(අ)හිමි සිහින -154

පූජාවට අවශ්‍ය බව පැවසූ සෑම ආහරයක්ම මම පිළියෙල කළේ මගේ දෑතින්.බිත්තර වර්ග ක්‍රම කිහිපයකට,හාල්මැස්සන් මස් මාළු ආදියත් පරිප්පු ව්‍යංජනයකුත් සැකසීමට සිදුවුණා.ඉන්පසු විශාල බත් මුලක් බඳින්නට කටයුතු කළා.මේ සියල්ලටම සුදාරකගේ කනිෂ්ඨ සේවකයන් මට විශාල ලෙස උපකාර කළා.නමුත් ඔහුගේ පවුලේ උදවිය මේ කටයුත්තට කිසිම කැමැත්තක් දැක්වූයේ නැහැ.මම මේ විෂයට කිසිසේත්ම ඇලුම් කළ කෙනකු නොවෙයි.ප්‍රකට දේවාල වලට යමින් මන්තර ගුරුකම් කටයුතු සම්බන්ධයෙන් නිතරම වෙහෙසුණේ ඔවුන්.දෙවියන්ට බාරයක් වීම හැරෙන්නට මම දේවාලයකට ගියේ ම නැති තරම්.නමුත් ඔවුන් මේ පූජාවට දැක්වූ අසතුට මට පුදුමයක් වුණා.

“පුහුල් හොරා කරෙන් දැනේ කියන්නේ මේවට වෙන්න පුළුවන්.”

මේ සිදුවීම සිදුවීමට සුදාරකගේ පවුලේ අයට මොනවා හෝ සම්බන්ධයක් ඇතැයි මට සිතුණේ ඔවුන්ගේ හැසිරීම නිරීක්ෂණය කිරීමේදී.

මේ පූජාව කළ අය ඉතාමත් භක්තිමත් ලෙස රටේ ප්‍රසිද්ධ බෞද්ධාගමික සිද්ධස්ථාන වල විශාල පූජාවන් සිදු කරන අය.ඔවුන් සියල්ලටම ඉහලින් සැලකූයේ බුදුදහමට.මේ කටයුත්ත සම්බන්ධයෙන් පැකිලෙන්න ට මට උවමනාවක් වූයේ නැහැ.නමුත් මා අදත් ඔබට කියා සිටින්නේ මෙය විශ්වාසය මත පදනම් වූ කතාවක්.මා මේ ඔබට කියන්නේ මේ ජීවන අත්දැකීම් මත ලියැවෙන කතාවක් නිසා.ඔබට  මෙය බැහැර කිරීමට හෝ පිළිගැනීමට සම්පූර්ණ අයිතිය තිබෙනවා.

බත් පත මත බිත්තරයක් තබා ඒ මත ඇඟිලි තබා ගන්නට යැයි මට පැවසුවා.ඉන්පසු පූජාව ඇරඹුනා.මඳ වේලාවක් ගතවෙද්දී

මට මා පාලනය කරගත නොහැකි බව මට වැටහෙන්නට වුණා.මම බත් පත අනන්නට පටන් ගත්තා.එය කිසිසේත්ම මට නතර කර ගන්නට හැකියාවක් තිබුණේ නැහැ.දකුණු අතෙන් බත්පත අනමින් වම් අතින් දකුණු අත අතගාන්නට මම පටන් ගත්තේ ඉවීමට ස්තුති කරන්නාක් මෙන්.මම හොඳ සිහියෙන් සිටියත් වැලමිටෙන් පහල අත මට පාලනය කර ගන්නට බැරි වුණා.

“ඔයාට දීපු දෙයක් තියෙනවා මොනවම හෝ නරක දෙයක් ඔයාට කවන්නට සලස්වලා තියෙනවා.”

පූජාව කරන තරුණිය මට එසේ පැවසුවා.එය ඇත්තේ උගුර බව ඔහු පවසා සිටියා.ඉන්පසු විශාල වශයෙන් ගාථා සජ්ඣායනය කිරීම ඇරඹුණා.මට වමනය කිරීමට උවමනාව ඇති වුණත් එය කිරීම ඉතා අපහසු වෙමින් මම සෑහෙන පීඩාවක් විඳින්නට පටන් ගත්තා.එය මතක් කිරීමට පවා අපහසු වේදනාවක්.සැබෑවටම මට දියණිය ලැබෙන්නට වත් එතරම් අමාරු නොවූ බව මට තවමත් හොඳින් මතකයි.නමුත් මට අවසානයේදී වමනය පිට වුණා.අඟලක් පමණ දිග කළු පාට තීරුවක් පිටතට විත් තිබුණා.

“මේක කොස් ඉරුවක් මතුරපු මේ කොස් ඉරුව පොළොස් වෑංජනේකට දාල තමයි නෝනට දීලා තියෙන්නේ.”

එවැනි මතයක් පළ වෙද්දි මට එය අදහා ගැනීමටත් අසීරු වුණා.මෙය සුදාරකගේ නැගණියගේ නිවසේදී භෝජන සංග්‍රහයක් අතරතුර මට කවන්නට සලසා ඇති බව ඇය පැහැදිලිව ප්‍රකාශ කර සිටියා.පවුලේ තිබූ අර්බුද හෝ කිසිවක් ම නො දන්නා තරුණියක් මෙවැන්නක් කිරීම ගැන මට තවමත් ඇත්තේ පුදුමයක්.නමුත් ඉන්පසු කිසිම දවසක මට උගුරේ අමාරුවක් ඇති වූයේ නැහැ.රටේ ප්‍රචලිත වෛද්‍යවරුන්ට පවා සුව කරන්නට නොහැකි වූ, රෝග නිධානයක් සොයා ගැනීමට නොහැකි උගුරේ අමාරුව ඉතා පුදුම සහගත ලෙස සුව වී තිබුණා.මිථ්‍යාවක් යැයි සියල්ල බැහැර කිරීමට නොහැකි බව මට වැටහුණු සිදුවීමක් තමයි ඒ.නමුත් මට එය අදහා ගැනීමට තවමත් නොහැකියි.මෙවැනි කාරණා සම්බන්ධයෙන් මම කිසිම පිළිගැනීමක් නොතිබීම එයට හේතුව වන්නට ඇති.

නමුත් එය එසේ සිදු වුණා.

සිදුවීමෙන් පසු ඉතා පුදුම සහගත දෙයක් සිදු වුණේ මගේ ජීවිතය තවත් දිශාවකට හරවමින්.ඒ සිදුවූ සිදුවීම් මාලාව ජීවිතයේ මෙතුවක් මා ලැබූ සියලුම වේදනා වලට වඩා වැඩි වේදනාවක් බව නොකියාම බැහැ

ඒ කතාව හෙට සිට ඔබ සමග බෙදාගන්නට මම  මඟ බලා සිටිනවා.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles