බෙහෙත් බීමෙන් පස්සේ මට හොඳට ම නින්ද ගියේ ය. මා පිබිදෙන විට දවල් දෙක ද පසු වී තිබිණි. ලූනා යහන පාමුල වැතිර සිට මා අවදි වූ බව දැනී නැගිට අත් දෙක ඇඳ මතින් තබා ගෙන මට කතා කරන්නට වූවා ය.
“සුදු මණිකට බඩගිනිද පැටියො…ඇයි නීලා කන්න දුන්නෙ නැද්ද…අපි යංකො කිචන් එකට”
බෙහෙත් නිසා නිදිමත ගතිය වූව ද ඇඟේ පතේ අමාරු බෙහෙවින් අඩු වී ඇති බව දැනිණ. හිස රදය තව දුරටත් ඉතිරි ව තිබුණේ ද නැත. උගුරෙහි වියළි ගතියක් හා තද පිපාසාවක් මට දැනිණ. මම ගුරුලේත්තුවෙන් වතුර වීදුරුවක් ගෙන බීගෙන බීගෙන ගියෙමි.
“අනේ සුදු බබා සීතල වතුර බොනව නේද ඔය…මගෙං උණු වතුර එකක් ඉල්ලන්න එපැයි…”
නීලා කොහේදෝ සිට දිව ගෙන ආවා ය.
“මට දැං හොඳයි වගේ නීලම්ම. ලූනාට බඩගිනියි වගේ”
“අන්න බත් එක… කට තිබ්බෙ නෑ මං දුන්නට. මං ඒත් කිව්ව සුදු බබා කෑවෙ නැති නිසා වෙන්ටැති කියල. ආ…අන්න අර ළමය දෙතුන් සැරයක් ම ඇවිත් බලල ගියා කෑම ලෑස්තියි කියල”
මගේ මුවගට මඳහසක් ආවේ ය.
“සංකල්ප උයලද…”
“මං සුදු බබාට ඇහැරවන්න හදද්දි එපා කිව්ව. ලෙඩකට කෑම වගේම නින්දත් ඕන නිසා නිදා ගද්දෙන් කිව්වෙ…සුදු බබාම අවදි වුණහම කෑමට එන්න කියන්න කිව්ව”
“ඕනත් නෑ…මට ගෙදර කෑම කන්න පුළුවන්”
ලූනා ගේ හිස පිරිමදින ගමන් මම මන්ද්‍ර ස්වරයකින් තෙපළෙමි. නීලා තරමක් කලබල වූවා සේ ය.
“අනේ එහෙම කරන්න එපා සුදු බබා. දැන් කී සැරයක් ආවද සුදු බබා ඇහැරලද බලන්න. මං හිතන්නෙ ඒ දරුවත් තාම කාල නෑ”
ගෙදර විදුලි සීනුව නාද වූයේ එතකොට ම ය. මමත් නීලාත් දෙදෙනා ම ඉදිරි පස ට ගියෙමු. සංකල්ප බරාඳයේ සිටියේ ය. මා දුටු ඔහු ගේ වත සිනහවකින් විකසිත විය.
“නැගිට්ටද…”
සිනහවක් නොදී ඉන්නට මට බැරි විය. ඒ මොහොතේ මට මා වෙතින් දැනුණේ හැබෑ අහිංසක කමකි.
“යං එහෙනං…දැං බඩගිනි ඇතිනෙ…”
“මං වොශ් එකක් දාගෙන එන්නද…”
“නාන්න එහෙම එපා…අන්තිමට හොස්පිට්ල් ඇඩ්මිට් වෙන්න තමයි වෙන්නෙ”
වෙන වෙලාවක නම් මා ඔහු ට බැණ වදිනු නිසැක ය. නමුත් පශ්චාද් උණ කෙඩෙත්තු තත්වය නිසා ද මන්දා මා තරමක් සන්සුන් වී හිඳින බවක් දැනිණ.
මුහුණ කට සෝදා ඇඳුම් මාරු කොට ඕඩිකොලෝන් දමා ගෙන මා යළි බරාඳය වෙත යත්දීත් සංකල්ප පුටුවක වාඩි වී බලා සිටියේ ය.
“සුවඳයි. බබෙක් වගේ…”
පුටුවෙන් නැගිට ගනිමින්, ඇස් වලින් සිනහ වෙන ගමන් ඔහු කීවේ ය.
“ලූනාටත් එහෙං බත් ඕනලු”
“යං ලූනා”
අල්ලපු වත්තට යන ඒ කුඩා දුර මහා දුරක් සේ මට දැනුණේ ය. සංකල්ප මා ළඟින් ම පිය තැබුවේ ය. ලූනා මගේ ඇඟේ ගෑවෙමින් ඇවිද ආවා ය. වලාකුළු මත ඇවිද යනවා බඳු සැහැල්ලුවක් මම අත් වින්දෙමි. ඒ හැඟීම වචන වලින් පහදා කියන්නට මා දන්නේ නැත. මට එසේ දැනුණේ උණ ගතිය නිසා ද කියන්නටත් මා දන්නේ නැත.
ශාලාව කෙළවරක මහත රේන්දයක් ඇල්ලූ සුදු ම සුදු මේස රෙද්දක් දැමූ කුඩා හතරැස් මේසයක් සූදානම් කොට තිබිණි. රිදී පැහැති ඉරක් ගිය සුදු පිඟන් කෝප්ප කිහිපයක් ඒ මත වූයේ ය. සුදු පාටින් ම කවර දැමූ පුටුවක් ඇද, ඉඳ ගන්නා ලෙස සංකල්ප මට ඉඟි කළේ දෑසිනි. දෙතොල් තද කර ගෙන සිනහ වෙන ගමන් මම එහි හිඳ ගතිමි. එතකොට ම මේසය මතට සුප් බඳුනක් ආවේ ය.
“බොන්න”
ඔහු මට ඇරයුම් කළේ ය.
“ඔයා…”
“ඔයානෙ විසිටර්”
මම හරි බරි ගැසී සුප් හැන්දක් මුවට ගතිමි. සංකල්ප කාටදෝ ඉඟි කොට ලූනා ගේ කෑම ගැන මතක් කරන ගමන් පුටුවක් ඇද මා ඉදිරියේ හිඳ ගත්තේ ය. තවත් සුප් උගුරු කිහිපයක් බී මා ඔහු ඔහු දෙස බලත්දී සංකල්ප සිය වැලමිට ළඟින් නැවූ අත මත කම්මුලක් තබා ගෙන මදෙස බලා සිටියේ ය.
“හැමදාම උණ තියනවනං හොඳයි වගේ”
මා එසේ කීවේ සිනහ වෙමිනි. නමුත් ඒ මුහුණ මත සිනහ කඳුළක් වූයේ නැත. දුම් දමමින් උණු උණුවේ ම කෑම ටික මේසයට ආවේ ය. හත් වසරක් කුස ගින්නේ හිටියා බඳු ව මම කන්නට පටන් ගතිමි. පෙර බැල්මෙන් ම සංකල්ප බලා සිටියේ ය.
“බෑ බෑ..ඔයත් කන්න ඕනෙ”
මම ඔහු වෙත පිඟානක් දිගු කළෙමි. සංකල්ප එය ගත්තේ ළදරුවෙකු ගේ බඳු අව්‍යාජ සිනහවකිනි.
“නොකෑවත් බඩ පිරිල වගෙයි දැන්නං”
“ඇයි…”
“ඔයා ඔහොම කැමැත්තෙං කනව දකිනකොට…”
“දවස් දෙකකිං විතර මං හරියට කාල නෑ”
“බඩ පිරෙන්න කන්න ඕන හරිද..ලූනා කනව අර…”
ලූනා ද බුලී ද ඈත කොනක කෑම කමින් සිටියහ. සංකල්ප තවත් බත් මාළු පිණි මගේ පිඟානට බෙදුවේ ය.
“ඇති ඇති අම්මෝ මං ඔච්චර කන්නෙ නෑ”
“එක වේලක් වැඩිපුර කෑව කියල මහත් වෙන්නෙ නෑ”
ඒ හැන්දෑව ඔහු ඇසුරේ ඒ තරම් සාමකාමී ව ගෙවුණේ කෙසේ ද කියා මා දන්නේ නැත. මල්ෂා ද කැටිව ඇවිදින්නට යා යුතු බව මම නැවත මතක් කළෙමි. සංකල්ප කිසිත් නො කියා සිටියේ ය.
උදේ වරුව ම නිදා ගත් නිසා හැන්දෑවේ මම ලූනා සමග වත්තට වී සිටියෙමි. පසු ගිය දින වල මා එක මලක් හෝ නො දුටු බළල් පහුරු වැල කහ පාට රෙද්දක් එලුවා සේ මල් දරා සිටියේ ය. දවසට දෙකට එහෙව් විපර්යාසයක් වූයේ කෙසේ ද කියා මට අදහා ගත නො හැකි තරම් විය.
කොළඹ ගෙදර ගහක් කොළක් නැති පරිසරයට වඩා මේ කෙතරම් සුවදායී නවාතැනක් දැයි මම කල්පනා කළෙමි. මුළු ළමා විය ම ද යොවුන් වියෙන් විශාල කොටසක් ද ගෙවී ගියේ ඒ කොංක්‍රීට් වනාන්තරයේ ය. අප හැල්මේ දිව ගොස් තිබෙන්නේ මිරිඟුවක් පස්සේ නොවේද කියා මැනවින් වැටහෙන්නේ මෙහෙම නැවතුණාට පස්සේ ය.
අම්මා විටින් විට කතා කරමින් මගේ සුව දුක් විමසුවා ය. මා බෙහෙත් ගෙන සුව අතට හැරෙමින් හිඳිනා බව ඇසීම ඇයට සැනසීමක් විය.
“වැස්සෙ තෙමෙන්නයි පිනි බාන්නයි රෑ තිස්සෙ නාන්නයි යන්න එපා උත්තරා. ඔයාට දැං ඔය ක්ලයිමේට් එකත් අල්ලන්නැතුව ඇති”
“ඕකනං කේලමක්”
මම සිනාසුණෙමි.
“නීලම්ම ඔක්කොම කේලං ටික ගාණට කියනව නේ…”
“ඒක කේලමක් නෙවෙයි ඒ මනුස්සයගෙ වගකීම. ඔහොම ඔයා ලෙඩ වෙන්න ගත්තොත් මං ඔයාව ආයෙ මෙහෙට ගෙන්න ගන්නව”
අම්මා තරවටු කරන්නේ පොඩි ළමයෙකු ට සේ ය. නමුත් මම කිසිත් කියන්නට නො ගියෙමි. දැනටමත් මා ඇය ව අපේක්ෂා භංගත්වයට පත් කොට ද ඕනෑවටත් වඩා හිත රිදුවා ද ඇත්තෙමි.
“චැනල් එකේ හෙඩ් මට කතා කළා”
හදිසියේ ම ඇය කීවා ය.
“මිස්ට සේනක…ඇයි ඒ…”
“ඔයාට ආයෙ වැඩට එන්න කියන්න කිව්ව. ඒගොල්ලො තාම රෙසිග්නේෂන්ස් ෆයිල් කළෙත් නෑලු. ඔයා නිවාඩු හිටියා වගේ අරේන්ජ් කර ගන්න පුළුවන් කිව්ව”
මම එකවර කිසිත් කියන්නට නො ගියෙමි. එකවර මට කිසිත් සිතිය හැකි වූයේ ද නැත. ඒ මා ආශාවෙන් කළ රැකියාවයි. මුදල් ඉපයීමේ අවශ්‍යතාවයක් මට නොවුණත්, මට මා ගැන ස්වාධීනත්වයක් දැනෙන්නට වූයේ එම රැකියාවෙහි නිරත වීම හේතුවෙමි. ඔවුන් තව දුරටත් මා ගැන බලා හිඳින්නේ මම රැකියාවට සාධාරණය ඉටු කරමින් අවංකව එහි නිරත වූ නිසා බව මම දනිමි. නමුත් නැවතත් ඒ ජීවිතය ට එළඹෙන්නට මට හැකි ද සහ මට අවශ්‍ය ද කියා සිතා බැලිය යුතු ය.
නාලිකාවෙන් මට ඉතා හොඳ වැටුපක් ලැබුණේ ය. නමුත් මේ වසර පහ තුළ ඉන් සතයකුදු ලබා නො ගෙන මගේ බැංකු ගිනුමෙහි ඉතිරි වී තිබෙන්නේ ය.
“මැරි කරල අපෙන් අයින් වෙලා යනකල් ඔයාගෙ වියදං ගැන බලා ගන්න අපිට පුළුවන්”
අප්පච්චි කීවේ එසේ ය.
” ඒක නිසා ඔයා හම්බ කරන සල්ලි ගන්න එපා. දවසක ඒව ප්‍රයෝජනවත් වෙයි”
පපුව පැලෙන්නට එන රිදුමක් මට දැනිණ. අප්පච්චි අකාලයේ ම මරණයත් එක්ක නික්ම ගියේ මා තුළ මහත් අසරණ හැඟීමක් ඉතිරි කොට තබා ය.
“උත්තරාව බන්දල දෙන්න බැරි වුණ පසුතැවීම විතරයි මට තියෙන්නෙ. අනිත් හැම යුතුකමක් ම මං ඉෂ්ට කළා”
ගිලන් යහනේ සිටියදී දිනක් ඔහු කීවේ ය. ඇස් වලට උනමින් තිබූ කඳුළු ද හදවත ගිනි අවුලමින් තිබූ රිදුම ද යටපත් කර ගෙන මම ආදරණීය නෝක්කාඩුවකින් දෙඩුවෙමි.
“මොනාද අප්පච්චි මේ කියන්නෙ…මට තාම බඳින්න වයසක්ද…”
“මාත් එහෙම හිත හිත තමයි හිටියෙ. දෙන්නෙක් ම බන්දල දුන්න..පොඩි ම කෙල්ල තව ටික කාලයක් අපි ළඟ හිටපුදෙං කියල”
“ඉතිං ඒකනෙ. මං තව ටික කාලයක් ඔහේ හිටපුදෙං. අප්පච්චි සනීප වුණාම අපි හොඳ කොල්ලෙක් බලමුකො”
“උත්තරා හොඳ කොල්ලෙක්ව තමයි බඳින්න ඕනෙ. මං වගේම ඔයාව බලා ගන්න විදිහෙ කොල්ලෙක්”
මගේ ඇස් වලින් කඳුළු රූරා හැලෙමින් තිබිණ. රත්නපුරයේ තබා ඇමරිකාවට ගියත් මට මේ මතක කන්දෙන් සැඟවී ගත නො හැකි ය. අප්පච්චි ගැන මතකය සදා කල් මා හඹා එනු ඇත.
මම කොට්ටයක මුහුණ ඔබා ගෙන නිසල වීමි. යළිත් දරුණු හිස රදයක් මා වෙළා ගන්නා බවක් දැනී නො දැනී ගියේ ය. මේ කිසිත් නොදැනෙන නිදි ලොවෙහි ටික වෙලාවකට හෝ සැඟවී ගන්නට ඇත්නම් කියන සිතිවිල්ලෙන් මම ඇස් තද කොට පියා ගතිමි.
සීතල සුලං රැල්ලක දැවටී සංකල්ප ගේ ගී හඬ පා ව ආවේ මා නින්දත් නො නින්දත් අතරේ සිටියදී ය. ඒ හඬින් මා තිගැස්සී අවදි වූවා කීවොත් නිවැරදි ය.
“මං මුලා වී පාර සොයා ගෙන
හසරක් අසමින් යන ගමනේ
මං මුලා වූ සමනලියකගෙනි
පාර අසා තිබුණේ…”
මා ඇඳෙන් බිමට පැන්නේ පියවි සිහියෙන් ද නැත්නම් සිහිනයෙන් ද කියා හෝ මට නො තේරිණි. ඊළඟ මොහොතේ මා සිටියේ අපේ ගල් ඇල්ලූ පාර දිගේ ඉක්මන් අඩි තබා යමිනි.
“ඇයත් නොදන්නිය ඇය යන මානය
උන් හිටි තැන් මතකයෙ අඩමානය
පාර කියන්නේ කෙලෙසද මා හට
ඇයට ද පාරක් ඇති නැති ගානය..”
මා සීතලෙන් හිරි වැටී ගොස් තිබිණි. සැබවින් ඒ සීතලට ද නැත්නම් ඒ හඬේ වූ ළය පසාරු කරන ශොචනීය බවට ද කියා සිතා ගත නො හැකි ය. මම කැටයම් ගේට්ටුවෙන් හයිලන්ඩ් ගෙස්ට් වෙත ඇතුළු වීමි.
“අප හමු වූයේ ඇයි දැයි නොදනිමි
පාර ඇසූයේ මන්දැයි නොකියමි..”
සංකල්ප මා දුටුවේ ඒ වෙලාවේ ය. ඔහු වහා ගීතය නවතා මවෙත ආවේ ය.
“සින්දුව කියන්න”
මගේ හඬ වෙව්ලා යනවා දැනිණ. ඔහු ට ඒ ඉල්ලීමේ වගක් නො විණි. ගිටාරය ගල් බැම්ම මතින් තැබූ සංකල්ප සිය ජැකට් එක ගලවන්නට වූයේ ය. මා බලා සිටියේ ගල් ගැසීගෙන වාගේ ය.
“මේ සීතලේ…ආයෙත් ලෙඩ වෙන්නනෙ අප්ප හදන්නෙ…”
ඔහු එය මගේ දෙඋර මතින් දමා, එහි වන තොප්පියෙන් මගේ හිස ආවරණය කළේ ය. වෙව්ලන යටි තොල මම දසන් දෙපෙළ අතරේ තද කර ගතිමි.