පුංචි මේසයක් උඩට නැග්ග රෝෂිනී බරැති රෙදි වර්ගයකින් නිමවූ තිර රෙදි ගලවන්න පටන් ගත්තා.සති අන්තයේ ගෙදර ඉන්න වෙලාවේ සාගරගෙන් පුංචි පුංචි වැඩ වලට උදව් ගත්තත් උදේ ඉඳන්ම තිර රෙදි ගලවන වැඩේ පසුවට කල් දමමිනුයි සාගර හිටියේ. දුරකථන ඇමතුමක ඉන්න සාගර මිදුලේ එහා මෙහා ඇවිදින හැටි රෝෂිණී ට ජනේලය අතරින් පෙනුනා.විනාඩි විස්සකටත් වැඩි ඇමතුම අවසන් කරපු සාගර අන්තිමට ගෙට ආවා
” කවුද සාගර කෝල් කරේ ? “
” තාත්තා “
” මොකද ඉතින් තාත්තා කියන්නේ ? “
රෝෂිණී කතා කළේ එල්ලලා තියෙන තිර රෙදි වල කොකු මුදා හරින ගමන්
” මොකුත් නෑ “
එහෙම කියලා සාගර කාමරයට ගියා.රෝෂිණී කරමින් හිටපු කාර්‍යය මදකට නතර කළා.සෑහෙන වෙලාවක් තිස්සේ ගත්ත ඇමතුම සම්පූර්ණයෙන්ම දැනගන්න නෙමෙයි රෝෂනී ට ඕනේ උනේ.කවදාවත් සාගරගේ දුරකථනය වත් පරික්ෂා කරන්නේ නැති රෝශිනි තාත්තගේ ඇමතුම ගැන ඇහුවේ නිකමට.ඒත් තමන්ගේ බිරිඳට නොකියන දේවල් සැමියෙකුට තියෙන්න පුලුවන්ද කියලා රෝෂනී ට හිතුනා.විවාහ වෙලා අවුරුද්දක් ගියත් සාගරගේ සමහර හැසිරීම් තේරුම්ගන්න රෝෂිණී ට අපහසු වුණා
” ඒක තාත්තලා පුතාලා ගේ කතාවක් “
රෝෂිණී හිත හදා ගත්තේ එහෙම.
පෙරපාසල් ගුරුවරියක් වුණ රෝශිනි හැමදාම දවල් දෙක පහු වෙනකොට ගෙදර ඇවිල්ලා ගෙදර අස්පස් කරන එකේ ඉදන් මිදුල සුද්ද කරන එක දක්වා සියලුම වැඩ කටයුතු තනියම කළා.සති අන්තයට ඉතුරු කරගන්න සමහර වැඩ වලට ඇය සාගරගෙ උදව් වැඩිපුරම බලාපොරොත්තු වුණේ ඔහු එක්ක සහයෝගයෙන් වැඩ කරන්න තියෙන ආසාවටමයි.
තිර රෙදි ටික ගලවලා ඉවරවෙලා රෝශිනි උයන්න ලෑස්ති උනේ සාගර කැමතිම කෑම වර්ග ටික.එතකොටම කොහේදෝ යන්න ලෑස්තිවෙලා සාගර කාමරෙන් එළියට ආවා.
” කොහෙද සාගර යන්නේ ? “
” මම යාලුවෙක් හම්බවෙන්න යනවා “
” දවල්ට කන්න එනවා නේද ? මම කහ බත් හදන්න හදන්නේ “
” ශුවර් නෑ.එළියට බැස්සම එන වෙලාවක් කියන්න බැහැනේ ඉතිං “
රෝෂිණීට කිසිවක් කියන්න වත් ඉඩ නොතියාම සාගර එළියට බැස්සා. ගේට්ටුවෙන් පිට වෙන මෝටර් රථය දිහා රෝෂිනී බලාගෙන හිටියේ හිස් බැල්මකින්.
රෝෂිනි කෑම හදාගෙන පැය ගණනාවක් බලාගෙන හිටියත් සාගර ආවේ හවස 5ත් පහු වෙලා.සූදානම් කරලා තියෙන කෑම මේසේ දිහා සාගර බැලුවේ ඒ තරම් ගානක් නැතිව
” ඔයා කෑවෙ නැද්ද රෝෂිණී ? “
” මම ඔයා එනකන් හිටියේ “
” මට දැන් බඩගිනි නැහැ ඔයා කන්නකෝ. මම ටිකක් නිදා ගන්නවා “
සාගර ඉන්නේ මොකක් හරි ප්‍රශ්නෙක කියලා රෝෂිණීට නිකමට හිතුනා.ඒත් පුරුද්දක් විදිහට රෝෂිණී කවදාවත් සාගර ගෙන් එක එක දේවල් හාරවුස්සලා ප්‍රශ්න කරන්න ගියේ නැහැ.
සදුදා දවසේ පෙර පාසලට ගිහින් ආව රෝෂිනී ගෙදර වැඩ ඉවර කරලා, කියවන්න පොතක් අරගෙන ඉස්තෝප්පුවේන් වාඩි වෙනකොටම ගේට්ටුව ගාවින් ත්‍රීරෝද රථයක් නතර කළා
” එන්න අම්මේ .ගොඩ දවසකින් “
සාගරගේ දෙමව්පියන්ව රෝෂිණී පිළිගත්තේ හරිම සතුටෙන්
” සාගර එන්න තව වෙලා යනවා නේද රෝෂිනි ? මේ වෙලාවේ වැඩ නිසා අපි කෝල් කරන්න ගියේ නැහැ එයාට.කෙලින්ම මෙහාට ආවා “
” එයා එනකන් අපි තේ එකක් බොමු අම්මේ.මම ඊයෙ කේක් එකකුත් හැදුවා “
සාගරගේ දෙමව්පියන් ගෙට ගොඩ වුණේ වටපිට බලන ගමන්.
” අපි ආවේ ලොකු පුතාට ස්තූති කරලා යන්න. පොඩි පුතාගේ සැලකිල්ලක් නැති වැඩ නිසා තව ටිකෙන් අම්මගේ රත්තරන් බඩු සින්න වෙනවා අද “
සාගරගේ තාත්තා කිව්වේ රෝෂිණී දැනගෙන හිටපු නැති කතාවක්
” අනේද කියන්නේ . වෙලාවට ඊයෙ සාගර පුතා ඇවිත් අපිට සල්ලි දීලා ගියේ .නැතිනම් පරම්පරාවෙන් මට හම්බවෙච්ච රත්තරන් බඩු ටිකත් නැති වෙනවා.ගෙවනවා කිව්වට පොඩි පුතා ගෙවලා නෑනේ .ලක්ශ හතරක්ම ගෙවන්න උනා අන්තිමට “
රෝෂිණී නිහඬවම තේ හදන්න පටන් ගත්තා.කලින් දවසේ සාගර නොකිය හිටපු දේ මොකක්ද කියලා රෝෂිණී ට පැහැදිලි වුණා
” පොඩි පුතා හරි නාස්තිකාරයා.එක එක බිස්නස් පටන් ගන්නවා කියලා සල්ලි ඉල්ල ගන්නවා, පස්සේ බේරලා දෙන්නං කියල රත්තරන් බඩු ඉල්ල ගන්නවා. අන්තිමට මොකුත් නෑ “
සාගරගේ තාත්තා කතා කළේ ශෝකයෙන් වගේ.
” ලොකු පුතා අපේ බේත් හේත් ටිකත් අරගෙන දීලා , අතටත් ගානක් දෙන නිසා ඔලුව උස්සල ඉන්නවා අපි. නැත්නම් පොඩි එකාගෙ බොරු වියදම් වලට තාත්තාගේ පෙන්ෂන් එක ඉවරයි. ඊයේ අපිට සල්ලි දෙන්න සාගර ටත් යාළුවෙක්ගෙන් ඉල්ල ගන්න වෙලා තිබුනනේ.පවු “
අම්මා කතාකරන්නේ තාත්තාට නොදෙවනි දුකකින්.රෝෂිණී දුම් දමන තේ කෝප්ප දෙකත් කේක් පිරිසියත් මේසය උඩින් තිබ්බා.හවස් වෙලා සාගර ගෙදර ඇවිල්ලා ඔහුගේ දෙමව්පියන්ව ගෙදරට ඇරලවන්න යන්න සූදානම් වුණා
” අම්මලා ව ඇරලවන්න මමත් එන්නද ?”
” ඔයා ගෙදරට වෙලා ඉන්න රෝෂිනී “
සාගර එහෙම කිව්වම රෝෂිනී කිසිම වෙනසක් නොපෙන්වා ගෙදර නතර වුණා.ඔහු අම්මටයි තාත්තයිටයි බෙහෙත් වලට වියදම් කරන බව රෝෂනී දන්නවා.මාසෙකට වතාවක් දෙවතාවක් මහ ගෙදරට යනකොට අම්මලාට එළවළු සහ පලතුරු තෝරලා අරගෙන යන්නෙත් රෝෂිනිමයි.ඒත් ඔවුන්ගේ වියදමට වෙනම මුදල් දෙන බවක් රෝෂිනී දැනගෙන හිටියේ නැහැ
” ඒක මම දැනගන්න ඕන දෙයක් නෙමෙයි වෙන්න ඇති “
රෝෂිනි එහෙම හිතල හිත හදා ගත්තෙ අමාරුවෙන්.දෙමාපියන්ට සලකන එක වරදක් නෙවෙයි.ඒත් ඒ දේවල් තමන්ගෙන් සගවන්නේ ඇයි කියලා හිතාගන්න රෝෂිනීට බැරි වුනා.
” ඔයා අම්මලාට මාසේ ගානේ දෙන ගානට මමත් කීයක් හරි දෙන්න ද සාගර “
රෑ නින්දට යන්න කලින් රෝෂිණී සාගරට ඇහෙන්න කිව්වේ කොන්ඩෙ පීරන ගමන්.ඇඳ උඩ වාඩි වෙලා ජංගම දුරකථනයට මූන ඔබාගෙන ඉන්න සාගර එකපාරටම පුදුමයෙන් වගේ තමන් දිහා බලනවා රෝෂිණි කන්නාඩියෙන් දැක්කා
” මං ගාව ඉතුරු කරගත්ත සල්ලි වගයක් තියෙනවා. යාලුවගෙන් ඉල්ලගත්ත සල්ලි ආපහු දෙන්න හදිස්සි නම් අපි ඒ සල්ලි වලින් දෙමු “
සාගරගේ මූන වෙනස් උනේ රෝෂිණී බලාගෙන ඉද්දි.
” ගෙදර ලොකු පුතා හැටියට ඔයා අනිවාර්යයෙන්ම අම්මලාට සලකන්න ඕනේ.කවදාවත් මම ඔයාට ඒකට එපා කියලා නැහැ. බැන්දට පස්සෙත් තමන්ගේ පවුලේ අයට වෙනසක් නොකරන හස්බන්ඩ් කෙනෙක් ඉන්න එක මටත් ආඩම්බරයක් “
අතේ තිබුන පනාව කන්නාඩි මේසෙ උඩින් තියලා රෝෂිනි කොන්ඩෙ ගොතන්න පටන් ගත්තා.
” අම්මලාට ලක්ෂ ගණනින් සල්ලි දුන්නත් කමක් නැහැ.ඒව මගෙන් හංගන්නේ මම එපා කියයි කියලා ද ? “
” එ..එහෙම දෙයක් නෑ රෝෂීනි “
සාගර කතා කළේ හීන් හඬින්
” එහෙම දෙයක් තිබුණත් නැති උනත් ඔයා එහෙම කරනකොට මට දැනෙන්නෙ මම නරක වයිෆ් කෙනෙක් නිසා ඔයා එහෙම කරනවා කියලා “
සැමියෙක් විදියට සාගර තේරුම් නොගත්ත දේවල් රෝෂිණී ඉතා ඉවසීමෙන් යුතුව සාගරට තේරුම් කරමින් හිටියා
” අම්මලාට සලකන්න ගිහින් මාව නොසලකා අරිනවා කියලා මට දැනෙන්න දෙන්න එපා “
රෝෂිණී එහෙම කිව්වේ ඇඳ මතින් වාඩිවෙන ගමන්.සාගරගේ මුහුණේ ලොකු පසුතැවීම සලකුණු සටහන් වෙලා තියෙනවා ඇය දැක්කෙ ඒ වෙලාවෙයි