සහකරුගේ වියෝවකදී ඔහුගේ දර සෑයට පැන සහකාරියත් මිය යා යුතුද?

සයිබර් අවකාශය පුරා හැම අවුරුද්දකම පාහේ එක්තරා කාලයක කතාබහට ලක් වෙන සිදුවීමක් තියෙනවා.ඒ ජනප්‍රියව සිටි තරුණ නළුවෙකුගේ මරණය.ඔහුගේ පෙම්වතිය ඒ සිදුවීම අමතක කර තමන්ගේ වෘත්තීය ජීවිතය නැවත අරඹා අතිශය සාර්ථකත්වයට ළඟා වෙමින් හිඳීම අපේ රටේ මිනිස්සුන්ට මැජික් එකක්.ඇයි ඇය එහෙම ඉන්නේ? ඒක තමයි ප්‍රශ්නය.තමන්ගේ ජීවිතයේ අති සමීපතමයා මිය ගිය ගැහැනියක ඒ වේදනාව ගැන නිරන්තරයෙන් සිහි කළ යුතු බවත් තමන්ගේ ජීවිතය එතැනම නවතා ගත යුතු බවත් බොහෝ අය හිතන කාරණාවක්.ඒ ගැන කතාබහ කිරීම නවතා තමන්ගේ දෛනික ජීවිතයට අනුගත වීම බොහෝ දෙනෙකුට ගැටලුවක්.සුදු ඇඳීම නවතා නැවත විලාසිතා කිරීම,මේකප් කිරීම බොහෝ අපරාධයක්.තවත් කාලයක් ගිය තැනක ඇය වෙනත් ආදරයක් සොයා ගැනීම මහ පොළොව නුහුලන අපරාධයක්.

ආදරය කළ පෙම්වතා හෝ තරුණ සැමියා අකාලයේ මිය යාම ආදරණීය පෙම්වතියකට හෝ බිරිඳකට දරා ගන්නට පහසු දෙයක් වෙන්නේ නෑ.ඇය අපට නොපෙනෙන ඇතුළාන්ත සටනක නිරත වෙමින් ඉන්නවා වෙන්න පුලුවන්.අප ඇවිද යන්නේත් විනිශ්චය කරන්නේත් ඒ වේදනාව වන්නට පුලුවන්.

ඔබට මතකද වසර කිහිපයකට පෙර බොලිවුඩය කැළඹූ ජනප්‍රිය චිත්‍රපටිය Aashiqui 2.ආරෝහිගේ ජිවිතය ජනප්‍රිය එකක් කරන්නට සම්පූර්ණයෙන්ම කැප වන්නේ ඇගේ පෙම්වතා වන රාහුල්.ඔහු ඇයව ඉහළ තලයේ ගායිකාවක කරන අතරම බීමත්කම නිසා තමන්ගේ වෘත්තීය විනාශය කැඳවා ගන්නවා.ඉන්පසු ඔහු තමන්ගේ පෙම්වතිය ගැන ඊර්ෂ්‍යාවෙන් සහ වෛරයෙන් පසු වන තැන් පවා තිබෙනවා.නමුත් ආරොහි ඔහුට නොකඩවාම ලබා දෙන්නේ ආදරයම පමණයි.
එහෙත් ඔහුට තමන්ගේ ජීවිතය අවසන් කරගන්නට සිතෙන තැනක් එනවා.ඔහු ඒ අනුව ක්‍රියාත්මක වෙනවා.සියදිවි නසා ගැනීමකින් ජනප්‍රිය ගායකයා ජීවිතය අවසන් කර ගන්නවා.

එහෙත් ආරෝහි ඒ ගංගාවටම පැන ඔහු අනුව යන්නේ නැහැ.ඇය සසැලීමෙන් ටික කාලයක් නිහඬ වන නමුත් නැවත මයික්‍රෆෝනය සහ ප්‍රසංග වේදිකාව ඉදිරියට පැමිණෙනවා.දස දහස් ගණන් ඔල්වරසන් නගද්දී ඇයට පෙනෙන්නේ රාහුල් ප්‍රේක්ෂකාගරයේ එහෙමෙහෙ දිව යමින් ඇයට සුබ පතන අන්දමත් අතීත මතකත් මැවෙද්දී ඇය නැවත ගී ගයනවා.ඒ ඇය හිත හදා ගත් නිසා නොවේ.දහස් ගණන් ප්‍රේක්ෂකයන් අතර ආරෝහිට මැවෙන්නේ තමන්ගේ පෙම්වතා පමණයි.නමුත් ඇය තවම ජීවත් වෙනවා.හදවත මිය ගියත් ඇගේ සිරුර ජීවත් වෙනවා.ඒ නිසා ඇය තමන්ගේ සාමාන්‍ය ජීවිතයට එළඹිය යුතුයි.

“මා අමතක කර දමන්න.මේ මගේ සමු ගැන්මයි
ඔබ මා නැතුව ජීවිතය ඇරඹිය යුතුයි.
මේ ඔබේ ගමනයි මාවතයි”

රාහුල් තමන්ගේ ජීවිතය අතැර දමන්නේ එසේ ප්‍රාර්ථනා කරමින්.ඇගෙන් සමාව ඉල්ලමින්.ඉතින් ආරෝහි සියල්ල අතැර නොදමන්නට එයම හේතු වන්නට ඇති.

චිත්‍රපටියක එවැන්නක් නරඹමින් ඉකි ගසන ඔබට මට තේරුම් ගත නොහැකි කාරණාව වන්නේ සැබෑ ජීවිතය තුළ ද ගැහැනියක් එසේ නැගිට ගත යුතු බව නම් එහි වරදක් තිබෙනව නේද? කල්පිතය සැබෑව වෙද්දී අපට එය සෑහෙන වැරැද්දක් ලෙස පේනවානම් වරද තියෙන්නේ අපි තුළමයි.

තමන්ගේ ජීවිතය තුළ ආදරය සහ සෙනෙහස බෙදා ගත් තැනැත්තා අහිමිව යාම දරා ගන්නා ගැහැනියකට පහසු නැහැ.එය කායික,මානසික වෙනස්කම් රැසකට කෙනෙකු ඇද දමන්නට සමත් වන්නක්.තදබල හිසරදය,ඇගපත වේදනාව,කෙළවරක් නැති ශෝකය,කෝපය සහ විශාදය,අමතක වීම,නින්ද අහිමි වීම,නපුරු සිහින දැකීම වගේ වේදනා අයත් වන්නේ ජීවිතයෙන් සමුගත් කෙනාට නෙවෙයි.ඉතිරිව හිඳින කෙනාටයි.

නමුත් හැඬීම හෝ ජීවිතය විනාශ කර ගැනීමෙන් පලක් නොවන බව එවැනි අහිමි වීමකින් පසු තේරුම් ගන්නට හැකි නම් කාන්තාවක සතු ශක්තිය සුළුපටු වන්නේ නැහැ .නමුත් කාලය ගනිමින් උපදේශනයට යොමු වෙමින් ඒ වේදනාවෙන් ගොඩ එන්නට උත්සාහ කරන්න ඕනෑ.මේ ලෝකයේ වෙසෙන අප සියලු දෙනාගේ ජීවිත අවදානමක ඇති කාලයක්.මොනයම් මොහොතක හෝ ජීවිතයේ අති සමීපතමයන් අහිමි වී යා හැකි වසංගතයක් අප ආක්‍රමණය කර අවසන්.අහිමි වීමකට පසු දුක අවසන් වෙන තුරු හැඬීම, සැබෑ හැඟීම් සම්බන්ධයෙන් කිට්ටුවන්ත අයෙකු සමඟ සාකච්ඡා කිරීම,ඔබට මතක පීඩා කරනවා නම් ඒ මතක වලින් ඉවත් වීම ,නොකඩවා උපදේශනය ලබා ගැනීම වගේ කාරණා වලින් අඳුරු බියකරු සිහිනයෙන් සැබෑ ලෝකය වෙත ඇවිද එන්න පුලුවන්.

එසේ ඇවිද එන්නේ ෆීනික්ස් කිරිල්ලක්.ජීවිතය උසුලා පොළොවේ ගැසූ පසු පවා ජීවත් වන්නට තීරණය කළ ගැහැනියක නැවත ඇගේ සිහිනයන් වෙත ඇවිද යද්දී හෝ නැවත ආදරය කරද්දී ඒවාට ගල් ගසන්නට අපට බැහැ.අප්‍රමාණ වේදනාවන්ගෙන් මිදී ජීවිතය දිග ඇවිද යන්නට තීරණය කරන කෙනෙකු විනිශ්චය නොකර ඉන්නට උත්සාහ ගන්න.අහිමිවීමකින් පසු නැවත ගොඩ නැගෙමින් හිඳින ගැහැනියක තුළ අප නොදන්නා තුවාල බොහෝ තිබිය හැකියි.

සියලුම වේදනාවලින් විනිර්මුක්ත වී නැවත නැගී සිටින ආරෝහිලා ඔබටත් හමු වේවි.ප්‍රේක්ෂකාගාරයට වී ඔවුන්ට ජයගෝෂා කරන්න.ඒ අප්‍රමාණ වේදනාවකට පසු නැගී සිටින සුන්දර ගැහැනියක නගන ජය ඝෝෂාවක් බව අමතක කරන්න එපා.

“ආදරයෙන් බැඳුණු හදවත කිසිවෙකුට අහිමි නොවේවා!

Related Articles

Don't Miss


Latest Articles