා සිටියෙමි.
“අමෝදයා ඔයාට සර්ප්‍රයිස් පාටියි අනන්මනන් දුන්නට මං දැක්කා අර නිළිය ඔයාලගේ ඕර්ගනික් ෆෘට්ස් කප් ගොඩක් එක්ක ඉන්ස්ටා ෆොටෝස් දාලා…”
ඉන්ස්ටග්‍රෑම් ගිණුමෙන් තිවංකිගේ ගිණුමට පිවිසෙන’තර මලිඳු කියන්නේ උපහාසයෙනි. මම කිසිත් නොදොඩා ඒ දෙස බලා සිටියෙමි. සැබෑවකි. තිවංකි අපේ ආහාර බහාලුම් කිහිපයක් සමඟ ඡායාරූප එයට එක් කර ඇත.
“සීසීසී එකේ අපේ අවුට්ලට් එකක් තියේනෙ..ඒක අමෝදයියගෙ කියලා එයා දැනගෙන ගන්න ඇති..”
මට කතාව මඟ හරින්නට ඕනෑ විය. මලිඳු උපහාසයෙන් එදෙස බලා හුන්නේ ය.
“අර නාරදයි මෙයයි බ්‍රේකප් කියලා ඌ යූ ටියුබ් චැනල් එකකට කියලා තිබ්බා. ඉතිං අනිවා දැන් මේ ගෑනි ආයෙත් අමෝදගෙ කරේ එල්ලෙනවා..”
ඔහු කියන්නේ ස්ථිරව ය.
මා සැබෑවටම සතුටෙන් නොවන බව මට වැටහේ. මෙතැනින් ඉක්මනින් නික්ම යාම මිස වෙන යමක් මට නුවුමනා ය.
“මලිඳු, ඔයා හිතන්නේ මං ඔයාට කැමති නම් අපි ඉක්මනින් මැරි කරන්න ඕන කියලද?”
වචන නොමැතිව ඔහේ බලා සිටීම කමකට නැති බව වැටහෙද්දී මම ඔහුගෙන් විමසීමි.
“අපෝ නෑ.. මං කීවේ, අපි ගෙයක් අරන් ඉමු. පස්සේ වෙඩින් එකක් ගන්න බැරියැ..”
මේ ජීවිතය මට දුන් අවස්ථාවකි. තෝරා ගැනීම හෝ පලා යාම මගේ මුළු ජීවිතය ම තීරණය කරන්නකි.
” අපි සෙල්ෆියක් ගමුකෝ..”
මම කතාව වෙනතකට හරවමින් මලිඳුව කැමරාවට හසු කර ගතිමි.
“මේක හරි ස්වීට්. මං මේක ෆේස්බුක් දාන්නද?”
අනතුරුව ඔහුගෙන් අසන්නට මට සිත් විය.ඔහුගේ පිළිතුර මගේ සියලු තීරණවලට පිළිතුර කර ගන්නට මට ඕනෑ විය.
“එපා පිනී.. දැන්ම මොකටද..”
මා සමඟ ඡායාරූපයකට ටැග් වන්නට අකමැත්ත පළ කරන යෞවනයා එක්ව ජීවත් වීමට මට ආරාධනා කර මිනිත්තු කිහිපයකි.නිවසට එන ඕනෑම විටක ඊෂාව පහත මාලයට ගෙන්වා ගන්නා දිනුකට ඊෂාගේ නිවසින් කැමැත්ත පළ වී දැනට දින කිහිපයකි. කැමැත්ත ලැබුණ ද ඔහු ඊෂා සමඟ හැසිරෙන්නේ සීමා සහිතව ය. ආදරය සීමා වලින් තොර එකක් වුවද මලිඳු එන්නේ හොඳ පොටකට නොවන බව මට දැන් තහවුරු ය.
“මලිඳු.. අම්මලා අපි ගැන එහෙම හිතන් ඉන්නේ අපි ගොඩාක් ක්ලෝස් නිසා. ඔයාටත් එහෙම හිතෙන්න ඇති. ඒත් මට මේ වෙලාවෙ අෆෙයා එකක් නෙවේ ඕන. කොහෙ හරි ඉඳන් බලන් ඉන්න තාත්තාට පේන්න ඩිග්‍රි එක ඉහළින්ම කම්ප්ලීට් කරන්න..”
මලිඳු බලා සිටියේ තුෂ්නිම්භූතව ය. මා ඔහුගෙන් සමු ගෙන පිටව ආවේ මේ මා ගත යුතුම තීරණය බව තරයේම සිතට තරවටු කරගමිනි.
නුගේගොඩ නගරයට හිරු මුදුන් වෙමින් තිබිණි. මම ඔහේ වීදි පුරා ඇවිද ගියෙමි.මලිඳුව දිනා ගැනීම ජීවිතයේ එකම සිහිනය කරගත් කඳුකර දැරිය මගේ දෑස් ඉදිරිපිට ඉකිබිඳිමින් සිටියා ය. ඇගේ සිහින ප්‍රේමවන්තයා තම සැබෑ වර්ණ අද ඈ ඉදිරියේ පෙන්වූවේ ය. ඔහුට ප්‍රාණය වුව පුදන්නට කැමති යුවතියකට ආදරය කරන්නට හෝ කාලය වැය නොකර එකට ජීවත් වන්නට ආරාධනා කිරීම ද සියලුම දේපල පාලනය කරන්නට ඉල්ලා සිටීම ද ඔහු ඉල්ලා සිටියේ මොනතරම් සූක්ෂම ලෙසදැයි මා සිතුවේ කඳුලු වැගිරෙන දෑසක් සහිත ය. හදවත ඉකි ගසමින් තිබිණි.
රියක නළා හඬට මා ගැස්සී ගියේ ඒ හඬ මට පුරුදු බැවිනි. අමෝද අයියා කොහේ හෝ ගොස් එන අතර මා දකින්නට ඇත. මම දෙවරක් නොසිතාම රියට ගොඩ වුණෙමි.
“පිනී කැම්පස් එකට නේද ගියේ?”
ඔහු අසන්නේ මදෙස නොබලා ය.
“මට ඇඳුමක් ගන්න හිතුණා අයියේ. බැස්සා. ඒත් හිතට ෆිට් ඒවා නෑ…”
ඔහු හිනැහී මදෙස බැලී ය.
“ගම්සභා හන්දියෙත් තියෙන්නේ ෂොප්ස් කීපයක්.ඕන් නම් අපි ගිහින් බලමු..”
අනතුරුව ඔහු පැවසුවේ ය.
“මහන්සී අයියා. ඔලුව රිදෙනවා වගේ. අයියගෙ වෝටර් බොට්ල් එක කෝ..”
අද උදෑසන හුන් කලබල පිනිදි නිවසින් එළියට බැස්සේ වතුර බෝතලය ද අමතක කරමිනි.
“ඒකෙ වතුර ඉවර ඇති පිනී.. ඔහොම ඉන්න..”
ඔහු අවන්හලක් ළඟින් බැස ගත්තේ එහෙම කියමිනි. ඉන් මිනිත්තු කිහිපයකට පසු චොකලට් පානයක් ද රැගෙන පැමිණියේ අර සන්සුන් හිනාව ද සමඟ ය.
“වතුර වලට වඩා පිනී කැමති මේවටනෙ.. ආ..”
මා වඩා ප්‍රිය කරන්නේ චොකලට් පානයකට බව ඔහු දැන ගන්නට ඇත්තේ කවදාද? එකට ජීවත් වීමට ආරාධනා කරන්නට ආ මලිඳු මා බිඳුවකදු ප්‍රිය නොකරන බීමක් ඇණවුම් කළ හැටි මට සිහි විණි.
මට නන්දා මාලිනියගේ “මගේ සඳ ඔබ” ගීතය සිහියට නැඟෙයි. වසර ගණනාවක් පුරා මා සිටියේ උමතු ප්‍රේමයකින් මලිඳුට බැඳෙමිනි. ඔහු මට ප්‍රේමය පුද කළ මුල්ම විනාඩි කිහිපය ඔහු කුමන වර්ගයේ මිනිසෙක්දැයි මට වැටහී අවසන් ය. මහ හඬින් හඬන්නට ඕනෑ වූ මම හැඬුම පාලනය කර ගන්නට යත්න දැරීමි.මේවා අමෝද අයියා සමඟ හෙළි කළ යුතු නැත.
හැඬුම් වාවාගනිමින් බොහෝ වෙලා හිඳින්නට මට සිදු වූයේ නැත. වායුසමීකරණය කල රිය තුළ පවා දැඩි උණුසුමක් දැනෙද්දී කවුළුවෙන් එපිට සියල්ල අඳුරුව යන අයුරු මට දැනෙන්නට විය.
“පිනී..පිනී.. නංගි… ඇයි දරුවෝ..”
අමෝද අයියා මා සොලවමින් හඬ ගසන හඬ මට ඇසුණේ ඈතක සිට ය.