ඔබට රෝස මලක පෙනුම ගෙන එන- රෝස වතුර

0
1246

මල් ලෝකය මත රෝස මලට හිමි වන්නේ සුවිශේෂ තැනක්. නෙත අලවන රෝස මල ඉතා සුන්දර කාන්තාවන්ට උපමා කරන්නේ ද එනිසාමයි. රෝස මලේ ඇති සිනිඳු බව ඔබට ලබා ගන්නට ඉතා පහසුවෙන් හැකියි. ඒ රෝස මලින් නිපදවන රෝස වතුර හරහා.

රෝස වතුරට කාන්තා සම සුසිනිඳු කිරීමේ විශේෂ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සම පැහැපත් හා නීරෝගි කරන්නටත් රෝස වතුර සත්කාරයෙන් ඉටු වන්නේ ඉතා ඉහළ මෙහෙයක්.

රෝස වතුර ලෙස හඳුන්වන්නේ මොනවාද?

රෝස වතුර ලෙස හඳුන්වන්නේ විවිධ වර්ගවල රෝස මල් පෙතිවල පවතින තෙල් ඉතාම වියදම් අධික ක්‍රම යොදා ගෙන නිස්සාරණය කරගත් විට ලබා ගත හැකි සගන්ධ තෙල් විශේෂයේ තනුක අවස්ථාව. රෝස සාරය ලෙස හඳුන්වන තෙල් විශේෂය නිස්සාරණය කරන්නේ තඹ බොයිලේරුවක් තුළ පැයකට වැඩි කාලයක් රෝස පෙති තැම්බීමෙන් ලැබෙන වාෂ්පය ඝනීභවනය වෙන්නට ඉඩ හැරීම මඟින්. ලැබෙන දියරයේ 20% ක් පමණ රෝස සාරය අන්තර්ගත වෙනවා. ඉතිරි වන ජලය කොටස පෙරා ගැනීමෙන් රෝස සාරය ලබා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් රෝස තෙල් මිලි ලීටරයක් ලබා ගන්න රෝස මල් තුන්දහසකට වඩා අවශ්‍ය වෙනවා.නමුත් එහි සාන්ද්‍රණය ඉතාම අධික නිසා බොහෝ දුරට තනුක කර රෝස වතුර ලෙස ප්‍රයෝජනයට ගන්නත් හැකියාව තියෙනවා. රූපලාවණ්‍ය නිෂ්පාදන සැකසීමේදී රෝස සාරයට හා රෝස වතුරට ඇති අධික ඉල්ලුම නිසා බල්ගේරියාව වැනි රටවල රෝස තෙල් නිපදවීම වෙනුවෙන්ම රෝස වගාවන් පවතිනවා.

කියවන්න :  තනියම පාලුවෙන් නිවසේ ඉන්න ඔබේ අම්මා එක්ක නිවාඩු දවස් මේ විදියට සමරන්න

රෝස වතුර භාවිතයෙන් ලබා ගත හැකි දේවල්

  • රෝස වතුර තුළ ස්වභාවික ශාක තෙල් වර්ග, විටමින් වර්ග, ඛණිජ ලවණ වැනි පෝෂකත් ප්‍රතිඔක්සිකාරකත් අඩංගුයි. රෝස වතුර සතු ඉහළම ගුණය දීර්ඝ කාලයක් පුරා සමේ තෙතමනය රඳවා ගැනීමට ඇති හැකියාවයි. සම වියළීමට ලක් වීම නිසා ඇති වන රෝස වතුර භාවිතා කිරීමෙන් මඟ හරවා ගත හැකියි. රෝස වතුර සතුව විෂබීජ නාශක ගුණයත් පටක සංකෝචන හැකියාවත් නිසා කුරුලෑ සහ චර්ම රෝග සුව කිරීමටත් හැකියි.
  • මුහුණේ සමේ පැහැපත් බව සහ ඒකාකාරී වර්ණය රැක ගැනීමට රෝස වතුර භාවිතයෙන් උදව් දෙනවා. රෝස වතුර සතු පෝෂකවලට මුහුණේ ඇති ලප කැළැල් ඉවත් කර සමේ ඒකාකාරී වර්ණය පවත්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ශල්‍යකර්ම නිසා හෝ තුවාල නිසා සමේ ඇති වන කැළැල් මැකී යාමටත් මහත් වීමේදී සහ සම ඇදීමකට ලක් වන ගර්භණී සමයේදී සමේ ඇති වන ඇදීම් සලකුණු (stretch marks) මකා දැමීමටත් රෝස වතුර නිසා හැකියාව ලැබෙනවා.
  • කාන්තා සමට කිසිදු හානියක් නොකර එහි තෙල් පාලනය කිරීමටත්, බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කිරීමටත් රෝස වතුරට අපූරු හැකියාවක් පවතිනවා . එම නිසා බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදන සැකසීමට රෝස වතුර බහුල ලෙස යොදා ගන්නවා.
  • මානසික අවපීඩනය, විශාදය වැනි මානසික රෝගී තත්ත්වවලින් පෙළෙන අයට රෝස වතුර යොදාගෙන ඇරෝමා තෙරපිවලට ලක් කළ පසුව සැළකිය යුතු සුවයක් ලබන බව පර්යේෂණ ගණනාවකින් තහවුරු වුණු කරුණක්.
කියවන්න :  රස ගුණ පිරි වදමල් පානයක් හදමු

මෙවන් බොහෝ ප්‍රයෝජන ලබා දෙන රෝස වතුර අපට ලබා ගත හැක්කේ රූපලාවණ්‍ය නිෂ්පාදන හරහා. සමේ හා හිසකෙස් වල ගැටලු ඇත්නම් ඔබට රෝස වතුර අඩංගු විශ්වාසනීය රූපලාවණ්‍ය නිෂ්පාදනයක් භාවිතා කිරීමෙන් ඒ ගැටලු මඟ හරවා ගැනීමේ හැකියාව තිබෙනවා.

-නිබන්ධිකා-