(අ)හිමි සිහින -55

“කාත් එක්කද ආවේ..”

ඔහු මං දිහා බලන් ඉඳලා හරි කාරුණික හඬකින් එහෙම ඇහුවා.මං අම්මත් තාත්තත් එක්ක ආව බව මම කිව්වා.

“යං අම්මලාට කතා කරන්න.මගේ වයිෆුත් ඉන්නවා.යංකො අඳුන්වලා දෙන්න.”

ඔහු ඒවා කියන්නේ මට රිදවන්න නෙවේ.ආදරයෙන් මදෙස බැලූ මගේ ආදරවන්තයා තාම මං දිහා බොහොම සුහදව බලනවා.ආදරය අවසන් වූ පසු අනිත් කෙනාගේ ආත්ම ගෞරවය බිංදුවටම කෙලෙසා දැමිය යුතු බව විශ්වාස කරන ලෝකයක ඔහු මගේ අයට කතා කරමින් ඔහුගේ අලුත් ලෝකය මට හඳුන්වා දීමම මොනතරම් සුන්දර දෙයක් ද?

අපි ඉඳගෙන හිටිය තැනට කිට්ටුව තමයි ඔහුගේ බිරිඳත් එක දුවෙකුත් වාඩි වෙලා හිටියේ.සුධාරක මගේ අම්මාටත් තාත්තාත් කතා කළේ බොහොම සුහදව.ඒ සන්දර්ශනය ඔහු බිරිඳත් දරුවාත් ළඟට වෙලා බලන්න පටන් ගත්තා.

කරුවලයි! මගේ ලෝකය තරමටම හාත්පස කරුවලයි!

මට ඒ ලා අඳුර අතරින් ඔහු මං දිහා බලාගෙන ඉන්න ආකාරය පෙනෙනවා.ඒත් මට ඔහුට බැල්මකින්වත් අවැඩක් කරන්න බැහැ.ඔහු ඉන්නේ වෙනත් ලෝකයක.මටත් වෙනත් ලෝකයක් තිබුණා.ඒ ලෝකයෙන් මම මිදී ආවට ඔහුට ලෝකයක් තියනවා.

මගෙන් මිදුණු ලොව ඔබට මිහිරිනම් එය සැපකී
ඔබට ළංව දුක බෙදා ගන්න බැරිකම දුකකී
මෙවැනි බැඳුම් අදහනු බැරි ලෝකය සිරගෙයකී
එවන් ලොවක මේ හමුවීමත් වාවනු නොහැකී”

ඔලුව ඇතුළෙන් ඒ ගීය දහස් වාරයක් වාදනය වෙන්න ඇති.ඇත්තටම අහිමි වූ ප්‍රේමයක් නැවත මුණ ගැහුණම ඔබට වුණත් දැනුණු ශෝකය මිශ්‍ර ප්‍රීතිය ගැන ඔබ අද මට ලියන බව මම දන්නවා.

ඒවා එහෙම තමයි!

සුධාරක මගේ අම්මටත් තාත්තටත් කතා කරාට මම ඔහුගේ අම්මලාට කතා කරන්නට ගියේ නැහැ.මාව නැවත දැකීම ඔවුන්ව තිගැස්වීමට ලක් කරන්නට ඉඩ ඇති බව මට හිතුණා.ඔවුන් මාව සුධාරකගේ ලෝකයෙන් ඉවත් කරලා අවසන්.නැවත ඔවුන් ඉස්සරහා පාදුර්භූත වුණාම ඒ මිනිස්සු පුතාගේ ලෝකයේ භූමිකම්පා ඇති වෙයි කියලා බය වුණොත් කියලා මම හිතුවා.සුධාරක මම වෙන් වුණු පසු බොහෝ කාලයක් තනිව ජීවත් වූ බව මම දන්නවා.දැඩිව මත්පැනට ඇබ්බැහි වෙලා හිටිය ඔහු මරණයම ප්‍රාර්ථනා කරමින් යුධ පෙරමුණට ගිය හැටි මම පෙර දවසක ලිව්වා ඔබට මතකයේ ඇති.

“ජීවත් වෙලා තේරුමක් නැහැ.ඒ වුණාට නිකම්ම නිකන් සියදිවි නසාගෙන තේරුමකුත් නැහැ.ඒ නිසා තමයි මම ඉස්ඩරහින්ම ගියේ.රට වෙනුවෙන් දේකුත් කරලා මම මැරුණම හරිනෙ..”

සුධාරක එහෙම කියමින් හිටිය කෙනෙක්.ඉතින් අසීරුවෙන් නැවත ගොඩ නගා දුන් ඔහුගේ ලෝකය මං හින්දා බිඳ වැටෙයි කියලා ඔහුගේ අය බය වෙනවට මම කැමති වුණේ නැහැ.අර කාන්තාවත් මං දිහා බලාගෙන හිටියේ බය බිරාන්ත වෙලා.ඇය සුධාරක කලින් විවාහකයෙක් කියලා දන්නවා.ඒ මම බවත් මම යළි හමු වීමත් ඇයව සසල කරන්න ඇති.

“අනූ දැන් මොනවද කරන්නේ?” කියලා සුධාරක අහපු ප්‍රශ්නයටත් මම මගේ වර්තමාන රැකියාව ගැන කිව්වා.මම අසංකගෙන් වෙන් වී ජීවත් වෙන බවත් ඔහුට කියන්න මට සිදු වුණා.කොහොමටත් කවදාවත් ඔහුගෙන් දේවල් හංගන පුරුද්දක් මට නැහැ.

“ඔයාගේ මහත්තයා හුඟාක් උතුම් මනුස්සයෙක්.එයාව හරිම ආදරෙන් බලා ගන්න.”

අපි වෙන් වෙන්න මොහොතකට කලින් මම සුධාරකගේ බිරිඳට එහෙම කිව්වා.එය එහෙම කියන්නට මට ඇත්තටම හිතුණා.අපි එකිනෙකාගෙන් සමුගෙන වෙන් වුණා.එදා දුරකථන අංක හුවමාරු කරගන්න හෝ තවතවත් හමු වෙන්න සැලසුම් කරන්න මට උවමනා වුණේ නැහැ.

“මට වැරදිලා ඉවරයි.ඒත් ඔයා සතුටින් හොඳින් ඉන්නවනෙ..”

මට එහෙම හිතුණා.මම ඒක ක්‍රියාත්මක කළා.එච්චරයි! ඔහු මායාවක් වගේ දෑස මත්තට ඇවිත් බොඳව ගියේ අන්න එහෙමයි.

දෛවයේ සැලසුම් වෙනස් නිසා දුක් වෙන්නත් එපා.තවත් බොහෝ දේ සිදු වුණා.ඒ දේවල් ඔබත් හෙමින් දැන ගනීවි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles