සින්ඩරෙල්ලා කෙනෙක්.

“ඕක ඔහොම තියනව..ඔය නංගිට ගෙනාවෙ.”

අම්මා කෑගැහුවෙ මම කේක් එක කපන්න හදනකොට.මම ගැස්සිලා වගේ අත අහකට ගත්තා.

“නංගි ඉතිං කේක් එකම කනවයැ..”

මං හුරතල් වෙන්න උත්සාහ කරා.ඒත් අම්මා මට රැව්වේ මාව අළු වෙලා යන තරමට.

“ඒ ළමයට ඕක ගෙනාවේ.තියනව ඕක..”

මං බ්ස්කට් බෝතලය ඇරලා බිස්කට් එකක් අරන් එලියට ආවා.මමත් රස කෑම කන්න ආසයි.ඒත් අම්මා හැමදාම හැමදේම දෙන්නේ නංගිට විතරයි.

“අම්මා…නැන්දලගෙ මඟුල් ගෙදර යන්න මං මොකක්ද අඳින්න ඕන..”

ලොකු චොකලට් කේක් කෑල්ලක් කපාගෙන නංගි වාඩි වුණේ එහෙම අහගෙන.අම්මා නානාප්‍රකාර ඇඳුම් ගැන කියන්න ගත්තා.නංගි කකුල් දෙකත් පුටුව උඩ තියාගෙන එක එක ඔන්ලයින් ෂොප්ස් වලින් ඇඳුම් සෝදිසි කරනවා.

“මං මොකක්ද අම්මේ අඳින්නේ?”

මගේ ප්‍රශ්නෙට අම්මයි නංගියි හිනා වෙන්න ගත්තේ මිස්ට බීන්ව අපේ කුස්සිය මැද්දේ පෙනුණා වගේ.

“ජයනි අක්කගෙ මඟුල් ගෙදර යන්න ඔයා?”

නංගි අහන්නෙ සරදම් කරන හඬකින්.අපේ එකම නැන්දාගේ දුව තමයි ජයනි අක්කා.නැන්දා මට අම්මාටත් වඩා ආදරෙයි.ජයනි අක්කත් එහෙමයි.මම මඟුල් ගෙදර නොගියොත් අක්කාට දුක හිතෙයි.

“නැන්දා තරහ වෙයිනෙ. “

මගේම ගේ ඇතුළේ මට මේ තරම් නිදහසට කාරණා කියන්න වෙන හේතුව මටම හිතා ගන්න බෑ.ඒත් අම්මයි නංගියි බලන් ඉන්නෙ මම ගෙයක් බිඳින්න ප්ලෑන් කරා වගේ.

“ඔයා මොකක් ඇන්දත් කොච්චර කැතයිද..කළුම කළුයි.දත් ටිකට කම්බි දාගෙන..අනේ අපි එක්ක නම් එන්න එපා.”

මට ඒ වචන ඇහෙනකොට කෑගහලා අඬන්න ඕනෑ වුණා.

මං කසුනි,නමේ තේරුම රත්තරං වුණත් මගේ අම්මා කවදාවත් රත්තරං දූ නොකීව ළමයෙක්.අත්තම්මා කියන්නේ මං ඉපදුණු දවසේ අම්මා හොඳටම ඇඬුවලු.අම්මලා සතුටටත් අඬනවා ඇති.ඒත් අපේ අම්මා අඬලා තියෙන්නේ දුකට.මං කළුම කළු ළමයෙක් වීම තමයි හේතුව.

“කාන්ති…උඹ අසේල කළු බව දැනගෙනනෙ කසාද බැන්දෙ..එතකොට සුදු පාට ළමයි හම්බෙන්නේ නෑනෙ..”

අත්තම්මා ඒ විදියට අම්මාට බනින්න පුරුදු වෙලා හිටියා.අපේ අම්මා හරිම හරි ලස්සන කෙනෙක්.ඇත්තටම සුරංගනාවියෝ අම්මා වගේ වෙන්න ඇති.ඒත් අම්මා නපුරු සුරංගනාවියක්.තමන්ගෙම අම්මා තමන් කැතයි කියනකොට ඒක අහන්න තරම් අවාසනාවන්ත දූ කුමාරිකාවක් තමයි මම.

අම්මාට කැත ළමයෙක් ගැන දුකින් ඉන්න ලැබුණෙත් නෑ.නංගි ආවේ සුරංගනා කුමාරියක් වගේ රූපයක් අරගෙන.අම්මා නංගි ලැබුණට පස්සේ මාව අමතකම කළා.

“අනේ..ඔයාගෙ කළු ගාන්නෙ නැතුව යනව යන්න..”

මම නංගි අල්ලනකොට අම්මා මට බැන්නේ එහෙමයි.මම හැදුණේ වෙනම ලෝකෙක.අත්තම්මා එක්ක.ගස්වැල් එක්ක.තාත්තා ගෙදර ඉන්න වෙලාවට තාත්තා එක්ක.

ඇත්තටම මට ඕනෑ වුණේ අම්මාගේ ආදරේ දිනා ගන්න.ඒත් කළු කැත ළමයෙක් කියන දේ අම්මාම මට කියනකොට අම්මාගේ ආදරය ඇත්තටම මගෙන් ඈතට ගියා.

ඉස්කෝලේ නැටුම් කණ්ඩායමට මාව තේරීම ගැන අමනාප වුණේ අම්මා.අම්මලා සතුටු වෙන සමහර දේවල් අපේ අම්මට කේන්තියක්.

“නැටුම් මිස්ගෙ ඔලුව නරක් වෙලාද? මේ කළු කුමාරියක් ඕක අස්සට දාගත්තම නැටුමම කැත වෙයි..”

අපි සමස්ත ලංකා හොඳම පාසල් නැටුම් කණ්ඩායම වුණා.කසුනි ලස්සනට නටනවා කියලා මාව බදාගත්තේ නැටුම් ගුරුතුමී විතරයි.අම්මා මිස්ගේ ඔලුවෙ අමාරුව ගැන පුදුම වෙමින් හිටියා.

“කසුනි..ලොකු ළමයා..කඩේට ගිහින් එනව..”

වෙලාව රෑ හතටත් ළඟයි.මේ වෙලාවට හන්දියේ බීපු මිනිස්සු ඉන්න බව මම දන්නවා.අමාරුවෙන් අම්මට ඒක කියාගත්තම අම්මා හිනා වුණේ හයියෙන්.

“මිනිස්සු විහිළු කරන්නෙ ලස්සන කෙල්ලන්ට.තමන් ගැන හිතාගෙන ඉන්න උඩඟුකම බලන්න එපැයි..”

කැත වුණත් අවුරුදු දාසයක ගෑනු ළමයෙක්ට කරදරයක් වෙන්න බැරිද? අසහනකාරී මිනිස්සු පුංචි ගෑනු ළමයින්ට කරදර කරන්නේ මුහුණේ ලස්සන බලලද?

මං කඩේ යන්න එළියට ආවේ ඇස්වලින් ගලන කඳුළුත් එක්ක.සින්ඩරෙල්ලා කතාව සුරංගනා කතාවක්ම විතරක් කියලා ඔයාලත් හිතනවා ඇති.ඒත් ඇත්ත සින්ඩරෙල්ලාලා ජීවත් වෙනවා.දරුවන්ගේ හිත් තලන්න පුලුවන් කුඩම්මලාට විතරක් නෙවෙයි.අම්මලා අතිනුත් දරුවන්ගේ හිත් තැලෙනවා.කැතයි,ඉගෙන ගන්න බෑ,උපන් වෙලාව හොඳ නෑ වගේ කතා හින්දා තමන්ගෙම අම්මලා අතින් ප්‍රතික්ෂේප වෙන ළමයි ඕනෑතරම් මේ ලෝකේ ඉන්නවා.

මට වට්ටක්කා ගෙඩියක් අශ්ව කරත්තයක් වෙන දවසක් ගැනවත් රාජ කුමාරයෙක් මාව මේ අපහාස වලින් නිදහස් කරගන්න දවසක් ගැනවත් තේරුමක් නෑ.

ඒත් මම බලාගෙන ඉන්නවා.කැත වුණත් මාත් අම්මා රත්තරං දුවෙක් කරගන්න දවසක් එයි.ඒ දවස කවදාවත්ම නාවත් මම මඟ බලාගෙන ඉන්නවා.

More Stories

Don't Miss


Latest Articles