ලුණු දෙහි හදමු ද?

කෑම වේලක රසවත් බවට අපූරු වෙනසක් එකතු කරන, කටට රසට සැරට කෑම කන්න කැමති ඕනෑම කෙනෙකුට ඉතා පහසුවෙන් පිළියෙල කරගන්නට පුළුවන් රසවත් කෑමක් තමයි ලුණු දෙහි. දෙහිවලට ලුණු මිශ්‍ර කරගැනීම ලුණුදෙහි හැටියට සරලව ම හඳුන්වන්නට පුළුවන් වුණත්,  මේ මිශ්‍රණය රසවත්ව සහ නිවැරදිව පිළියෙළ කරගන්නා හැටි දැනගන්න හුඟක් අය කැමති වෙන බව නිසැකයි.

මේ සඳහා ඔබට අවශ්‍ය වෙන්නේ,

  • හොදින් ඉදුණු දෙහි ගෙඩි කිහිපයක්
  • ලුණු අවශ්‍ය ප්‍රමාණයට
  • බැදපු මිරිස් කුඩු ටිකක්
  • බැදපු තුනපහ කුඩු ස්වල්පයක්(අත්‍යවශ්‍ය නැහැ)
  • කහ ස්වල්පයක්
  • දෙහි ඉස්ම හෝ විනාකිරි ටිකක්
  • සිනි (අවශ්‍ය පමණ)
  • කොච්චි මිරිස් කරල් කිහිපයක්
  • කුඩුකරගත් උලුහාල් ස්වල්පයක්

මුලින් දෙහි ගෙඩි ටික හොදින් සෝදා, වතුර බේරෙන්නට තියන්න. පසු දෙහි ගෙඩිය වෙන් නොවන ලෙස, පලු හතරකට කපා ගෙන, හොදට ලුණු කුඩු තවරා ගන්න.ඉන්පසු කට පළල් මැටි භාජනයකට හෝ ප්ලාස්ටික් භාජනයකට සකස්කරගත් දෙහි ටික දමා, තද අව්වේ දවස් 4 – 5 වේලා ගන්න. එවිට දෙහි ලෙල්ල දුඹුරු පාට වී ඇති අයුරු ඔබට දැකගන්නට හැකිවේවි. දැන් කට පළල් විදුරු බදුනක් හෝ මැටි බදුනක් අරගෙන හොදින් අව්වේ වේලා ගත් දෙහි ටික එයට දමන්න.

ඉන්පසු ඔබ ප්‍රිය කරන ප්‍රමාණයට බැදපු මිරිස් කුඩු /තුනපහ කුඩු /කොච්චි මිරිස් /කහ /සීනි /විනාකිරි ටිකක් හෝ දෙහි ඉස්ම ටිකක් / උලුහාල් කුඩු ස්වල්පයක් දමා ගෙන ,බෝතලය හෝ බඳුන වසා හොදින් හොලවන්න. එවිට දෙහි සමඟ ඔබ එකතු කරන ලද සියල්ලම හොදින් කලවම් වේවි. දැන් ඔබේ ලුනු දෙහි සැකසුම පිළියෙල කොට අවසන්. ඒත් මේ සැකසුම වඩාත් රසවත් වෙන්නේ තවත් දින කිහිපයක් ගතවූ පසුවයි.

මුල් දවස් කිහිපයේ ලුණු දෙහි බෝතලය උදේ හවස හොඳින් සොලවා සුළං නොවදින සේ තබන්න. දින කිහිපයකට පසු ඔබේ කෑමවේල තව තවත් රසින් උසස්  කරන්නට ලුණු දෙහි සමත් වන බව නො අනුමානයි.

පොල්සම්බෝලයට, ලුණු මිරිසට, ලුණු දෙහි කදිම රසකාරකයක්. ඒ වගේම කෑම අරුචිය ඇති අයට කෑම රුචිය ඇතිකරවන්නටත් ලුණු දෙහි කදිමයි.

– නිරංජලා –

Related Articles

Don't Miss


Latest Articles