පාට සේදුනු වත්සුණු – 8

ගංගා ෂයිනි ගමගේ ලියයි..

1
630

කෑම මේසයෙහි වන්නේ මා හා අම්මා පමණක් නොවේ. අත්තම්මා හා සීයා ත්, අම්මා ගේ අලුත් සැමියා වන අසංක ත්, මගේ යෙහෙළිය තුෂී ත් මෙහි වෙති. ඒ සියල්ලන් ඉදිරියේ අම්මා ගේ වචන නො සලකා, ඇයට හිතුවක්කාර වී, ඇය එපා කියන දෙයක් කිරීම මොන තරම් සදාචාර සම්පන්න ද කියා මම මොහොතකට සිතුවෙමි. අම්මා මා යුගාන්ත ට කෑම එකක් ගෙන යනවා ට විරුද්ධ වීමට කිසිදු සාධාරණ හේතුවක් නොමැත්තේ ය. නමුත් මේ වෙලාවේ ඇගේ හිත නො රිදවා ඉන්න එක වඩාත් හොඳ යයි මට දැනෙමින් තිබිණි. කොහොමත්, කවදත්, මට කවර අසාධාරණය වුණා වී ද මා අම්මා ගේ හිත රිදවූ දියණියක් නොවේ.

“හරි ගයා අම්මලත්එක්ක කෑම කන්නකො. මං ඒ අයියගෙ කෑම එක දීල එන්නං අත්තම්මා”

එවේලේ මා පත් වූ තත්වය තේරුම් ගෙන වාගේ තුෂී ඉදිපත් වූවා ය. කොහොමටත් ඇය වූ කලී නිමේෂයකින් මා වටහා ගන්නා තැනැත්තියකි. ඒ, අපේ මිත්‍රත්වයෙහි පරිණතියත් එක්ක ඇති වූ තත්වයක් කියා සිතමි.

“අනේ පින් සිද්ද වෙනව පුතේ. මොන තරං සල්ලිය බාගෙ තිබුණත් ඒ ළමය මේ වෙලාවෙ ඉන්නෙ බඩගින්නෙනෙ. ඉන්න. මං කෑම එකක් බෙදල දෙන්නං”

තුෂී කෑම එකත් ගෙන නික්ම ගිය පසු අම්මා අත්තම්මා ගේ අතක් පිරිමැද කතා කළා ය.

“අම්ම හුඟක් අනිත් අය ගැන හිතනව කියල මං දන්නව. ඔයා දන්නවද අසංක. අපේ අම්ම එයා කකා ඉන්න කෑම එක වුණත් බඩගින්නෙ ඉන්න කෙනෙක්ට දෙන්න දෙපාරක් හිතන්නැති කෙනෙක්. අඳින්න එකක් නෑ කියල කියං එන කෙනෙක්ට ඇඳං ඉන්න ඇඳුම වුණත් ගලවල දෙයි.”

අත්තම්මා ඉතා කරුණාවන්ත සහ ත්‍යාගශීලී තැනැත්තියක බව ඇත්ත ය. නමුත් අම්මා මේ විදිහට ඇය ව වර්ණනා කරන්නේ නම් නිකං ම නො විය යුතු යයි වහා ම මට සිතිණි. අම්මා කියන්නේ අත ලෙව කන්නට බලා ගෙන මී කඩන ජාතියේ තැනැත්තියක් නොවේ. ඇය ඕනෑ ම දෙයක් කරන්නේ වාසියක්, ලාභයක් හෝ ප්‍රයෝජනයක් බලාපොරොත්තුවෙනි. එහෙම තත්වයකට ඈ පත් වූයේ අඩු වයසින් දික්කසාදයක් කර පින්නා ගෙන ජීවිතය මැද තනි වන්නට වූ හේතුව මත ද කියා ඉඳහිට මම සිතමි.

අසංක කෑම කමින් ම හිස සැලුවේ, ඇයි දෝ මන්දා මට කටුස්සෙකු සිහිපත් කරවමිනි.

“අපිත් ඉන්නෙ අම්මලගෙං ලොකුවට උදව් ඕනෙ තත්වෙක අම්මෙ”

අම්මා කල් යල් බලා වචනය දැම්මා ය. මගේ මුව සිනහවකට ඇද වූයේ නිරායාසයෙනි. ඈ ගැන මා දන්නා තරම ඕනෑවටත් වැඩි බව දැන් මට ම ප්‍රත්‍යක්ෂ ය.

“උදව්වක්….ඒ මොකද්ද…”

“අසංක බයිං ඇන්ඩ් සෙලිංනෙ අම්ම කරන්නෙ”

“හ්ම්…ඉතිං…”

“ඉතිං එයාගෙ සල්ලි ඔක්කොම වගේ බිස්නස් එකට යට කරල අපි සෑහෙන්න හිර වෙලා ඉන්නෙ”

කියවන්න :  මේ නිවාඩුකාලේ ආරුගම්බේ යමුද?

“එහෙම තමයි ඉතිං බිස්නස්…යට කරන සල්ලි ආපහු එන්නෙ ටිකක් කල් ගිහිංනෙ”

ඒ අදහස ප්‍රකාශ කළේ සීයා ය. අම්මා මේ අරාඳින්නේ අත්තම්මලා ගෙන් මුදල් ටිකක් කඩා ගන්නට බව දැන් මට ඉර හඳ සේ විශ්වාස ය. සීයා ට ද එය නො දැනුණා විය නො හැකි ය.

“හැබැයි ඒ එනකොට එන්නෙ සල්ලි පැටවු ගහලනෙ”

සීයා හඬ නගා හිනැහෙන්නට වූයේ ය. අත්තම්මා නො රිස්සුමෙන් මෙන් මූණ ගැස්සුවා ය. අම්මා ගේ වත මලක් සේ පිපී ගෙන එනයුරු මම බලා සිටියෙමි.

“ඒකනං එහෙම තමයි තාත්ත. අමුතුවෙං කියන්න දෙයක් නෑනෙ. තාත්ත බිස්නස් ගැන නොදන්නව නෙවෙයිනෙ”

“අපොයි මොකද මං නොදන්නෙ”

සීයා නැවතත් සිනාසුණේ ය.

“ඒකනෙ තාත්තෙ. මේ වෙලාවෙ අපිට උදවු කරන්න අම්මෙ. අපි මේ ට්‍රයි කරන්නෙ කොහොම හරි ගොඩ එන්න මිසක් නාස්ති වෙන්න නෙවෙයිනෙ”

“මොකද්ද දැං ඔය කරන්නයි කියන උදව්ව…”

අත්තම්මා කතා කරන්නේ ම සුහද ශීලයකට ඉඩ නො තබා මඳක් තදිනි.

“අපිට සල්ලි ටිකක් ඕන අම්මෙ. පිට කෙනෙක්ට ණය වෙනවට වඩා තාත්තගෙං ඉල්ල ගන්න එක හොඳයි කියලයි මං අසංකට කිව්වෙ. අනික අම්මල කාට වුණත් උදව් කරන්න හරි කැමැත්තෙන්නෙ ඉන්නෙ”

තත්පර කිහිපයකට සභා තොමෝ අතිශය නිශ්ශබ්ද වූවා ය. මගේ අන්නස්‍රෝතය දිගේ ගමන් කරමින් තිබි බත් බිඳිත්තක් හිර වෙනවා සේ දැනුණෙන් මම හඬ නො නැගෙන සේ වතුර උගුරක් බීවෙමි.

“අපි ගාව ඉතිං කොහෙ තියෙන සල්ලිද…නේද පුතාලයි තාත්තෙ…”

අන්තිමට අත්තම්මා කෙඳිරිල්ලක් සරින් නිහැඬියාව බිඳ දැම්මා ය.

“මොනා කියනවද නන්දා…අපි මේ පෙන්ෂන් එකෙං ජීවිතේ ගැට ගහගන්න මිනිස්සු වෙච්චි…බිස්නස් වලට දාන්න සල්ලි අපි ළඟ කොයින්ද…”

“අනේ එහෙම කතා කරන්න එපා අම්මෙ…අපි මේ ඔළුව උස්සගන්න දඟලන වෙලාවනෙ තාත්තෙ”

“තිබුණනං ඉතිං දෙන්න බැරියෑ. මොකද අපි යුතුකං ඉෂ්ට නොකරපු දෙමවුපියොද…”

“මේ වෙලාවෙත් තාත්තල මට අහක බලන්නෑ කියල මං දන්නව”

“අහක බලන්නෑ තමයි. තිබුණනං”

අම්මා නික්ම ගියේ හිත හොඳින් නොවේ කියා මම දනිමි. සීයලා ළඟ ඉතිරි කර ගත් මුදලක් නැතැයි මම නො සිතමි. විදුහල්පතිවරයෙකු ලෙස සේවය කළ සීයා ගේ ත් ගුරුවරියක ලෙස කටයුතු කළ අත්තම්මා ගේ ත් විශ්‍රාම වැටුප් වලින් ඔවුන් දෙදෙනා ගේ වියදමට සියල්ල වැය වෙනවා යි සිතිය නො හැකි ය. නමුත් දරුවන්ට බරක් නොවී ජීවත් වෙන ඔවුන් ගෙන් ඒ ඉතිරි කර ගත් මුදල ඉල්ලා සිටීම මොන තරම් සදාචාර සම්පන්න ද කියා අම්මා තේරුම් ගත යුතු ය.

ඔවුන් ගිය පසු සීයා හා අත්තම්මා පසු වූයේත් තරමක අසහනකාරීත්වයකිනි. මේ වයසට ඔවුන් සිටිය යුත්තේ මානසික වශයෙන් නිදහසේ ය. යුතුකම් ඉටු කොට දරුවන් දීග දුන් පසුත් දෙමව්පියන් ගේ හිත් වලට නිවනක් නො වීම අවාසනාව කි.

කියවන්න :  කරදරකාරී සබඳතාවයක් නිමා කරන්නේ මෙහෙමයි

ආයේ මට කතා නො කරනු ඇතැයි හිතුවා ට හැන්දෑ වී ගෙන එත්දී කුසල් ගෙන් දුරකතන ඇමතුමක් ආවේ ය. මා පිළිතුරු දුන්නේ තරමක දෙගිඩිවකින් වී ද, ඔහු කතා කළේ කිසිදු අමනාපයකින් තොරව ය.

“කේන්ති යනව අප්ප ඔයා කරන දේවලට. අපි දෙන්න අතරෙ විශ්වාසෙ කියන දේ නැතුව බෑ ගයාත්මි”

ඔහු කීවේ ය. ඇත්තට ම දැන් දැන් මට ඔහු ගැන විශ්වාසයක් නො දැනෙතත්, මම වෙනකක් කීවෙමි.
“විශ්වාසයක් නැතුව නෙවෙයි ඉතිං”

“හරි හරි. දැං ඒක අමතක කරමුකො. මං ඔයාට ආදරේ නිසා මේ හැම දේම ඉවසනව. වෙන එකෙක් නං දමල ගහලා ගිහිං”

මම සුසුමක් හෙළුවෙමි. සැබවින් ඔහු එහෙම කරනවා නම් මා වඩාත් කැමති ය. දැන් මා සිටින්නේ අප නො ගැලපෙන බව දැනි දැනීත් ඔහු ව අත් හැර ගත නො හැකි තත්වයක ය.

“මේ…වීඩියෝ කෝල් එකක් ගන්නකො මට”

“ඕන්නෑ. මෙහෙම කතා කරමු”

“එහෙනං මං ගන්නවා”

“එපා එපා කුසල්. මං වීඩියෝ කෝල්ස් වලටනං ආන්සර් කරන්නෑ”

“ඇයි…”

“බෑ. අත්තම්මලත් ඉන්නව”

“වොෂ් රූම් එකට ගිහිං ආන්සර් කරන්නකො”

“බැහැ අනේ”

“බොරුව නැතුව යනව. කෝ ඉතිං”

“කිව්වහම අහන්නකො කුසල්”

“මොන මගුලක්ද හලෝ වෙලා තියෙන්නෙ…හම්බ වෙන්න බෑ. වීඩියෝ කෝල් එකක් ගන්න බෑ. කෙල්ලෙක්ද තමුසෙ…”

ඒ කතා අහගෙන ඉන්නට බැරි තැන මම දුරකතන සබඳතාව බිඳ දැමුවෙමි. හදවතට දැනෙන්නට වූයේ මහත් බරකි. සම්බන්ධතාවයක් කියන්නේ හිතකට මෙහෙව් බරක්, වදයක් විය යුතු දෙයක් ද? ඔහු මගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද යන්න දැන් දැන් මට රහසක් නොවේ. මුලදී නො දන්නා කමට මම ඔහු ගේ වීඩියෝ ඇමතුම් වලට පිළිතුරු දුන්නෙමි. ඒ ජීවිතය පැත්ත පලාතේ ආදරයෙන් වචනයක් කතා කරන්නවත් කෙනෙකු නැති පාළුව හින්දා හා ඔහු මට පෙම් කරනවා යි විශ්වාස කළ හින්දා ය. නමුත් ටිකෙන් ටික ඔහු කරන්නට ගත් ඉල්ලීම් වල වූ ජුගුප්සාජනක බව නිසා ම මම වීඩියෝ ඇමතුම් වලින් වැළකී සිටින තීරණයකට ආවෙමි. පෙම්වතුන් ගේ එබඳු ඉල්ලීම් වලට අවනත වූ යුවතියන්ට ජීවිතයෙන් පවා වන්දි ගෙවන්නට සිදු වූ අවස්ථා ගැන අන්තර්ජාලය ඔස්සේ ම දැන ගන්නට ලැබීම නිසා මම වඩාත් බියට ද පත් වීමි.

“ඒයි … නිදිද…අන්න හමිං බර්ඩ් ඇවිත්..ඔයාව අහනව”

මා නෙතු හැරියේ තුෂී ගේ හඬට ය.

“මාව…ඇයි…”

“මං දන්නෑ. එනවකො ඇයි කියල බලන්න”

මා යහනෙන් බැස ගත්තේ කුතුහලයෙන් බර වූ සිතිනි. ඔහු මා සොයන්නේ කුමටද?

ඊළඟ කොටස සිකුරාදා ට..

5 2 votes
Article Rating
Subscribe
Notify of
guest
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments
Poornima Jayathilaka
Poornima Jayathilaka
1 month ago

ලස්සනයි ගොඩාක් ..ඔයාගෙ කතා වල මවන පරිසරයෙ චමත්කාරය හරිම ලස්සනයි .ආදරනීය කතාවක්..කුසල් වගේ පහත් මානසිකත්වක් තියෙන පිරිමි ළමයි තමයි අද සමාජයේ බහුල..😥😥😥