ජීවිතය කියන්නේ සතුටු වෙන්නට හදනකොට ම වේදනාවේ පාට ගැන අදහසක් ගන්නට අපට අවස්ථාව උදා කොට දෙන්නා වූ තැනකි. හිනා වෙන්නට හදනකොට ම කඳුළු කියා දෙයක් වන බව මතක් කොට දෙන්නට හදන තැනකි. යළිත් රැකියාවට යන්නට නිදහස ලැබීමේ සතුටත් එක්ක මා සිනහ වෙන්නට හදනකොට ම ඉරණම මා වෙත එවූ මේ ආරංචිය කවරක් ද?
මගේ ප්‍රේමය මේ ගෙදරින් අනුමත නොවූ එකකි. රවීන් ගැන මට වචනයන් කියන්නට හෝ අම්මා ගෙන් අවසර ලැබුණේ නැත. ඉතින් ඔහු අනතුරකට පත් නිසාවෙන් හඬන්නට මට අයිතියක් කොයින් ද?
“නංගි. කලබල නොවී හිටපංකො.. මං මේක කියන්නෑ. ඒත් ඉතිං අපි කවුරුත් මනුස්සයොනෙ. කියන එක යුතුකමක් කියල හිතලයි කිව්වෙ”
ලොකු අයියා මා සනසන්න ට කීවේ එපමණකි. ආච්චා ත් අම්මා ත් විස්තර ඇසූහ. රවීන් අනතුරට පත් ව තිබුණේ හැන්දෑවේ වැඩ ඇරී එන ගමන් බව පැවසිණ. මමත් ඔහු ගේ රියෙහි පැමිණියෙමි. මම අතර මගක දී බැස බසයකට නැංගෙමි. ඒ ඔහු ගේ රියෙහි පැමිණි බව ගෙදරට ආරංචි වීමේ සම්භාවිතාව අවම කරනු පිණිම ය. රවීන් අනතුරට පත් වන්නට ඇත්තේ ඉන් පසුව ය. ඔහු ට කුමක් සිදු විණි ද? ඔහු ගේ තත්වය කෙබඳු ද? ලොකු අයියා කීවේ නම් බරපතල තත්වයක් නොවන බවයි. නමුත් ඔහු එසේ කියන්න ට ඇත්තේ මා කලබල නො කරනු පිණිස විය නො හැකි ද?
රවීන් වෙනුවෙන් මේ ගෙදරදී සිනහ වෙන්නට හෝ හඬන්නට මට අවසර නැත. නමුත් මා තුළ සුළි කඅණාටුවක් ඇති ව තිබේ. මේ ඉකිය සහ කඳුළු පිට නො කර දරා ගෙන සිටිත නො හැකි ය.
මම නිවස මත්තේ කොංක්‍රීට් තලාව මතට ගොස් ඉකි ගගහා හඬන්නට වූයෙමි. ලොකු මාමලා ගේ නිවස පැත්තේ වෙනදාට වැඩි සෙනගක් ගැවසෙති. එහි කලබලකාරී බවක් වේ. ආරංචිය ලද සැනෙන් ආච්චා ද ඒ පැත්තට ගියා ය.
මට ඕන වුණේ මේ මොහොතේ ඉගිලී හෝ ඔහු වෙත යන්න ය. නමුත් ඒ වෙනුවෙන් මා අරගල කළ යුත්තේ මගේ ම අම්මා හා තාත්තා සමගිනි. යෙහෙන් ඉන්නා තුරු අපට කිසිවෙකු ගේ අගයක් දැනෙන්නේ නැත. අගය දැනෙන්නේ මෙවන් විපතක් වූ විට ය. මගේ හිත කීරි ගැසිණි. අම්මා ට තාත්තා ට හෙම්බිරිස්සාවක් වන් කුඩා අසනීපයක් හෝ හැදෙනවාට මා අනමැති ය. මට බලා සිටිය නො හැකි ය. ඒ සුවපත් වන තුරු මම හැකි හැම දේ ම සොයා බලා මම ඔවුන් අතට පක් කරමි. මගේ හිතුවක්කාරකම් හින්දා ඔවුන් ට විපතක් කරදරයක් වේ කියා හිතන්නට පවා මා දුර්වල වැඩි ය.
“මේ කොල්ලා ඔෆිස් ඇරිල එන ගමන් බීලලු. සනූගෙ ප්‍රශ්නෙ නිසා කොල්ලා ආයෙත් බොන්න පටං අරං කියලයි මලිත් කියන්නෙ”
ආච්චා ආරංචියක් ගෙන ආවා ය. මම ඉකි හඬ පිටතට නො ඇසෙන සේ කොට්ටයේ මූණ ඔබා ගතිමි.
“ඔහු ගේ ජීවිතය වරක් විනාශ වූයේ ය. එය යළි ගොඩ නංවා ගන්නට ඔහු හිත හදා ගත්තා පමණි. නමුත් සම්ප්‍රදාය කර පින්නා ගත් කුරිරු සමාජය ඒ අහිංසකයාට අවස්ථාවක් දුන්නේ නැත. සමාජය වියරු ය. දරුනු ය. වැටුණු මිනිහා ව පාගා චප්ප කර දමනු විනා නැගිටින්නට ඉඩක් හදා දෙන්නට ඒ කැමති නැත.
රවීන් ගේ දුරකතනය තිබුණේ අක්‍රිය තත්වයේ ය. රෑ එළි වන තුරා මට හරි නින්දක් වූයේ නැත. මා හිටියේ බියකරු මායා ලෝකයක ය. යන්තම් ඇහැ පියවී ගෙන එත්දී පවා මම තිගැස්සී අවදි වීමි. සිහින පවා බියකරු වූයේ ය. විෂකුරු වූයේ ය.
ආශාවෙන් රැකියාවට යන්නට ගත්තා ට ඊළඟ දිනයේ මම කම්පිත ව යහන මත වැතිර සිටියෙමි. රැකියාවට යන හිතක් මට වූයේ ම නැත. යහනෙන් බැස ගන්නා ශක්තියක් හෝ නොවන බව මට දැනිණ.
“සනූ එක්ක මං එළියට ගියොත් මේ වෙලාවෙ ජනරංජනී ල අනිවාර්යෙන් දන්නව මේ යන්නේ රවීන් ව බලන්න තමයි කියල. ඒක අනවශ්‍ය ප්‍රශ්නයක්නෙ සනුවො. ඒක නිසා මං නංගිත් එක්ක ගිහින් රවින් බලල එන්නං. දානෙට බඩු වගයක් ගන්න යනව කිව්වම හරි. නෙතුකි එක්ක යන නිසා මං ගැන සැක හිතන එකක් නෑ”
ආච්චා කීවා ය. මම ඊට හෝ අදහසක් ප්‍රකාශ කර ගත නො හැකි ව ඔහේ වැතිර සිටියෙමි. එහෙව් නිමේශයන් ද ජීවිත වෙත එළැඹිය හැකි බව මම අත්සැකීමෙන් පසක් කර ගනිමින් සිටියෙමි. හුස්ම ගැනීම පමණක් සජීවී ලක්ෂණය වන, අනිත් සෑම සියලු ආකාරයකින් ම මිය යමින් සිටිනා අවස්ථා!
අනතුර වී තිබුණේ රවීන් ට ය. නමුත් දැඩි නිහඬතාවයකට එළඹ තිබුණේ අපේ ගෙදර ය. හරියට අපේ ගෙදර කෙනෙකුට අනතුරක් සිදු වූවාක් මෙනි. අම්මා ගේ හඬක් ඇහුණේ ම නැත. ඇය යමක් කතා කළා නම් ඒ රහසිගත ස්වරයකිනි. මගේ හදවත අත් විඳිමින් සිටියා වූ බිය, එවන් දේ නිසා තව තවත් තීව්‍ර වන්නට ඇත. මම මළ මිණියක් බවට පත් වෙමින් සිටියෙමි.
“මලිත් එක්ක ගිහිං ලෙඩා බලල එනව ඕනනං”
මා යහනේ වැතිර, අතක් නවා වැලමිට නලල මත තියා ගෙන නිදි ඉරියව්වේ සිටි එක්තරා අවස්ථාවක මට අම්මා ගේ හඬින් එහෙම කතාවක් ඇසුණේ ය. ඇස් දෙක පියා ගෙන ම මම ඒ හඬ ආ දෙස සොයන්නට වීමි. මා නිදි නැති බවත්, එය සිහිනයක් නොවන බවත් මට වටහා ගත හැකි විය. එසේ නම් ඒ හඬ නැගුණේ මගේ යටි හිතේ කිසියම් තැනකින් විය යුතු ය. මගේ යටි හිතේ එවන් බලාපොරොත්තුවක් තිබෙනවා වන්නට පුළුවන. රවීන් බලන්නට යනු පිණිස අම්මා ගේ අවසරය ලැබෙතැයි බලාපොරොත්තුවක් යටි හිතේ ඈත කොනක වන්නේ ද? සමහර බලාපොරොත්තු එසේ හිතේ ඈතකට ම කරනා එක හොඳ ය.
“සනූ…”
එවර අම්මා ගේ හඬ නැගුණේ යහන සමීපයෙනි.
“ම්..”
මම වහා නෙතු හැරියෙමි. එය තිගැස්මක් ද සමග වූ දෙයකි. සැබවින් ම අම්මා යහන පා මුල සිටියා ය. මම වහා නැගිට ඇඳේ හිඳ ගතිමි.
“ආ..”
“ඕනෙනං මලිත් එක්ක ගිහිං ලෙඩා බලල එනව”
කියා ගෙන අම්මා යළි කාමරයෙන් නික්ම ගියා ය. මම මගේ ඇස් පිස දමා බැලුවෙමි. තවමත් මා සිහිනයක් දකිමින් සිටිනවාදැයි නිශ්චය කර ගන්නට මට ඕනෑ විය. පුංචා ගේ ගෙදර ලැසී බැල්ල බුරනු ඇසිණ. තාත්තා ගේ කුරුලු තට්ටුවට කෑම කන්නට ආ කුරුලු කූජන ඇසුණේ ය. මේ සිහිනයක් නොවේ!
මම ඇඳෙන් බිමට පැන්නෙමි. ඒ වූ කලී තාත්තා එක්ක සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමෙන් පසු ගන්නා ලද තීරණයක් වන්නට ඇත.
මාත් එක්ක පිටත් වීමට පෙර ද අම්මා ලොකයියා සමග කුටු කුටු ගාමින් සිටියා ය. ඇගේ මුහුණේ ඒ තරම් හොඳක් වූයේ නැතත් මම ඒ ගැන හිතන්නට නොයා අවස්ථාවෙන් ප්‍රයෝජන ගතිමි.
“සුදු නැන්දා උඹට රවීන් ව බලල එන්න කිව්වෙ ඌ මැරෙයි කියල හිතලද දන්නෑ”
ත්‍රීරෝද රියෙහි දී ලොකු අයියා කීවේ ය. මම ඔහු ගේ අතට තද පහරක් ගැසුවෙමි.
“මූසල කතා කියන්න එපා අනේ”
ඔහු හඬ නගා හිනැහුණේ ය.
“සුදු නැන්දට බය ඇති. රවීන් මැරුණොත් හොල්මනක් වෙලා ඇවිත් එයාගෙ බෙල්ල මිරිකයි කියල”
“නවත්ත ගන්නකො අප්ප. මොන ජරා කතාද මන්දා කියවන්නෙ”
එවර නම් ඇත්තට ම මා තුළ නො රිස්සුමක් ඇති විය. ලොකු අයියා සිනහව නවතා ගත්තේ ය.
“හරි හරි මං ජෝක් එකක් කළේ”
කළුබෝවිල රෝහලේ හදිසි අනතුරු ඒකකයේ යහනක රවීන් වැතිර සිටියේ ය. ඒ වූ කලී මෙලොව කිසිදු පෙම්වතියක සිය පෙම්වතා ව දනිනු රිසි ආකාරයක් නොවේ. ඔහු ගේ අත පය වෙලා තිබිණ. හිසට ද බෙහෙත් දමා තිබුණේ ය.
“මොකද්ද දෙයියනේ මේ වුණේ…”
කියා ගෙන මම ඔහු ගේ පපුවේ මුහුණ හොවා ගතිමි. රවීන් ගේ අතක් මගේ හිස හා ගෙල අතරෙහි රැඳුණේ ය. මේ රජයේ රෝහලක වාට්ටුවක් බව සිහිපත් වෙත්දී මම ඔහු වෙතින් මිදුණෙමි. ඒ වෙලාවේත් ඇස් කඳුළෙන් පෙඟී තිබුණේ ය.
“කොහොමද එහෙම වුණේ…මං ඔයත් එක්කනෙ ආවෙ. ඔයා ඩ්‍රංක්ස් අරං හිටියෙ නෑනෙ”
ඔහු ගේ බටිති තොල් අතරේ ඇඳුණේ කිරි දරුවෙකු ගේ මුවක නැගෙනා තරම් අව්‍යාජ සිනහවකි.
“මූ ඊට පස්සෙ කෙළින් ම ගිහින් තියෙන්නෙ ඒකට තමයි. බේබද්දා”
ලොකු අයියා මිතුරු කමට බැණ වැදී, අපට කතා කරන්නට ඉඩ දී මඳක් එපිටට ගියේ ය. රවීන් මගේ අතක් අල්ලා ගත්තේ ය. එසේ කරත්දීත් ඔහු රිදවුම් ලබන බව මූණේ ඉරියව් අනුව සිතා ගත හැකි විය.
“ඇයි අයියෙ මෙහෙම කරන්නෙ…මීට වැඩිය නරක දෙයක් වුණානං එහෙම…”
“මැරෙන එකනෙ වැඩිම වුණොත්…”
නැවතත් අර බිළිඳු සිනහව! මම ඔහු ට රැව්වෙමි.
“හිනා වෙන්න එපා මාත් එක්ක”
“ඔයා මං ළඟට වෙලා හුරතල් වෙවී ඉඳල ගියහම…ඒ ආදරේ හැමදාම අයිති කර ගන්න බෑ කියල මතක් වෙද්දි සිහිය නැති වෙනකල් බොනව මිසක් වෙන මොනාද කරන්න කියන්නෙ…”
“එහෙනං මටත් ගෙනත් දෙන්න බොන්න. බීල සිහිය නැති කරගන්න..පස්සෙ ජීවිතේ හරි නැති කර ගන්න බැරියෑ”
“ඔයාට තේරෙන්නෑ සනූ ඒ ෆීලින් එක. මොකද මං ඔයාගෙ අම්මයි තාත්තයි එක්ක රණ්ඩු කරන්නද…ඔයාව හොරෙං අරං යන්නද…ඒව හිතද්දි…මට නිකං පිස්සු වගේ”
“අම්ම මට ඔයාව බලන්න එන්න දෙයි කියල මං හීනෙකින්වත් හිතුවෙ නෑ. ලෝකෙ තාමත් පුදුම දේවල් සිද්ද වෙනව අයියෙ. අපි විශ්වාසෙං ඉමු. ආදරේ ගැන විශ්වාසෙං…මෙහෙම බොන්නෑ ආයෙ කියල විතරක් මට ඔයාගෙං පොරොන්දුවක් ඕනෙ”
රවීන් මගේ අතක් ගෙන සිය පපුවෙහි තබා ගත්තේ ය. ආදරය ප්‍රාතිහාර්ය පාන බව විශ්වාස කරන්නට මට ඕනා විය.
එය හදවතෙහි ලෙයින් සලකුණු තැබූ සිදුවීමකි. ජීවිතයට වඩාත් සමීප කෙනෙකු එවන් බරපතල විපතකට පත් වීම වඩාත් රිදවුම් දෙවන්නේ ඔහු ව හදවතට සමීප කර ගත් අයවලුනට ය. අම්මා ඉන් පසු රවීන් ගැන වදනකුදු මා හා කතා කළේ නැත. නමුත් ඒ වෙලාවේ ඇය ඒ විදිහට මෘදු හා නම්‍යශීලී වීම ගැන මම දෙවියන් ට ස්තූතිවන්ත වීමි.
මා රෝහලට යාම හා අම්මා මා ව යැවීම ගැන නයනා නැන්දා දොස් කියා තිබිණ. මට ඒ බව කීවේ පුංචා ගේ දුව ය.
“ඒ කොල්ලව තව පොඩ්ඩෙන් මරා ගන්නව. ඒ මදිවට තව ඉස්පිරිතාලෙටත් යවලනෙ දෝණියැන්දව. එපා නං එපා කියල පාඩුවෙ ඉන්න එපැයි. කොල්ලංව අවුස්සනව නිකං බොරුවට”
ඇය කියා තිබෙන්නේ එහෙම ය. මේ බව දැන ගත්තත් මම වෙනදා සේ ඇය ගේ දොස් දකින්නට නො ගියෙමි.
පසු දා මා රැකියාවට ගියේ දිවා කාලයේ දී සුනෙත් එක්ක රෝහලට යන බලාපොරොත්තුවත් එක්ක ය. අප යත්දී නයනා නැන්දා හා ලොකු අක්කා රෝහල් ගේට්ටුව අස වූහ.
“අනේ අනේ සනූ. ගෙදරින් අකමැතියිනං ඔයා තවත් මේ කොල්ලට මෙහෙම බලාපොරොත්තු දෙන්න එන එක හොඳද…ඔයා මෙච්චර මුරණ්ඩු ළමයෙක් වුණේ කොහෙමද කියල මට හිතා ගන්න බෑ”
නයනා නැන්දා මගේ මූණට ම කීවා ය. මම කිසිත් නො කියා බිම බලා ගතිමි. මා හිටියේ කුණාටු සයුරක් මැද්දේ ය කියා කිව හැක. ජීවිත ඔරුව ඒ කුණාටුව ට හසුව කවර ඉරණමක් අත් කර ගනීවිද කියා මා දැන සිටියේ නැත. නමුත් ඈතින් ප්‍රදීපාගාරයක ආලෝක පුංජයක් දල්වා ගෙන රවීන් උස් ව නැගී සිටියේ ය. කෙසේ හෝ ජීවිත ඔරුව නො බිඳී ඒ වෙත ගෙන යාම මගේ ඒකායන අරමුණ විය.
හැන්දෑවේ ගෙදර ඇවිත් මම මඳක් නිදා ගතිමි. එක දිගට රැයවල් දෙකක් නිදි වැරීමේ වෙහෙස මා අඩ පණ කොට තිබිණ. නින්දෙන් අවදි වන විට කාමරයේ විදුලි පහන දැල්වෙමින් තිබිණි. සාලය දෙසින් ආච්චා ගේත් අම්මා ගේත් කට හඬවල් ඇසිණ.
“එහෙම තමයි ජනරංජනී. අපිට ඔය කිසි දෙයක් තක්කෙට සැලසුම් කරන්න බෑ. අපි කොච්චර සැලසුම් කළත් උඩ ඉන්න කෙනාට ඕන විදිහට තමයි අන්තිමට දේවල් සිද්ද වෙන්නෙ”
“ඒ වුණාට….අම්ම කියන්නෙ අර ශෙහාරා වගේ අපේ එක්කෙනාත් හිතුවක්කාර කමක් කර ගන්න ඕනයි කියලද..”
“කවුද බං එහෙම කියන්නෙ…අනික උඹ නොදන්නවට මං හොඳට දන්නව සනූ කවදාවත් එහෙම කරන්නෙත් නෑ කියල.ඒකයි මං කියන්නෙ අපි ඒකිගෙ හිතත් එක්ක කටයුතු කරන්න ඕනෙ හරි පරිස්සමෙන් ය කියල”
“එයාට ඕන විදිහට වැඩ කරන්න දෙන්න බෑ අම්මෙ”
“දැං ඔය නයනා ලා ජයටම මගුල් කාල කෙල්ලව බන්දල දුන්නැද්ද…දැං ඒකි ගෙදර ඇවිත් ඉන්නෙ ළමවෙකුත් එක්ක. මංගල්ලෙ සැලසුම් කළා වගේ ඒකිගෙ ජීවිතේ සැලසුම් කරන්න නයනාට පුළුවන් වුණාද…ආන්න ඒකයි මං කියන්නෙ”
“අම්ම කියන්නෙ කලින් කසාද බැඳපු කෙනෙක්ට…”
“මං කියන්නෙ කෙල්ලට සතුටෙන් ඉන්න පුළුවන් කියල ඒකි හිතන කෙනෙක් එක්ක ජීවත් වෙන්න දියල්ල කියලයි. ජනරංජනී ගෙ තාත්තත් කලින් කසාද බැඳපු මිනිහෙක්ය කියල අමතක කරන්න එපා. එතකොට ජනරංජනී ගෙ අම්ම…ඒ කියන්නෙ මේ මං කසාද බැන්දෙ කලින් බැඳල දරුවෙකුත් හිටිය කෙනෙක්වයි කියල අමතක කරන්න එපා. අපි එයා මැරෙනකල් ම යහතින් පවුල් කෑවයි කියලත් අමතක කරන්න එපා. ජනරංජනී තමුංගෙ දුවගෙ සතුට ගැන මීට වඩා හිතන්න ඕනෙ. මීට වඩා බුද්ධිමත් ව හිතන්න ඕන කියලයි මං හිතන්නෙ. අපි කිසිම රාමුවක හිර වෙන්න ඕන නෑ. කිසිම දෙයක් එකම විදිහට වෙන්නෙ නෑ. එහෙම වෙන්න ඕනත් නෑ. මැරෙන ටිකට සතුටෙන් ජීවත් වෙන එක නේද වටින්නෙ…”
මගේ පපුව හිර වෙමින් තිබිණ. ඒ වගේ ජීවන දර්ශනයක් ආච්චා වන් ස්ත්‍රියකට තිබෙනවා ය කියා කියන්නේ, මීට පරම්පරා ගණනාවකට පෙරත් මේ රාමු ගත ජීවිතය ප්‍රතික්ෂේප කළ මිනිසුන් ජීවත් වූවා ය කියන එක නොවේ ද?
දානයට පෙර දින දවාලේ රවීන් ගෙදර ආවේ ය. ලොකු අයියා සමග විත් ඔහු කුළී රියකින් බහිනවා, අම්මා එක්ක කොංක්‍රීට් තලාව මත්තේ රෙදි වේලෙන්නට දමමින් සිටියදී මම දුටිමි. බිමට බට ගමන් ඔහු බැලුවේ අපේ ගේ දෙස ය. මගේ පපුව හෝස් ගා දෑවේ ය. එක සිනහවක් පෑවත්, අම්මා හිඳින බව දුටු ඔහු හෙමිහිට ගේ දෙසට ගියේ ය.
“යමු යමු පහළට”
අම්මා කියනු ඇසිණ.