චක්‍ර.

නොනවත්වා නාද වෙන දුරකථනය මගේ කල්පනාව බිඳ දැමී ය.ඇමතුම අක්කාගෙනි.මම ඒ ඇමතුම ක්‍රියා විරහිත කර දමා දුරකථනය පසෙකින් තැබුවෙමි.පිටත මහ වැසි ය.මගේ හදවත ද කුණාටුවකට දෙවැනි නැත.

“නංගි, ෆෝන් එක ආන්සර් කරන්න..”

අක්කා නොනවත්වාම පණිවිඩ තබයි.

“ප්‍රශ්න කියන දේවල් මිනිස්සුන්ට මිසක් කාට එන්නද දේදුනු.මං ඔයාලගෙ අම්මා මීට් වෙන්න යන්නද?”

මගේ දුරකථනය ප්‍රතිචාර නොදක්වන තැන විහඟ ලියා එවා තිබිණ.මම එය නොදුටුවා සේ හුන්නෙමි.

“කාලා බීලා ඉන්නෙ නැතුව ඇඳ මුල්ලට රිංගා ගත්තා කියලා ප්‍රශ්න විසඳෙන් නෑ.මෙයාගෙ ටෝක්ස් නම් රට පෙරලලා අලුත් ආණ්ඩු හදන්න.ස්ත්‍රී දූෂකයන්ට දඬුවම් කරන්න,වඩාත් යහපත් අනාගතයක් හදන්න.අනේ බං..උඹලා ෆේස්බුක් එකේ ලියන හෑලි කෝ ඇත්ත ජීවිතේ..”

මාෂි කාමරයට කඩා පාත් වූයේ කෑගසාගෙන ය.මට බැන වදිමින් කාමරය අස් කරන ඇය දෙස මම නෙත් කොණින් බලා සිටියෙමි.

“මේ හලෝ දේදු .දෝදු වෙන් නැතුව ඉන්නව.මේ ලෝකෙ කෙල්ලො සීයට අනූවකටම බෝයි ෆ්‍රෙන්ඩ්ගෙ ෆොටෝ එක පෙන්නපු ගමන් අම්මලා හා කියන් නෑ.බනිනවා.කන රත් වෙන්න දෙකක් දෙනවා.ඕකා නම් උඹට හරියන් නෑ කියනව.ඒ තමයි ටිපිකල් ශ්‍රී ලංකන් මම්ස්..උඹ මේ ලෝකෙ පෙරලන්න කල්පනා කර කර මෙතන ප්‍රීතිට අඳින්න එපා.අර විහඟයත් කබීර් සිංට ඇඳගෙන ඇති මෙලහට..”

මාෂි කියවමින් බැන වදියි.මට ඇය කාමරයෙන් එළියට ඇද දමන්නට තරම් සිත් පහළ වේ.

“ඒ වුණාට මට තියන ප්‍රශ්නෙ, චන්දිමා ආන්ටි වගේ කෙනෙක් මෙහෙම වුණු එක.එයා ඕන ප්‍රශ්නයක් දිහා ලස්සනට බලන කෙනෙක්.අනික ඇත්තටම ඇත්ත කිව්වොත් වර්ෂා අක්කා මැරි කරේ ඩිවෝස් වුණු කෙනෙක්නෙ.ආන්ටි වචනයක් කිව්වද?”

ලතිකා,මගේ අනිත් මිතුරිය සිතිවිල්ලේ කියන්නට ගත්තා ය.සැබෑවකි.මා දැන සිටි අම්මා ඉතා පුළුල් මනසක් ඇති ගැහැනියකි.මගේ එකම අක්කාගේ ආදරය හිමි කරගත් දුලාජ් අයියා වංචනික විවාහයකින් දික්කසාද වී සිටිම පවා ඇය ගැටලුවක් කරගත්තේ නැත.

“ඔයාට ආදරේ කරනවනම් ඒ දරුවා එක්ක ඔයාගෙ ජීවිතේ ඉතිරි කාලේ ගෙවන්න ඔයාට පුලුවන් කියල හිතෙනව නම් එච්චරයි.”

අම්මා එසේ පැවසුවා ය.

නිදහස්ව සිතන්නටත් නිදහසේ තීරණ ගන්නටත් අප මෙහෙයවූ ඇය අපේ තීරණවලට අනවශ්‍ය අත පෙවීම් කළ කාලයක් හෝ දවසක් මට මතක නැත.මේ වේදනාව ද එනිසා ය.

ඇය මගේ තීරණයකට මුල්ම වතාවට එරෙහි වූවා ය.හේතු නොදක්වා එරෙහි වූවා ය.වේදනාව දැනෙන්නේ ඒ මගේ අනාගතය සම්බන්ධ වැදගත්ම තීරණය නිසාවෙනි.

“අම්මා.කැම්පස් එකේ මගෙ හොඳම යාලුවෙක්ට මං ගැන අදහසක් තියනව.අපි හිතන පතන හැටි,අපි කැමති දේවල් ඔක්කොම එක වගේ.මට හිතෙනව එයාව මට ගැළපෙනව කියල..”

අම්මා මගේ කතාව අසා සිටියේ සිනාවකිනි.මම විහඟගේ ඡායාරූපයක් අම්මාට පෙන්වූයෙමි.

“මේ ළමය කොහෙද?”

ඇය ඇසුවේ විහඟගේ ඡායාරූපය දෙස නෙත් රඳවාගෙනම ය.

“ගම්පහ..”

“අම්මයි තාත්තයි..”

මට ඒ ගැන කියන්නට බයක් නොතිබිණ.වෛද්‍යවරුන් වූ විහඟගේ තාත්තා ගැනත් අම්මා ගැනත් මම අම්මාට හෙළි කළෙමි.

අම්මා වදනකුදු නොදොඩා යන්නට ගියා ය.කුණාටුව ඇරඹුණේ පැය කිහිපයකිනි.

“අර අෆෙයා එක වහාම නවත්තනව!”

මගේ අම්මා මට මිතුරියක ඇසුරු කරන්නටවත් බාධා කළ කෙනෙකු නොවේ. මේ ඇය මට ජීවිතය තුළ දැමූ පළමු තහනම ය.මම නොනවත්වාම හේතු විමසූයෙමි.ඇය කිසිම විටෙක හේතුව හෙළි කළේ නැත.

“උඹල සද්ද නැතුව ඕක කරගෙන පලයල්ලා.අම්මා ඇහුවොත් ඒක නෑ කියනවලා.බබ්බු වගේ අප්පා..”

මාෂි බැන වැදුණා ය.

“දේදු, වර්ෂා අක්කා ඇවිල්ලා..”

ලතිකාගේ හඬට මම පිබිදුණේ අම්මාගේ හැසිරීම ගැන සිතමින් හැම වැඩක්ම පාඩු කරගනිමින් යහනේ පෙරළෙමින් සිටියදී ය.

“අම්මා එක්ක සමාදාන කරනව වගේ හින්දි ෆිල්ම් ස්‍ක්‍රිප්ට් නම් එපා අක්කි.මට අම්මා මේ තරම් කේන්ති ගන්න කාරණාව ගැනයි දැන ගන්න ඕන..”

මගේ හඬ තුළ තිබෙන්නට ඇත්තේ කේන්තියට වඩා කළකිරීමකි.

“ඕනම දේකට හේතු තියනව නංගි..”

දුලාජ් අයියා සන්සුන්ව පැවසී ය.

“මට පවා කැමති වුණු අම්මා විහඟට අකමැති හේතුවනෙ ඔයා හිතන්නෙ..”

ඔහු ඉනික්බිති පැවසී ය.

“ඔව්! අම්මා කුලමල හිතන මනුස්සයෙකුත් නෙවෙයිනෙ..”

අක්කා මා අත ඡායාරූපයක් තැබී ය.ඒ අම්මාගේ යොවුන් වියේ සේයරුවකි.ඇය හිඳින්නේ හිනැහෙමිනි.ඒ දීප්තිමත් සිනාවට හේතු වූ මිනිසා ඇගේ වම්පස ය. ඒ අපේ අප්පච්චි නොවේ.නමුත් මට ඒ රුව පුරුදු ය.

ඒ විහඟ වැනි මිනිසෙකි.මම අක්කා දෙස බැලුවේ පුදුමයෙනි.

“ඔය ඩොක්ට වසන්ත ජයසේකර.විහඟගෙ තාත්තා..”

අක්කා කියන්නේ මගේ අතක් උණුසුම්ව අල්ලා ගනිමිනි.

“අපි පුංචි කාලෙ අම්මා ඩිප්‍රෙෂන් වලට බේත් බිව්ව ඔයාට මතකද? ඒ බේත්වල හේතුව තමයි ඔය.අනිත් හේතුව විහඟගෙ අම්මා..”

අක්කාගේ කටහඬ ඇසෙන්නේ සිහිනයක පරිද්දෙනි.

“අතීතය ආයේ ආයේ වෙයි කියලා අම්මා බය ඇති චූටි නංගි.අපි පොඩ්ඩක් කාලෙට ඉඩ දෙමු.විහඟ කියන්නෙ හොඳ කෙනෙක් කියලා අම්මට ඔප්පු කරගන්න කාලය දෙමු..”

දුලාජ් අයියාගේ කාරුණික හඬ මගේ ගැහෙන හදවතට ඔසුවක් බඳු ය.

අතීතය යළියලිත් වෙමින් පවතින බව අම්මා සිතයි.ඇගේ යෞවනය ඇයට අහිමි කරවූ මිනිසාගේ පුතු අද මගේ ජීවිතය බවට පත්ව ඇත.මට මහ හයියෙන් හඬන්නට ඕනෑ විය.මගේ කඳුළු දරා ගනිමින් අක්කා මගේ හිස අත ගාන්නට වූවා ය.

“කාලෙට ඉඩ දෙමු චූටි..අම්මා සේරම තේරුම් ගනියි..”

මගේ කඳුළු නැවතෙන්නට හෝ තවත් ඉතිරෙන්නට අනාගතය මොනවා සිදු කරාවිදැයි මම නොදනිමි.මම හිස් බැල්මකින් ඉවත බලා ගතිමි.

අතීතය නැවත සිදු නොවිය යුතු ය.එය කිසිවෙකුට දරා ගත හැකි කාරණාවක් නොවේ.

More Stories

Don't Miss


Latest Articles