පිනි සේල – 34

ප්‍රමුදි කලබලකාරියක නොවේ. ඇය විස්තරය කියන්නට ගත්තේ නැවතිල්ලේ ය. එහෙත් සෑම මොහොතකම අන් අයට ගරහන, ඕපාදූප හොයන, කෙනෙක් මානසිකව පහත හෙළීම පිණිස ඕනෑම දෙයක් කරන නෙත්මි සහ මලීෂා ප්‍රමුඛ කෙලි රෑන බොහෝ අය පිළිකුල් කරන බව ප්‍රමුදිගේ කතාව අසා හිඳිද්දී පැහැදිලි ය.

“ඒ කතා කරපු විදිය හරි කැතයි තමයි.ඒත් මෙච්චර හොඳ යාලුවෝ ටිකක් ඉන්නකොට ඔයා ඒ වගේ අයට බයේ අඬන එක නම් තේරුමක් නෑ පිනිදියෝ..”

ප්‍රමුදි මගේ උරහිසට අත තබා කීවා ය.ඈ සමඟ හුන් සමාධි ද එය අනුමත කරන සිනාවක් නගමින් මදෙස බලා සිටියා ය.

“ඔයාගෙන් වුණු වැරැද්දකට ඊෂා බැන්නනම්, මෙතන අසයිමන්ට් එක මඟෑරල අපි බැන්නනම් ඕං පිනීට ඔහොම අඬන්න තිබ්බා.තමන්ව මුළු ලෝකෙම මිනිස්සු ගණන් ගන්නවා කියලා හිතන් හිටියට මලීෂලා කවුරුත් ගණන් ගන් නෑ.එයාලා එයාලගෙ සෙට් එකේ යාළුකම් වලටවත් අවංක නෑනෙ.ඒ නිසා එහෙම මිනිස්සු වෙනුවෙන් කඳුලු නාස්ති කරන්නම එපා..”

සමාධි කතාව පෝෂණය කළා ය.මම කදුළු පිසදා ගනිමින් හිනැහෙන්නට තැත් දැරීමි. නමුත් මා වැළපෙන්නේ නෙත්මිගේ කතාවට නොවේ.මලිඳු මට ඇමතූ අන්දම ට ය.මගේ සීමාවන් ඉතා හොඳින් දැන සිටි මට ඔහු වනචර ලේබලයක් ඇලවීම උහුලා ගන්නට අසීරු දෙයකි.එය මට කිසිසේත්ම දැරිය හැකි සීමාවක තිබුණේ නැත.

“අන්න චණ්ඩි රැජින එනවා. දැන් ඉතිං නෙත්මි ගුටි කාලා මිසක් මේක ඉවර වෙන් නෑ.”

ඊෂා ඈත එන හැටි බලමින් සමාධි යළි පැවසුවේ සිනාවකිනි.මම සන්සුන් වන්නට යත්න දැරීමි.ඊෂා පැමිණෙන විට කදුළු පිසදා ලැප්ටොප් තිරය දෙසම බලා සිටින්නට මට යන්තම් හැකි විය.ඇය පැමිණියේ ම ඉරුවාරදය ගැන මැසිවිලි නඟමිනි. ඉතින් දිනුක ඈ කෙරෙහි යොමු වීම නිසා ඊෂා වෙතින් මගේ හැඟීම් සඟවා ගැනීම මට පහසු විය.

අප එසේ හෝරා බාගයක්වත් ගෙවා දමන්නට ඇත.මගේ දුරකථනය යළි නාද වූයේ නොදන්නා අංකයකිනි.

“ඉග්නෝ කරන්න..”

හිමල්ක හිස නූස්සා ම මට පැවසී ය.මම එයට ප්‍රතිචාර නොදැක්වූයේ එනිසා ය.

“නංගි. මම නිලූ අක්කා. ආන්සර් කරනවද?”

කෙටි පණිවිඩය දුටු මම කරන්නට දෙයක් සිතමින් කල්පනා කරද්දී නැවත ඒ ඇමතුම පැමිණියේ ය.

“කවුද නිලූ..”

දිනුකට පැනයකි.

“මලිඳුගේ අයියාගෙ වයිෆ්..”

“ආන්සර් කරන්නකෝ..ආ පොඩ්ඩක් ඉන්න..”

දිනුක මා සමඟ සිසුන් මඟහැර නිදහස් තැනකට පැමිණියේ ය.හිමල්ක ද ඊෂා ද අප පසුපස පැමිණ තිබිණ.

” ස්පීකර් ෆෝන් දාලා කෝල් කරන්න පිනී. ඔයා මේ විකාරයක් නිසා විඳෙව්වා ඇතිනෙ..”

සහෝදරාත්මක අණකට අවනත නොවී හිඳීමට මට හැකි වූයේ නැත.මා නිලූ අක්කාට පෙරළා ඇමතුමක් දුන්නේ එබැවිනි.

ආගිය තොරතුරුවලින් අනතුරුව ඈ කතාව ඇරඹුවා ය.

“නංගි, මං මේ කතාව කිව්වා කියලා ඔයා මලිඳුට කියනවා කියලා මම දන්නවා. ඒත් පොඩි කාලේ ඉඳන් දන්න ඔයාට මේක නොකියා ඉන්න මට බෑ..”

කියවන්න :  පිනි සේල - 12

ඇය මොහොතක් නිහඬව හුන්නා ය.

“ඔයයි මල්ලියි අතර සම්බන්ධයක් තිබුණු නිසා නේද අම්මා ඒ ගැන ඔයාලගෙ අම්මට කතා කරේ..”

මම මා දෙස විමසිල්ලෙන් බලා හිඳින සය නෙත් දෙස බැලීමි. අනතුරුව වඩා ධෛර්යය වඩවා ගතිමි.

“මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවනෙ අක්කා.ඒ හින්දා අම්මා තාම ඒ ගැන මාලිනි නැන්දට මොකුත් කියන්න නැතුව ඇති…”

ඊෂා පුළුල් සිනාවක් නඟමින් දිනුකගේ අත් දඬුවට බර විය. හිමල්ක මහපට ඇඟිල්ල සන් කරමින් මා පසසනු පෙනිණි.නිලූ අක්කා අනෙත් අන්තයේ සිට හෙළූ සුසුම සැනසුමට බර එකක් බව මට දැනිණ.

“නංගි.. ඔයාට පිරිමි ළමයෙක් ඉන්න එක සැනසීමක්. ඔයා අමාරුවේ වැටෙයි කියලා මං හුඟක් බය වුණා.කොළඹ ආවට පස්සෙ මල්ලි බෑන්ක් එකේ ඉන්න ගෑනු කෙනෙක් එක්ක සම්බන්ධයක් හදා ගෙන.බැඳපු කෙනෙක් ලු.ඒ නිසා තමයි අම්මා ඉක්මනින්ම ඔයා ගැන යෝජනාව ගෙනාවේ…”

නිලූ අක්කා තව බොහෝ දේ පැවසුවා ය. මට ඒ කිසිත් ඇසුණේ නැත.

මගේ ප්‍රථම ප්‍රේමය අප්‍රකාශිතව පිදූ සුන්දර යෞවනයාට මේ සිදු වූයේ කුමක්දැයි අදහා ගන්නට නොහැකිව මා බිඳෙමින් තිබිණ.මා උස්මහත් වූයේ ඔහු සමඟ ය.තාත්තා හැර මා දුටු හොඳම පිරිමියා ඔහු බව සිතමින් පාසල් කාලයේ ඔහුගේ අනන්ත නපුරු වැඩ පවා ප්‍රේමයෙන් ඉවසමින් මා සිතුවේ මලිඳු සමඟ අනාගත ජීවිතය ගෙවන අන්දම ය. ඔහු මට අහිමි වීමේ දුකට ද වඩා මා පෙළමින් තිබුණේ මලිඳු ජීවිතය පටලවාගෙන ඇතැයි යන හැඟීම ය.

“දිනූ.. මට ඔයාගේ ෆෝන් එක දෙන්න..”

ඊෂා සියල්ල අසා හිඳීමෙන් අනතුරුව දිනුක වෙත හැරුණා ය.අනතුරුව ඔහුගෙන් ඉල්ලීමක් කළා ය.

“ඔයා කවදාවත් කතා කරන්න එපා කියල මාව පොරොන්දු කර ගත්තු එකෙක්ට මට කතා කරන්න ඕන.ප්ලීස් පිනී වෙනුවෙන් ඒක කරන්න දෙන්න..”

දිනුක ඔහුගේ ජංගම දුරකථනය ඊෂාට දුන්නේ කිසිත් නොකියාම ය.ඊෂා කෝපාවිෂ්ඨ ව අමතන්නේ කාටදැයි මට සැකයක් වූයේ නැත.

“මං ඊෂා. මට කියන්න තියෙන්නේ තමුසෙ එක එකීව රවට්ටගෙන නාඩගං නටලා අන්තිමට පිනී ගාව නවතින්න හදනවා නම්,පිනීව හාවෙක් කරගෙන ප්ලේබෝයි ටයිප් ලයිෆ් එකක් ගෙවන්න හිතනවා නම් ඒවා හඳේ. පිනී මගේ අයියගේ ගර්ල් ෆ්‍රෙන්ඩ්.අපි ඉක්මනින්ම එයාලගෙ එන්ගේජ්මන්ට් එක ගන්න ඉන්නේ..”

මලිඳු කිසිත් නොකියන්නට ඇත.ඊෂා මගේ දුරකථනය මවෙතින් ගෙන මලිඳුට සම්බන්ධ විය හැකි සෑම මාර්ගයක් ම වසා දැම්මා ය.මට කියන්නට කිසිත් තිබුණේ නැත.

ජීවිතයේ එක් පරිච්ඡේදයක් නිමා වූවා වැනි හැඟීමක් මා වෙළා ගෙන තිබිණ.

එදින සවස නිවසට පැමිණි පසු ඊෂා මට තනි වෙන්නට ඉඩ දුන්නේ ම නැත.ඈ වලිගය සේ මා කැටුව සිටියා ය.නමුත් දිවා කාලයේ සිදු වූ දේ ගැන ඈ මා සමඟ කිසිවක් පැවසුවේ නැත.හවස් යාමයේ ඈ මා වෙනුවෙන් පාන් ටෝස්ට් කරද්දී මා මිදුලට ආවේ කල්පනාවට බරව ය.මට හිතේ සාංකාව මකා ගන්නට මල් අතර ඇවිදින්නට ඕනෑ විය.

කියවන්න :  පිනි සේල - 33

ඊෂලාගේ නිවසේ සේවිකාව,විමලා සිටියේ කුඩා ගෙවතු උද්‍යානයට සාත්තු සප්පායම් කරමිනි.මලින් පිරී ගිය පරිසරයක ජීවත් වූ කඳුකර යුවතියක වූ මට ක්‍රමවත් ව සකසන්නට උත්සාහ කළ නමුත් ඊෂලාගේ කුඩා උද්‍යානයේ බොහෝ අඩුපාඩු ඇති බව පෙනෙන්නට ගත්තේ හදිසියේ ය.මේ නිවසට යාම් ඊම් අරඹා දෑවුරුද්දක් ගෙවී අවසන් ය.ඊෂා මා මෙහි නවතින්නට කැන්දාගෙන විත් මාස කිහිපයක් ගෙවී අවසන් ය.නමුත් පෙර නුදුටු තැන් මගේ දෑසේ ගැටෙන්නට වූයේ හදිසියේ ය.

“මේ රෝස ගස් මෙතනට එච්චර හරියන් නෑ විමලම්මා…”

මම විමලා වෙත ගියේ එහෙම කියාගෙන ය.අම්මා සමඟ ගෙවත්ත හැඩ කළ පිනිදි පිටතට පැමිණ සිටි අතර මා විමලාට උද්‍යාන අලංකාරය ගැන බොහෝ දේ කියා දෙන්නට පටන් ගෙන තිබිණ.

“ලොකු නෝනා මල් පැළ දැක්කම ගෙනත් දෙනවනෙ බේබි. මාත් ඔහේ හිටවනවා.”

විමලා කියන්නේ වතුර බටය මල් අතරේ හසුරවමිනි.නව ජීවයක් ලැබූ ළපටි දළු දිවා කල කාෂ්ඨක බව අමතක කරමින් හිස ඔසවන හැටි බලමින් මා ඈ සමඟ රැඳුණෙමි.

“පිනී පුතේ.. දියතට යං අපි දෙන්නා වෙලාවක. මල් පැළ ඕන තරම් තියෙන්නෙ.ගෙනල්ලා ඔයාට ඕන හැටියකට හිටවා ගන්න..”

ඊෂාගේ අම්මා අප වෙත පැමිණියේ එහෙම කියමිනි.ඇගේ නිවසේ උද්‍යානය වෙනස් කරන්නට යාම ගැන හදිසියේ පහළ වූ ලැජ්ජාවකින් මම මුහුණ රතු කරගතිමි.

“ඒකත් ඇත්ත.පිනී බේබි ආස දෙයක් හිටවන එක හොඳයිනෙ.”

විමලා අනෙක් පසට ගියේ එහෙම කියාගෙන ය.එතැනට ආ ඊෂා ඉඟටියට දෑත් ගසාගෙන ඇගේ අම්මා දෙස බලා සිටියේ නෝක්කාඩුවට ය.

“අම්මි මට මල් හිටවන්න කියලා නෑනේ..”

නයනා ආන්ටී ඊෂා දෙස බලන්නේ හිනාවක් පැළඳගෙන ය.

“මේ ගාඩ්න් එක පිනිදි ලස්සන කරපුවාවේ.ඔයා පොඩි සයිඩ් සපෝට් එකක් දුන්නම ඇති..”

විවර වූ ගේට්ටුවෙන් නිවසට හැරවෙන අමෝද අයියාගේ රිය දුටු මම නිහඬව ම හුන්නෙමි. මා නොදන්නා නමුත් මේ නිවසේ සියල්ලන් ම මා මෙහි දියණිය කර ගැනීම ප්‍රීතියෙන් අනුමත කර අවසන් ය.මනස්කාන්ත සිනාවක් ඇතිව රියෙන් බසින යෞවනයා මා කෙරෙහි ඇති ප්‍රේමය මට හෙළි කරන දිනය කවදා වේදැයි දැන ගැනීමේ හදිසි ආශාවක් මා වෙළා ගත්තේ එනිසා ය.

අතීත වේදනා මවෙතින් ඈත් කර දමන අන්දමේ සිනාවක් සමඟ අමෝද අයියා අප වෙත එමින් සිටියේ ය.

3.8 8 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments