හිමගිරි අරණ -46

රවිඳු කිසිවක්ම නොකියා අම්මා දෙස බලා සිටියේ ය.මේ මොහොත කිසිවක් ම කියන්නට හැකි මොහොතක් නොවේ.ඔහුට පාරමීගේ කෝපදීප්ත දෑස සිහිව ආයේ ය.

ඈ එසේ නම් ප්‍රාණසරි වී ළඟ හුන් මිතුරියට කලගුණ දක්වා අවසන් ය.

“ඔයා ඇක්සිඩන්ට් වුණාමත් ඒ ළමයා හොස්පිටල් ආවනෙ.අනේ ඇත්තටම මගෙ හිතට ඇල්ලුවෙම නැති තරම්.මට හිතෙන් නෑ පුතේ ඔයාට ඒ ළමයා ගැළපෙනව කියලා.”

රවිඳු ඒ වචන දරා ගත්තේ ය.මේ හද පුරා ගලන ආදරය රැක ගන්නට ඉදිරියේ දී බොහෝ කැපකිරීම් කරන්නට වෙන බව දැන් ඔහුට වැටහේ.නමුත් ඔහුට අම්මාගෙන් අසන්නට පැනයක් තිබිණ.ඒ ප්‍රශ්නය විමසූ පසු ලැබෙන පිළිතුර අනුව මේ කතාවේ ඉදිරිය තීරණය කරන්නට ඔහු ඉටා ගත්තේ ය.

“අම්මා ඇයි හිතන්නේ එයා මට ගැළපෙන් නෑ කියලා?”

ඔහුට කුමක්දෝ හේතුවකට හිමාෂා නමින් හඳුන්වා දෙන්නට සිත් නොදුන්නේ ය.අම්මා ඉදිරියේ ඇගේ නම පවසද්දී පවා ආදරය සැඟවීම අපහසු වන්නට ඉඩ ඇතැයි ඔහු අනතුරුව සිතන්නට වූයේ ය.නමුත් ඒ නම නොපැවසීම ම මොනතරම් නුවණැති ක්‍රියාවක්දැයි රවිඳුට සිතුණේ ඊළඟ මිනිත්තු කිහිපයේදී ය 

“එදා ඔයාව බලන්න ඉස්පිරිතාලෙ ආවම මට ඒ ළමයා මුණ ගැහුණනෙ.”

එසේ පැවසූ රවිඳුගේ අම්මා, සුරම්‍යා ඊළඟ වචන කියන්නට වඩා සංවර ක්‍රමයක් ගැන සිතුවා ය.ඕනෑම මොහොතක ඇය පුතුන් දෙදෙනාට රතු එළි පෙන්වන්නට ඉස්සර කරගන්නේ කලනි ය. දුමිඳු ඇයට දියණියක සරි ලේලියක සොයා දුන්නේ ය.රවිඳු ද සොයා ගත යුත්තේ එවැනි තරුණියක බව සුරම්‍යා සිතුවා ය.

“ඒ ළමය හිටියෙ ඔයාව අයිති කරන් වගේනෙ පොඩි පුතේ.කලනි අක්කත් මට ඒක කීප වතාවක් ම කිව්වා.අනික ගෑනු ළමයෙක්ට එච්චර විසයක් මොකටද? “

රවිඳුට මේ අන්ධකාරයෙන් මිදී අම්මාගේ මුහුණෙහි ඇති හැඟීම් කියවා ගන්නට උවමනා විය.අම්මා පවසන්නේ හිමාෂා ගැන නොවේ.ඇය එවැනි දාංගලයක් ඇති ගැහැනියක නොවේ.මවක් වීම හන්දා ම ඇය තුළ හික්මවූ ගතියක් සහ සංවර බවක් ඔහු සෑම මොහොතක ම අත් වින්දේ ය.

“අම්මට කවුද පාරමීයි මායි අතරෙ සම්බන්දයක් ගැන කිව්වෙ? ඔෆිස් එකේ කවුරුහරි ද? නැත්නම් එයාමද?”

හිමාෂාගේ නම නොකියන්නට ප්‍රවේසම් වුව ද ඔහුට පාරමීගේ නම කියන්නට බියක් දැනුණේ නැත.අම්මා මේ පවසන්නේ ඇය ගැන මිසක හිමාෂා ගැන නොවන බව ඔහුට දැන් හොඳින් තේරුම් ගොස් අවසන් ය.දැන් තිබෙන්නේ ප්‍රහේලිකාව විසඳාගන්නට ය.

“ඔයා කියන්නේ එහෙම සම්බන්ධයක් නෑ කියලද?මමයි අක්කයි තීරණය කරා මෙහෙම කතාවක් ඇදෙන්න ඒ සම්බන්දෙ ඉස්පිරිතාලේ නැවතිලා හිටපු දවස් වල ම පටන් ගන්න ඇති කියලා.”

අම්මාගේ කටහඬ පුදුමයෙන් පිරී ගොස් තිබේ.ඇයත් කලනි අක්කා සොයා ගන්නා සමහර ආරංචි වලට කිසිම ජීව ගුණයක් නැති බව මේ මොහොතේ අම්මාට පැවසිය යුතු බව රවිඳු තීරණය කළේ ය.එය අයියාගේ ද ඔහුගේ ද ඉදිරි දවස් වලට ඔහු ප්‍රයෝජනවත් කතාවකි.

“හිතේ සැකයක් තිබ්බට අපි ඕවා ඔයාගෙන් අහන්න ගියෙ නෑනෙ.ඒ නිසා මටයි අක්කටයි එහෙම කතා කියන්න එපා පොඩි පුතේ.”

අම්මා සුපුරුදු දෝස්මුර නගමින් තාවර වෙමින් හිඳියි.හිස වටා අත යවා නාසය ඇල්ලීමට රවිඳුට මේ මොහොතේ උවමනාවක් නොවේ.ඔහුට අවශ්‍ය ඒ කතාව මතු වූ තැන සොයා ගන්නට ය.අද පාරමී දවමින් තිබූ කෝපය අනුව කේලමක් ලෙස අම්මාගේ කන වැටෙන්නට වුවමනා ඇය ගැන නොව හිමාෂා ගැන බව ඔහු තවමත් විශ්වාස කරයි.

“ඔයාව වෙනුරි රවට්ටන්න ඇති.ඒ උනාට පොඩි පුතේ හිත හදාගන්න හරි මොකකටම හරි ඔය තව ගෑනු ළමයෙක්ව රවට්ටනවා නං ඒක නරක වැඩක්.ඔයා මේ හැසිරෙන විදිහෙන් මට හිතෙන්නෙ එහෙම දෙයක්.”

අම්මාගේ රට පැටලවීමේ කතා රවිඳුට අසා හිඳින්නට අසීරු ගතියක් දැනිණ.ඔහු ප්‍රේමය හමුවේ පරාජිතයකු ද රැවටීමට හසු වූ ප්‍රේමවන්තයකු ද වූ බව සැබෑවකි.නමුත් සමස්ත ස්ත්‍රී වර්ගයාගෙන් ම පලිගන්නා හැඟීමක් ඔහුට කිසි දිනක ඇති වී තිබුණේ නැත.

“අපි අපේ ජීවිත කාලේ රැවටීම් වලට අහු වෙන්න පුළුවන්.ආදරේ සෙනෙහස පෙන්නගෙන අපට ළං වෙන ගොඩක් මිනිස්සු කරන්නේ අපිව රවට්ටන එක තමයි.එක මනුස්සයෙක් අපේ හිත කඩල බිඳලා දාපු පලියට තව කෙනෙක්ගේ හිතක් කඩලා බිඳලා දාන එකනම් හොඳ වැඩක් නෙමෙයි.”

අම්මාගේ හඬ පිරී ඇත්තේ ශෝකි ස්වරයකිනි.පුතුගේ හදවත මනු දහමින් පිරී ගිය එකක් බව ඇය තරමට දැන සිටි අයෙකු නොවේ.නමුත් පරාජිත ප්‍රේමය ඔහුව නොමිනිසෙකු බවට පත් කර ඇතිදැයි ඇය හදිසි බියකින් සසැලෙමින් හුන්නා ය.

“මට පාරමීගේ අම්මා අද හවස කතා කරා.ඔයාලා අතර සම්බන්දයක් තියෙන එකේ මේ කාරණා කල් දාන එකේ තේරුමක් නෑ කියලා ඒ මනුස්සය කියනව.ඔයා පාරමීගේ නම ඇහුණත් උඩ බිම බලනවා.මොකක්ද පුතේ මේ කතාවේ අග මුල?”

රවිඳු ඒ වචන අසා අතිශය කැලඹීමට පත් වූයේ ය.පාරමී,ඇගේ උමතු ප්‍රේමයේ ඇගේ අම්මාද තමන්ගේ අම්මා ද ගිල්වීමට තැත් කිරීම සමාව නොදිය හැකි වරදක් බව ඔහු හොඳින් දනියි.මේ කතාව තමන්ගේ අම්මාට පැහැදිලි කර දෙන තරමේ පහසුවකින් ඇගේ අම්මාට පැහැදිලි කර දෙන්නේ කෙසේදැයි සිතන්නට වූයේ ය. 

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles