ගමන් මළු

අපි දෙන්නටම තිබුණා ලොකු ගමන් මළු දෙකක්..!

ඈට තිබුණේ මහා පීඩාකාරී ළමා කාලයක්. රට ගියපු අම්මෙක්, උප්පැන්නෙටවත් නම දුන්නැති තාත්තෙක්, අසනීප වුණු ආච්චියෙක් සහ නිතර බීගෙන හිටපු අසමජ්ජාති බාප්පෙක් එක්ක එයාගෙ ජීවිතේ කවදාවත් ලස්සනට තිබුණේ නෑ. අම්මගේ රූපෙවත් මතක නැති අවුරුදු නමයක දරුවෙක්, ගොරහැඬි අත්වලට පොඩි වෙන බව කන් දෙකවත් හරියට ඇහෙන්නෙ නැති එයාගේ ආච්චි අම්මා දැනන් හිටියේ නෑ. කසිප්පු වඩියක් කටට හලාගත්ත බාප්පා හොරෙන් රෑට කාමරේට රිංගන බවත්, විරුද්ධ වෙන්නවත් බැරි තරම් ඈ සියුමැලි බවත් දැනන් හිටියේ සිදුරු වුණු වහලේ පොල් පරාල මැදින් බැඳපු දැල්වල හිටපු මකුළුවො විතරයි. තවමත් වැඩිවිය පැමිණිලාවත් නැති මල් පෙත්තක් තලන්න හිත හදාගත්තෙ කොහොමද කියලා අහන්න මකුළුවන්ට පුළුවන්කමක් තිබුණේ නෑ. යන්තමට කරදඬු උස් වෙද්දි ඈ ගෙදරින් පැනලා එන්නේ ඒ නිසා.

බාප්පගේ අත්වලට පොඩි වුණු ඈට තෝරාගැනීමක් නොතිබුණත්, ඉන් පස්සේ හමුවුණු පිරිමි ගොඩකගේ අත්වලට පොඩි වෙන්න ඈ තීරණය කරලා තිබුණා. මට ඈව මුණගැහුනේ එහෙම. ඈ මා එක්ක නිදිවදින්න තීරණය කරපු දවසක..!


ඔහුටත් මට වගේම ලොකු ගමන් මල්ලක් තිබුණා. කිසිම අඟහිඟකමක් නැතුව රත්තරන් හැන්දක් කටේ තියාගන ඉපදුනු ඔහුට හිටියේ නිතරෝම අඩදඹර වෙන දෙමව්පිය යුවලක්. දවසේ වැඩවලින් හෙම්බත් වෙලා ගෙදර ඇවිත් අම්මට බැනපු තාත්තටත්, තාත්ත්ගේ බැනුම්වල තරහට තමන්ගේ අඩි සෙරෙප්පු වලින් තමන්ට ගහන අම්මටත් ඔහු වෛර කරන්න ගත්තේ පොඩි කාලෙදිමයි. ඒ පුපුරන වෛරය සාධාරණ බව කියන්න ඔහුගේ පපුවේ තිබුණු සිගරට් කොට පිළිස්සුමටත්, හම් පටියක පාරවල් රැගත් පශ්චාත් පෙදෙසත්, උස් සෙරෙප්පුවක අඩිය වැදී තුවාල වුණු ඇහි බැමත් සාක්ෂි දැරුවා. ඔහු මිනිස්සුන්ට වෛර කළේ ඒ නිසා.

මාත් එක්ක නිදිවදින හැම රෑකදිම මට අසීමාන්තිකව රිද්දන්න ඔහු පුරුදු වෙලා හිටියා. ඒ තරම් මට රිදවපු පිරිමියා එකමත් එක දවසක, හොඳටෝම කළුවර වුණු රෑක , මා ගාව බිම දණ ගහගන ඉකි බිඳිමින් හිටියා. ඔහුගේ අභ්‍යන්තරයේ තිබුණු තුවාලවල වේදනාව මම අඳුරගත්තේ එහෙම.


තුවාලවල වේදනාව දන්න මිනිස්සු අනික් මිනිස්සු එක්ක ගණුදෙනු කරන්න බයයි. අපි ආදරේ කරන්න පටන් ගත්තෙ හෙමීට. අවුරුදුම කිහිපයකට පස්සේ ඈ මගේ ගෙදරට එනකොට ඈ එන්නේ ඒ හැම වේදනාවම හැම බලාපොරොත්තු කඩවීමක්ම, හැම රැවටීමක්ම දමාගත්තු ලොකු ගමන් මල්ලක් අරගන බව මම දැනන් හිටියා. ඒ තරමට ම වේදනා පිරුණු ගමන් මල්ලක අයිතිකාරයෙක් ඈ එනකල් දොරකඩට වෙලා බලන් හිටියා.

අපි අපිවම සුවපත් කරගනිමින් හිටියා. තුවාල කැළල් සහිත නමුත් සුව වුණු මිනිස්සු විදිහට අපි වැදගත් තීරණයක් ගත්තා. අපි දෙන්නගෙම ජානවල අයිතිය අරගන රෝස පෙත්තක් අපේ දෝතට ඇවිත් හිටියා.

අපි දෙමව්පියෝ වෙන එක ගැන මහා ලොකු දෙයක් දැනගන හිටියේ නෑ. ඒ වුණාට දෙමව්පියෝ විදිහට නොකර ඉන්න ඕන මොනවද කියලා අපි තරම් හොඳට දන්න කිසිම කෙනෙක් හිටියේ නෑ..!

~අනූ පතිරණ

More Stories

Don't Miss


Latest Articles