fbpx

සඳක් කළ සක්මන් -38

නංගී අජිත් ගෙන් වෙන් වී ආ වෙලාවේ, ඒ වෙත්දීත් ඇය ගැබ් ගෙන ඇත්දැයි සාධාරණ බියක් මා තුළ විය. එය එසේ වූවා නම් පුදුම වන්නට යමක් එහි නැත. නමුත් එසේ වූයේ නැතියෙන් මට සැනසුමක් දැනිණ. නො පෙන්වා සිටියා ට අම්මා ට හා තාත්තා ට ද එසේ වන්නට ඇත.

ඇය ගැබ් ගෙන ඇත්තේ අජිත් ගෙන් මිදී විත් මාස කිහිපයකට පස්සේ ය. ඒ කියන්නේ මේ දරුවා ඔහු ගේ නොවේ. එසේ නම් ඒ කාගේ ද? නංගී ඒ තරම් සමීප ව ඇසුරු කළේ කාව ද? අප කොයි තරම් ප්‍රශ්න කළත් නංගී ඒ ගැන කට හෙල්ලුවේ නැත. අන්තිමට මට දැනුණේ මහත් විඩාපත් බවකි.

“මං අම්මට කිව්ව. මං කිව්ව මේකි ගැන ඇහැ ගහගෙන ඉන්නයි කියල. කොහෙද ඉතිං අම්ම ඇහුවද…මටනං මේකිට නෙවෙයි වැරැද්ද පටවන්න හිතෙන්නෙ අම්මට”

මම ආවේග ශීලී ව කියා ගෙන ගියෙමි. එසේ කියා ගෙන යත්දී බලාපොරොත්තු නොවූ ලෙස මට හැඬුණේ ය. නංගී වෙනුවෙන් කළ සියල් ගඟට කැපූ ඉණි සේ වූයේ ය. මට ඇය රැක ගත නො හැකි විණි. මට මගේ නංගී වෙනුවෙන් යමක් කර ගත නො හැකි විය. ඇය ව ඒ නරා වළෙන් ගොඩ ගත නො හැකි විය. කිසි සේත් පාලනය විය නො හැකි ව මට ඉකි බිඳී හැඬිණි.

“ඉතිං ලොක්කි මං මොනා කරන්නද…මෙයා හැම තිස්සෙම මට පේන තැනක හිටිය නෙවෙයිනෙ. පන්ති යනවයි අරහෙ යනවයි මෙහෙ යනවයි කිය කිය…ගෙදරක හිටියෙ ටික වෙලාවයිනෙ”

අම්මා බිය පත් ව නිදහසට කාරණා කීවා ය. දැන් ඉතින් ඔය කවරකින් හෝ ඇති පලක් නැත. මගේ පුංචි නංගී යළි කිසි දාක ගොඩ ගත නො හැකි වළකට වැටී අවසාන ය. ඇය දරුවෙක් බිහි කරන්නට යයි. එතකොට ඇය අම්මා කෙනෙකි. දරුවෙකු ගේ වගකීම දැරිය යුතු ළමා අම්මා කෙනෙකි.

මගේ හිත අපමණ වේදනා වින්දේ ය. මේ දරුවා අජිත් ගේ විණි නම් අපට යම් පමණකට හිත සකසා ගන්නට තිබිණි. ඒ දිනෙක ඔහු ට ඇය විවාපත් කොට දෙන්නට තිබූ බැවිනි. නමුත් දැන් ඒ කඩ ඉම පසු වී තිබේ. නංගී ඔහු හැර ආවේ ය. මේ දරුවා කාගේද කියා ඇය පවසන්නේත් නැත. අනුන්ගේ දරුවෙකුට පීතෘත්වය පිරිනමන්නට අජිත් වාගේ මිනිසෙකු එකඟ වෙතැයි සිහිනයෙනුදු සිතිය හැකි ද?

නංගී බිහි කරන්න ට යන්නේ පියෙකු ගේ හිමි කම නොමැති දරුවෙකි!

මට දැනුණේ මා උමතු වීමට එන්නාක් මෙනි. පවුලක් වශයෙන් මේ අප යන්තම් හිස ඔසවා ගන්නට හැදුවා පමණි. ගුරුගේ ලා ගේ මිනිසත් කමට පිං සිදු වන්නට මට සේ ම තාත්තා ට ද ලැබුණු රැකියා නිසා අපේ පවුලේ ආර්ථික මට්ටම යන්තම් තිබූ තැනින් සෙලැවිණි. අපි කුඩා හෝ ගෙයක් තනන්නට පටන් ගතිමු. ඒ අනුව අපේ සමාජ මට්ටම ද අංශු මාත්‍රයකින් නැගී සිටින්නට ඇත. නමුත් නංගී මේ කළ දෙයින් සිදු වන්නේ අප යළිත් ප්‍රපාතයකට කඩා ගෙන වැටීම නො වන්නේ ද?

මේ ගැන ගුරුගේ ලාට නො පවසන්නයි අම්මා කීවා ය. මේ වාගේ තත්වයන් මත ආකාශ් ට මාව සරණ පාවා දෙන්නට ගුරුගේ දෙමහල්ලන් ගත් තීරණයෙහි වෙනසක් වෙතැයි අම්මා බිය වන්නට ඇත. නමුත් කෙතරම් කාලයකට මේ වගේ රහසක් සඟවා ගෙන ඉන්නද?

“මං මුකුත් හංගන්නෑ ඒ මිනිස්සුන්ට”

මා කීවේ තදිනි. අම්මා කර බා ගත්තා ය. 

“ලොක්කි කියන කතාව හරි. මේකි මේ අසමජ්ජාතිකං කරගෙන ඇවිත් වැටුණයි කියල ලොක්කිට ඉටු දෙවියො වගේ පිහිට වෙච්ච මිනිස්සුන්ට ඒකි බොරු කියන්න ඕන නෑ”

ආච්චම්මා හෝ මගේ පැත්තේ හිඳීම මට සහනයක් වූයේ ය.

Mini Stories

අයිතියක් නැති තැන්.

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 29 වන කොටස

Mini Stories

ඉරිසියාව

ළපෙති මල්

ළපෙති මල් – 30

Mini Stories

සුවඳ නැති අතීතය

සුළි සුළඟක සුසුමක්

සුළි සුළඟක සුසුමක් – 28 වන කොටස

Mini Stories

දිවිල්ල

ළපෙති මල්

ළපෙති මල් -29

Mini Stories

සුරපුරය

“ලොක්කි ඇත්ත කියහං. අපි දන්නෑ මෙච්චර වසංගත පවුලකිං ඒ දොස්තර පුතාට කසාදයක් කොරල දෙන්න දැන් ඉතිං ඒ දෙමව්පියො කැමති වෙයිද කියල. එහෙම වුණත් කරන්න දෙයක් නෑ කෙල්ලෙ. මේව සංසාර කරුම. නංගි වෙලා එක බඩ වැල කඩං ඉපදිලා හරි මේ උඹෙං පරණ පළියක් ගන්නව ඇති. පරණ කරුමයක් පිරිමහනව ඇති”

ආච්චම්මා ගේ ජීවිත කාලයට මේ වාගේ නස්පැත්තියකට මුහුණ නුදුන්නා බඳු තැවුලකය ඈ සිටියේ. මගේ හදවත කෑලි වලට ඉරී ලේ ගලනවා සේ මට දැනිණ. මා ගුරුගේ මැදුරට ගියේ පරඬැල් පතක් සේ ය. මගේ ඇස් හැඬීම නිසා රතු වී ද තඩිස්සි වී ද තිබෙන්නට ඇත.

“ඇයි පූජා…මොකද වුණේ…”

මගේ විලාශය දුටු නෙරංජලා පමණකුදු නොව ආකාශ් පවා පුදුම වූහ. කඩා වැටෙන්නට බලා උන් ගැබ්බර අහසක් සේ මගේ කඳුළු වැස්ස කඩා හැළිණි.

“ඇයි මේ…දැන් ටිකකට කලින් මාත් එක්ක එද්දිත් හොඳට ආවනෙ. ඇයි පූජා..”

ආකාශ් ගෙන් මට දකිත හැකි වූයේ බිය පත් තිගැස්මකි. මා ඔහු ගේ හිත නිවිය යුතු ව තිබිණ.

“නංගි ප්‍රෙග්නන්ට්ලු”

“ආ…”

ඔවුහු මා හිස පිරිමැද්දහ. නමුත් මගේ හිතේ වූයේ ලේ ගලනා තුවාලයකි. මට මගේ ගමන තනියම යන්නට ඕනා වූයේ නැත. නමුත් දැන් පවුලක් වශයෙන් අප එහි පත්ලට ම වැටී සිටිමු. මේ මට වූ දෙයක් නොවුණත් මේ සා මට රිදෙන්නේ එබැවිනි. 

“මොන අපරාදයක්ද මේ ළමය කර ගෙන තියෙන්නෙ…මං ඔයාට කිව්ව නේද පූජා..ආයෙත් එයා පනින්න හදන්නෙ ලොකු පිම්මක් කියල…”

“මේකි මෙච්චර මෝඩද අම්ම…”

“මෝඩ කම්ම නෙවෙයි. කරුම. අපි සසරෙදි කරන කරුම කොතනකදි හරි ගෙවල ඉවර කරන්න වෙනව”

නමුත් මා කෙසේ එසේ සිතා සිත සන්සුන් කර ගන්න ද? මෙය සරල වූ දෙයක් නොවේ. නංගී ගේ මදිවාට දැන් අප පියෙකු නැති දරුවෙකු ගේත් වගකීම් දැරිය යුතුවා නොවේද? නංගී කියන්නේ තමන්ගේ වගකීම් හෝ උහුලා ගත හැකි තරම් පැසුණු බුද්ධියක් ඇත්තියක නොවේ. එහෙම එකියක දරුවෙකු ඇති දැඩි කරන්නේ කෙසේ ද?

“දැං ඉතිං වෙච්ච දේ වුණා පූජා. ඕක වෙන එක නතර කර ගන්නව මිසක් වුණාට පස්සෙ කරන්න කිසීම දෙයක් නැති බව අපි කවුරුත් දන්නවනෙ. අඩු ගානේ ඒ කොල්ල කවුද කියල හොයල කසාද බන්දන්නවත් පුළුවන්ද…ඒකට වයස සම්පූර්ණ නෑනෙ. දැන් ගිය සැරෙත් වුණේ ඕකනෙ”

නෙරංජලා කීවේ ඇත්ත ඇති සැටියෙනි. නමුත් මගේ හිත කීරි ගැසී ගියේ ය. නංගි ගේ අනාගතය කෙසේ සකස් කර ගන්නද? ඇය ජීවිතය අවුලෙන් අවුලට පත් කර ගෙන ඇතිවා නොවේද?

“හැබැයි ඉතිං කොහොම හරි දැන ගන්න බලන්නක ඕක වුණේ කොහෙං කොහොමද කියන එක”

නෙරංජලා කීවා ය.

“ඇත්තටම මේ සිද්ද වෙන දේවල් ඔයාටත් හොඳ නෑ පූජා. ඔයා මඩේ හැදිල මඩෙං උඩට ඇවිත් ලස්සනට පිපුණ නෙළුම් මලක් වගේ. ඔයාගෙ අගේ අපි හොඳට දන්නව නිසා හොඳයි. එහෙම නැත්තං ඔයාගෙ කටයුත්තකට වුණත් ඔය නංගි කර ගන්න දේවල් පරහට හිටින්නැති වෙන්නෙ නෑ”

ඇය තව දුරටත් අවධාරණය කළා ය. මම දන්නෙමි. නෙරංජලා හෝ ආකාශ් හෝ ඉවත බලනවා නම් ඔවුන් ගැන අබ මල් රේණුවක තරම් අහිතක් නො හිතා පසෙකට වන්නට තරම් මට ඔවුන් වටහා ගත හැකි ය.

ආකාශ් මා කැටිව ඔවුන් ගේ පුස්තකාල කොටසෙහි මේසය වෙත ගියේ ය. පිටතින් පෙන්වනවාටත් වඩා මා කැළඹී හිඳින බව ඔහු දනී. නංගී ගැන මා කොයි තරම් අලුතෙන් බලාපොරොත්තු තැබුවා දැයි ඔහු හොඳින් ම දනී.

“මට තේරෙනව ඔයා මේ වෙලාවෙ ඉන්න සිටුවේශන් එක. ඒත් ඔයා මට පොරොන්දුවක් වෙන්න ඕන පූජා..”

“පොරොන්දුවක්…”

“ඔව්. මොන දේ සිද්ද වුණත් මොන ප්‍රශ්න ආවත් ඒ කිසි දෙයක් ඔළුවට ගන්නෙ නැතුව මේ සැරේ එග්සෑම් ගොඩ දා ගන්නවයි කියල. ඔයා අනිත් අය ගැන හිතුවෙ නැතුව නෙවෙයිනෙ පූජා. ඔයා ගැන හිතනවටත් වැඩිය හිතුවෙ එයාල ගැන. ඒත් මේ මොහොතෙ ඔයා අනිත් කොයි දේටත් වැඩිය ඔයා ගැන හිතන්න ඕනෙ. ඔයාගෙ විභාගෙ ගැන හිතන්න ඕනෙ”

මගේ ඇස් මත මොර ගෙඩි තරම් ලොකු කඳුළු බින්දු දෙකක් නැගී ආවේ ය.

“මොකද මේ චාන්ස් එක මිස් වුණොත්…ආයෙ සැරේකට ඔයා එග්සෑම් ගැන හිතන්නෑ කියල මං හොඳට දන්නව. ඔයා දක්ෂ ළමයෙක්. ඔයාගෙ බලාපොරොත්තුව ඔයා වෙනුවෙන් ඉෂ්ට කරල දෙන්න”

මගේ අයවත් මා ගැන නො සිතත්දී ඔහු මා ගැන ඒ තරම් හිතයි. ඒ තරම් වද වෙයි. එහෙව් ඔහු වෙනුවෙන් මා යමක් කළ යුතුව ම තියේ.

“මං ඒක කොහොම හරි කරනව අයියෙ”

මම දෙවරක් නො සිතා ඒ පොරොන්දුව දුන්නෙමි. ආකාශ් ඉමහත් ස්නේහයකින් මගේ හිස් මුදුන පිරිමැද්දේ ය.

“ඒත් දැං මං ඉන්නෙ දරා ගන්න බැරි තැනක. ඇයි අයියෙ නංගි මං කරපු කිසි දෙකට වටිනාකමක් දුන්නෙ නැත්තෙ….ඇයි එයා මාව තේරුං ගත්තෙ නැත්තෙ…ඒ ළමය මොන විනාසයක්ද මේ සිද්ද කර ගත්තෙ…”

“ඒ ළමයගෙ අවාසනාව පූජා. මට දුක ඔයා මේව නිසා දුක් විඳිනවට. එග්සෑම් ඉවර වුණාට පස්සෙ අපිට තීරණයක් ගන්න වෙනව. මං කොහොමද කියන්න ඔයාව දිගින් දිගටම ඔය ගෙදර තියන්නෙ…”

තව දුරටත් මේ ගෙදර රැඳෙන්නේ කෙසේද යන පැනය මා තුළ ද මතු වෙමින් තිබිණ. අපට ගෙයක් කියා දෙයක් තිබුණේ නැත. එහෙයින් ම අලුත් ගෙයක් සඳහා බිත්ති බැඳෙන සැටි වහල ගැහෙන හැටි මා බලා උන්නේ ආශාවෙනි. ගෙයි වැඩ නිම වන්නට තව වැඩි කාලයක් ගත නො වනු ඇත. නමුත් ඒ ගෙදර සැනසීමෙන් හුස්මක් ගෙන හිඳිනට තරම් මට පිණක් නැත්ද කියා දැන් මට සිතේ.

මා යත්දීත් නංගී සිටියේ යහන බදා ගෙන ය. හිතේ වන කේන්තියත් එක්ක මම පරණ කුස්සි කෑල්ලට ගියෙමි. අම්මා බංකුවක හිඳ කල්පනා කරමින් ද නෙත කඳුළු පිසිමින් ද සිටියා ය. දුවක හරියට හදා ගන්නට බැරි වූ කල්හි අම්මා කෙනෙකුට වන්නේ ජීවිත කාලය ම සුසුම් හෙළමින් හඬන්නට ය.

“තාත්තට කිව්වද”

කියා අසමින් මම දොර ලෑල්ලට හේත්තු වූයෙමි. හොද්දක් හැඳි ගාමින් බිම ඇණ තියා ගෙන උන් ආච්චම්මා හිස ඔසවා මඳෙස බැලුවා ය.

“නෑ”

අම්මා ගවුම් සායෙන් නාසය සූරමින් කීවා ය.

“කොහොමද ලොක්කි කියන්නෙ මෙහෙම දෙයක්…ඒ මනුස්සයට පිස්සු හැදෙයි”

“ඒත් මෙහෙම බරපතල දෙයක් තාත්තගෙං හංගල කොහොමද…”

“මමත් කිව්ව සුමියො උඹට ඔය ටික”

“ඒ මිනිහත් මගෙ ඔළුව කන්න හදයි. හරියට මගෙ උවමනාවට මේව සිද්ද වුණා වගේ”

“අම්ම කෙනෙක් වුණහම එහෙම තමයි සුමියො. අහස වගේ බැණුං අහගන්න දොස් අහගන්න සූදානමින් ඉන්න ඕනෙ. අම්ම කෙනෙක් විදිහට උඹෙනුත් හුඟක් දේවල් මග ඇරුණ සුමියො. මං මේ වෙච්ච ඔක්කොම දේවල වැරැද්ද තනිකර උඹේ පිටේ පටවන්න නියනව නෙවෙයි”

අම්මා නාසය උඩට ඇද්දා ය. ඇගේ සුදු මුහුණ රතු වී තිබිණි. මේ වතාවේ නංගී ගෙදරට ගිනි ඇවිලවූවා ය. මා තුළ ඈ කෙරේ කේන්තිය යළිත් ඇවිළෙන්නට විය.

“තාමත් කිව්වෙ නැද්ද මොකාද ඕකට වග කියන්න ඕන කියල…”

“ම්හු. කට හොල්ලන්නෑනෙ මේකි. තියන ඇට්ටර කමට”

“මං හොල්ලන්නංකො එයාගෙ කට”

කියා ගෙන මා නැගී සිටියේ සැබෑ කේන්තියකිනි. එය තනිකර මා වෙනුවෙන් පමණක් හට ගත් කේන්තියක් නොවේ. අපේ මුළු පවුල වෙනුවෙන් ම හට ගත්තකි.

“අනේ ලොක්කි දැං ඉතිං..”

මා වළකනු වස් අම්මා යමක් කියන්නට උත්සාහ කළා ය. නමුත් මට ඈ කියන දේකට සවන් දෙමින් ඉන්නට ඕනා වූයේ නැත. හී ගසක් සේ මම නංගී වැතිර හිඳින යහන වෙතට ගියෙමි.

“නැගිටිනව”

මම ඇගේ ඇඳුමෙන් අල්ලා ඇද්දෙමි.

“මොන වදයක්ද…”

ඇය මට සැර දැම්මේ මදෙස රවා බලමිනි. 

“ඇත්ත කියනව. කොහොමද මෙහෙම දෙයක් වුණේ…”

ඇය ගස්සා ඉවත බැලුවා ය.

“කතා කරනව. කොහොමද මෙහෙම දෙයක් වුණේ…”

“කාටවත් වැඩක් නෑනෙ ඒක”

මගේ ඉවසීමේ සීමාව බිඳී ගියේ ඒ වෙලාවේ ය. මම හැකි වෙර යොදා ඇයට කම්මුල් පහරක් එල්ල කළෙමි. ඒ අතුල් පහරෙන් කිපුණ  ඕ යක්ෂණියක සේ මවෙත කඩා පැන්නා ය.

“දැන ගන්නද ඕනෙ…දැන ගන්නවකො එහෙනං. ආකාශ්. මේක කළේ ආකාශ්”

මා එල්ල කළ අතුල් පහර පෙරලා මගේ හිස මත ම පතිත වූවා සේ විය. මා වටා සියල්ල හදිසියේ ම කැරකෙන්නට ගත්තා සේ මට දැනිණ. බිම වැටේවියි සිහිනයෙන් සේ ඇති වූ හැඟීම මත මම එහෙමම ඇඳ මත හිඳ ගතිමි. හිසෙන් දුම් දමමින් තිබුණේ ය.

අනෙක් කොටස්

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x