ගිනි නිවන යාළුවෝ.

“ඔයාට එන්න බෑ කියල දැන්ද කියන්නේ? මොන විකාරයක්ද අමල් මේ..මට දැන් මෙතන ඉඳන් බස් එකක යන්නද කියන්නේ?”

මගේ කන ළඟ රතිඤ්ඤා වැලක් පිපිරෙන්න ගත්තා.හරිනි, මගේ කාර්යාල මිතුරියක්.විවාහ වෙලා වැඩි දවසක් නැති එයාගේ මේ බැනිල්ල මාව පුදුමයට පත් කළා.

“ඒ අමල්ට නේද බැන්නේ?”

මං ඇහුවේ පුදුමයෙන්. හරිනි ඔලුව වැනුවා.

“එපා වෙනව අප්පා.”

එයා කියන්නේ කේන්තියෙන්.මම හරිනි ළඟට ගියේ එයා පිච්චෙමින් ඉන්න හින්දා.

“මේ දැන් කියනවා ඔෆිස් මීටින් එකක්ලු.මට ගෙදර යන්නලු..”

මම කෝපයෙන් රත් වුණු හරිනිගේ මූණ දිහා බලාගෙන හිටියා.මේ කේන්ති ගන්න කාරණාවක් නෙමෙයි.අවුරුදු හතරක මගේ විවාහ ජීවිතේ මීට වඩා රිදෙන බිඳෙන තැන් ඕන තරම් තිබුණා.

“ඕක වලි අල්ලන දෙයක් ළමයො..”

මම ඇහුවේ හිනා වෙවී.හරිනි තාමත් ඉන්නේ කේන්තියෙන්.

“ඔයා ඉස්සර වගේ අදට විතරක් බස් එකේ යන්න.නැත්තං ටැක්සියක් ගමු.පැය බාගයක් ඉන්න පුලුවන් නම් සංජය එනවා මාව ගන්න.අපි ඔයාව ගෙදරින් දාන්නම්..”

හරිනි මාත් එක්ක නැවතුණා.රණ්ඩු කරන්න අප්‍රමාණ කාරණා ජීවිතයේ ඇතුල ඉස්සරහට මුණගැහෙන බවත් මේ වගේ සුළු කාරණා රණ්ඩු වෙන්න ප්‍රමාණවත් නැති බවත් මම හරිනිට කිව්වේ හිනාවකින්.

දවස් එකදෙක ගෙවුණා.ආයෙමත් දවසක් හරිනි මුහුණ ඇඹුල් කරගෙන රවාගෙන ඉන්නවා.

“මොකද අදත් අමල් එන්නේ නැද්ද?”

හරිනි කරදර බැල්මකින් හිනා වුණා.ඊටත් පස්සේ මං දිහා බැලුවේ දෙයක් අහන්න වගේ.

“සංජයත් ඔයා දෙන බඩු ලිස්ට් මිස් කරනවද?

ඒ ප්‍රශ්නෙට මට හිනාවක් ගියා.සංජයට ඒ කාලේ බෝංචි ගේන්න කිව්වම මෑ කරල් ගෙනෙන බවත්,චිකන් ගෙනෙන දවසට මාළු ගෙන බවත්,හිටි ගමන් බඩු ලිස්ට් එකේ නැති දේවල් දාහක් ගේන බවත් මම කිව්වේ හිනා වෙවී.

“දැන් ඉතින් එහෙම නෑ.සමහර වෙලාවට එයාම බලලා බඩු ලිස්ට් එක අරගෙන එනවා.”

හරිනි සුසුමක් හෙළුවා.ඒත් මොනවහරි දිග මැසේජ් ටයිප් කරන බව මම දැක්කා.අදත් අමල් බැනුම් අහන්න ඇති.ඒත් ඊයෙ වැරදුණු බඩු ලිස්ට් එකට අදත් බනින්න ඕනේ නැති බව හරිනි කාලයත් එක්ක ඉගෙන ගනීවි.

“අමල් පුදුම විදිහට ගේ හැඩි කරන්නේ.අස් කරලම මට එපා වෙනවා..”

දවසක් ලන්ච් එක ගන්න අතරේ හරිනි කියනවා.මම හිනා වුණා.තෙත තුවාය ඇඳ උඩ දැමීම නිසා මම සංජයට කීපාරක් ඩිවෝස් වෙමු කීවද? ඒත් අපේ පළමුවැනි කිරි හීනේ මාස දෙකකින් බොඳ වෙලා යද්දී සංජය මගේ ලේ පිරුණු රෙදි අස් කරපු හැටි මගේ මතකයේ ඊට වඩා තදින් තැන්පත් වෙලා තියෙනවා. දෝණි ලැබෙන්න ඉන්නකොට මම කන්න ආස දේවල් හදපු හැටි මට තාමත් මතකයි.කුස්සිය නම් හැඩි වුණා තමයි. ඒත් උයලා අනලා කවලා මාව බලා ගත්තු හැටි මතක් වෙනකොට හැඩි වුණු මුළුතැන්ගෙය අමතකම කරන්න මට පුලුවන්. තාමත් අප්පච්චියි දූයි ගේ අනිත් පැත්ත හරවනවා. ඊට පස්සේ දෙන්නා එක්ක අස් කරනවා.ඒ දේවල් වෙන්න කාලය ලොකු මැජික් එකක් කළා.

“ඔයා අස්පස් කරන වැඩවලට එයාගෙනුත් උදව් ඉල්ලන්න හරිනි.එතකොට එයා ටික ටික පිළිවෙල වෙනවා..”

මං එහෙම කිව්වා.

හරිනි කිහිපවතාවක්ම එයාට ඩිවෝස් වෙන්න උවමනා බව කියමින් මාත් එක්ක අඬන්න ගත්තේ ඔය කාලේ.

“ඔයාට හිතෙනවද එයාට වෙන සම්බන්ධයක් තියෙනව කියලා.නැත්නම් වෙන මොකක් හරි අවුලක්..”

හරිනි අඬන ගමන් නෑ කියන්න ගත්තා.ඊටත් පස්සේ කිව්වේ අමුතු කතාවක්.

“මට මේ මැරේජ් එක පොඩ්ඩක්වත් කම්ෆටබල් නෑ..අපි ගැළපෙන්නේ නෑ..”

අමල්ගේ කියන්න තරම් අඩුපාඩුවක් නොපෙනුණත් නොගැළපීම් ගලපා ගන්න බැරිතැනක හරිනි හිර වෙලා කියල මට තේරුණා.පවුල් උපදේශනය ඒ ගැටළුව විසඳන්න උදව් කරාවි කියන බලාපොරොත්තුවක සහන් එළිය හරිනිගේ හිතේ දල්වන්න මට ඕනෑ වුණේ ඒ නිසා.වාසනාවට වගේ හරිනි ඒ අදහසට එකඟ වුණා.

අවුරුදු විසි ගාණක් තිස්සේ වෙන ගෙවල් දෙකක ජීවත් වුණු ජෝඩුවක් එක ගෙදරක පවුලක් හදන්න ගත්තම මොනතරම් නොගැලපීම් එනවද? මමත් සංජයත් කන්න කැමති කෑම පවා සමාන වෙන්නේ හරිම අඩුවෙන්.ඒත් අපි අමනාප වුණු සමහර කාරණා පෙරපාසල් දරුවෝ මකනයක් බෙදා ගන්න බැරුව රණ්ඩු වුණු හේතු වගේ බොළඳයි කියලා මට හිතුණේ පස්සෙන් පහු වුණාම.සංජයට වෙන සම්බන්ධතා තිබුණේ නෑ.කවදාවත් මට ගහන්න අතක් උස්සලා නෑ.අම්මා එක්ක මාව සසඳලා නෑ.මගේ ශරීරයෙ අඩුපාඩු හොයලා නෑ.නාස්තිකාර නෑ.

ඉතින් තෙත තුවාය,හැඩි වුණු මුළුතැන්ගෙය, මාව ඔෆිස් එකෙන් ගන්න අමතක කරන එක, අමතක වෙන බඩු ලැයිස්තු දික්කසාදයකට හේතු නොවෙන බව මම ඉගෙන ගත්තා. ගර්භනී කාලයේ මගේ කකුල් මසාජ් කරපු එයාගේ ආදරේ,මම කන්න ආස කෑම හොයන්න හැමතැනම දුවපු එයාගේ ආදරේ, දුව ලැබෙන්න මොහොතකට කලින් “ඔයා තමයි හොඳම වයිෆ්” කිව්ව එයාගේ ආදරේ මට ලැබුණේ කාලයත් එක්ක.

හරිනි අමල්ගේ අඩුපාඩු කියමින් බනිනකොට “හනී අපේ සංජයනම් හරිම පර්ෆෙක්ට්” කියලා මම නොකියා හිටියේ ඒකයි.සංජය හොඳ සැමියෙක් වුණේ කාලයත් එක්ක.ඊට කලින් වැරදි හදා ගන්න වෙහෙසවුණු තරුණයා ගැන මම හරිනිට කිව්වේ ඒකයි. වර්තමාන සංජය එක්ක අලුත විවාහ වුණු අමල් සැසඳීම මෝඩකමක් කියලා මම දැනගෙන හිටියා.

විවාහය වයින් එකක් වගේ.පරණ වෙන්න වෙන්න රහ වැඩී.හරිනි ඒ පාඩම හෙමින් සැරේ ඉගෙන ගනීවී.

More Stories

Don't Miss


Latest Articles