සුහදිනි -04

“හොඳට කල්පනා කරලා බලපං.සූරියකාන්ත කතාව කොහෙදිද කිව්වේ?”

සියුම් දුරකථන ඇමතුමක් දී එසේ අසද්දී එවැනි කතාවක් කොහේ හෝ කියා නැති බව අහස් ස්ථිර කළේ ය.තමන්ගේ ප්‍රියතම දේ අතර සූරියකාන්ත මල් වන බව සියුම් ඒ යුවතියට නොකීවානම් ඇය දැනගැනීමේ කුඩා ඉඩක් හෝ නොමැත.

“කෙල්ලන්ගෙන් ඇහුවට කොල්ලන්ගෙන් අහනවා ද බං කැමතිම මල මොකක්ද කියලා.”

අහස් එසේ අසන්නේ සැහැල්ලුවෙනි.ඔහුගේ නිවසට පැමිණ කළ සම්මුඛ සාකච්ඡා මෑතකදී වූයේ නැත.එනිසා ඔහුගේ සූරියකාන්ත මල් ගස් කිහිපය කිසිවෙකුත් දකින ඉඩක් නොමැති බව සියුම් නැවත සිතී ය.

“සාරන්‍යා කාටහරි කිව්වද දන් නෑ.”

එසේ සැක පහළ කරමින් ඉන්නවා වෙනුවට එය සකීගෙන්ම අසන්නට සියුම් සිතී ය.ඇය ඒ කෙටි පණිවිඩයට එවා තිබුණේ සරල පිළිතුරකි.

“අහස් මල්වලට කැමති ඇති කියලා මම හිතුවා.ටිකක් අමාරු දවස්,මහන්සි දැනෙන දවස්වල ඒ චිත්‍රෙ එයාව හීල් කරයි කියලත් මට හිතුණා.”

එය කතාව එතැනින් නවතන්නට හේතුවකි.එසේ නම් මේ යුවතිය මේ සිදු කර ඇත්තේ අතිශය සාමාන්‍ය ක්‍රියාවකි.නමුත් ඒ චිත්‍රය සැබෑවටම අහස්ව නිවන්නට හේතු වෙතැයි සියුම්ට සිතිණ.එය ඉක්මනින් අහස් අත තබන්නට ඔහුට ඕනෑ විය.

“හරි මෝඩයි ඉතිං.අඩුම තරමේ චිත්‍ර ඇඳල අප්ලෝඩ් කරපු පේජ් එක ආයේ ටිකක් ඇක්ටිව් කරලා සියුම් අයියට ඒ ලින්ක් එකවත් දෙනව.”

නිම්නා අලුත් යෝජනාවක් ගෙන ආවා ය.ඒ සකී චිත්‍රය සියුම්ට දුන් බව දැන ගත් මොහොතේ ය.අසාර්ථක වෙමින් සිටිය ද ක්‍රිකට් කණ්ඩායමේ ආකර්ෂණය වැඩිම ක්‍රීඩකයා අහස් ය.ඔහු සමග ඡායාරූප කිහිපයක් ගැනීමේ සිහින් ආසාවක් නිම්නාට ද රන්මිණිට ද නොතිබුණා නොවේ.

“ඔච්චර අවුරුදු ගාණක ක්‍රෂ් එක චිත්‍ර විකුණලා දෙන මාර්කටින් එකක්වත් පටන් ගත්තොත් ඒත් මදැයි”

ඔවුන් කියන පන්නයේ හැඟීමක් තමන්ට අහස් කෙරෙහි නැතැයි නැවත නැවතත් තර්ක කිරීමෙන් ඵලක් නොවන බව සකී හොඳින්ම දැන සිටියා ය.ඇය එනිසාම සිහින් සිනාවකින් ඒ කතාව මඟ හරින්නට තීරණය කළා ය.සමහර දේවල් සම්බන්ධයෙන් තර්ක කිරීම ඵල නොවේ.සිදුවන්නේ මෙවැනි දෙයක් බවට විස්තර කිරීමට නොහැකි සිදුවීම් ඉස්සර කරන්නට යාම ඊටත් එහා නිශ්ඵල ක්‍රියාවකි.ඒ නිසා නිහඬ වත පිරීම තෝරා ගන්නට සකී තීරණය කළා ය.

“මේ ළමයට කෝල් කරල තෑන්ක්ස් කරපං.මම ඇත්තටම කිව්ව උඹ මුණගැහිලා මේක දෙන්න කියලා.කොල්ලො ගොඩක් උඹට සෝෂල් මීඩියා වල බනින්නෙ උඹ ෆේල් වෙන හින්දම නෙමෙයි නේ.උන්ගේ කෙල්ලන්ගෙ ක්‍රෂ් එක උඹ හින්දා.මේ ළමයත් කොල්ල තරහ වෙයි කියල බයටද කොහෙද උඹේ කාලේ නාස්ති කරගෙන උඹව හම්බ වෙන්න ඕන නෑ කිව්වේ.ඒ නිසා කෝල් කරලා තෑන්ක්ස් කරපං.වෙලාවක් තියන වෙලාවක.”

සියුම් චිත්‍ර ලබා දුන්නේ එසේ කියන අතර ය.සියුම්ගෙන් ලබා ගත් දුරකථන අංකයට සකීට ඇමතුමක් දෙන්නට අහස් තීරණය කළේ සවසක ය.තමන්ගේ රුව ජීවමාන මෙන් දිස්වන ඒ සිතුවමට වඩා කහ පැහැති සූරියකාන්ත මල් යාය ඔහුගේ සිත් ගත්තේ ය. උත්සාහයෙන් මෙපිට කිසිම දෙයක් නොලැබෙන බවත් අතිශය සිත් රිදුම් කාලයක පවා දරා ගැනීම මිස කිසිම විසඳුමක් නොමැති බවත් සකී එහි ඉංග්‍රීසි භාෂාවෙන් ලියා තිබුණි.අත පය කඩාගනිමින් තමන්ගේ අසමත්කම පෙන්වන නොවැදගත් මිනිසෙකු බවට රටේ බහුතරයකින් අපහාස විඳින තමන්ට එවැනි ධෛර්යයක් දෙන්නට සිත් වූ යුවතියට කතාකර ස්තුති කරන්නට ඔහුට ඕනෑ විය.

එහෙත් ඇය දුරකථනයට පිළිවදන් නොදුන්නා ය.ඒ නාඳුනන අංකය ඔහුගේ බව අංක හඳුනා ගන්නා ඇප් එක පවසද්දී පවා ඇය ඒ ඇමතුම පැමිණෙන ආකාරයේ බලමින් ඔහේ බලා සිටියා ය.ඔහු ඇයට අමතන දවසක් පැමිණ තිබේ.නමුත් ඇයට පිළිතුරු දෙන්නට ධෛර්යයක් තිබුණේ නැත.ඒ ධෛර්යය උපයාගන්නට ද සකීට නුවුමනා විය.

ගල්මුල් වෙනුවට මල් පොකුරු උවමනා වූ කාලයක මල් යායක් ම ඇඳ එවන්නට තරම් ළතෙත් හදවතක් වීම ගැන ඔහු යුවතිය වෙනුවෙන් ස්තූතියක් ලියා එවී ය.ඇමතුමකට පිළිතුරු නොදෙන තරමට අහංකාරියක නම් ඇය චිත්‍ර දින්නට තමන්ගේ කාලය වැය කරන්නේ නැත.එනිසා ඔහු දිගු කෙටි පණිවිඩයක් යවන්නට වගබලා ගත්තේ ය.

“මට නම් හිතෙන්නෙ මිනිස්සු උඹෙන් ඈත් වෙන්න සාරන්‍යා හේතුවක්.මහන්සි වෙලා චිත්‍ර දෙකක්ම ඇන්ද කෙල්ලක් වුණත් ෆෝන් එක ආන්සර් නොකරා කිව්වම පුදුමයි නේ.සාරන්‍යා කතා කරලා බනියි,ෆේස්බුක් එකේ හෑල්ලක් ලියයි වගේ බය හිතෙනකොට මිනිස්සු උඹට කිට්ටු වෙන්නේ නෑ.”

සියුම් තමන්ගේ මතය ආටෝප නොමැතිව ප්‍රකාශ කළේ ය.සාරන්‍යා සමීප වූයේ අතිශය සාර්ථක වූ කාලයක බව අහස්ට අමතක නොවේ.ඒ කාලයේ තරුණයන් තමන් පූර්වාදර්ශයක් කර ගත් අතර යුවතියන් රහස් ප්‍රේමය එළිපිට පෙන්වීමට මැලි වූයේ නැත.එහෙත් සමාජජාලාවල ආදරය උතුරා යන තැනක ඒ ආදරයට අපහාස කරන්නට සාරන්‍යා නොමැලි විය.නිසි වයසේ විවාහ විය යුතු බව,දැඩි ලිංගික අසහනයකින් පෙළෙන බව වැනි අපහාස ඇය යුවතියන්ට කරන්නට පෙළඹුණේ ප්‍රසිද්ධියේ ය.ඒ ඔවුන් අහස්ට ඇත්තේ ලෝකයේ ඇති ලස්සනම සිනාව බව ඔහුගේ ඡායාරූප යටින් ලියා තබද්දී ය.පොදු ස්ථානයකදී ඔහු සමග ඡායාරූපයක් ගන්නට පොර කෑ බොහෝ අයව නිර්දය ලෙස බැහැර කරන්නට ද පෙළඹුණේ සාරන්‍යා බව අහස්ට අමතක කළ නොහැකි ය.එසේ බලද්දී සියුම් මේ පවසන කතාවේ අසත්‍යයක් නොවේ.

“උඹට කාලයක් රෙස්ට් කරන්න වෙයි වගේද?”

දක්ෂයන් නිරන්තරයෙන් බිහි වෙන රටක තමන්ගේ දක්ෂතා පෙන්වන්නට පසුබට වෙද්දී අවස්ථාව අහිමිවී යාමේ අවදානමක් ඇද්දැයි සියුම් අහස්ගෙන් සෘජුව විමසී ය.මේ අහස් ක්‍රිකට් පුහුණුවීම් වලට ගොස් පාඩම් මඟ හැර ගනිද්දී ඔහුගේ ගෙදර වැඩ ගණිත අභ්‍යාස කළ ළමා කාලය නොවේ.නමුත් මිත්‍රත්වය වෙනසක් වන්නේ නැත.ඒ කාලයේ අහස්ට උපකාර කළ අයුරින්ම නොවුණත් මේ කාලයේ පවා ඔහු අසල රැඳෙන්නටත් උපකාර කරන්නට හැකි බව සියුම් දනියි.ප්‍රථමයෙන්ම විය යුතු වන්නේ අහස්ගේ මානසිකත්වය නොබිඳී පවත්වා ගැනීම ය.

“මොන දේ වුණත් මිනිස්සු කඩා වැටෙන්න හොඳ නෑ.කඩා වට්ටන මිනිස්සුන්ට ජීවිතේ ඉඩක් දෙන්නත් හොඳ නැහැ.”

සියුම් එසේ පැවසුවේ අහස්ට ජීවිතය සම්බන්ධයෙන් බරපතල තීරණයක් ගන්නට බල කරන්නට සිතමිනි.කෙනෙකුගේ ප්‍රේමයකට බලපෑම් කිරීම දැඩි ප්‍රාථමික හැසිරීමක් බව ඔහු දනියි.නමුත් එය නොකර බැරි තැන් ද  පැමිණේ.මේ එවැනි මොහොතකි.

(ඔබේ අදහස් ලියා යන්න.)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles