වැස්ස ඉතා තදින් වහිමින් තිබිණ. ආකාස මලවිආරච්චි රිය පැදවූයේ වෙනදාට වැඩිය හෙමිනි. ඔහු ගේ මුහුණට සිනහවක් ආවේ නිශාමනී සිහි වී ය. ඇය ඔහුත් එක්ක ඔහු ගේ රියෙහි ගමන් යන්නට කැමති ම නැත. ඒ ඔහු රිය පදවන වේගය ගැන වන බියට ය.
“ඔයා මට කියන්නෙ විස්සට තිහට ඩ්‍රයිව් කරන්න කියලද…ස්ටියරින් වීල් එක අල්ල ගත්ත වෙලාවෙ ඉඳල වෙව්ලන…වාහනේ පාරට දාපු වෙලාවෙ ඉඳල බ්ලොක් එකක් හදන රෝස පාට ගවුං අඳින නංගි බබෙක් වගේ…”
ඇය රියෙහි වේගය ගැන ආඩපාලි කියන වෙලාවට ඔහු කියයි. සාමාන්‍යයෙන් වැඩිපුර සිනහ නොවෙන ඔහු, නිශාමනී එක්ක මේ වගේ කතාවක් කතා වෙත්දී හඬ නගා නිදහසේ සිනහ වෙයි.
“මොනා වුණත් අපේ මනුස්සය එක්ක යනකොට ඇඟේ ලේ වතුර වෙන්න දෙන්නෙ නෑ”
“එයාට ගවුමක් තමා අඩු. මං ගානෙ ඒක දෙන්නංකො”
“එන්නෙපා හරිද…එයා දන්නව ස්පීඩ් ලෙවල් එක කොහොමද කන්ට්‍රෝල් කර ගන්න ඕන කියල. පිස්සෙක් නෙවෙයිනෙ රෙසිඩන්ටල් ඒරියා වලයි මේන් රෝඩ් එකෙයි හයි වේ කියල හිතං යන්න…”
ඇගේ නෝක්කාඩු දෑසත් හුරතල් හඬත් මේ දැන් මෙතැන සේ දැනේ.
“ඔව් ඔව් එයා හොඳට දන්නව තැනට ගැලපෙන විදිහට ස්පීඩ් ලෙවල් එක කන්ට්‍රෝල් කරන්න”
ඒ ආකාස තුළ මේ මොහොතේ නැගුණ සිතිවිල්ලකි. ඒ සිතිවිල්ල ඔහු ගේ දෙතොලතරට නැවත ද මඳහසක් ගෙනෙනා ලදී.
ආකාස ගුවන් විදුලියේ හඬ මඳක් වැඩි කළේ ය. වික්ටර් රත්නායකයන් ගයමින් සිටියේ ය.
‘මා නැත අන් සතු සිත් බිඳලා, දෑත ම බැඳ ගෙන ඉඳිමි බලා
මේ ලොව යම් දවසක අපි වෙන් වෙමු, රහස් අහස් තලයට පවරා….
සඳ කැන් වැටිලා අඳුරේ වෙලිලා
ඝණඳුරු රෑ තනිකම නෑ
සොයා එන්න ඝණඳුර තරු නිවලා
මගේ එළිය අද ඔබ පමණී…’
වතුර බින්දු එල්ලී සිටින්නට තැත් කරන, අල්ලා බදා ඉන්නට බැරි ම තැන කඩා හැලෙන රියෙහි වීදුරු අතරින්, වැස්සට මුවහ වී සිටින ගැහැනුන් ද මිනිසුන් ද යන්තමට පෙනේ. බස් නැවතුමක දරුවෙකු වඩා ගෙන අරමුණකින් තොර දෑස් වලින් මග දෙස බලා උන් ගැහැනියක සිටියා ය. කිසියම් හුරු පුරුදු ගතියක් දැනෙත්දී ආකාස ගේ රිය තවත් මීටර කිහිපයක් ඉදිරියට ගොස් අවසන් ය. ඔහු කැඩපතින් පිටුපස බැලුවේ ය. නමුත් කිසිත් පැහැදිලි ව පෙනුණේ නැත. මොකක්දෝ හේතුවකට ඔහු ට දිගට ම යන්නට හිතුණේ ත් නැත. තරුණයා රිය පසුපසට ධාවනය කරන්නට පටන් ගත්තේ ය. බස් නැවතුම ළඟදී පැති වීදුරුව පහත් කොට තෙමේ ද මඳක් නැවී ඒ හුරුපුරුදු රුව කාගේ දැයි බැලුවේ ය. ඈත වැහි බර ආකාසේ නොව ආකාස ගේ පිරිමි හද සන්තානේ අකුණක් පුපුරා ගියේ ය. ඒ නිශාමනී හා එසඳි ය.
නිශාමනී ගේ ඇස් ආකාස ගේ බැල්ම තුළ සිටියත් ඇය සිය ඉරියව්වේ හෝ හැඟීම් ප්රකාශනයෙහි අංශු මාත්‍රික වෙනසක් නො කළා ය. ඒ දෙතොල් පෙති මඳ වශයෙන් විවර ව තිබිණ. කොපුල් වල පරණ කඳුළු වල පැල්ලම් ද අලුත් කඳුළු ද තිබිණ. ඇය හූල්ලනවා ඔහු ට දැනිණ. නමුත් නිශාමනී නො සෙල්වී සිටියා ය. එසඳි- සිය සිරුරේ ම, ආත්මයේ ම කොටසක් වූ සිඟිත්තිය දෑතින් ම තදින් තුරුලු කර ගෙන අඩියක් හෝ නො සැලී එහෙම ම සිටියා ය.
කලබලයෙන් ම අයිනට කොට රිය නතර කළ ආකාස වැස්සට පැන බස් නැවතුමේ හෙවනට දිව ආවේ ය. රිය තුළ දිග කුඩයක් වන බව ඔහු ට සිහි වූයේවත් නැත.
“කොහෙද මේ යන්නෙ…”
ඇගේ දෙතොල් යන්තම් සෙලවුණා විතර ය. නමුත් ඒ ඇස් වලින් ආකාස ට බොහෝ දේ කියවා ගත හැකි විය.
“විකාර කරන්නනං හදන්නෙපා හොඳේ. යමු ගෙදර”
ඇය බැහැ යි හැඟවූයේ හිස දෙපසට සැලීමෙනි. ඒ ඇස් කැළතුණු කඳුළු පොකුණු දෙකක සිරි දැරුවේ ය. පපුව පිච්චෙනවා ආකාස ට දැනිණ. ඔහු ඇගේ අතින් එසඳි ව ගත්තේ කිසිදු ඉල්ලා සිටීමකින් තොර ව ය.
“ප්‍රශ්නයක් තියෙනවනං උත්තරේකුත් තියෙනව. උත්තරේ හොයන්න බෑ මෙහෙම. දරුවත් කර පින්නගෙන ගෙදරින් ගිහිං. ඒක දෙන්න පුටු දෙකක ඉඳගෙන කතා කරල විසඳගන්න”
“තවත් මොනාද මල්ලි විසඳගන්න තියෙන්නෙ…”
එහෙම කියනකොට ම යළිත් කඳුළු වාං දොර හැරිණ. අඬන්නෑ කියා කෙතෙක් සිතා ගත්ත ද තවමත් ඇය ට කඳුළු පාලනය කර ගත හැකි වූයේ නැත. නමුත් කඳුළු වලට කිසිත් කළ නො හැකි බව නිශාමනී දැන සිටියා ය. සිතිවිලි නිරවුල් නොවන තරමට සිත අවුල් කර දමනවා පමණකි.
“යංකො. මාත් එක්ක කතා කරන්න පුළුවන්නෙ”
ආකාස ඇගේ උරහිසින් අතක් තබා යන්තමින් ඇය ඉදිරියට කළේ ය. එහි කිසිදු ඉල්ලා සිටීමක් වූයේ නැත. නමුත් ඔහු ට අවනත නොවී ඉන්නට ඇය ට හැකි වූයේ ද නැත. එසඳි තෙමෙනවාට බියෙන් නිශාමනී කුඩය ඉහළුවා ය. එකතකින් දැරිය වඩා උන් ආකාස අනිත් අතින් නිශාමනී ව ඔහු ට ලං කර ගත්තේ ය. ඒ වෙලාවේ ඔහු ගේ හිතට දැනෙන්නා වූ හැඟීම් අමතක කොට දමන්නට හෙතෙම තැත් කළේ ය.
රිය දොර හැර නිශාමනී ව ඉදිරි අසුනට ගොඩ කළ ආකාස, එසඳි ව ඇගේ උකුලෙහි තැබුවේ ය. ඊළඟට තෙමී ගෙන ම දිව ගොස් රියදුරු අසුනට ගොඩ වූයේ ය. මඳක් ඉදිරියට වී කලිසම් සාක්කුවෙන් ලේන්සුව ගත් ඔහු දෑත් වල තෙත පිසදමා ගන්නට ගොස්, යමක් සිහි වී නිශාමනී වෙත ලේන්සුව දිගු කළේ ය.
“මල්ලි පිහිදගන්න. අපරාදෙ තෙමුණනෙ”
නිශාමනී දරුවා ඔතා ගෙන උන් ෆ්ලැනල් රෙද්දෙන් මුහුණ පිස දා ගත්තා ය. ඇය මේ විදිහට අන්ත අසරණ වේශයකින් මගට බැසීම ගැන ආකාස ගේ හදෙහි වූයේ පහසුවක් නොවේ. එය වේදනාත්මක දැවිල්ලකි. නමුත් මේ ඒවා කතා කළ හැකි වෙලාවක් නොවේ.
නිශාමනී ගිලිහෙන්නට නොදී සුසුමක් සිර කර ගෙන සිටියා ය. ඒ සීතල හිරිකඩ වදින බස් නැවතුම කොනක දැරිය හිරිකඩෙන් රැක ගනු වස් තුරුලු කර ගෙන සිටියදී ඇගේ හිත අවුරා එක ම එක ප්‍රශ්නයක් කඳවුරු බැඳ ගෙන තිබිණ. ඒ කොහේ යා යුතු ද යන්න ය. ශාරද ව ප්‍රතික්ශේප කළ දෙමාපියන් වෙත ගොස් ඔහු ගේ අගුණ කියන්නේ කෙසේ ද? අම්මාට නොව යෙහෙළියකට වුව සිය සැමියා ගේ වෙස් මුහුණ ගලවා පෙන්වා ලැජ්ජා වන්නේ කෙසේ දැයි ඇය ට සිතා ගත නො හැකි ව තිබිණ.
“මට මුද්දක් හම්බුණා ශාරදගෙ සාක්කුවෙ තිබිල. ඒකෙ එස් අකුරයි පී අකුරයි ගහල තිබුණෙ. එයා ඒක එයාගෙ කියල පිළිගත්තෙම නෑ. ඒත් මං ඒ බොරුව විශ්වාස කළෙත් නෑ මල්ලි. දැන් ටිකකට කලින් කෝල් එකක් ආව ලෑන්ඩ් ලයින් එකට. ශාරද පන්චලී කියල ගෑනු ළමයෙක් එක්ක සම්බන්දයක් තියෙනව කියල කිව්ව. මට හැම දෙයක්ම අග මුල ගලපල හිතා ගන්න පුළුවන්…”
කතාව කීවා ට අර සුසුම නො සැලී ඇගේ පපුවේ ම විය. නමුත් ආකාස ට එසේ කළ නො හැකි විය. සුසුම ඔහු ගෙන් ගිලිහිණ.
“කා ල කණ්නි”
ඔහු ස්ටියරින් වීලයට අත් පහරක් ගැසුවේ ය. දල්වා ගත් නෙතින් ද කැඩපතක් වන් මුහුණෙන් ද යුතු ව නිශාමනී බලා සිටියා ය.
“ඔෆිස් වල ඔහොම කා ල කන්නි ඉන්නව තමයි. ඔෆිස් ගැන මං නොදන්නව නෙවෙයිනෙ. උං ආතල් එකක් ගන්නෙ අනික් එකෙක්ට වරදිනව දැකල. එහෙම වරද්දන්න කරන්න පුළුවන් දෙයක් තියනවනං බෙල්ල කඩාගෙන හරි ඒක කරයි. ඒ වගේ උන්ට ගෑනු වගේ කියල ගෑනුන්ටත් අපහාස කරන්න මං කැමති නෑ”
“ඒක වෙන්න ඇති. ඒත් ඒක බොරුවක් නෙවේ මල්ලි. මට යන්න දෙන්න. මට තවත් ශාරද එක්ක බෙදා ගන්න දෙයක් නෑ. වචනයක්වත්…”
“ඔයා මං කියන දේ අහනව නේද..ම්…අයිය එක්ක කතා කරන්න දෙයක් නැති වුණාට අපි දෙන්නට කතා කරන්න පුළුවන්නෙ. ඒක නිසා ප්ලීස්…අපි ගෙදර ගිහිං කතා කරමු”
ඔහු ගේ ඇස් දෙක දෙස බලා ගෙන දැඩි වන්නට නිශාමනී ට හැකි වූයේ නැත. කිසි දා ඇය කියවා නොගත්, කියවා ගන්නට උත්සාහ නො කළ හෝ කියවා ගැනීම උවමනාවෙන් ම මග හැර සිටි කතාවක් ආකාස ගේ ඇස් වල වේ. ඒ කතාව තුළ ඇය ට කිසිදු අපල උපද්‍රවයක් නොමැති බව ඇය ඉඳුරා දැන සිටියා ය. ඒ ඇගේ ඇට මස් ලේ වලට ම දැනී තිබුණා වූ දෙයකි. ශාරද නොමැති ව ඇය ඕනෑ තරම් ආකාස සමග තනිව ගෙදර රැඳී හිඳ තිබේ. ඔහු ගේ ඒ ඇස් බැල්ම එවන් හුදෙකලා නිමේශයක වුව ඈ තුළ අනාරක්ෂිත බවක් නො දැනවූ බව නිශාමනී තරම් හොඳින් දන්නා වෙනත් කෙනෙකු නොමැත.
ගෙදරට ඇති ඉතිරි මීටර කිහිපයක දුර ගෙවා යන්නට ගත වූයේ විනාඩි කිහිපයකි. නිශාමනී ගේ උකුලේ නින්ද ගිය එසඳි ව දෝතින් ගෙන ගොස් ආකාස යහනෙහි තැබුවේ ය. ඊළඟට කාමරයෙන් පිටතට විත් නිශාමනී ගේ මුහුණ දෙස කෙලින් බැලුවේ ය. ඇය මළානික ව සිටියා ය.
“ඔය වගේ ප්‍රශ්නයක් නැති පවුලකින් අබ ටිකක් අරං එන්න කියල බුදු හාමුදුරුවො කියයි මේ කාලෙ හිටියනං. මට ෆැමිලි ලයිෆ් එක ගැන එක්ස්පීරියන්ස් නෑ තමයි. ඒත්…කලබල වෙලා ගෙදරිං යන්න යන එක මෙහෙම වෙලාවක ෆස්ට් ඔප්ශන් එක විදිහටනං මං දකින්නෑ”
ඔහු කතා කළේ සන්සුන් ව ය. නිශාමනී කට කොනකට සිනහවක් නගා ගත්තා ය. හඬමින් සිනහ වෙන එක කොයි තරම් නම් අසීරු ද?
“මං දන්නව මල්ලි. මං නොදන්නව නෙවෙයි. කොච්චර ආදරේ කරල බැන්දත් ටික කලක් එකට ජීවත් වෙනකොට නොගැලපීම් මතු වෙන්න පුළුවන්. මං කවදාවත් විශ්වාස කරන්නෑ නො ගැලපෙන දෙන්නෙක් එකට ජීවත් වෙන්න ඕනයි කියල. ගැලපෙන්නෙ නැත්තං වෙන් වෙන්න ඕන. ඩෙෆිනීට්ලි…අනිවාර්යෙන්ම වෙන් වෙන්න ඕනෙ. මොකද මේක හරි චූටි ජීවිතයක්. ඒ ටික දවස අපි සතුටෙන් ජීවත් වෙන්න ඕන. නොගැලපෙන මනුස්සයෙක් එක්ක සදහටම විඳෝ විඳෝ ඉන්න ඕන නෑ. ඒ නිසානෙ නීතියක් හදල තියෙන්නෙ…කසාදෙට වගේම දික්කසාදෙටත්…”
නිශාමනී නාසය උඩට ඇද්දා ය. දියණිය ගේ පරණ නැපි කැබැල්ලකින් මුහුණත් නාසයත් පිස ගත්තා ය. නෙළුම් පෙත්තක් සේ තැලී රතු වී ඇති ඇගේ මුහුණ දෙස ආකාස නෙතු පිය නො සලා බලා සිටියේ ය.
“මං ශාරදට කියල තිබුණා මල්ලි. මාව ගැලපෙන්නෑ වගේ දැනෙන වෙලාවට මට කියන්න කියල. මට ආදරයක් නෑ වගේ…වෙන කෙනෙකුට හිත යනව වගේ දැනෙන වෙලාවට මට කියන්න කියල. එයා කියන ඕන වෙලාවක මේ කසාද බැම්මෙන් මං එයාව නිදහස් කරනව කියල මං කියලයි තිබුණෙ. මට එහෙම කරන්න පුළුවන් මල්ලි. මං එහෙම හිත හයිය ගෑනියෙක්. සමහරු කියනව දරුවො හම්බ වුණාට පස්සෙ ළමයි ගැන හිතල එකට ඉන්න ඕනයි කියල. මන්නං ඒක පිළිගන්නෑ. ළමයි එක්කෙනෙක් නෙවෙයි දහයක් හිටියත් අපිටත් ජීවිතයක් තියනවනෙ. අපි ජීවත් වෙන්න ඕන සතුට තියන තැනක මිසක් විඳවීමක් එක්ක නෙවෙයි. මං එයාට කියල තිබුණෙ තනියම ළමයි හදා ගන්න බැරි දුර්වල ගෑනියෙක් නෙවෙයි මං කියල. හැබැයි එයාට මං පැහැදිලිවම දෙයක් කිව්වා මල්ලි. ඒ එයාට තව දුරටත් මාව ඕන නැත්තං මාව රවට්ටන්න එපා පින් සිද්ද වෙයි කියල. මට අන්තඃපුරේක අග බිසව වෙන්න ඕන කමක් නෑ මල්ලි. මට ඕනෙ මං ආදරේ කරන මට ආදරේ කරන හිඟන්නෙක්ගෙ හරි ජීවිතේ එකම ගෑනි වෙන්න. දැන දැන එයා මාව රැවැට්ටුව මල්ලි. මට එ්කයි දරා ගන්න බැරි. රැවටුණා කියන හැඟීම තමයි ඕන ගෑනියෙක්ට ඉවසගන්න බැරි වෙන්නෙ. නැතුව ඒ රවට්ටපු මනුස්සයගෙන් ඈත් වෙන්න බැරි කමක් නෙවෙයි”
කඳුළු වියළී ගිහින් තිබිණ. නමුත් නිශාමනී හීල්ලුවා ය. තවමත් ඇගේ හිත පැහැදිලි මදි ය. යන්නේ කොහේ ද කරන්නේ කුමක් ද කියා තේරුම් ගත නො හැකි ය. නමුත් ඇය එක දෙයක් නිරවුල් ව දැන සිටියා ය. ඒ තව දුරටත් ඇය ට ශාරද සමගින් එක ගමනක් එක් ව යා නො හැකි බවයි.