කදෝකිමි ඇස් -39

0
3467
කදෝකිමි ඇස්

ආරණ්‍යා ඒ කිසිවක්ම නොදැන තත්පර කටු ද ගනිමින් හුන්නා ය.අද කාලය ගත වන්නේ ඉතා සෙමින් වග ඇයට සිතේ.එය දරන්නට අපහසු හැඟීමකි.ආරණ්‍යා ඔරලෝසු කටු ගනිමින් නොඉවසිලිමත් හැඟීමකින් පිරී ගියා ය.ඇයට මේඝ හා කතා කරන්නට වූයේ නොඉවසිල්ලකි;අම්මාගේ අතීතය ගැන දැන ගන්නට තිබුණේ ද නොඉවසිල්ලකි.මේ නොඉවසිල්ලෙන් පිරී ගිය ඇය සහස් කෝප ගන්වන තරමට තනිව හිනැහෙමින් සිටියා ය.

“අරයට මොකද අර වෙලා තියෙන්නේ?”

සහස් නිසලිගෙන් ඇසුවේ ඉවසීම සිඳී යන තැනදී ය.නිසලි දෙවුර ගස්සා නොදන්නා බව හැඟවූවා ය.සැබෑවටම දැන් ආරණ්‍යා නිසලි සමඟ කිසිවක්ම බෙදා නොගන්නා තරම් ය.

“අර පර්ස් එක ඇහින්ද කොල්ල ගැන හීන මවනව ඇති.”

නිසලි කියන්නේ අකමැත්තෙනි.කිසිවක්ම පැහැදිලිව නොදන්නා කොලුවෙකු ගැන ආරණ්‍යා කැමැත්තකින් පසුවීම ඇයට අනුව විහිළුවකි.එය එතරමටම සරදමට ලක් කරමින් නිසලි තැත් කළේ ආරණ්‍යා කෙසේ හෝ සහස්ට ළං කරන්නට ය.

“නිසලි, දෙන්නෙක්ව බලෙන් එකතු කරන්න හදන්න එපා.තේරුමක්ම නැති වැඩක් ඒක.”

වැදගත් ගැහැනු ළමයෙකුට මඟුල් කපුකම් කරනවාට වඩා කරන්නට ඕනෑ තරම් වැඩ ඇති බව නොකියා ආරණ්‍යා එසේ කීවා ය.ඇයට නිසලි ගැන දුකක් ද ඇති වේ.ඒ ඇය එපමණකට මේ ප්‍රශ්නය ඇඟේ එල්ලාගෙන සිටින හන්දා ය.සහස්ව ජීවිතයට ළං කර නොගන්නට ආරණ්‍යා තදබල තීරණයක සිටියදී නිසලි ඒ වෙනුවෙන් වෙහෙසීම ආරණ්‍යාට තදබල පීඩනයකි.

“අපි යාලුවො තමයි නිසලි.ඒත් ජීවිතවල තියන දේවල් බලෙන් හොයන එක යාලුකමකට පොඩ්ඩක්වත් ගැලපෙන් නෑ නේද?”

ආරණ්‍යා මෙසේ කියා දින කිහිපයක් ගෙවී ඇත.එනිසාම නිසලි ආරණ්‍යා සමඟ වැඩි භජනයකට නොයා සිටින්නට උත්සාහ කළා ය.එහෙත් සහස් ආරණ්‍යා ගැන සොයන්නේ ඇය ඔහුට ම අයත් වස්තුවක් ලෙස සලකමිනි.මේඝ සේනාධීර සහස්ටත් මෝක්ෂටත් වඩා කඩවසම් තරුණයෙකි.පෙනෙන ආකාරයට ඔහු ධනවත් පවුලක එකම පුතු ය.සමහර යුවතියන්ට හදිසියේ පහළ වන ඊර්ෂ්‍යාවෙන් ද තමන් දැවෙමින් සිටින බව නිසලිට නොසිතුණා නොවේ.

“ඔයා ඔහොම තනියම හිනා වෙවී ඉන්න එපා.බලන අයට ඔයාව විහිළුවක් වෙලා පේනවා.”

මුව වසා සිටීම ඇතිවූ මොහොතේ නිසලි ආරණ්‍යාට පැවසුවා ය.ආරණ්‍යා උස් හඬින් හිනැහෙන්නට වූවා ය.

“මිනිස්සු හිනාවෙනකොට විහිළුවක් වෙන්නේ නෑ.මිනිස්සු අඬනකොට විහිළුවක් වෙන්නෙත් නෑ.හිනාවෙන එක අඬන එක මිනිස්සුන්ගෙ හැඟීම් ප්‍රකාශ කරන විදියක්.ඒක කොහොමද විහිළුවක් වෙන්නේ?

ආරණ්‍යා අසන සමහර ප්‍රශ්නවලට පිළිතුරු දීමට අසීරු හෙයින් නිසලි කිසිවක් නොකියා සිටින්නට උත්සාහ කළා ය.එහෙත් ආරණ්‍යා දිගින් දිගටම කතා කරන්නට පටන් ගත්තා ය.ඒ නිසලිට පමණක් නොවේ.සහස්ට ද ඇසෙන්නට ය.

“ආදරේ කියන දේ උපද්දවන්න බෑ නිසලි.ඒ ඇති වෙන්න ඕන හැඟීමක්.අම්මා තාත්තා කිව්වට යාලුවෝ කිව්වට කෙනෙකුට ආදරය කරන්න හරි අමාරුයි.දෙන්නෙක් ආදරෙන් ඉන්නකොට රටේ නැති කේලම් කිය කියා විකාර කර කර ඒවා බිඳලා දාන්න හදන මිනිස්සු ගැන මහ අප්පිරියාවක් තමයි ඇති වෙන්නේ.කාවත් බලෙන් ළං කරන්නත් එපා කාවවත් බලෙන් ඈත් කරන්නත් එපා.”

ආරණ්‍යා එසේ කියද්දී ඇය තමන්ට සරදම් කරන බව සහස් වටහා ගත්තේ ය.ඇය අහිමි වී යාමෙන් ඇති වෙමින් තිබූ ශෝකය ක්ෂණික කෝපයකට හරවා ගත් ඔහු ආරණ්‍යාට අපහාස කරන්නට සිතුවේ ය.නොලැබෙන ආදරයකට සිනාසී සමුදීම වෙනුවට බොහෝ තරුණයන් තෝරා ගන්නා පහසු මාර්ගය තෝරා ගන්නට සහස් දෙවරක් නොසිතී ය.හදවත ක්‍රමයෙන් සකස් කරගැනීම කියන්නේ පහසු ක්‍රියාවක් නොවේ.රිදුණු හදවතක් පිළිසකර වන්නට යම් කාලයක් ගත වේ නමුත් ආදරයක් ප්‍රතික්ෂේප කරන තරුණියකට අපහාස කිරීම හිත හදා ගන්නට පහසුම මඟ යැයි සිතන තරුණයන් හිඟ නොවේ.

“ඔය ඔක්කොටම වඩා කැතයි තවත් කෙල්ලෙක්ට ගින්දර දීලා තමන්ගේ හිතේ ඉන්න කොල්ලව කොහොමහරි ලබාගන්න එක.”

සහස් එසේ කියද්දී නිසලි තම මිතුරිය දෙස අප්‍රසන්න බැල්මකින් බැලුවා ය.සහස් ලක්ෂි සේනාධීර මහත්මියට සියලුම කේලම් ලැබෙන්නට සැලැස්වූ අන්දම ගැන ආරණ්‍යාට තදබල කෝපයක් පවතී.වඩාත් නරකම කාරණාව බිඳුණු ප්‍රේමයකින් පීඩා විඳිමින් සිටි නේහාව ද ඔහු ප්‍රකෝප කිරීම ය.

“ඔයා ඒ කොල්ලට ක්‍රෂ් වුණාට කමක් නෑ.ඒ මනුස්සයගෙ අෆෙයා එකත් බ්‍රේකප් වෙන තරමටම ක්ලෝස් වුණු එක හරීම කැතයි.”

නිසලි එසේ කියමින් ආරණ්‍යා දෙස බලා සිටියා ය.මතුපිටින් බලමින් ජීවිතය ගැන තීන්දු තීරණ ගන්නා මිතුරියක අවශ්‍යදැයි සිතමින් ආරණ්‍යා පොතපත එකතු කරගනිමින් නැඟී සිටියා ය.

“ෆේස්බුක් ප්‍රොෆයිල් පීරලා මිනිස්සුන්ගෙ විස්තර හොයලා බට කැලේට ගිනි තිබ්බා වගේ හැසිරෙන එක ඊටත් කැතයි නිසලි.”

ඒ සහස්ට කිව යුතු දේ ය.නිසලිට කියන්නට ද අවසාන වාක්‍යයක් ආරණ්‍යාට ඉතිරිව තිබිණ.

“තමන්ගෙ යාලුවා තමන්ගෙ පදේට නටන්න ඕන කියල හිතන එක ඊටත් වඩා කැතම දෙයක්.ඊටත් නරකයි එයා ගැන රටේ මිනිස්සු කියන බොරු විශ්වාස කරන එක.”

හොඳම මිතුරිය වෛද්‍ය පීඨයට සුදුසුකම් ලබා පේරාදෙණියට නික්ම ගිය පසු ආරණ්‍යා නිසලිව ළඟම මිතුරිය කරගත්තා ය.නමුත් ඒ තීරණය මෙතැනින් තිත තැබිය යුතු තීරණයක් බව ඇය තරයේ සිතා ගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here