මතක දිගහැරුම 61 – අප්සාරි සිංහබාහු තිලකරත්න

හැට එක්වන දිගහැරුම ,

හෂාන් නවාතැන්ගෙන සිටි කාමරයේම නවාතැන් ගත් මා කාමරයේ සිට ම ආහාර ගත්තෙමි.ලෝක කුසලාන තරගය ජයග්‍රහනය කිරීමටත් වඩා අප සිත් තුළ ඒ පිළිබඳව තිබුණේ අමුතුම ආකාරයක උනන්දුවක් සහ උද්‍යෝගයක් ය.ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතර බියක් හෝ තැති ගත් ස්වභාවයක් දක්නට නොතිබුණු අතර ඔවුන් සිටියේ ඉතාම සැහැල්ලුවෙන් ය.

හෂාන් සහ කුමාර ධර්මසේන එදින උදෑසන හෝටලය අසල තිබූ කාපට් සේල් එකක් වෙත ගොස් කාපට් ද මිළදී ගෙන තිබුනි.එතරම්ම ඔවුන්ට තරඟය ගැන බියක් තිබුණේ නැති අතර තරගාවලිය පුරාවට ම කිසිදු තරගයක දී ඔවුන් තුළ පීඩනයක් තිබුණේ ද නැත.ඊට පෙර දින හෂාන් රොමේෂ් කළුවිතාරණ සමග සාප්පු සවාරියේ යෙදී තිබුණ අතර එහිදී රොමේෂ් කලුවිතාරණ ඔහුගේ බිරිඳ සඳහා සල්වාරියක් මිළදී ගන්නා විට හෂාන් මා වෙනුවෙන් ද ඉතා ලස්සන සල්වාරියක් මිලදී ගෙන තිබුණි.ලෝක කුසලාන තරඟය නැරඹීම සඳහා මා ලංකාවෙන් රැගෙන ගිය ඇඳුම වෙනුවට හෂාන් තෑගි කළ එම සල්වාරියෙන් සැරසී තරඟය නරඹන්නට මා ගියෙමි.

සාමාන්‍යයෙන් ක්‍රිකට් කරගෙන නැරඹීමට යන විට ඒවා නෑවීම සඳහා අපට වෙනම ම කාමර වෙන් කර තිබුණි.නමුත් අවසාන මහා තරගය තරගය නැරඹීම සඳහා එසේ කාමර වෙන් කර නොමැති බවත් අනෙක් ප්‍රේක්ෂකයන් සිටින ස්ථානයේ සිට අපට තරගය නැරඹීමට සිදුවන බවත් හෂාන් මා සමග පැවසුවේය.එතරම්ම සෙනගක් ලෝක කුසලාන අවසාන මහා තරඟය නැරඹීම සඳහා පැමිණ සිටියේය .අනෙක් ප්‍රේක්ෂකයන් සමඟ සිට තරගය නැරඹීම සඳහා අප සියලු දෙනාම එක පයින් කැමති වූයෙමි.

කෙසේ හෝ ප්‍රේක්ෂකාගාරයේ සිට අප අනෙකුත් ප්‍රේක්ෂකයන් සමඟ තරඟය නැරඹීම ආරම්භ කළ අතර නොඉවසිලිමත් මුහුණු දහස් ගණනක් ප්‍රේක්ෂකාගාරයේ සිටින අයුරු දැක ගැනීමට අපට හැකි විය.පාකිස්තානුවන් විශාල පිරිසක් සිංහ කොඩිය රැගෙන තරගය නරඹන්නට පැමිණියහ.ඒ අතර ඔස්ට්‍රේලියානුවන් පිරිසක් ඔවුන්ගේ කොඩි රැගෙන අප ඉදිරියට පැමිණ වාඩි විය.ඕස්ට්‍රේලියානු කණ්ඩායම පන්දුවට පහර දෙන අවස්ථාවේ දී ඔවුන් කෑගසමින් සහ අත්පොලසන් දෙමින් ක්‍රීඩකයන් උනන්දු කරමින් සිටි අතර ඔවුන්ගේ පිරිසට වඩා ශ්‍රී ලංකාව වෙනුවෙන් සිටින පිරිස වැඩි බව අපට දක්නට ලැබුණි.ඒ බව ඔස්ට්‍රේලියානු පිරිසටද පසුව වැටහුණු අතර ඔවුන් ඉන්පසුව තරමක් නිහඬ විය.නමුත් මා ඇතුළු අනෙක් සියලු දෙනාම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ඔල්වරසන් හඬ සහ අත්පොළසන් නද දෙමින් ඔවුන්ව තව තවත් ධෛර්යමත් කලෙමු.

තරගයේ අවසාන භාගය එළැඹෙන විට තරග පිටියේ ප්‍රේක්ෂකාගාරයේ සිටි මිනිසුන් ඔල්වරසන් දුන් හඬ අදටත් මගේ මතකයේ නොමැකෙන ලෙස සටහන් වී තිබේ.ඒ අවස්ථාව මතක් වන විට සිරුරෙහි හිරිගඩු පිපෙන තරමේ හැඟිමක් අදටත් මට දැනේ.එතරම් විශාල ඝෝෂාවක් තරගයේ අවසාන භාගයේ දී ප්‍රේක්ෂකාගාරයෙන් ඇසෙන්නට විය.

පාකිස්තාන අගමැතිතුමා වන ඉම්රාන් ඛාන් මහතා තරඟය පැවැත්වෙන අවස්ථාවේ දී අප සිටි ස්ථානයට මදක් නුදුරින් සිට ප්‍රේක්ෂකාගාරයට අතවනා යනු අප දුටුවෙමු.ඔහු පැමිණෙන අවස්ථාවේදී ප්‍රේක්ෂකාගාරයෙන් නැගෙමින් තිබූ හඬ තවත් වැඩිවන්නට විය.ඔහුගේ නම කියමින්ද ඇතැම් පිරිස් ඔල්වරසන් දෙන හඬ අපට ඇසිණි.

අවසාන මොහොතේ පන්දුවට පහර දීමේ අවස්ථාව තිබුනේ අර්ජුන රණතුංගට සහ අරවින්ද ද සිල්වාටය.ඒ අතරතුර දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම කෙමෙන් කෙමෙන් ජයග්‍රහණය කරා ළං වන බව අපට හැඟෙමින් තිබුණි.අපට නොදැනීම අපගේ දෑස් වලින් කඳුළු ගිලිහෙන්නට වූ අතර ප්‍රේක්ෂකාගාරයේ වූ අනෙක් බොහෝ දෙනාගේද දෑස් වල සතුටු කඳුළු දක්නට ලැබුනි.කෙසේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපවීමෙහි සහ උනන්දුවේ ප්‍රතිඵලයක් ලෙසට ක්‍රිකට් ලෝක කුසලානයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවට හිමිවිය.

තරගය අප ජයග්‍රහණය කළ මොහොතේ අප එකිනෙකා වැළඳගෙන සතුටු කඳුළු වගුරවමින් සිත් තුල තිබූ සතුට රිසි සේ බෙදා ගත්තෙමු.ඒ වගේම එය අප කාහටත් අතිශය සංවේදී අවස්ථාවක්ද විය.අප ඇතුළු සියලු සියලු දෙනාවම ඉතා ආඩම්බරයට පත් කරමින් අර්ජුන රණතුංග ලෝක කුසලාන කිරුළ ඉහලට ඔසවා සියලු දෙනාටම පෙන්වීය.ඒ මොහොතේ දී ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් මට ඇති වූ ආඩම්බරය වචනයෙන් විස්තර කළ නොහැකි තරම් විය.

මතු සම්බන්දයි

Related Articles

Don't Miss


Latest Articles