සීත මාරුතේ -31

ලොකු තාත්තා කියන්නේ ලොකු පවුරක් වාගේ රැකවරණයකට බව එදා මට තේරුණේ ය. අප වැඩ වලට එහෙ මෙහෙ යන ගමන් ඔහු මුණිවර ගේ කුඩා කල මතකයන් සිහිපත් කරමින් සිනහ වූයේ අලුතෙන් ම ජීවිතයක් ලැබුණා මෙනි. මුණිවර ව වඩා ගෙන ද කර මත තබා ගෙන ද පිට මත තබා ගෙන අශ්වයා පිට ගෙන යමින් ද හුරතල් කළ ආකාරය ගැන කියත්දී ඔහු ගේ බොර පැහැති ඇස් දැඩි ප්‍රීතියක ගිලී තිබිණි. ලොකු තාත්තා වසර ගණනාවක් ඒ මතක හද නිධානයෙහි සුරකිමින් දැඩි හුදෙකලා ජීවිතයක් ගෙවා තිබෙන බව මම අනුමාන කරමි. ඇතැම් විට ඔහු ට මුණිවර ඇතුළු පවුලේ අයගේ සමාගමය දැඩි ව ඕනෑ වී තිබෙන්නට ඇත. නමුත් සිය අතීතයේ අඳුරු සෙවනැලි වලට වූ බිය නිසා ම ඔහු පවුලෙන් ඈත් වූ හුදෙකලා ජීවිතයකට අනුගත වන්නට ඇත. ඇතැම් විට ලොකු තාත්තා සිතා ඉන්නට ඇත්තේ ඔහු මුණිවර ට ලං වීම ඔස්සේ අතීතය අලුත් වීමට වැඩි ඉඩක් තිබෙනා බවකි. ඒ නිසා සියලු දෙනා ගේ යහපත වෙනුවෙන් ඔහු සිය හදවතට වද දෙමින් හුදෙකලා ජීවිතයක් ගත කළා වන්නට පුළුවන.

කෙසේ වෙතත් මේ පුනරාගමනය ඔහු ව ප්‍රීති ප්‍රමෝදයට ද හදිසියේ ම දශක කිහිපයකින් තුරුණු වියට ද ගෙනැවිත් ඇරලවා තිබිණ.

දිවා ආහාර ගන්නා තුරුත් ලොකු තාත්තා රැඳුණේ මා සමග ය. මුණිවර ගේ තියුණු ඇස් කිහිප වර ඔහු වෙත යොමු වෙනු මා දුටුව ද දෙදෙනා සම්මුඛ ව දෙඩුවේ ම නැත. ලොකු තාත්තා ව මෙහි ගෙන්වා ගැනීම මගේ කුමන්ත්‍රණයක් කියා ඔහු සිතුවා ද කියන්නට නො දනිමි. නමුත් මා කෙරේ මුණිවර ගේ හැසිරීමේ රුදුරු බවක් ද මට නො දැනිණ.

“ලන්ච් වලට යමු නේද ලොකු තාත්තෙ…”

මුණිවර මගේ කුටියට එබී ඇරයුම් කළේ ය. අප දෙදෙනා ඉඳ හිට වතාවක් දෙකක් එක ට දිවා ආහාර ගෙන ඇත ද වැඩිපුර භෝජනාගාරයට ගියේ වෙනම ය. නමුත් මේ දිනයේ ලොකු තාත්තා නිසා මට ද නො යා බැරි විය.

“අම්..දැං මෙතුමිය ආරාදනා කළාද ලොකු තාත්තට මෙහෙ එන්න කියල”

අප අසුන් ගත වූ පසු මුණිවර ගේ ප්‍රථම ප්‍රශ්නය වූයේ එයයි.

“අනේ…මේ බලන්නකො ලොකු තාත්තෙ. මන්නං කිව්වෙ නෑ”

මගේ ස්වරයේ නෝක්කාඩුවක් ද තිබෙන්නට ඇත.

“ඒ දැරිවි කිව්වෙ නෑ. මටයි හිතුණෙ එන්න ඕන කියල. ඇයි උඹ කැමති නැද්ද මං ආවට…”

“අපෝ නෑ නෑ. මං කැමතියි. මං මොකටද අකමැති වෙන්නෙ..මං කල්පනා කළේ ඉතිං…අපේ ගෙදර නවතිමු කියල අවුරුදු ගාණක් අපි කියනව…ඒත් ආපු නැති කෙනා මෙයාව ඊයෙ හම්බ වුණ ගමන් ම මෙහෙට ආවෙ ඇයි කියල”

“උදේ ලොකු තාත්ත බ්‍රිජ් එක උඩ ඉඳං මාළු බලං ඉන්නව දැක්කහම මං පුදුමත් වුණා”

“අම්…ලොකු තාත්ත මොකද මේ කලිසමක් ඇඳං…”

මුණිවර ගේ ඒ ප්‍රශ්නයෙන් මා ගැස්සී යන්නට ඇත. මගේ ඇස් වහා ලොකු තාත්තා වෙතට යොමු විය. ඔහු ගේ මුහුණේ ලැජ්ජාවක සේයා ලියැවුණායි මට සිතුණෙන් මම මුණිවර දෙසට තියුණු බැල්මක් හෙළුවෙමි.

“නෑ මං කිව්වෙ…ලොකු තාත්ත සරම මිසක් කලිසම අඳින්නෙ නෑනෙ..ඒකයි…”

“මං සරමක් ඇඳං මෙතනට ආවහම රජ්ජුරුවන්ට ලැජ්ජ හිතෙයිද දන්නෑනෙ මේ මගෙ ලොකු තාත්තය කියන්න. දැං ඉතිං ඉස්සර කාලෙ වගේ නෙවෙයිනෙ. මේක මේ කොළඹ මගුල් ගේක යන්න කාලෙකට කලිං මහපු කලිසමක්. මං ඉතිං ඒක ඇඳං ආව”

මට පසුබිම වැටහුණේ එතකොට ය.

“ඉතිං ලොකු තාත්ත කලිසම ඇන්දම ලස්සනයිනෙ. තරුණ පාටයි”

“ඒ වුණාට මං කැමති ලොකු තාත්ත සරම ඇඳං ඉන්නව දකින්න. එතකොට මට මගෙ තාත්තව මතක් වෙනව. අනිත් එක මගෙ මතක පුරාම ඉන්න ලොකු තාත්ත බිම ඇතිල්ලෙන තරං දිගට සරම ඇඳල කළු බෙල්ට් එක දාපු කෙනෙක්”

“මිස්ට මුණිවරගෙ තාත්තත් ඇන්දෙ සරමද…”

ඒ මගේ හිතේ නැගුණ තේරුම් ගත නො හැකි පැනයකි.

“පුහුල්පොල මිනිස්සු ඇන්දෙ සරං මන්දාකිණී…අම්..මෑතක් වෙනකල්ම. ඒක ඒ මිනිස්සුන්ගෙ ආවේණිකත්වය කියන ෆැක්ට් එකක් කියලයි මටනං හිතෙන්නෙ. ස්පෙශලි..බිම ගෑවෙන්න සරම අඳින එක…”

“පුහුල්පොල සේරම සල්ලිකාරයො සරම තමා ඇන්දෙ. අපේ සහෝදරයෙක් තමා ඉස්සර පුහුල්පොල ලොකුම මුදලාලි. ඥාති සහෝදරයෙක්. එයාගෙ දුව බැන්දෙ රත්නපුරේ ලොකුම මැණික් කාරයෙක්ගෙ පුතා. ඒ මැණික් මුදලාලි මේ කසාදෙට කැමැත්ත දුන්නෙ අපි දෙන්නම සරමෙං අමුඩෙන් පටන් ගත්ත මිනිස්සුනෙ කියල. ඒ මුල අමතක නොවෙන්න කරන කසාදයක් විදිහට. සරම කියන්නෙ පුහුල්පොල පිරිමින්ගෙ අභිමානෙ දරුවො”

ලොකු තාත්තා ඒ විස්තරය කළේ මට ය. මගේ ගෙදර මගේ ම අය අතරේ හිඳිමින් අප්පච්චි කියන පරණ කතා අසා ගෙන කෑම කනවා බඳු නිදහස් හැඟීමක් මට දැනෙමින් තිබිණ. මේ ජීවිතය අත් හැරෙන්නට නොදී තදින් අල්ලා ගත යුතු එකකි. ලෝභ හිතෙනා ඉතිහාසයක් මුණිවර ට තියේ. ලොකු තාත්තා යනු එහි සදානුස්මරණීය සලකුණකි.

“ඒක නෙවෙයි. මං අහන්නමයි හිටියෙ. කවුද රජ්ජුරුවො අර උඩැක්කිය…”

“උඩැක්කිය…”

මට සිනහ ගියේ ය. ඒත් එක්ක ම කෑම පිටි උගුරේ ගොස් කැස්සක් ආවෙන් මම හිස මේසයෙහි හොවා ගතිමි. ලොකු තාත්තා මගේ පිටට තට්ටු කරමින් වතුර වීදුරුව ලං කළේ ය. 

“උඩැක්කියක් නේන්නං. අර උඹේ ඉස්සරහ කැරකි කැරකි හිටියෙ උදේ..”

“අම්…ඒ ඉතිං අපේ අම්මගෙ වැඩනෙ ලොකු තාත්තෙ…මං මොනා කරන්නද…”

“මං මොනා කරන්නද කියන්නෙ…උඹ තොත්ත බබෙක්ද අම්ම කියන ගෑනියෙක් කසාද බඳින්න…”

“මං බෑ කිව්ව ඉතිං”

“බෑ කිව්ව ඉතිං තමයි”

ඒ මුළු කතාව පුරා ම මා හිටියේ තදින් තොල් සපා ගෙන සිනහව තද කර ගෙන ය. නමුත් ධාරා වෙනුවෙන් යමක් නො කියා සිටින එක නොමනා කමකැයි සිත මට කීවේ ය.

“ධාරා හොඳ කෙනෙක්. හරි ඕපන්…ෆ්‍රෙන්ඩ්ලි…”

“ඒව එහෙම වෙන්න පුළුවන් දරුවො. ඒත් මිනිහෙක් කසාද බඳින්න ඕන එකට ජීවත් වෙන්නයි එකට වයසට ගිහිං මැරෙන්නයි පුළුවන් ගෑනියෙක්ව. මේ මොන ගෑනු බාගද…”

ලොකු තාත්තා කියන්නේ විචිත්‍ර මිනිසෙකැයි මට සිතිණ. උඩු රැවුලක් වැවූ තියුණු බොර පැහැ දෑසකින් ද කාලයක සිට බුලත් විට කෑ මුවකින් ද හෙබි හෙතෙම කියන්නට ඇති දෙයක් මූණට ම කීවේ ය. මිස්ට් ෆීල්ඩ් හි සේවය කරන හැම මිනිසෙකු දෙස ම තියුණු ව බලා සිටියේ සිය මොළය තුළ පරිගණක ගත කර ගන්නට මෙනි. 

ඊළඟ දවසේ ඔහු ආවේ මුණිවර කීවා සේ කමිසය යට කොට සරම හැඳ කළු බඳ පටියක් දමා ගෙන ය. ලොකු තාත්තා ගේ සැබෑ සජීවී පෙනුම එය යයි මම ද නිගමනයට ආවෙමි.

එදා අඳුර වැටී ගෙන එත්දී මුණිවර ගේ රිය ගුරු නිවාසය ඉදිරියේ නතර විය. ඒ වෙලාවේ මා සිටියේ හීතලට ගුලි වී ගෙන යූ ටියුබ් එකෙන් සින්දු බලමිනි.

“ඔන්න සර් මං කදුරුකෙත ජෙට්වින්  බුක් කළා”

ඉතා සැහැල්ලු ලෙස එසේ පවසමින් මුණිවර අසුනකට බර වූයේ ය. මුළු මහත් ඔහු වෙතින් දිස් වූයේ සැහැල්ලුවකි. සීතල තරමක් වැඩි වී තිබුණෙන් දෝ ඔහු අළු පාට ජර්සියක් හැඳ සිටියේ ය. ඒ විලාශය ඔහු ගේ සාමාන්‍යයෙන් වන බැරෑරුම් පෙනුමට ප්‍රතිවිරුද්ධ සැහැල්ලුවක් ගෙන දී තිබිණ. මම වසඟ වූ දෑසකින් ඒ මුව දෙස බලා සිටියෙමි.

“එහෙනං ඒ වැඩේ හරිනෙ. තෑන්ක් යූ පුතා. දැං…කොහොමද ඔතනට යන්නෙ..”

“අම්…මෙහෙමයි සර්. පාරවල් දෙකක් තියනව. අපි ගුරුතලාවෙ ඉඳල හපුතලේ බෙරගල කොස්ලන්ද හරහා වැල්ලවායට යමු. එතකොට අතරමගදි දියළුම හම්බ වෙනව. අපිට එන්න පුළුවන් වැල්ලවාය ඇල්ල බණ්ඩාරවෙල වැලිමඩ හරහා ගුරුතලාවට. එතකොට රාවණා ඇල්ල හම්බ වෙනව”

“වෙරි ගුඩ්. එතකොට කට්ටියට ගමන පොඩි ට්‍රිප් එකකුත් වෙනවනෙ…නේද…”

“ඇත්තටම මේ පාරවල් හරි ලස්සනයි සර්…කොලේජ් එකේ හුඟක් ඉන්නෙ පිටින් ආපු ටීචර්ස්ල හින්ද මේක එයාලට ඇත්තටම ට්‍රිප් එකක් වෙයි”

“පුතා නිසා සර් වැඩේ ලස්සනට ගොඩ දා ගත්ත නේ..”

අම්මා ගේ කතාවට අප්පච්චි ත් මුණිවරත් දෙදෙනා ම හඬ නගා සිනහ වූහ.

“අප්පච්චිගෙ වැඩේනං හරිනෙ. එතකොට මගෙ වැඩේ මොකද වෙන්නෙ..”

අතර මගදී මල්ලී මැදින් පැන්නේ කිසිවෙකු බලාපොරොත්තු නොවූ ලෙසට ය. මුණිවර ගේ මුහුණේ අර හදිසි ආකර්ෂණීය සිනහව නැගිණි.

“බාබකිව් එක නේ…”

“නැත්තං…මං මේ බල බල ඉන්නෙ ගිටාර් එක ගගහ කවදද සින්දුවක් කියන්නෙ කියල”

“එහෙනං මං වැඩේ අරේන්ජ් කරන්නද…”

මුණිවර දුරකතනයට එබෙමින් අසුනින් නැගී සිටියේ ය.

“අදද..”

“ඔව්”

“ශා…නියමයිනෙ…”

 දුරකතනයෙන් ඇමතුමක් ගනිමින් හෙතෙම  බරාඳයෙන් පඩි කිහිපය බැස පහලට ගියේ ය. මේ සීතල රාත්‍රිය තුළ උණුහුම් හිරු මඬලක් සේ මට ඔහු දැනිණ. 

“අර..ඒ ළමයට කරදර කරනවනෙ පුතා ඔයා”

අම්මා බොරු නෝක්කාඩුවක් පෑවා ය.

“නෑ නෑ. කරදරයක් නෑ. එයත් ඔය පැනලනෙ කැමති වුණේ”

නංගී ගෙන් කට කැඩුණ කතාවක් කියවේවියි බියට මම ඇය වෙත බැගෑපත් නෙතු පෑවෙමි. තවත් ටික වෙලාවක දී අවශ්‍ය කලමණා සැපයී තිබිණ. අපි කසුනි හා හංසිකා ව ද කැඳවා ගෙන ගිනි මැලයක් ගැසුවෙමු. සීතල තව තවත් වැඩි වෙන්නට විය. නමුත් ඒ සීතලේ කිසිදු කටුක බවක් මට නම් දැනුණේ නැත. මල්ලී සිය ගිටාරය ගෙන ආවේ ය. මුණිවර රියෙහි පිටුපස තිබී සිය ගිටාරය පිටතට ගත්තෙන්, මේ ඔහු සූදානම් ව ම පැමිණි ගමනක් බව මට පසක් විය.

“අපරාදෙ..කලින් දන්නවනං අපේ මන්දි ධාරාටත් ඉන්වයිට් කරනව”

කසුනි ඇනුම් පදයක් කීවා ය. මා හිනැහුණා විතර ය. ගිටාරයේ තත් පිරිමදිනා  මුණිවර ගේ හැම ඇඟිලි තුඩක්, මගේ හද තත් කම්පිත කොට තිබිණ.

මුලින් ම ගී ගැයීමේ වාරය මුණිවර මල්ලී ට දුන්නේ ය. අපි ගිනි මැලය වටේ ඉඳ ගෙන සිටියෙමු. ගිනි දැල් බුර බුරා නැගුණේ මගේ හදවත මතිනි. බාබකිව් උඳුණේ කර වන මාංශ සුවඳ හාත්පස පැතිරෙමින් තිබිණ. මල්ලිගේ ආශාව සන්සිඳීමෙන් පසු අපි සියලු දෙනා එක් ව ගීත තුන හතරක් කීවෙමු. ඉන්පසු නංගී මුණිවර දෙසට යොමු වූවා ය.

“දැන්නං මුණිවර අයියගෙ සින්දුවක් තමයි ඕනෙ. අර එදා මොකද්ද කිව්වෙ ඒජීඑම් නයිට් එක දවසෙ..”

මුණිවර ගේ ඇස් ක්ෂණිව මගේ ඇස් මත නතර විය. ඊළඟ මොහොතේ ඔහු දෑස් ගිටාරය වෙත පහත් කොට තත් හඬවන්නට ගත්තේ ය.

“මේ ගී කාටදැයි…මේ ගී කාටදැයි…ඔබ දන්නවා ඇතී…සිත මගේ පිදු හැටී සිහි වේ නොනැවතී..මේ ගී කාටදැයි මේ ගී කාටදැයි..ඔබ දන්නවා ඇතී..සිත මගේ පිදු හැටී සිහි වේ නො නැවතී…මේ ගී..”

ඔහු හිටියේ මට සම්මුඛ ව ගිනි මැලයට එහා පැත්තේ ය. මම නෙත් පිය නො සලා බලා සිටියෙමි. මට දැනුණේ වරින් වර මුණිවර ගේ ඇස් මා වෙත යොමු වූවා මෙනි. හදවත් පටක ඉරා ගෙන ඒ හැඟීම්බර හඬ මා තුළට කිඳා බසිමින් තිබිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles