පිනි සේල – 32

මම මලිඳුගේ කිසිදු ඇමතුමකට ප්‍රතිචාරයක් නොදැක්වූවෙමි.කරන්නට ඕනෑ තරම් අධ්‍යයන කටයුතු තිබියදී වැඩකට නැති ප්‍රේමයක එල්ලී නොගන්නට මගේ හිත මට තරවටු කරමින් තිබිණි. මට කොහොමත් පාඩම් වැඩ එතරම් පහසු වූයේ නැත.ඊෂා කම්මැලිකම පොරවාගත් කුසීත කෙල්ලකි. ඉතින් අපට අසීරු පාඩම් කියා දෙමින් දිනුක නිතරම අප සමඟ හුන්නේ ය. අමෝද අයියාගෙන් පාඩම් අසා ගැනීම බොහෝවිට අවසන් වූයේ ඊෂාත් මමත් ඔහුගෙන් ටොකු කෑමෙනි. ඒ නිසා දිනුකට මිස අමෝද අයියාට අපට ඉගැන්වීම පහසු වූයේ නැත.

විභාගය අවසන් වී තිබුණද අපට කණ්ඩායම් ව්‍යාපෘතියක වැඩ ඉතිරි විය. එදා උදෑසනම මා සැරසුණේ විශ්ව විද්‍යාලයට යන්නට ය.ඊෂා මුහුණ හතරැස් කරගෙන කාමරයට එබුණේ ඒ මොහොතේ ය.

“අනේ අපි දවල් වෙලා යංකො පිනී.. මට මැරෙන්න අමාරුයි..”

හිටිහැටියේ ඉරුවාරදයකින් පීඩා විඳින ඇය ගැන මට ඇති වුණේ දුකකි.මම කොණ්ඩය පීරීම පසෙක තබා ඇයට එකඟ වන්නට සිතුවෙමි. නමුත් ඇය ජංගම දුරකථනය පිරික්සා නැවත මුහුණ නාළු කර ගත්තා ය

“අනේ පිනී.. දිනුක කියනවා ඔයාව එවන්නලු. ඔයා යනවද.. මං දවල් වෙලා එන්නං .”

මම නැවත කොණ්ඩය සකසන්නට ගත්තේ එය පිළිගනිමිනි.

“නැත්නම් පියුමිලා, ප්‍රමුදිලාට යකා නඟී තමා. මං යන්නම්.. ඔයා අමාරු නම් ඉන්න. කොහොමත් ඔයා දැනටම සෑහෙන්න මහන්සි වෙලා ඉන්නෙත් මේකට.”

ඊෂා මගේ ඇඳට වැටුණේ එය පිළි ගනිමිනි.මා පහත මාලයට ආවේ අමෝද අයියා කාමරයෙන් පිටතට එද්දීම ය.

“චූටිට තාම මිග්‍රේන් අඩු නැද්ද නංගි..”

මම හිස වැනුවෙමි.

” යං.. මං ඔයාව එක්ක යන්නං..”

මලිඳුව හිස්මුදුනින් අදහන කාලයේ නම් අමෝද අයියාගේ මෝටර් රථයෙන් තනිව යාම මට ඉතා බරපතල වරදකි.දැන් එවැනි හැඟීමක් මට දැනෙන්නේ නැත.අමෝද අයියා මා ගැන ප්‍රේමයකින් පසුවන බව දැන සිටිය ද මට කිසිදු දෙගිඩියාවක් දැනෙන්නේ නැත.

“නංගි හොඳට ඒලෙවල්ස් කරාලුද පිනී..”

අමෝද අයියා කතාවට වැටෙමින් ඇසී ය.

“එයාට අවුලක් වෙන්න නැතුව ඇති අයියෙ.නංගි දක්ෂයි කොහොමත්.මෙඩිසින් යන්න පුලුවන් වෙයි එයාට..”

“පිනීට ඩොක්ට කෙනෙක් වෙන්න ආසාවක් ආවේ නැද්ද ඒ කාලේ??”

මම හිස සැලුවෙමි.

“බිස්නස් කරන්න වෙන්නේ ගෙදර ලොක්කිට නිසා කොමස් කරන්න කිව්වද අම්මලා..”

අමෝද අයියා මගෙන් අසද්දී මට සිනාවක් ඉපදුණේ ය. සැබෑ හේතුව මට එතරම් සිනා උපදවන්නකි.

“ඕ ලෙවල් ඉවර වුණු දවසේ මං මලිඳුගෙන් ඇහුවා මොනවද ඒ ලෙවල් වලට කරන්නේ කියලා. මලිඳු ගත් කටටම කිව්වනෙ කොමස් මිසක් වෙන මොනවද කියලා..මාත් දෙපාරක් හිතුවේ නෑ. කොමස් කරන්න ඕනෑ කියලා ගෙදරට කිව්වා..”

අමෝද අයියා මදෙස බැලුවේ ළතෙත් සිනාවකිනි.

“ඒක මෝඩ වැඩක් තමා අයියේ..ඒත් ඒ කාලේ එහෙම එකක් නිකමටවත් හිතුණේ නෑ.. කෙනෙක් නිසා තමන්ගේ හීන වෙනස් කරන එක මෝඩකමක් කියලා මං හිතුවෙම නෑ…”

මගේ සිහිනය වූයේ අනෙකකි.නමුත් අමෝද අයියාට ඒ සිහිනය සම්පූර්ණයෙන් හෙළි කළ හැකිදැයි මම සිතුවෙමි.

“පිනී ආස වුණේ මොනවා කරන්නද?”

නුදුරු දිනෙක ජීවිතය බෙදා ගන්නට එන්නැයි ඔහු මගෙන් ඉල්ලා සිටින බව මම දැන සිටියෙමි. ඉතින් ඊෂාවත් නොදන්නා පිනිදි ගැන ඔහු දැන ගත යුතු ය.

“මං ආසාවෙන් හිටියේ මියුසික් ටීච කෙනෙක් වෙන්න. ඕ ලෙවල් වලට එනකම් මම වැඩිපුර හිටියේ ඉස්කෝලේ මියුසික් රූම් එකේ.මං කොමස් කරන්න ගිය එක මියුසික් මිස්ට මාරම පුදුමයක් අයියේ.තාත්තා බිස්නස් කරන නිසා කියලා හිතන්න ඇති… එච්චර විතරක් නෙවෙයි. මට තව හීනයක් තිබ්බා..”

ට්‍රැෆික් පෝලිමේ රිය නවතා ගත් අමෝද අයියා මදෙස බලා සිටියේ ය.ගමන අරඹන්නට කොළ එළිය වැටෙන්නට පෙර ඔහුට ඒ ගැන ද කියන්නට මට ඕනෑ විය

“මං ආසාවෙන් හිටියා රියැලිටි එකකට යන්න.කොහොමහරි දිනන්න.. ඒත් ඒවා ඔක්කොම නැවැත්තුවා..”

තදබද වී ඇති මාර්ගය දෙස බලමින් මම මිමිනුවෙමි.

“පිනී.. ඔයාට තාම වයස තියනවනෙ. අපි ඊළඟ සීසන් එකකට ඇප්ලයි කරමුකො..”

මම අමෝද අයියා දෙස බැලුවේ පුදුමයෙනි.

“මං හිතුවේ,තිවංකි නිසා අයියා ඒ වගේ දේවල් ගැන අහන්නත් තරහයි කියලා..”

ඔහු නැවතිල්ලේ සිනා විය.

“මට එයාට ඒ කිසිදේකට එපා කියලා නෑ නංගි. අවුරුදු කුමාරිට යන්න හදනකොට පොඩ්ඩක් තරහ ගියා. මාත් එතකොට ඔයාලගෙ වයසේ වගේනෙ. ඒත් එයා දිනුවට පස්සෙ ඇක්ට් කරන්න චාන්ස් එනකොට මම එයා එක්ක නිතරම හිටියා.. “

කොළ එළිය වැටිණි. ගමන ඇරඹිය යුතු ය.

“ජනප්‍රිය වෙන්න ඉක්මන් ක්‍රම තියනවා.අමාරු ඒත් හරි පාරවල් තියනවා. තිවංකි තෝරා ගත්තේ ලේසි පාර. මට ඒක බලන් ඉන්න අමාරු උනා. ඔය ටීවි ප්‍රෝග්‍රෑම් වලට ඇවිත් තිවංකි කියනවට වඩා ඇත්ත කතාව හරි වෙනස්. එයා එයාගේ නිවැරදි බව කියලා බෙරිහන් දෙනවා. මං සයිලන්ට් වෙලා විඳවනවා.. අවුරුදු ගාණක්..”

මම ඔහු දෙස බැලුවෙමි.

“අයියා හරි කියලා දන්න අය හතරපස් දෙනෙක් හරි ඉන්නවනෙ අයියේ. ඇයි ඔයා විඳවන්නේ. තිවංකිට ඔයා වැරදි බව කියලා ඇති වෙන දවසක් එයි. ඔයා සතුටින් ඉන්නකොට එයා එයා ගැනම අවුල් වෙනකොට එයා දිගටම සෝශල් මීඩියා වල, ටීවි එකේ,පත්තරවල ඔයාට මඩ ගහයි.. අපි අවුල් නොවී ඉමුකෝ..”

අමෝද අයියා වඩා පැහැදිලි බැල්මක් මවෙතට පා කළේ ය.

“ඒකත් ඇත්ත.. අපි අවුල් නොවී ඉමු..”

සමහර වචන පිට වන්නේ කල් තබා සැලසුම් කිරීමකින් තොරව ය. අයියාට අවුල් නොවී ඉන්නැයි පැවසීම වෙනුවට මා බහු වචනයක් යොදා ඇත.දැන් ඒ කතාව බරින් වැඩි ය.නමුත් එය නිවැරදි කරන්නට මට ඕනෑ වූයේ නැත.

“පිනී ෆේමස් වෙන්න ලේසි පාරවල් තෝරාගන් නෑ කියලා මං දන්නවා.. ආයෙම හිතලා බලන්න.. ආස නම් අපි රියැලිටි එකකට ඇප්ලයි කරමු..”

“මං දැන් එහෙම ආසාවක නෑ අයියේ. මට දැන් ඇත්තටම බිස්නස්වලට ආස හිතෙනවා.. අපේ බිස්නස් එක දිගටම කරගෙන යන්නයි මට ඕනැ..”

තාත්තා ඈත තරුවකට වී ඔහුගේ ගොවිපොළ වඩා ඉහළට ඔසවා තබන්නට වෙහෙසෙන ලොකූට ආශිර්වාද කරන බව මට විශ්වාස ය.ඉතින් ඒ මාවතේ ඉදිරියට යාම මට මේ මොහොතේ අවශ්‍යම දෙයකි.

“මං වේලුට කිව්වා පිනී ගමේ අයගේ පොඩි ෆාම්වලිනුත් එළවළු ගමු කියලා. සුපර්මාර්කට් වලට දාන්න එළවළු පළතුරු මදි අපිට දැන්..”

“මලිඳුගේ තාත්තාට නම් යකා වැහෙයි අයියෙ…”

සැබැවින්ම එය එසේ සිදුවන බව මට සහතික ය.

“ගමේ අය එළවළු දෙන්නේ එයාටලු නේද? මට වේලුත් කිව්වා චන්දනත් කිව්වා..”

“අපේ තාත්තා පිට අයගේ අස්වැන්න ගත්තෙ නෑනෙ අයියේ. ඒක කරේ මලිඳුගේ තාත්තා.ඇත්තටම කුණු කොල්ලෙට තමා වැඩිපුරම ගන්නේ ඉතිං.මිනිස්සුන්ට වෙනම ගිහින් විකුණන්න ඉඩ දෙන්නෙත් නෑ…”

“ඇයි ඒ..”

“එකක් මිනිස්සු එයාට ණයයි. තනියම යන්න ගියොත් මගෙන් දියුණු වෙලා දැන් ලොකුකම කියලා හරියට බැන අඬ ගහනවා. ඒ මාමා හරියට කේන්ති ගන්න මනුස්සයෙක්.මලිඳුගේ අම්මටත් ගහනවා බනිනවා හරියට.හැබැයි ඒ නැන්දා හරි ගැම්මට කියන්නේ මාමා සැර නිසා ගමම එයාට බයයි කියලා.කවුරුම හරි පොළේ මුදලාලි කෙනෙක්ට හරි එළවළු විකුණුවොත් නැන්දත් ඔය ළිඳ ළඟ සංගම්වලට වෙලා ඒ මනුස්සයගෙ පරම්පරාවටම බනිනවා..”

අමෝද අයියා හිනැහෙමින් මඳ වෙලාවක් සිටියේ ය.

“ඕක තමයි පිනී අපේ රටේ වැරැද්ද. සමහර මිනිස්සු රජකම හම්බුණා වගේ තමයි තමන්ගේ බිස්නස් කරන්නේ. අසාධාරණයක් ගැන තමන්ට ලැබිය යුතු දෙයක් ගැන අහන මිනිස්සුන්ට එලවා එලවා ගහනවා.අනිත් කාරණේ ගෑනු හිතන විදිය.ගොඩක් ගෑනුන්ට ගුටි කන එකත් වීරකමක්. මිනිහා යකෙක් වගේ හැසිරෙන එකත් ආඩම්බරයක්..”

සත්‍යයකි. නමුත් අපේ ගමේ බොහොමයක් අය මලිඳුගේ තාත්‍තා දියුණු වන්නේ ඔවුන්ගේ කර මතින් බව දැන හුන්න ද වචනයක් වත් පැවසුවේ නැත. නිහඬවම පාවිච්චි වීම ඔවුන් තෝරා ගත් මාර්ගය ය.

“පිනී.. ඔයා ප්‍රයිවෙට් යුනිවර්සිටි එකකට බිස්නස් මැනේජ්මන්ට් ඉගෙන ගන්න එනකොට මලිඳු යාළුවෙක් හැටියටවත් එපා කීවේ නැද්ද…”

එයට ද මා සතුව දිගු පිළිතුරක් තිබිණ. සැබෑවටම අතීතයේ දී මා කොපමණ රතු එළි දුටුවාදැයි මගේ මෝඩ මොළයට වැටහෙන්නේ මේවා සිහි වෙද්දී ය.

“ඒ ලෙවල් රිසල්ට්ස් ආවම මට කැම්පස් යන්න රිසල්ට්ස් තිබ්බේ නෑ අයියෙ. අපේ පොඩි මාමා ගම්පහනෙ. මාමා තමයි කිව්වේ මේ කෝස් එකට ඇප්ලයි කරන්න. අම්මා ටිකක් බය වුණාට තාත්තා ආස වුණා එහෙම එනවට. ඉතිං මං ආවා. මලිඳු මඟින් මගටම කිව්වා කොළඹ ජීවිතේ කොහොමත් ලේසි නෑ.මේවගේ කෙල්ලො එක්ක මට ඉහ ගහන්න බෑ කියලා.එයා එක්ක බෑන්ක් ඇප්ලයි කරමු කියලත් කිව්වා.ඒත් තාත්තා මාව මෙහෙ එවන්න ආස වෙනකොට මට මඟ අරින්න බෑනේ..”

සරසවිය අසලට පැමිණි නිසා මට සමුගන්නට කාලය පැමිණ තිබිණ. අමෝද අයියාගෙන් සමුගෙන මා රියෙන් බැස්සේ සැහැල්ලුවෙන් ය. මලිඳු සහ තිවංකි ගැන සියළු කාරණා අප බෙදාගෙන අවසන් ය. වචනයෙන් ගිවිසුමක නොබැඳුන ද ඔහුගේ පරෙස්සම්සහගත ආදරය ක්‍රමයෙන් දැනෙන බව සිතමින් මම සරසවිය තුළට පිවිසුණෙමි

“ඒයි.. පිනිදි.පොඩ්ඩක් ඉන්නවද?”

නෙත්මි නොහික්මුණු ලෙස මගේ මාවත අහුරාගෙන සිටියා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles