ඔලියැන්ඩර් – 50

0
314
oleander Flower

“කාචරගාමේ මහා දේවා

 මහිතේජා මහිද්ධිකා

 පුඤ්ඤංතං අනුමෝදිත්වා 

පාලෙන්තු මං සදා ජිනා”

කතරගම මහා දේවාලයේ සන්ධ්‍යා පූජාව ආරම්භ කිරීමට නැතහොත් දෙවියන් සඳහා ආරාධනා කිරීම සිදු කිරීමට  පළමුව සක් පිඹීම සිදු කර ඉන් අනතුරුව හේවිසි මණ්ඩපය තුළ හේවිසි වැයීම සිදු කළ අතර ඒ සමඟම දේවාල භූමිය පුරා හේවිසි නාදය රැව් පිළිරැව් දීමට පටන් ගත්තේය. 

රන්දෙණිගල කුටුම්බයේ දැන හැඳුනුම්කම් මත , වසරක් පාසා මහ දේවාලයට ඔවුන්ගෙන් ලැබෙන ආධාර මත කිසිදු අපහසුවකින් තොරව පැමිණි තරුණියන් තිදෙනාටත් , තරුණයින් දෙදෙනාටත් දේවාලයේ ඉදිරිපස කොටසින් ප්‍රධාන ඉඩක් හා ප්‍රමුඛස්ථානයක් ලැබී තිබුණේය. කපු මහතුන් හට ලබා දුන් පළතුරු පූජාවන්ට අමතරව එදිනද සියත්‍ර හා පහන්‍යා විසින් දේවාලය වෙත පිළිගැන්වූ පඬුරු ආධාර මත නිතැතින්ම ඔවුන් හට වැඩි සැලකිල්ලක් ලැබුණේය. 

” ඉස්සර තාත්තා ඉන්න කාලේ අවුරුද්දකට සැරයක් අපි කතරගම එනවා. හැබැයි ඉතිං කවදාවත් පූජාව පටන් ගත්ත හැටියේ මෙහෙම අපේ පූජාව කරන්න ඉඩ ලැබිලා නෑ. පැය ගාණක් පෝළිමේ ඉඳලා තමයි පූජා වට්ටිය දෙන්නේ. හැබැයි ඔය තරම් ඉස්සරහට යන්න ඉඩක් නම් කවදාවත් ලැබිලා නෑ. “

මහ දේවාලයේ පූජාව අවසන්ව පිටතට පැමිණ දේවාල භූමිය පුරා පැතිර යන සුවඳ දුම් සුගන්ධයට විසල් හුස්මක් අල්ලා එය හදවත පුරා පුරවා ගත් කුඩා යුවතිය පහන්‍යාගේ අත අතනෑරම පවසා සිටියාය. 

” එහෙම තමයි නංගි , පළතුරු වට්ටිය උඩ තියන මොණරු කොළ ටික වැඩි වෙන්න වැඩි වෙන්න දෙයියෝ ගාවට යන්න ලැබෙන ඉඩ වැඩි වෙනවා. “

” කට වරද්දගන්න එපා මිනිහෝ.. “

මහීල් පැවසූ දේට ඉදිරියට පැන ඔහුගේ බාහුවට පහරක් ගසා පහන්‍යා පැවසූ දේට චිරිස් හඬින් සිනාසුණු ශාක්‍යා මහීල්ගේ දෑස ඈ වෙත යොමු වීමට පෙර වහා ඉවත බලා ගත්තාය. 

” හරි ජොලි මාව චාටර් කරද්දී..”

ශාක්‍යා වෙත පහත් වූ මහීල් එසේ කියා බොරු රැව්මක් පා කළ අතර ඈ එයටද සිනාසෙනු දුටු ඔහු ඇගේ අතින් ඇද තමා දෙසට ළං කර ගත්තේය. 

” මොනවා කරනවද මන්දා…” 

” ඔහොම යං ඉතිං මාත් එක්ක. “

ශාක්‍යාගේ කර වටා අතක් යැවූ මහීල් ඈ සමඟ පෙරට ඇවිද ගිය අතර ඔවුන් දෙදෙනා යන මඟ දෙස බලා සෙමින් අඩි තැබූ යුවතිය යටැසින් පහන්‍යාට පසුපසින් සිටි දේහදාරියා දෙස බැලුවාය. ඉදිරියෙන් ඇවිද යන මහීල් හා ශාක්‍යා දෙස බලා ඉන් පසුව කුඩා යුවතියගේ දෑස තමා මත නතර වූ බැව් හොඳින්ම තේරුම් ගත් කඩවසම් තරුණයා ඈ වෙතට එකදු බැල්මක් හෝ විතැන් නොකොට ඉදිරිය බලා අඩි තැබුවේය. 

අඩකටත් වඩා අවසන් වී තිබු මත් පැන් බෝතලය ඉදිරියේ පුටුවකට බර වූ හේ ඒ අසලම තිබූ කුඩා පෙට්ටියක් තුළින් ගත් දුම් වැටියක් උරමින් සිටියේය. කිහිප වතාවක්ම ජංගම දුරකතනයට පැමිණුන කෙටි පණිවිඩ කිහිපයකට පිළිතුරු බැඳි මහීල් එය පසෙකින් තබා නැවතත් කබානාව තුළ හිඳ සිටි පුටුව ඉදිරියෙන් තිබූ මත්පැන් වීදුරුව අතට ගත්තේය. 

” දැන්වත් පලයන් “

මිත්‍රයාගේ හඬට ප්‍රශ්නකාරී බැල්මක් හෙළූ මහීල් අත රැඳි වීදුරුව හිස් කර එය යළි ටීපෝව මතින් තැබුවේය. 

” කොහෙද ?” 

” ශාක්‍යාගෙන් නේද ඔය මැසේජ් එන්නේ. පලයන් බං. එනකන් බලන් ඇති “

” එතකොට උඹ ?” 

” ඇයි උඹට බයද කවුරුහරි මාව උස්සන් යයි කියලා ?” 

” නෑ.. උඹට ටිකක් වැඩියි. ඒකයි. “

” පිස්සුද @$& ? කුණුහරප අහගන්නැතුව පලයන් “

” හරි එහෙනං මං ගියා. උඹත් වැඩි වෙලා ඉන්නැතුව රූම් එකට පලයන්. “

නැවත වතාවක් පුරවා ගත් මත්පැන් වීදුරුවක් එක හුස්මට බී එය යළි ටීපෝව මතින් තැබූ තරුණයා විසල් හුස්මක් අත හැර අත රැඳි දුම්වැටිය උරමින් හිඳ උන් පුටුවෙන් නැඟිට කබානාවේ ලී වැට අද්දරට ගොස් ඈතින් පෙනෙන විසල් සාගරය දෙස හිස් බැල්මකින් බලා සිටියේය. 

අඳුරේම ඇවිද යන කුඩා රුවක් දැක එක් බැල්මකින්ම ඒ ඈ බව හඳුනාගත් ඔහුගේ හදවතට සියුම් කෝපයක් මතු වන්නට පටන් ගත්තේය. 

කෙතරම් උත්සාහ ගත්තද නින්දක අසලකටවත් නොපැමිණීම යුවතියගේ ආතතිය වැඩි කරවන්නට සමත් විය. දින ගණනාවක් පුරාවට විඳින මානසික පීඩනයෙන් තව දුරටත් මිරිකී , වෙළෙමින් නොසිටි ඈ නිදන කාමරයෙන් පිටතට විත් හෝටල් සංකීර්ණය අසලම තිබූ මුහුදු වෙරළ වෙත අඳුරේම අඩි තැබුවාය. 

” හායි..!” 

බොහෝ වේලාවක් සිරුර කළඹවමින් හමනා මුහුදු සුළඟෙහි එතෙමින් හිස් බැල්මකින් මහ සාගරය දෙස බලා සිටි ඈ එක් වරම පසුපසින් ඇසුණු පිරිමි කටහඬට තිගැස්සුණු අතර අඳුරේ උන් නාඳුනන තරුණයෙක් දැක පෙරටත් වඩා කලබල වූවාය .

” කවුද බං ?” 

ඔහු අසලට පැමිණි තවත් තරුණයෙක් එසේ විමසූ අතර කටහඬින් දෙදෙනාම සිටින්නේ බීමතින් බව වැටහුණු ඈ ඔවුන්ගෙන් මිදී නැවත හෝටලය කරා යාමට උත්සාහ ගත්තාය. 

” අහ්.. හා.. කොහෙද අනේ යන්නේ ?පොඩ්ඩක් කතා කරමුකෝ. හවස හොටෙල් එකට ආපු වෙලේ ඉඳන් මං ඔයා දිහා බලන් හිටියේ “

තරුණයින් දෙදෙනාගෙන් ප්‍රථමව පැමිණි තරුණයා එසේ පවසා ඈ වෙතට සෙමින් අඩි තැබූ අතර ක්ෂණිකව ආපසු යෑමට හැරුණු යුවතිය තමා පසුපස උන් රුව දැක නැවත වතාවක් තිගැස්සුණාය. 

නිහඬවම ඈ වෙත ඇවිද ආ ඔහු ඇගේ අතකින් අල්ලා ගත් අතර ඉන් පසුව නැවත හෝටලය කරා යාමට අඩි තැබුවේය. 

” මේ.. ලොක්කා..?” 

” මගේ වයිෆ් . ඇයි ?” 

” ආ.. නෑ.. හරි සොරි බොස්. “

යළිත් නිහඬවම හැරුණු ඔහු යුවතියගේ අත අතනෑරම වේගයෙන් ඇවිද ගිය අතර ඇගේ නිදන කාමරය තුළට පැමිණ දොර වසා දමා අසල තිබූ බිත්තිය මතට ඈ තදින් තද කළේය. කෝපාවිශ්ට වූ උවනින් ඈ වෙත දෝෂාරෝපණ රාශියක් එල්ල කිරීමට තරහින් පිපිරී ගියද බිමට බර කර ගත් සියුමැලි උවනත් , කඳුලු පිරි දෙනෙතත් දුටු කළ හදවතේ තිබූ කෝපය බොහෝ දුරට වියැකී ගියේය.

” අඳුරන්නැති තැන් වලට ඇවිල්ලා ඉද්දි පරිස්සම් වෙන්න ඉගෙන ගන්නවා. “

සෙමින් පිට උවද මුළු කටහඬෙහිම තැවරී තිබුණේ ගෝරනාඩුවකි . නමුදු ප්‍රති පිළිතුරක් තබා හිස ඔසවා බැල්මක් හෝ කුඩා උවනින් ඔහු වෙතට නොලැබුණි. 

” ඔයා මේ කරන්නේ මට රිද්දන්න හදන එකනං , ඒ කිසිම දේකින් මට රිදෙන්නෑ. රිද්දගන්නේ ඔයාම තමයි. “

තව දුරටත් කටහඬෙහි වූ ගෝරනාඩුව එලෙසම පැවති අතර ඒ හා සමානවම පැවති ඇගේ නිහඬ බවද ඔහුගේ කෝපය තව දුරටත් වැඩි කිරීමට සමත් වූයේය. 

” ස.. සඳැස්වි ..! “

අපහසුවෙන් මුවින් පිට වීමට ගිය වචනය නවතා ඇගේ සම්පූර්ණ නාමය පැවසූ ඔහු එක දිගට බිමට බර කර තිබූ උවන දෙස බලා සිටියද ඔහුගේ මුවින් පිටවූ නාමය ඇසීමෙන් මෙතෙක් දෑස් අග පිරී තිබූ කඳුළු කැට සියල්ල කොපුල් කරා බේරී ගියේය . 

කුඩා උවනින් බේරී වැටෙන කඳුළු බිඳු මෙතෙක්  හැඩිදැඩි පිරිමි හදවත පුරා නැඟී තිබූ සියළු කෝපාවිශ්ට හැඟීම් දිය කර දැමූ අතර තව දුරටත් ඇගේ වත දෙස බලා සිටිය නොහැකි වූ ඔහු ළමැද වෙත තිබූ ඇගේ උවනින් දෑස ඉවතට ගත්තේය. 

” මට බනිනවා. බැරි නම් ගහනවා. අඩුම ඇයි එහෙම කළේ කියලා එක පාරක් හරි අහනවා සඳැස්වි . මට වෛර කරන්න පුරුදු වෙනවා. තවත් ඔහොම මං මත්තෙම නැහි නැහි ජීවිතේ විනාස කරගන්න එපා. “

ගෝරනාඩු පිරිමි ස්වරය බොහෝ මන්ද ස්වරයකට හැර වී තිබුණේය. මෙතෙක් වේලා බිමට බරව තිබූ කඳුළු පිරි කුඩා  දෑස සෙමින් සෙමින් හිසත් සමඟම ඉහලට එසවී ඔහුගේ වත මත නතර විය. 

” විනාස කරගන්න තරම් ජීවිතයක් මට ඉතුරු වෙලා නෑ සර්. පිටින් හුස්ම ගත්තට මට ඇතුළින් ජීවත් වෙනවා කියලා තේරෙන්නෑ. හිත ඇතුලේ කිසිම හැඟීමක් දැනෙන්නෑ සර්. අඩුම බඩගින්නක්වත් දැනෙන්නෑ. අපි ආදරේ කළානේ  කියලා ඇහුවම , මං කවදාවත් එහෙම කියලා නෑ කියන වචනේ ඇහුණ වෙලේම මගේ හුස්ම නතර උනා සර්. ඔයා ඔය අහන්න කියලා කියන ප්‍රශ්න ඔක්කොටම උත්තරේ ඔයා ඒ කියපු වචන ටිකේ තියනකොට ආයේ ආයේ මං මොනවා අලුතින් අහලා  දැනගන්නද සර් ? අර ගමේ ඉන්න මගේ දුප්පත් අම්මයි , පොඩි දරුවයි නොඉන්න මං මෙලෙහටත් මැරිලා ගිහින් සර්… මං.. මං…”

අවසාන වාක්‍යය සිතූ ලෙස පවසාගත නොහැකි වූ ඈ එක දිගට හඬා වැටෙමින් ඉකි ගැසුවාය. පිරිමි හදවත පුරා පැතිර ගිය වේදනාව බිත්තිය මත තදවූ මිට මොළවා ගත් අතද , ඉලිප්පුණු නහරද මනාව පෙන්වා දුන් අතර මත් පැන් වලට රත් පැහැ නොවුණු ඔහුගේ දෑසද ඒ වනවිට රත් පැහැයට හැරී තිබුණේය. 

” ස..සඳ…” 

උවමනා වන්නේ ඇගේ බඳ වටා තදින් වෙලුණු තම බාහු යුග්මයෙන් ඈ තම ළමැදට තද කරගැනීමය. කඳුළු බිඳු රූරා වැටෙන කොපුල් සපිරි උවන පුරා හාදු තැවරීමය. වෙව්ලන රෝස පැහැ දෙතොල බොහෝ වේලා අත් පත් කර ගැනීමය. ඇගේ පිරුණු ළමැද මත මුහුණ හොවා නින්දට වැටීමය. නමුදු කිසිවකට ඉඩක් නැත . ක්‍රියාවකට තබා වචනයකටවත් ඉඩක් නොමැත. ආයාසයෙන් මඳ වේලාවක් තම හදවතින් නැඟී එන හැඟීම් වළක්වා ගත් තරුණයා වේගයෙන් ඇසි පිය සැලුවේය. 

” නිදාගන්න “

එපමණක්‍ ය. හඬා වැටෙන කුඩා රුවැත්තිය වෙත එතැනින් එහා බැල්මක් හෝ නොහෙළූ ඔහු නිදන කාමරයේ දොර විවර කොට පිටතට අඩි තැබුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here