ලොවට හොරෙන් රහසින් ක්‍රියාත්මක වන සාපරාධී මිනිස් ජාවාරම

පසුගිය වසර ගණනාවක සිට හොර රහසේ ඉතා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් පවතින සාපරාධී මිනිස් ජාවාරම පිළිබඳව තවමත් බොහෝ අය දැනුවත්ව ඇති බවක් පෙනෙන්නට නැත. විවිධ සිහින අපේක්ෂා සිත් දරාගෙන විදෙස් රැකියා සඳහා එතෙර යන ඇතැම් පිරිස් දැන හෝ නොදැන අනපේක්ෂිත ගැටලුවලට මැදි වන්නේ එබැවිනි. විදෙස් රැකියාවක් සඳහා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන විට සපුරාලිය යුතු අවශ්‍යතා පිළිබඳව සැලකිල්ලක් නොදක්වා, වගකීම් විරහිත ලෙස කටයුතු කිරීමෙන් ශ්‍රී ලාංකිකයින් සැලකිය යුතු පිරිසක් මේ වනවිට අසරණභාවයට පත්ව සිටින බව වාර්තා වෙයි. එවැනි සිද්ධි සම්බන්ධයෙන් විදේශ රැකියා නියුක්ති කාර්යාංශය වෙත ලැබී ඇති පැමිණිලි ප්‍රමාණයද පසුගිය වසර කිහිපය තුළ ඉහළ ගොස් ඇත. උදාහරණ ලෙස, 2020 වසර තුළදී පමණක් පැමිණිලි 1143ක් ගොනුවී තිබිණි. පසුගිය කාලය තුළ ලොව පුරා පැතිර ගිය කෝවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් රැකියා සඳහා විදේශගතවීම් සහ ඒ ආශ්‍රිත ජාවාරම් කටයුතු පහළ යෑමත් සමඟ ලැබුණු පැමිණිලි ප්‍රමාණයද 2021 වසර වනවිට 552ක් දක්වා පහළ ගොස් තිබිණි. එහෙත් 2022 වසර වනවිට පැමිණිලි ප්‍රමාණය 1337ක් දක්වා ඉහළ ගොස් තිබුණු අතර, එයින් පෙනී යන්නේ රැකියා සඳහා විදේශගතවීමට යෑමේදී විවිධ ගැටලුවලට මැදිවූ පිරිස ක්‍රමයෙන් වැඩි වන බවය. බොහෝවිට මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ රට රැකියා සිහින දඩමීමා කරගනිමින්, ඔවුන් රවටා විශාල වශයෙන් මුදල් ගරාගන්නා නීතිවිරෝධී විදෙස් රැකියා නියෝජිත ආයතන, තැරැව්කරුවන් සහ තවත් විවිධ පිරිස් සංවිධානාත්මකව පවත්වාගෙන යනු ලබන මිනිස් ජාවාරම නිසාය. එය ශ්‍රී ලංකාවේ මෙන්ම ලොව පුරා වෙනත් රටවලත් ව්‍යාප්ත ජාලයක් හරහා ඉතා රහසිගතව ක්‍රියාත්මක වන සංවිධානාත්මක ජාවාරමකි.

ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් සහ මැදපෙරදිග කලාපයේ ඉරාකහ, ඕමානය, ඩුබායි සහ අබුඩාබි වැනි රටවල් ප්‍රධාන වශයෙන් කේන්ද්‍ර කරගනිමින් මහා පරිමාණ ජාත්‍යන්තර ජාවාරමක් ලෙස ලොව පුරාම ක්‍රියාත්මක වන මිනිස් වෙළෙඳාම මේ වනවිට ඉතා බරපතළ සමාජ ආර්ථික ඛේදවාචකයක් බවට පත්ව ඇත. විදෙස් රැකියා සඳහා මෙරට සිට එතෙරට සංක්‍රමණය වන ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් පසුගිය කාලය තුළ මිනිස් ජාවාරම්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇත්තේ නොදැනුවත්භාවය නිසා බව සංඛ්‍යාලේඛන මඟින් තහවුරු වී ඇත.

ඉතා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන මිනිස් ජාවාරම මඟින් අන්ත අසරණ තත්ත්වයට පත් වන පිරිස් අතර බහුතරය විසිට් වීසා මඟින් විදේශ රැකියා සඳහා විදෙස්ගත වන්නන්ය. ඔවුන් අතරින් වැඩි පිරිසක් ගෘහසේවය සඳහා මැදපෙරදිග රටවලට සංක්‍රමණය වන තරුණ සහ මැදිවියේ කාන්තාවන් බවද අනාවරණය වී ඇත. බොහෝවිට මූල්‍යමය පාඩු, ශාරීරික තාඩන පීඩන, වධ හිංසා හා මානසික පීඩා මෙන්ම ලිංගික සූරාකෑම් යනාදියට ලක් වන ඔවුන් අතරින් ඇතැම් පිරිස් ආපසු සිය නෑසියන් වෙත ඒමට නොහැකිව සයුරෙන් එතෙර රටවල අනාථ භාවයට පත්ව සරණාගත ජීවිත ගත කරති. තවත් ඇතැම් පිරිස් විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ තානාපති කාර්යාල හරහා සැපයෙන උපකාරක සේවාවන්ගේ පිහිට ලබා ආපසු සිය රට පැමිණියද පවුලේ ආදරණීයයන්, නෑහිතමිතුරන්, අසල්වාසීන් සහ පොදු සමාජය සමඟ පෙර පරිදි ආපසු එක්විය නොහැකිව මුළුගැන්වී සිටිති.

සාපරාධී මිනිස් වෙළෙඳ ජාවාරමට හසුව අසරණ වන ශ්‍රී ලාංකිකයින් තවදුරටත් එහි ගොදුරු බවට පත්වීම වළකාලීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව විශේෂ අවධානය යොමු කරමින් ඒ සම්බන්ධයෙන් ගත හැකි පියවර ගණනාවක් සැලසුම් කළ කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය ගරු මනූෂ නානායක්කාර මැතිතුමා ප්‍රමුඛ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ රැකියා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන ඒකාබද්ධව වහාම ක්‍රියාත්මක වන පරිදි වඩාත් ක්‍රමවත් හා උපායමාර්ගික දැනුවත්කරණ වැඩසටහන් පෙළක් දියත් කිරීමට කටයුතු සැලසුම් කර ඇත. ඒ සමඟම, දිනෙන් දින රහසිගතව ව්‍යාප්ත වෙමින් පවතින මිනිස් ජාවාරමට වැට බැඳිය හැකි සියලු ක්‍රියාමාර්ග හා ක්‍රමවේද කඩිනමින් බලගැන්වීමටද අපේක්ෂිතය. විදෙස් රැකියාවකට යෑමට පෙර ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළු සියලු වැදගත් කරුණු ගැන දැනගැනීම සඳහා විදේශ රැකියා නියුක්ති කාර්යාංශයේ විශේෂ සහාය සේවාවක් ක්‍රියාත්මක වන අතර, අවශ්‍ය ඕනෑම විටෙක තොරතුරු දැනගත හැකි විශේෂ ක්ෂණික ඇමතුම් අංකයක්ද 1989 නමින් හඳුන්වා දී ඇත. මුදලට මිනිස් ජීවිත ගොදුරු කර ගන්නා මිනිස් වෙළෙඳ ජාවාරමට වැට බැඳ, විදෙස් රැකියා සඳහා එතෙර රටවලට සංක්‍රමණය වන සියලු ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් මනුසත් අත්වැලක් සැපයීම මේ සියල්ලේ අරමුණ වෙයි.  

Related Articles

Don't Miss


Latest Articles