සැරිසරන්නී – 13

මට මතක් වූයේ චමත්කා රවීන් ගැන උනන්දුවෙන් පසු වෙනවා කියා නංගී කී කතාව ය. චමත්කා නොව ලොව ඕනෑ ම ගැහැනියක එවන් පිරිමි පෞරුෂයක් අස තිගැස්සෙන්නේ නැති වෙන්නට විදිහක් නැත. ඒ වුණත් ඔහු ගේ බිරිඳ ඔහුව අතැර වෙනත් පුරුෂයෙකු වෙත ගොස් තිබේ. ආකර්ෂණය කියන දේ එහෙම ය. එය යම් කිසි කාලයක දී ක්ෂීණ වී ක්ෂය වී යන්නට පුළුවන. නමුත් ආදරය කියන හැඟීම ඊට වඩා වෙනස් ය කියා මම සිතමි.

දැන් මා තුළ රවීන් කෙරේ ඇති ව තිබෙනුයේ ආකර්ෂණයක් ද නැත්නම් ආදරයක් ද කියා තීරණය කරන්නට තව ම කල් වැඩි ද කියා මට සිතුණ අවස්ථා ඇත. නමුත් ඒ ආදරය කියා පිළිගන්නට මම වඩාත් කැමැත්තෙමි.

“ඇයි….”

මා ඔහු දෙස ම බලා සිටිනා නිසා ද මන්දා රවීන් ඉක්මන් බැල්මක් මවෙතට හෙළමින් ඇසුවේ ය. ඒ බැල්ම මා වන් කෙල්ලක කළඹණා ස්වභාවයේ එකකි.

“දන්නෑ”

මම ඔහු ගෙන් නෙතු මුදවා ගනිමින් අසුනෙහි හරි බරි ගැසුණෙමි. මා නො දැන ම සුසුමක බරින් ද හදවත නිදහස් වෙමින් තිබිණි.

“අයියේ…”

ටික වෙලාවකට පසු මම ආයේ ම කතා කළෙමි. හිතට වද දෙන මේ සියල්ල කියා නිම කරන්නට තිබෙනවා නම් හොඳ ය. ඒ වුණත් මේ හරි අසීරු අවස්ථාවකි.

“කියන්න හුඟක් දේවල් තියෙනව වගේ අප්ප. ඒත්…අනේ මන්දා”

රවීන් ටික වෙලාවක් රිය පැදවූයේ නිහඬව ය. නමුත් ඔහු කල්පනා කරන බව පෙනෙන්නට තිබිණ.  

“සමහරක් දේවල් තියනව නංගි…කවදාවත් නොකියා ඉන්න තරමට හොඳ”

සුසුමක් පිට නො වූවාට ඔහු ඒ කියත්දී සුසුමක් හදේ සිර වී තිබූ බව පෙනෙන්නට තිබිණි. මගේ හද ගැස්ම ද නැවතුණා සේ ය. ඒ කතාව කොයි තරම් ඇත්තක් ද කියා මම නො දනිමි. එය ඇත්තක් වන්නට ත් පිළිවන. නමුත් නො කියා සිටීම නිසා වන්නේ කිසිත් සිදු නො වන එක ය කියා මට සිතේ. වෙන්නට නියමිත දෙයක් වන්නට නම්, කියන්න ට තිබෙන දේ කිව යුතු ම නොවේ ද?

නමුත් රවීන් ඒ නො කියා කීවේ මට කියන්නට යමක් තිබුණා වුණත් ඔහු ට එය අසන්නට පිළිවන් කමක් නෑ කියා නොවේ ද? සමහර විට මා කියන්නට යන දෙයත් ඔහු දැනටමත් දන්නා බව නොවේ ද?

මගේ ඇතුල් හිතෙහි රිදීමක් හෝ බිඳීමක් ඇති විය. මම මූණ එල්ලා ගෙන වීදුරු කවුළුවෙන් පිටත බලා ගතිමි. හදවත තුළ උපදිනා ඇතැම් හැඟීම් ඇතැම් විට වෙනත් කිසිවෙකුට වැදගත් වන්නේ නැත. එතකොට ඒ හැඟීම්, කැලයේ පිපුණු මල් සේ කැලයේ ම පර ව යනු ඇත. මට මා ගැන මහත් සන්තාපයක් දැනෙන්නට ගති. ප්‍රේමයක් කියා හැඟීමක් මහිත් හි පිළිසිඳි ප්‍රථම වතාව මේ ය. මේ ප්‍රේමය වූ කලී උපන් ගෙයි ම මියෙන්නට නියමිත එකක් වීම මගේ ප්‍රශ්නයකි. මගේ අවාසනාවකි. සමහර විට රවීන් ට වුව එය අදාල නොවන්නට පුළුවන.

ඒ නිසා ඒ හැඟීමේ ඉපදීම කෙසේ වතුදු එහි පැවැත්ම හෝ මිය යාම ගැන වග බලා ගත යුත්තේ මා ය.

එක් වන මා හිස නගා බැලූයේ රිය නතර වනු දැනී ය. එය වූ කලී මට හුරු පුරුදු පාරක් නොවේ. තරමක හද ගැස්මකින් මම රවීන් ගේ මුහුණ දෙස බැලුවෙමි.

“මූණ එල්ලං ඉන්න නිසා මං නතර කළේ. මං දන්නව මං කිව්ව දේ ගැනයි ඔය හිතන්නෙ කියල”

“අයියෙ…”

මට මහත් ආත්මානුකම්පාවක් දැනෙන්නට ගති. මම වට පිට බැලුවෙමි. රිය නතර වී තිබුණේ ප්‍රධාන පාරෙන් හැරී අතුරු මාර්ගයක ය. එය කිසිදු කලබලයකින් තොර වූ, උස් වට තාප්ප දැමුණු මැදුරු ඇති නිහඬ නිසල මාවතක් බව බැලූ බැල්මට පෙනිණි.

“මට ඔයාව නොදැනෙනව නෙවෙයි සනුකි. ඔයා හුඟක් හොඳ ගෑනු ළමයෙක් කියලත් මට දැනෙනව. ඒත්…”

“අයි…යෙ…”

මට මා පාලනය කර ගත හැකි වූයේ නැත. මට බලයෙන් මා පාලනය කරන්නට ඕනෑ වූයේ ත් නැත. මට ඕනෑ වූයේ මේ මොහොතේ අවංක වන්නට ය. ආයේ කවරම දිනෙක හෝ මෙවන් මොහොතක් උදා නො වන්නටත් පුළුවන. ඒ නිසා මේ උදා වූ අවස්ථාව අපතේ නො හැරිය යුතු බව පමණක් යටි හිත මට කෑ ගසා කියන්නට විය.

ඉතින් මම මගේ හෘද සාක්ෂියට අවනත වීමි. මා රවීන් ගේ පපුව තදින් වැළඳ ගත්තේ ත්, ඔහු මා ව පිළි ගත්තේ ත් එකට ම ය.

මම ඒ ඉරියව්ව තුළ බෝ වෙලාවක් සිටියෙමි.  මට ඇති යයි හිතෙන තාක් වේලා සිටියෙමි. ඒ කොයි තරම් වෙලාවක් ද කියා කියන්නට මා දන්නේ නැත.

“එදා දවසම ඇඳට වෙලා හිටියෙ ඊරිසියාවට කියල මං කිව්වෙ. චමත්කා ඔයා එක්ක කා එකේ දානෙ බෙදන්න ගියාට මං ඊරිසියා කළා. පිරිමි කෙනෙක් ගැන මෙහෙම හැඟීමක් දැනිච්ච පළවෙනි වතාව මේක අයියෙ. මට මේක හිතේ හංගගෙන…අඩු ගානෙ ඔයාටවත් කියන්නෙ නැතුව දවසක මැරෙන්න බෑ. මං හිතන්නෙ ඕනම මනුස්සයෙක්ගෙ හිතේ ඒ වගේ කෙනෙක් ජීවත් වෙනව ඇති. වයසට ගිහිං මැරෙන දාකත් මතක් වෙන හීනයක් වගේ මතකයක් හැම හිතකම තියනව ඇති. ළඟින් ඉන්න පුළුවන් කමක් නොතිබුණත්…හිතෙන් ඈත් කරන්න බැරි වුණ කෙනෙක්…මට ඒ කෙනා ඔයා…මං දන්නෙ එච්චරයි…”

මට නිවීමක් දැනිණ. සැනසීමක් දැනිණ. සැහැල්ලුවක් දැනිණ. හිතේ තිබුණ අසීමිත බරකින් මා නිදහස් වී තිබිණ. රවීන් ගේ අත් වල උණුහුම මගේ පිටටත් හිසටත් දැනුණේ ඉනික්බිති ය. ඔහු මා අල්ලා ගෙන හිටියේ ගැස්මකින් ය කියා මම සිතමි.

මම හෙමිහිට ඔහු ගෙන් මිදුණෙමි.  ඔහු ගෙන් නොව මා මගේ ම ආත්මයේ කොටසකින් මිදී සිටින බවක් මට දැනිණ. කෙසේ වෙතත් මා පූර්ණත්වයකට ද පත් ව තිබුණේ ය. එය සංතෘප්තිමත් හැඟීමකි.

රවීන් සිටියේ අලුත් බරක් හිස මත පටවා ගත්තා බඳු නිහඬ බවකිනි. අඩු තරමින් මේ අතුරු පාරෙන් හරවා රිය ප්‍රධාන පාරට අවතීර්ණ කර ගන්නට වුව ඔහු ට අමතක ව තිබුණා සේ ය. මට ද කිසිදු හදිස්සියක් නොවිණි. සත්තකට මා නම් කැමති වූයේ කාලය මෙතැන මෙහෙම ම නතර වෙනවා නම් ය.

“නංගි”

ඔහු ඉතා දුෂ්කර දුර්ගයකින් මතු වී මට කතා කළේ ය. මම ඇස් වලින් පමණක් ප්‍රතිචාර දැක්වූයෙමි.

“ඔයාට ඔයාගෙ හිතත් එක්ක ගොඩක් දුර යන්න බෑ සනූ. ඔයාගෙ නෑ සනුහරේ ඔයාට ඒකට ඉඩ දෙන්නෙ නෑ. දන්නවද…මං එක දවසට දෙකට දැක්ක ඔයාගෙ තාත්තා කොහොම කෙනෙක්ද කියල. එයාගෙ ලෝකෙ කුමාරිකාවක් නෙවෙයි රැජිණක් ඔයා. එක ගෑනියෙක්ගෙං ප්‍රතික්ෂේප වෙච්ච…පවුල් ජීවිතේකින් එළියට ආපු මිනිහෙක්ට ඒ රැජිණව බිලි දීල ඔයාගෙ තාත්තා අහක බලා ගන්නෙ නෑ”

මම නිරුත්තර වීමි. ගැහැනු ළමයෙකු කොයි තරම් හිතින් ශක්තිමත් වී ද අන්ත අසරණ වන තැන එතැන ය. තාත්තා සහ ප්‍රේමයෙන් බැඳෙනා මිනිසා අතරේ වන අති සංවේදී කපොල්ල එතැන ය.

“මටත් ඔයා මලක් වගේ. මලකට ආදරේ කරන්න ඒක කඩල අතට ගන්නම ඕන නෑ නංගි”

මගේ උගුර හිර වෙනවා මට දැනිණ. මගේ හුස්ම හිර වෙනවා මට දැනිණ.

“ලොකූ ප්‍රශ්න ගොඩක් මැද්දට වැටෙන්න හදන්න එපා. ඔයා ඒ පවුලට දොළොස්මහේ පහනක් වගේ. පළඟැටියෙක් වගේ පිච්චිල විනාස වෙලා යන එක ඔයාගෙ උරුමෙ වෙන්න ඕන නෑ”

මා තව දුරටත් හිටියේ කතා කර ගත නො හැකි තත්වයක ය. සංවේදී සංවේදනා රැසක් කැළතී, ශ්වසන මාර්ගය ළඟ හිර වී එය අවහිර කර ගෙන සිටියේ ය. රවීන් සන්සුන් ලෙස රිය පණ ගන්වා ගන්නවා මට දැනිණ..

ඉන්පසු අප දෙදෙනා සිටියේ ලෝක දෙකක කියා මම සිතමි. නමුත් ඒ ලෝක දෙක උනුන් වටා පරිභ්‍රමණය වෙමින් සිටියා සේ ය. අප දෙදෙනා ගේ ම චිත්ත වේගයන් හි වූයේ එක ම සංඛ්‍යාතයකි. ඒ නිසා ම අප ට අප සංවේදනය වෙමින් තිබිණ. දැනෙමින් තිබිණ.

මල්සර ෆ්ලෝරා ඉදිරියේ රිය නැවතෙත්දී ය මා පියවි ලෝකයට ආවේ. බෑග් එක උරයේ එල්ලා ගනිමින් රියෙන් බහින්නට සූදානම් වන ගමන්, මම රවීන් දෙස බැලුවෙමි. ඔහු ගේ ඇස්, හිරු මඬලක් සේ මා මත්තේ පායා දිළිණි.

“මොන දේ වුණත්…මොන විදිහෙ ප්‍රශ්න ආවත්…මට මේ දැනෙන කිසි දෙයක් වෙනස් වෙන්නෙ නෑ අයියෙ. ඔයාට තාම මාව විශ්වාස නැති වුණත්…දවසක විශ්වාස කරන්න වෙයි”

මා ඒ අන්තිම ටික කීවේ හෑන්ඩ් බ්‍රේක් එක මත වූ ඔහු ගේ වමත මත මගේ සුරත තබා ය. අවුරුදු විසි හයක කෙල්ලකට සිය ජීවිතය ගැන එහෙව් තීන්දුවක් තීරණයක් ගන්නට තරම් අයිතියක් තිබිය යුතු ය කියා මම සිතමි. මේ සමාජයෙන් එවන් අයිතිවාසිකමක් නො ලැබෙන්නේ වී නම් බලයෙන් එය ලබා ගන්නට මම සිතුවෙමි.

රවීන් මගේ ඇස් වලින්, මා තුළ වූ ආපසු නො හැරීමේ ශක්තිය දැක ගන්නට ඇත. දෙතොල් තෙරපා ඔහු ට තිලිණ කළ ආදර බර සිනහවකින් මම රියෙන් බැස ගතිමි. රවීන් ගේ රිය නික්ම ගියේ, මා මල්සර ෆ්ලෝරා වීදුරු දොරට අතක් තබා ගෙන ආපසු හැරී ඔහු දෙස බලත්දී ය.

දොර තල්ලු කර ගෙන ඇතුළු වෙත්දී, දෑත් පපුවේ බැඳ ගෙන දැවැන්ත වීදුරු පවුරෙන් පාර දෙස බලා සිටිනා සුනෙත් ව මට දකිත හැකි විය. මා රවීන් ගේ රියෙන් බැස එනු මෙතැන සිට ඔහු බලා ඉන්නට ඇත.

“ගුඩ් මෝනිං කිරි මාමේ…”

ඔහු ගේ ඇස් මත, දඟකාර දියණියක දෙස බලා හිඳිනා පියෙකු ගේ ඉවසීම තිබිණ.

“හරි සතුටෙන්…”

මගේ මේසය ළඟට ම මා පසු පස ඔහු පැමිණ තිබිණ. මා අසුන් ගත වන්නටත් පෙර සුනෙත් මගේ මේසය ඉදිරියේ වන පුටුව ඇද හිඳ ගත්තේ ය.

“හ්ම්. ඊටත් වඩා සැහැල්ලුවෙන්”

“ඒ කියන්නෙ රවීන් ඉස්සරහ හිත නිදහස් කර ගෙන”

“හ්ම්. එයත් ඔයා වගේ කෙනෙක් වගේ. මට ලොකු දේශනයක් කළා. අපි සනුහරේ අය ගැන…තාත්තා ට මං කොච්චර වටිනවද කියන එක ගැන…ඒත් මං හිතන්නෙ එයා දන්නව මට එයා කොච්චර ඕනෙද කියන එක ගැන”

මෙහෙම කතා කරන්නට පුළුවන් හොඳ ම යාළුවෙක් ඉදිරියේ පමණකි.  සුනෙත් සන්සුන් ව මදෙස බලා සිටියේ ය.

“රවීනය එහෙම කිව්වද…”

“මොනාද…”

“ගෙදරින් මෙහෙම දේකට ඉඩ ලැබෙන එකක් නෑ කියන එක…”

“හ්ම්…එහෙම තමයි එයා අදහස් කළේ. ඒත් අඩු ගානෙ මට ආදරෙයි කියල හරි කිව්වනං…”

මම දෙතොල් බෙරි කර ගෙන සුනෙත් දෙස බැලුවෙමි. ඔහු හෙමිහිට දිගු හුස්මක් ගත්තේ ය.

“හුඟක් කොල්ලන්ට වැරදෙන තැන”

“මොකද්ද…”

“ආදරෙයි කියන්න ළත වෙවී ඉන්න එක. දන්නෙම නෑ ඒ අතරෙ කෙල්ලගෙ හිත වෙන දිහාකට ඇදිල”

“මගෙ හිතනං ආයෙ මේ ආත්මෙ වෙන දිහාකට ඇදෙයි කියල හිතන්න බෑ සුනෙත්”

“මං කතා කරන්නං රවීනය එක්ක”

එක්වර ම මා මහත් සැනසීමෙන් යුතු අමුතු ම ලෝකයකට ගොඩ බැස්සා සේ මට දැනෙන්නට වූයේ ය. මිතුරන් කියන්නේ දිව්‍ය ලෝක වල සිට අප වෙත මිනිස් වේශයෙන් වඩිනා දිව්‍යමය ආත්ම වලට ය. ඔවුන් ට ඕනා අප ව සතුටෙන් තබන්නට ය. අපේ මුහුණු වලට සිනහවක් ගෙන දෙන්නට ය. ඒ වෙනුවෙන් ඕනෑ දෙයක් කරන්න ට ඔවුන් සූදානම් ය.

“ඒ විදිහට හිතනව නං ඒකා අවස්ථාවාදියෙක් වෙන්න බෑ. මේ කාලෙ වැඩිපුර ඉන්නෙ කෙල්ලො රවට්ටල මාරු වෙන්න බලන උන්නෙ. කසාද බැඳපු එකෙක්ට තියෙන එක්ස්පීරියන්ස් එක්ක උංව තම්බන්න ලේසිම නෑ. ඒකයි මං ඔයා ගැන බය වුණේ”

“මං දන්නෑ එයා ගැන චරිත සහතික ලියන්න ඕන කොහොමද කියල. මං දන්නෙ මං එයාට පුදුම විදිහට බැඳෙන්න අරං කියල විතරයි”

“මං ඉන්නවනෙ. උඹ බය වෙන්න ඕන නෑ”

මට බිම බැලිණ. සැබවින් ඔහු ඉත්දී තාත්තා ළඟ ඉන්නවා වාගේ ය!

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles