පාට සේදුනු වත්සුණු – 40

0
901

මන්දාරම් අඳුරක් හැන්දෑවේ තැවරී තිබිණ. කෙනෙක් මූසල පාට කියා කියන්නේ සොබා දහමේ ඒ ස්වභාවයටයි. නමුත් පුංචි සාවියේ පටන් ම මම අහසේ මන්දාරමත් එක්ක හිතින් බැඳී සිටි බව මතක ය. අදත්, අහස අඬන්නට සැරසෙන වෙලාවට එකත්පස් වී හිත දැහැන්ගත වෙයි. නමුත් මේ වෙලාවේ යුගාන්ත සිටියේ මා හමු වෙන්නට ඇවිදිනි. සම්මුඛ බංකු දෙකෙහි හිඳ අපි කතා කරමින් සිටියෙමු. යුගාන්ත ගේ ජංගම දුරකතනයට ඇමතුමක් ආවෙන් මම මොහොතකට බංකුවෙන් නැගී සිටින්නට ගියෙමි.

“මොකද්ද…අම්ම…”

ඔහු ගේ ස්වරයට හුරු පුරුදු සන්සුන් බව බිඳී එහි කලබලයක් සනිටුහන් වූයෙන් මා යළි බංකුවේ හිඳවිණි.

“එකපාරටම එහෙම වුණේ කොහොමද තාත්තෙ…හරි…හරි මං දැං එන්නං. තාත්ත කලබල නොවී ඉන්න ඕනෙ හරිද…මං එනව”

අවුල් සහගත බවක් ඔහු වෙතින් දැකිය හැකි විය. 

“ඇයි අයියෙ…මොකද්ද වෙලා තියෙන්නෙ”

එසේ නො අසා ඉන්නට තරම් ආත්ම පාලනයක් මට වූයේ නැත.

“අම්ම අසනීප වෙලා ගයාත්මි”

“අසනීප කිව්වෙ…”

ඒ තරමින් මා හාරා පාරා ඇසුවේ ඔහු ගේ මූණ මැළවෙන්නට ඒ හැටි වෙලාවක් නො ගිය බැවිනි.

“අම්ම කතා කරන විදිහෙ වෙනසක් දැනිල තාත්තට. ගොත ගගහ වගේ අමුතු විදිහකට කතා කරන්න අරං. කට ටිකක් පැත්තකට යනව වගෙත්ලු. ඒ ගමන තාත්ත ඉක්මනට ඩොක්ට ළඟට අරං ගිහිං. හොස්පිට්ල් ගෙනියන්න කිව්වලු”

“හොස්පිට්ල්….”

“මං ඔයාට කෝල් කරන්නං නංගි”

“පරිස්සමෙං අයියෙ”

හිතේ වූයේ දෙගිඩියාවකි. යුගාන්ත යනු සාමාන්‍යයෙන් කලබල නො වන තැනැත්තෙක් බව මේ කෙටි කාලය තුළ දී මම අවබෝධ කර ගෙන ඇත්තෙමි. නමුත් ඔහු බොහෝ සේ තැති ගෙන උන්නේ ය. දැඩි අනාරක්ෂිත බවක් මට ඔහු වෙතින් දැකිය හැකි විය. රෑ වන තුරුත් ඔහු මට ඇමතුමක් දුන්නේ නැත. පවුලේ ප්‍රශ්නයක් අතරේ මා කතා කරන එක වරදක් හෝ කරදරයක් සේ දැනෙන්නට බැරි නැති බැවින්, ඔහු අමතන්නට ද මා තුළ වූයේ පසුබෑමකි.

“ඒ වුණාට කතා කරල බලමු ගයා. අපි දන්නෑනෙ මොකද්ද තත්වෙ කියල”

තුෂී මගේ නො සන්සුන් බව හා දෙගිඩියාව දැක කීවා ය.

“ආන්සර් කරන්න බැරි නං යුගාන්ත කෝල් එක කට් කරයිනෙ. එහෙම නැත්තං පස්සෙ ගන්නං කියල හරි කියයිනෙ. ඔන්න ඔහෙ ගමු”

මා ඔහු ට ඇමතුමක් ගත්තේ තුෂී ගේ බල කිරීමට ය.

“නංගි….”

යුගාන්ත ගේ හඬ බිඳී ගියේ ය.

“මොකද අයියෙ අම්මට…”

“අම්ම…අම්ම පැරලයිස් වෙන්න වගෙයිලු”

ඒ හඬ ආවේ ඔහු ගේ උගුර යටිනි. සත්තකට යුගාන්ත හැඬුම පාලනය කර ගත්තේ ඔහු ප්‍රගුණ කර ඇති ඉවසීම හා ජීවිතය පිළිබඳ වර්ධනය කර ඇති අවබෝධය නිසා ම විය යුතු ය.

“දෙයියනේ…ඔයා හිත හයිය කර ගන්න අයියෙ. අපි අම්මව කොහොම හරි සනීප කර ගමු. කොහොම හරි”

ජීවිතයක් මත්තේ ඕනෑම මොහොතක ඕනෑ ම දෙයක් සිදු විය හැකි බව මට කියා දුන්නේ යුගාන්ත ය. ඒ වූ කලී කෙතරම් පවිත්‍ර සත්‍යයක් ද? ඔහු ගේ මවු, තරමක් අහංකාර තැනැත්තියක් බව දැනටමත් මම තේරුම් ගෙන ඉමි. ඒ මෙතෙක් දෛවය ඇයට අවශ්‍ය කළ ඕනෑ ම දෙයක් ලබා දීම නිසා ඇති වූ ගර්වයක් වන්නට පුළුවන. නමුත් අහංකාරකම් කියන්නේ ද ඉරණම ඉදිරියේ අතිශය අස්ථාවර දෙයකි. මොන තරම් සාඩම්බරයෙන් වැජඹෙන කෙනෙකුට වුව දෛවයේ තීරණයන්ට හිස නමන්නට සිදු වේ.

කියවන්න :  පාට සේදුනු වත්සුණු - 10

“අපේ ගෙදර සම්පූර්ණයෙන් පාලනය කළේ අම්මනෙ අත්තම්ම. මට හිතාගන්න බැරි ඒ අම්ම ඇඳක් උඩට වුණාට පස්සෙ…අපි නෙවෙයි එයාම වුණත් ඒක කොහොමද දරාගන්නෙ…”

මා හා අත්තම්මාත් තුෂීත් යුගාන්තගේ මව බලන්නට රෝහලට ගිය වෙලේ, ගිලන් යහනෙන් මෑත් වී යුගාන්ත කීවේ ය. නො දන්වා ම පැමිණෙන ව්‍යසනයන් හමුවේ අප කෙතරම් නම් අසරණ වෙනවා ද? 

“ලෙඩ දුක් කියන ඒව එහෙම තමයි පුතා. ගෙදරක අම්ම ලෙඩ වෙනව කියන්නෙ ඒ ගෙදරම ලෙඩ වෙනව කියන එකට තමයි”

“ගෙදර එක්කං ගියත්…මායි තාත්තයි කොහොමද මේ දේවල් කරන්නෙ…මට කිසි දෙයක් හිතා ගන්න බෑ”

“පුතාගෙ අක්කව ටික කලකට හරි ලංකාවට ගෙන්නගන්න වෙයි නේද…”

“මාත් අක්ක එක්ක කතා කළේ. ඒත් එයා කියන විදිහට එයාට එන්න පුළුවන් වෙන එකක් නෑ වගේ”

“එහෙම කොහොමද ඉතිං…මෙහෙම වෙලාවක දුවෙක් අම්මා ළඟ ඉන්නම එපැයි”

“මගෙ ඔළුව අවුල් වෙලා වගෙයි අත්තම්ම”

“කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරන්නං යුගාන්යියෙ. අපි අම්මව සනීප කරගමු. මං හිතන්නෑ අපිට ඒක කරන්න බැරි වෙයි කියල”

මා එහෙම කීවේ කලින් සිතා මතා ඇති කර ගත් තීරණයක් මත නොවේ. යුගාන්ත වෙනුවෙන් කළ යුත්තේ කුමක්ද එය නො පිරිහෙලා ඉටු කිරීම මගේ පරම යුතුකම සේ මට දැනුණ බැවිනි. අත්තම්මා ගේ දෑස් දිළිසුණේ ය.

“මට මගෙ මිණිපිරී ගැන බොහොම සන්තෝසයි. එහෙම තමයි ගයා ගෑනු ළමයෙක් හැසිරෙන්න ඕනෙ. තමුංගෙ සහකාරයගෙ ප්‍රශ්න කියන්නෙ තමුන්ගෙත් ප්‍රශ්න. එකටම දෙන්නෙක් ප්‍රශ්න වලින් එතෙර වෙනකොටයි එතන යහපත් බැඳීමක් ඇති වෙන්නෙ”

“ඔයාගෙ ඒ වචනෙත් ඇත්තටම මට ලොකු ශක්තියක් ගයා”

මා එවැනි යෝජනාවක් කළේ කිසි සේත් බොර දියේ මාළු බානා අදහසකින් නොවේ. යුගාන්ත ගේ හිත් බර මඳකින් හෝ තුනී කරන්නට ඇත්නම් එය මේ වෙලාවේ මට කළ හැකි මෙහෙවරක් සේ සිතා ය. නමුත් එහි ප්‍රායෝගික ගැටළු තිබිණ. යුගාන්ත ගේ මහ ගෙදර තිබුණේ අපේ ගෙදරට සැලකිය යුතු තරම් දුරකිනි. දිනපතා මා එහි යාම් ඊම් තරන්නේ කෙසේද? එසේ යතොත් පැළ තවානේ කටයුතු අඩාල වන්නේ ය. අලුත් බිළිඳා නිසා අම්මා සේ ම අත්තම්මා ද කාර්ය බහුල ය. ඒ නිසා පැළ තවාන ඔවුන්ට පවරා යා නො හැකි ය.

“අම්මව මේ ගෙදරට එක්කං එන්න බැරිද අයියෙ…මං කියන්නෙ ටිකක් සනීප කර ගන්නකං හරි…එතකොට මට පුළුවන් නේද අම්මත් එක්කම අනිත් හැම දේමත් බලා ගන්න…”

මා එවන් අදහසක් යුගාන්ත වෙත ඉදිරිත් කළත්, ඔහු ගෙන් එය එකෙනෙහි සම්මත වූයේ නැත. අම්මා යනු මා ප්‍රතික්ෂේප කළ තැනැත්තියකි. එහෙවු ඇය මගේ ගිලානෝපස්ථානයන් පිළිගනු වස් මෙහි පැමිණේවිද කියා ඔහු ට වුව සිතා ගත නො හැකි වන්නට ඇත. මටත් ඒ ගැන පැහැදිළි අදහසක් නොවුණත්, යුගාන්ත වෙනුවෙන් ඉටු කරන්නට යුතුකමක් ඇති බව පමණක් මම දැන උන්නෙමි.

කරඬුව වඩම්මන හස්ති රැජිණක් සේ වූ යුගාන්ත ගේ මෑණියන් දවසට දෙකට වැහැරී ඇඳට සීමා වූවා ය. දින කිහිපයක් යුගාන්ත රැකියාවට පවා නොයා ඇයට උවටැන් කළත්, හැමදාම එසේ කළ නො හැකි බව පැහැදිලි සත්‍යයක් විය. රෝහලෙන් ගෙන ආ පසු ආයුර්වේද ප්‍රතිකර්ම සඳහා ඇය ව යොමු කළ යුතු යයි ඥාතීන් විසින් උපදෙස් දෙනු ලැබූවත්, ඒ වතාවත් කිරීම සඳහා කිසිවෙක් ගෙදර නතර කර ගත නො හැකි වූ බව යුගාන්ත පැවසී ය. අම්මා ගේ ආවතේව මට කළ හැකි යයි මම නැවතත් පැවසීමි. ඉන් දින කිහිපයකට පස්සේ අම්මා ව අමාරුවෙන් කැමති කරවාගෙන හෝ අකමැත්ත මත ම හෝ, ඔවුහු අලුත් ගෙයි පදිංචියට ආවෝ ය.

කියවන්න :  පාට සේදුනු වත්සුණු - 4

“ගයා වෙන වැඩ නෑ වගේ දාගන්න කරදරනෙ”

ඔවුන් එහි පැමිණීම ගැන නො මනාපයෙන් අම්මා කීවා ය.

“අනිත් එක කසාද බැඳල ඉස්ඉස්සෙල්ලම ඔයාට පදිංචි වෙන්න තිබුණ ගෙදරට ලෙඩෙක් අරං ආපු එක හොඳද…”

“ලෙඩ වෙන එක මැරෙන එක කියන්නෙ ඕන මනුස්සයෙක්ට ඕන වෙලාවක වෙන්න පුළුවන් දේවල් අම්මෙ. අපි ඒව සිද්ද වෙන්න නියමිත වෙලාව දන්නැති එක විතරයි තියෙන්නෙ. අද ඒ අම්මට වුණ දේ හෙට මට වෙන්න පුළුවන්. අම්මට වෙන්නත් පුළුවන්”

“යුගාන්තව ආශ්‍රය කරන්න ගත්තට පස්සෙ ගයා හරියට පණ්ඩිත වුණා. ඉස්සර ඔයා ඔහොම නෑ. අහිංසක හුරුබුහුටි කෙල්ලක් විතරයි”

“ඒක ඇත්ත. යුගාන්ත නිසා මං ජීවිතේ ඇත්ත මොකද්ද කියන එක ඉගෙන ගත්තා”

යුගාන්ත ගේ අම්මා ත් මුලින් මට ඍජු ව මූණ දුන්නේ නැත. නමුත් ඇයට කෑම පිසුවේත්, කෑම කැව්වේත්, තෙල් බෙහෙත් ගෑවේත්, පිළිවෙල බලා බෙහෙත් බොන්න දුන්නේත් මා ය. මුලින් මා නො රුස්සමින් සිටි ඕ තොමෝ අන්තිමට මගේ ආදරයට අවනත වූවා ය. මගේ සැලකුම් ඉවසන්නට පටන් ගත්තා ය.

“දුව පුරව ගන්නෙ මහ කුසල කර්මයක්. ගිලානෝපස්ථානය කියන්නෙ බුදු හාමුදුරුවො මහ ඉහළින් අගය කරල, තමුන්ගෙ අත් දෙකෙන්ම කරල පෙන්නපු දෙයක්. පූතිගත තිස්ස හාමුදුරුවන්ගෙ කතාව දුව අහල ඇතිනෙ”

යුගාන්ත ගේ තාත්තා බොහෝ දිනක් නිහඬ ව බලා සිටීමෙන් පසු මට කතා කළේ ය. මා මඳහස පෑවා පමණකි.

“දුවගෙ වයසෙ තරුණ ගෑනු දරුවෙක්ගෙං බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි දුව ඔය කරන්නෙ. මං හිතන්නෙ මගෙ පුතා යුගාන්ත දුවගෙ ඒ විශේෂත්වය කලින්ම දකින්න ඇති”

මගේ ඇති විශේෂත්වයක් ගැන නම් මම නො දනිමි. යුගාන්ත නිසා ජීවිතයේ බොහෝ පිරිපත වලට ශක්තිමත් හිතෙන් මුහුණ දෙන හැටි නම් මම ඉගෙන ගනිමින් සිටිනෙමි.

“ඒත් මං දුවට කලින් ම එක දෙයක් කියල තියෙන එක හොඳයි”

ඒ මොකක්දැයි අසනු වස් මම නෙතු නගා බැලීමි.

“යුගාන්තගෙ අම්ම කියන්නෙ ටිකක් අහංකාර….වචනයක් කිව්වොත් ඒක වෙනස් කරන්න අකමැති උද්දච්ච කමක් තියෙන කෙනෙක්. එයාගෙම දුව එක්ක වුණත් හරියට මත ගැටුම් ඇති කර ගන්න කෙනෙක් එයා. ඒක නිසා මේ හැම දේම කරල අන්තිමටත් මේ අම්ම දුවලගෙ සම්බන්දෙට ආශිර්වාද නොකළොත්..ඒ ගැන මං පුදුම වෙන්නෑ. ඒක නිසා දුව ඒ ගැන වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා”

“නෑ තාත්තෙ. මං මුකුත් බලාපොරොත්තුවෙන් අම්මට සාත්තු කරනව නෙවෙයි මේ. යුගාන්ත අයියගෙං මං ඉගෙන ගත්ත ජීවිතේ වෙනුවෙං…එයාට උදව්වක් කරනව විතරයි”

රෝද පුටුව කරකවමින් අම්මා අප වෙත එමින් සිටියා ය. ඇගේ මූණේ වූයේ අපේ කතා බහ අසා උන් බවට හැඟීමකි.

අවසන් කොටස සිකුරාදාට

4.7 3 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments