රෝහල් ගත වන්නට පෙර මේ ගැනත් දැනුවත් වන්න

මේ දිනවල විවිධ රෝග නිසා බොහෝ දෙනාට රෝහල් ගත වන්නට සිදුව ඇත. ඕනෑම අයෙකු රෝහල්ගත වන්නේ තමන්ට පවතින රෝග තත්ත්වයකට ප්‍රතිකාර ගැනීමටයි. තම රෝගී තත්ත්වය හැකිතරම් ඉක්‌මණින් සුව අතට හැරී නැවත නිවස බලා යාම ඔවුන්ගේ අපේක්‍ෂාවයි. නමුත් රෝහල්ගත වීමෙන් අනතුරුව සමහර පුද්ගලයන්ට රෝහල තුළදී වෙනත් ආසාදිත රෝගවලට ගොදුරු වීමට සිදුවන බව ඔබ දැන සිටියාද?

රෝගීන්ගෙන් සියයට දොළහක්‌ පමණ මෙම රෝහල තුළදී නතු කරගන්නා රෝගවලට ගොදුරු වෙති. ඇතැම් අවස්‌ථාවල දී මෙවැනි රෝග රෝහල් පරිසරයන්හි වසංගතයන් ලෙස පැතිර යන අවස්‌ථාද පවතියි. කෙසේ වුවත් රෝහල තුළ දී නතුකර ගන්නා රෝග සම්බන්ධව රෝහල් කාර්ය මණ්‌ඩලය, මෙන්ම රෝගීන් ද දැනුවත් ව සිටීම වැදගත් වෙයි.

රෝග බෝවන පළමු ආකාරය වන්නේ රෝගියාගේ ශරීරයෙන්ම නිකුත්වන ආසාදිත විශබීජ මගිනි. සමේ පවතින ආසාදිත තුවාලයක සිටින අහිතකර බැක්‌ටීරියාවන් රෝගියාගේ වෙනත් පටකයන් හෝ පද්ධතියක්‌ ආසාදනයට ක්‍රියා කරන අවස්‌ථා ඇත. වෙනත් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට ද රෝග බෝවිය හැකිය. රෝහල තුළදී රෝහල් කාර්ය මණ්‌ඩලයේ සාමාජිකයන්, වෙනත් රෝගීන් හෝ රෝගීන් බැලීමට පැමිණෙන අමුත්තන්ගෙන් රෝග වෙනත් රෝගීන්ට බෝවිය හැකිය.

පාරිසරික සාධක හරහා ද රෝග බෝවිය හැකිය. බාහිර පරිසරයේ සිටින පුද්ගලයන්, විවිධ උපකරණ භාවිතය, විවිධ පරීක්‍ෂණයන්ට ලක්‌වීම, දූෂිත වාතය ආඝ්‍රාණය, රෝහල් භූමියේ අපවිත්‍රතාව ආදිය මෙයට වගකිව යුතුය. විෂබීජ තැවරුණු අතකින් රෝගියෙකු ඇල්ලීමෙන් රෝගියාට තවත් රෝගයක්‌ බෝවිය හැකිය. විවිධ ශල්‍ය වෛද්‍ය උපකරණ, සේලයින් ආදිය ලබාදීමට ශරීරයට සම්බන්ධ කරන එන්නත් කටු,  මුත්‍රා බට ආදිය සවිකර තිබීම නිසා ඇතැම් විට රෝගීන්ට රෝග ආසාදන ඇති කරයි. මීට අමතරව රෝහල තුළදී සැපයෙන ආහාර ද රෝගීන්ට රෝගයක්‌ ඇති වීමට මුල්විය හැකිය. මෙවැනි රෝග කාරකයන් වාතය, ජලය සහ ආහාර ද්‍රව්‍ය හරහා ද රෝගීන්ගේ ශරීරයට ඇතුළු විය හැක.

රෝහල් තුළදී මෙවැනි රෝගවලට බහුල ලෙස ගොදුරුවනුයේ ප්‍රතිශක්‌තිකරණය දුර්වල පුද්ගලයින්ය. දිගු කලක්‌ මුළුල්ලේ රෝගාබාධ වලින් පෙළෙන්නන්, ස්‌ටෙරොයිඩ් කාණ්‌ඩයේ ඖෂධ දිගු කලක්‌ ලබාගන්නා පුද්ගලයන්, දියවැඩියාව, පිළිකා රෝග ආදියට ගොදුරුවූවෝ ද පහසුවෙන්ම රෝහල් තුළදී වෙනත් රෝගවලට ගොදුරු වීමේ හැකියාව පවතියි.  දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබාගන්නා රෝගීන්, පිළිස්‌සුම් තුවාල ලැබුවන්, විවිධ නල වලට සවිකර ඇති රෝගීන්, දිගු කලක්‌ මුළුල්ලේ තුවාල වලින් පීඩා විඳින්නන් ද දිගු කලක්‌ රෝහල්ගතව රෝගීන් ද පහසුවෙන්ම රෝහල තුළදී වෙනත් අතුරු රෝගවලට ලක්විය හැක.

බෝවන රෝග දරන රෝගීන් වෙන්කර තැබිය යුතු අතර මුහුණු ආවරණ පැළඳීම වැදගත්ය. රෝග වාහක පුද්ගලයන් සමග ගැටීම අවම කළ යුතුය. රෝගීන් බැලීමට අසීමිත ලෙස අමුත්තන් පැමිණීම ද රෝගීන්ට අහිතකරය. මන්ද බාහිර පරිසරයේ සිට මොවුන් හරහාවිවිධ රෝග බීජ ප්‍රවාහනය විය හැකි හෙයිනි.

මෙම ආකාරයට රෝග බෝවීම වළක්‌වාලීමට කටයුතු කිරීම සෞඛ්‍ය බලධාරීන්ගේ පමණක් නොව අප සැමගේත් යුතුකමක්‌ මෙන්ම වගකීමකි.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles