කදෝකිමි ඇස් -30

0
3690
කදෝකිමි ඇස්

ලක්ෂි බොහෝ වෙලාවක් කල්පනාවට වැටුණා ය.එය බොහෝ දිගු අතීත චාරිකාවකි.අතීතයෙන් වර්තමානයට ද වර්තමානයෙන් අනාගතයට ද යමින් ඇය කළ යුත්තේ කුමක්දැයි සිතන්නට පටන් ගත්තා ය.තම ප්‍රාණසම ප්‍රේමය තමන්ගෙන් උදුරා නොගන්නැයි කම්මුල් පුරා ගලා යන කඳුළු වැල් සහිතව ඉකි ගැසූ යොවුන් දැරිය ඇයට සිහිව ඒ.ඒ අතීතයකි.වඩා දුර අතීතයකි.නමුත් වර්තමානය තමන්ට සරදම් කරන්නේ මහා සමච්චල් ආකාරයකට ය.

ලක්ෂි අන්තර්ජාලය පීරමින් මේකලාගේ කෘති පළ කරන ප්‍රකාශන ආයතනයේ අංකය සොයා ගත්තා ය.මේඝගේ කාමරයට වැදුණානම් මේකලාගේ හැම කෘතියකම පිටපතක් එහි ඇති බව ඇය දන්නී ය.නමුත් එහි ගොස් සියල්ල අවුල් කරන්නට ලක්ෂිට අවශ්‍ය නොවේ.ප්‍රකාශන ආයතනයෙන් මේකලාගේ මෙතන අංකය ලබාගත් ලක්ෂි තවත් මොහොතක් ගත කළේ කෝපය යම් තරමකට හෝ සංසිඳවීමේ සිතුවිල්ලෙනි.

“මේකලා මායාදුන්න ප්ලීස්!”

ඒ හඬ තමන්ගේ පාඨකයෙකුගේ නොවන බව මේකලාට එක්වරම සිතිණ.බොහෝ මිත්‍රශීලී හඬින් මිස මෙවැනි නියෝගාත්මක හඬකින් පාඨක ඉල්ලීම් ගලා එන්නේ නැත.රටේ ප්‍රබල චරිත පවා ඈ ඇමතූ අවස්ථා ඕනෑ තරම්ය.නමුත් එවැනි අවස්ථාවන්හි ඇයට අමතන්නේ ප්‍රබල මිනිසුන් නොව ඇගේ අකුරට වහ වැටුණු මිනිසුන් ය.මේකලා පරීක්ෂාකාරී පරීක්ෂාකාරී වූයේ ම එනිසා ය.

“මම ලක්ෂි.ලක්ෂි සේනාධීර.”

ඇයට එක හඬකින් ඒ කවුදැයි හඳුනා ගන්නට හැකි ය.ලක්ෂි උයන්හේවා මෙනෙවිය හොඳින් හඳුනන මේකලාට ලක්ෂි සේනාධීර මහත්මිය හඳුනා ගන්නට අසීරු නොවේ.නමුත් ගැහැනියකට උරුම අහංකාරය මේකලා වෙතින් නැඟී ආවේ ය.

“සමාවෙන්න.මට එහෙම නමක් නම් මතක නැහැ.”

මේකලාට තමන්ව එතරම් පහසුවෙන් අමතක කළහැකිදැයි සිතමින් ලක්ෂි වඩා කෝප ගත්තා ය.හදවතේ ඇති මහා රිදුම තමන් නොවේදැයි අසන්නට තරම් කෝපයක් ලක්ෂිට නැඟී ආ නමුත් ඈ ඉතා වෑයමින් එය දරා ගත්තා ය.තමන් මහේන් සේනාධීර නම් කීර්තිමත් නීතිඥයාගේ බිරිඳ බව හෙළි කළ ලක්ෂි තත්පරයක් නිහඬව සිටියා ය.

“අපිට ඉතින් කතා කරන්න දෙයක් නෑනෙ.මට ඔයයි මහේනුයි එක්ක කිසිම කාරණාවක් කතා කරන්න නැහැ කියලා මම තීරණේ කළේ අවුරුදු විස්සක පොඩි කෙල්ලක් කාලේ.දැන් මට පනහයි.ආච්චි අම්මා කෙනෙක් වෙන්න ඕන වයස.”

මේකලා සන්සුන්වන්නට තැත් දැරුවා ය.අභ්‍යන්තර කැළඹීම කොතෙක්දැයි කිවහොත් නිවසේ අත්උදව් කාරිය අමතා අධිරුධිර පීඩනයට ලබා ගන්නා බෙහෙත් පෙත්ත ගෙන්වා ගන්නා තරම් සිතක් ඇයට ඇති විණ.

“ඔයා ආච්චි අම්මෙක් වෙන්න.කිසිම ගැටලුවක් නෑ.හැබැයි ඒ මුනුබුරන්ගෙ තාත්තා මගේ පුතා වෙන්න බෑ.”

ලක්ෂි ජීවිත කාලය පුරාම තමන්ට කළ ඇත්තේ තර්ජන පමණක් බව මේකලා සිහි කළා ය.මේඝ හිඳින්නේ ආරණ්‍යා ගැන ප්‍රේමයෙන් බවට මහේන් ඇයට පවසා තවම ගෙවී ඇත්තේ දින කිහිපයකි.මහේන් ඒ කතාබහ ඔහුත් ඇයත් අතර බව පැවසූව ද මේ කතාව ඔහු ලක්ෂිට අනිවාර්යයෙන් පවසා ඇතැයි මේකලා අනුමාන කරන්නට වූවා ය.ඔහු කිසිම අයුරකින් වෙනස් නොවේ.තවමත් අතීතයේ වාගේම ය.තමන්ගේ විශ්වාසය සීඝ්‍රයෙන් බිඳ දැමීම මහේන්ට ඉතා සුළු කාරණාවකි.එසේ සිතමින් කෝප ගන්නට මේකලාට වැඩි වෙලාවක් නොගියේ ය.ලක්ෂි නොනවත්වාම කතා කරන්නට වූවා ය.

“මගේ පුතාගේ ගර්ල්ට කතා කරලා තමුන්ගෙ දූගේ කොල්ලා කියල තියනව මේ සම්බන්දෙ ගැන.මං අහන්නෙ වෙන කෙල්ලෙක්ගේ කොල්ලෙක් උදුරා ගන්න තමන්ගෙ දූට ලැජ්ජාවක් නැද්ද?”

සහස් සම්බන්ධයෙන් ආරණ්‍යා නොයෙකුත් පැමිණිලි ගෙන ආ අන්දම මේකලාට සිහිව ආ අතර ඔහු මෙහි කොනක සිටින්නට හැකි බව ඈ අනුමාන කළා ය.ඇයට දැනුණේ සැනසීමකි.ඒ මේ වතාවේ හෝ මහේන් ඇගේ විශ්වාසය බිඳ නොවැටූ බව ය.ඒ සැනසීම හදවතේ පුරවා ගත් මේකලා වඩාත් තිර හඬකින් ලක්ෂි ඇමතුවා ය.ඉනික්බිතිව දුරකථනය විසන්ධි කර දැමුවා ය.

“ඒ ලැජ්ජාව ගැන අවුරුදු තිහක් ආපස්සට ගිහින් ඔයා ඔයාගෙන්ම අහන්න.ඔයාට ඔයාගෙන් උත්තරයක් ලැබුණොත් මං ඒ ප්‍රශ්නේ මගේ දරුවගෙන් අහන්නම්.”

දුරකථනය විසන්ධි කර දැමූ මේකලා තද හුස්මක් පහළ දැමුවා ය.ඇයට කුමක්දෝ කුරිරු සතුටක් දැනෙන්නට විය.

“ඔයාට දවසක දුවෙක් හිටියොත් මේ වේදනාව දැනෙයි.”

ඈ එදා එසේ ලක්ෂිට පැවසූ නමුත් ඇය උපත දුන්නේ පුතෙකුට ය.උපන් හැටියේ ආරණ්‍යාගේ මුහුණ දෙස බලමින් ප්‍රේමය හන්දා දිනක මේ කෙල්ල ද දුකට පත්වේයැයි බිය වූ අන්දම මේකලාට අමතක නොවේ.නමුත් අතීතය ඉතා වෙනස් ආකාරයකින් නැවත සිදුවෙමින් පවතී.මේකලා සාලය පුරා ඔබබොම ඇවිදින්නට වූවා ය.හිනැහෙමින් හිඳින ආරණ්‍යාගේ ඡායාරූපයක් අතට ගත් ඈ එය මෘදුව පිරිමදින්නට වූවාය.

“අම්මා ආදරේ හින්දයි දුක් වින්දේ.මම ෆයිට් කරේ තනියම.ඒ හින්දා මං පැරදුණා.ඒත් ඔයා කරන ඕනෑම සටනක ඔයත් එක්ක අම්මා ඉන්නව.ඔයා නොදැනුවත්වම හරි අම්මගෙ අතීතෙට සාධාරණයක් කරන්නනම් හදන්නේ අපි ඒක කරමු.”

මේඝ සේනාධීර නම් යෞවනයාව දියණියගේ ලෝකයෙන් ඈතට පලවා හැරිය යුතු බව මේකලා සිතුවේ මහේන් ඈ ඇමතූ පසුව ය.ලක්ෂිගේ ඇමතුම ඇය සම්පූර්ණයෙන් වෙනස් කරන්නට සමත් වී තිබේ.

“පුතා, මට ඔයාව මුණ ගැහෙන්න ඕන.”

මේකලා ජීවිතයේ තීරණාත්මක මොහොතක් සැලසුම් කරමින් මෝක්ෂට ඇමතුමක් ගත්තා ය.මේ තරණය කරන්නට අසීරු විය හැකි දියඹකි.ඒ දියඹ ආරණ්‍යාට තනිව තරණය කළ නොහැක.ඇගේ දෑත සවිමත්ව අල්ලා ගන්නටත් රිදුම් දෙන තම හදවත මුදු වදනින් සනසන්නටත් මෝක්ෂ සිටිය යුතුම බව ඈ තීරණය කළා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here