Cosmetic Surgery එකක් සිදුකරන්නට පෙර…

එක එක තැන්වලට ගිහින් ශල්‍යකර්ම කරගෙන සංකූලතා මතු වී, වැරදි සැත්කම් සිදුකිරීම මගින් විශාල කැළල් ද විවිධද විකෘතිතා ද ඇතිව තවදුරටත් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්නට සිදුවීම මෙකල සුලබයි. ප්ලාස්ටික් සැත්කම් වලදී ජීවිත තර්ජනයක් බොහෝමත්ම කලාතුරකින් සිදුවිය හැකියි. ඕනෑම ශල්‍යකර්මයක ජීවිත අවදානමක් පවතිනවා. ඒ වගේම කොණ්ඩය කළු කරන්න පාවිච්චි කරන ඩයි වර්ග අසාත්මික වී මිනිසුන් මියගිය අවස්ථා පවා ඕනෑතරම් වාර්තා වෙනවා. ඒ නිසා ජීවිත අවදානම පවතින මෙවැනි සැත්කම් හා ප්‍රතිකාර වර්ග සිදුකර ගැනීමේදී හදිසි අවස්ථාවක ප්‍රතිකාර ලබාගත හැකි ආයතනයක් වෙත යාම අවශ්‍ය වෙනවා. ඒ වගේම ප්ලාස්ටික් සැත්කම් මාරාන්තිකයි කියා අනියත බියක් ඇතිකර ගැනීමත් නුවණට හුරු නැහැ

ශල්‍යකර්මයක් හෝ පුද්ගලයෙකුගේ සම ඇතුළට යන කැපීමක්, ලේ ගැලීමක් සිදුවන දෙයක්, මැස්මක්, එන්නත් කිරීමක් වැනි දෙයක් සිදුකරයි නම්, එම ස්ථානය ආරක්ෂාකාරී ස්ථානයක් විය යුතුයි. යම් පුද්ගලයෙකුට ආසාත්මිකතාවක් ඇතිවුවහොත් නැවත ප්‍රතිජීවය ලබාදිය හැකි පහසුකම් එම ස්ථානයේ පවතීද යන්න සොයා බැලිය යුතුයි. ඒ වගේම ශල්‍යකර්මයක් සිදුකරන ස්ථානයක ජීවානුහරණ පද්ධතිය නිසියාකාරව තිබිය යුතුයි. නමුත් ජීවානුහරණය නිවැරදිව තබාගැනීම ඉතාම මිලාධික කටයුත්තක්.

ඒ නිසා සියලුම රජයේ රෝහල් හා ඇතැම් පෞද්ගලික රෝහල් හැර අනෙකුත් වෛද්‍ය ආයතනවල ජීවනුහරණය නිවැරදිව පවතීද යන්න පිළිබඳ සැකයක් මතුවේ. ඒ වගේම හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීමට ගිලන්රථයක් එම ස්ථානයේ තිබිය යුතුයි. තවද මෙවැනි ප්‍රතිකාර මධ්‍යස්ථාන බොහෝවිට පවතින්නේ තට්ටුනිවාස සංකීර්ණයක හෝ මහල් වෙළෙඳසංකීර්ණවල බැවින්හදිසි අවස්ථාවකදී ප්‍රතිකාර සඳහා රෝහලවෙත රැගෙන යාමේ පහසුකම් නොමැති වන අවස්ථාද බහුලයි. ඒ නිසා එවැනි ස්ථානයක හදිසියකදී රෝහලක් වෙත රැගෙන යාමට ගිලන් ඇඳන්, විදුලි සෝපාන පහසුකම්, ගිලන්රථ පවතීද යන්න ප්‍රතිකාර ගැනීමට පෙර සොයාබැලිය යුතුයි. බොහෝදෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්න බියක් දක්වනවා. එම අකමැත්ත සහ බිය නිසා කෙටි ක්‍රම මගින් කොහේ හෝ ස්ථානයක කඩයකින් බඩු ගන්නා මෙන්, සැලෝන් එකකින් ෆේෂල් එකක් දාගන්නාක් මෙන් මෙවැනි සැත්කම් කෙටි ක්‍රම මගින් සිදුකර ගැනීමට උත්සාහ දරනවා.

ඕනෑම සැත්කමකදී සංකූලතාවන් ඇතිවිය හැකියි. එය ප්ලාස්ටික් සැත්කම්වලට පමණක් පොදු වූවක් නොවේ. ඕනෑම දියුණු රටක කරන සැත්කමකදී වුවත් සංකූලතා ඇතිවිය හැකියි. උදාහරණ ලෙස තුවාලයක් පැසවීම වුවත් දැක්විය හැකියි. නමුත් රජයේ රෝහලක සැත්කමක් සිදුකරන්නේ සංකූලතා අවම වන ලෙසයි. ඒ වගේම නොසිතන අවස්ථාවල සංකූලතා ඇතිවීමට ඉඩක් පවතින නිසා හොඳ සූදානමකින් තමයි සැත්කම් සිදුකරනු ලබන්නේ. ඒ වගේම ආසාත්මිකතා ඕනෑම අයෙකුට ඇතිවිය හැකියි. ඒ නිසා රෝගියෙකුට සැත්කමක් කිරීමට ප්‍රථම ආසාත්මිකතාවන් පිළිබඳව විමසා බලා ඒවාට අවශ්‍ය පෙර සූදානම් සිදුකර සැත්කම්වලට ලක්කිරීමයි සිදුකරන්නේ. සෑම ශල්‍යාගාරයකම, සෑම වාට්ටුවකම, සෑම දැඩිසත්කාර ඒකකයකම හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු දෑ සූදානම් කර තිබෙනවා මෙන්ම සියලුම හෙද කාර්ය මණ්ඩලය පවා එම තත්ත්වයන් වලදී ක්‍රියාකළ යුතු ආකාරය පිළිබඳ පුහුණුවක් ලබා සිටිනවා. රජයේ වගේම පෞද්ගලික රෝහල්වල මෙම තත්ත්වය දැකගත හැකි නමුත් නිවසක නැත්නම් වෙනත් සායනවල මෙවැනි සූදානමක් පවතිනවාද යන්න සැකසහිතයි.

සම පැහැපත්වීමට, තරුණ බව රැකගැනීමට භාවිතා කළ හැකි යැයි සැලකෙන ග්ලූටොතයොන් නමැති ඖෂධයක් ජනප්‍රිය ලෙස Cosmetic Surgery වලට යොදාගන්නා බව පසුගියක දැකගත හැකිවිය. නමුත් ග්ලූටොතයොන් ඖෂධය තවම ලංකාවේ ලියාපදිංචි නොමැති ඖෂධයක්. ඒ වගේම එය ඇමරිකාවේ භාවිතයෙන් ඉවත් කළ ඖෂධයක්. ලෝකයේ Cosmetic Surgery බහුලව දැකගත හැකි රටක් තමයි ඇමරිකාව. සම පැහැපත් කරන හෝ තරුණ බව රැකගන්නා ඖෂධයක් ලෙසඇමරිකාවේ FDA (ආහාර හා ඖෂධ පාලක මණ්ඩලය) සංවිධානය අනුමැතිය මෙම ඖෂධයට ලැබී නැහැ. එනිසා ඔබ මෙවැනි සැත්කමක් සැත්කමක් හෝ ඖෂධයක් භාවිතාකිරීමට සැරසෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ පිළිබඳව නිසි පරික්ෂාවක් සිදුකරන්න.

– කල්හාරී –

 

Related Articles

Don't Miss


Latest Articles