උසස් පෙළ ප්‍රතිඵල පැමිණි දවසේ රාත්‍රියේ අම්මා විශේෂ කෑම වේලක් සැකසුවා ය. මතක ඇති කාලයක අපේ ගෙදර කුකුළු මස් පිසුණේ එදා ය. හැන්දෑවේ ගෙදර පැමිණි අම්මා මා වෛද්‍ය පීඨයට සුදුසුකම් සහිත ව විභාගය සමත් බව දැන ලස්සන සිනහවක් පෑවා ය. ඒ සිනහව මා හඬවාලිය හැකි තරමේ එකක් වී ද මම යටි තොල් පට සපා ගෙන ද මොහොතකට හුස්ම නතර කර ගෙන ද ඉක්මන් ඇස් පිය සලමින් ද හැඬුම නවතා ගතිමි.
අපට අකුරක් උගන්වා ඇස් පාදන්නට ය කියා අප දන්නා දවසේ පටන් අම්මා අපරිමිත දුක් වින්දා ය. මහ පාන්දර පටන් රෑ වන තුරු ම බැල මෙහෙ කළා ය. දුම් කෑවා ය. පපුවේ හතිය තිබියදීත් ළිප් ළඟ හිඳ පපුව තැම්බෙන්නට හැරියා ය. මේ මොහොතේ ඇගේ මුවෙහි පිපුණු සිනහවේ අරුත වූයේ ඒ හැම දුකකින් ම ඇය අවසානයේ එතෙර වූ බවට හැඟීමක් ද? නැත. අපේ කර පිටින් එතෙර වීමේ හිතිවිල්ලක් හෝ ඇය ට නොවූ බව මම ඉතා හොඳින් දන්නෙමි. ඒ ජයග්‍රාහී සිනහව අප එතෙර කිරීම පිළිබඳ එකකි.
හාල් තුනපහ ටිකක් ගෙනෙන්නට කඩයට ගිය විට මුදලාලි අම්මාගේ ඇඟේ කුකුළු මස් ගසා තිබෙන්නේ බලයෙන් සේ ය.
“අනේ අපිට මොන කුකුල් මස්ද මුදලාලි”
කියා අම්මා කියන්නට ඇත.
“ඇයි බං අද නො කන කුකුල් මස් ආයෙ කවද කන්නද…උඹ ගෙවල් වල පර වැඩ කරල හරි දෝණියද්දැව දොස්තර නෝනා කෙනෙක් කළානෙ..ඒ සතුටට කුකුල් මස් කාහල්ල. පස්සෙ මට සල්ලි දීහංකො”
කියා ඔහු ශීතකරණයේ අධි ශීත වෙමින් සිටි බ්‍රොයිලර් කුකුලෙකු ද බඩු මල්ලට දමා අම්මා ට දී තිබේ.
ඒ කෑම වේල මට අදටත් මතක ය. කුකුළු මස් උයා පරිප්පු සුදට උයා අම්මා පපඩම් ද බැද්දා ය. කාලෙකට පස්සේ එදා මල්ලී බඩ කට පුරා කෑවේ ය. මා වැඩිමනත් සතුටු වූයේ ඒ ගැන ය යයි සිතමි.
කෑම කෑවාට පස්සේ අම්මාත් මල්ලීත් මමත් දොරකඩ උළුවස්ස උඩ ගුලි වී හිඳ ගෙන අහස දෙස බලා සිටියෙමු. තාරකා වලින් අහස පිරී තිබිණි. මල්ලී සිටියේ මා හා අම්මා අතරින් හිඳ ගෙන අප දෙදෙනා ගේ ම දෙපා සිය දෑතින් අල්ලා බදා ගෙන ය. මහ ගෙදර මිදුලේ වැඩී ඇති රූස්ස ගස් වල අතු පතරින් රිංගා හමා ආ සුළඟ සිහිලැල් ය. මම හදිසියේ කඩා වැටෙන තරුවක් දුටිමි. ‘අර’ කියා මල්ලී ට එය පෙන්වීමට පෙර මට ද එ’තරුව නො පෙනී ගියේ ය. උල්කාවක් ව කඩා වැටී නිවෙන්නට තරුවට සිත් වන්නට ඇත. තරුවකට වුව නිවීමක් අවැසි ය.
කඩා වැටෙන තරුවක් දෙස බලා ගෙන පැතූ පැතුමක් ඉටු වෙන බව කුඩා කල මා අසා දැන ගත්තේ කාගෙන් ද කියා දැන් මට මතක නැත. තරු කඩා වැටෙනයුරු නො දකිමින් වී ද මගේ හිතේ වසර ගණනාවක පටන් පැතුමක් විය. ඒ කෙසේ හෝ ඉගෙන ගෙන රැකියාවක් කොට අම්මා හා මල්ලී බලා ගන්නවා කියනා එක ය.
“දැං ඔය කියන දොස්තර විභාගෙ කරන්න හුඟක් සල්ලි ඕන වෙයිද පුතේ…”
ඝණඳුර ද සුළඟේ ගීතය පමණක් සහිත වූ නිහැඬියාව ද බිඳිමින් අම්මා නිවුණු හඬකින් විචාලා ය. ‘පුතේ’ යන පොදු ඇමතුම නිසා ඈ විචාලේ කාවද යන්න නිශ්චිත නැති වී ද මම හෙමිහිට මුණිවත බින්දෙමි.
“ලොකුවට ඒව හිතන්නැතුව ඉමු අම්මෙ. මේ වුණ හැටියට ඒවත් සිද්ද වෙයි”
“මේ විදිහටම කට්ට කාල සුදූව කොහොම හරි ගොඩ දාමු අම්මෙ. දෙසැම්බර් වලින් පස්සෙ මාත් නිකං ඉන්නෙ නෑ”
මහ මිනිසෙකු සේ ඒ දෙඩුවේ මගේ මල්ලී ය. මම ඔහු ගේ උරහිස තද කොට මිරිකුවෙමි. ඒ මගේ හිතේ ආවේගය පිට කරන්නට ය. මල්ලී ට රිදුණා විය යුතු ය. නමුත් ඔහු ‘හ්ම්’ කීවේවත් නැත.
“යන තැනකට යන්න ඕන අපි එකට මල්ලි. එකට දුක් විඳින්න පුළුවන් වුණානං එකට ඔය කියන ගොඩ යාම යන්නත් අපිට පුළුවන්”
“ඒක හරි. ඒත්..සුදූ ඩොක්ටර් කෙනෙක් වුණාට පස්සෙ අපි නෑදෑකම් පවත්තන්න නොගැලපෙන අය වෙන්නත් පුළුවන්. ඒත් කමක් නෑ. මං ඒකයි කියන්නෙ. සුදූව එතනට යවා ගත්තනං එච්චරයි”
“මාව අඬවන්නෙපා බූරුවො”
මම ඔහු ගේ ගෙල වටා දෑත ම යවමින් මල්ලී ගේ හිස තදින් මගේ පපුවට තුරුලු කර ගතිමි. මල්ලී මගේ දෑත සිය අත් දෙකෙන් ම අල්ලා ගත්තේ ය. අම්මා හඬනු පෙනුණේ නැත ද ඇය නාසය උඩට අදිනා සිහින් හඬ ද මට ඇසුණ අතර පහත් වී ගවුම් සායෙන් මූණ පිහිදනයුරු මම දුටිමි. විභාගය සමත් වීම සතුටක් නොවී අපට කඳුළක් ම වූයේ ඇයි දැයි මොහොතකට මට සිතී නො සිතී ගියේ ය.
“මං හවසත් කිව්වනෙ. අම්ම වෙනුවෙන් වගේම මං වෙනුවෙනුත් ඔයා කරන්න ඕන රස්සාවක් ගැන හිතන එක නෙවෙයි…ඒ ලෙවල් කරන්න හොඳට ඕ ලෙවල් පාස් වෙන එක. අපිට වෙන මාර්ගයක්වත් ගැලවුම් කාරයෙක්වත් නෑ මල්ලි”
“මට ඕව තේරෙන්නෑ. දුක්ම විඳපු මේ ගෑනි මැරෙන්න කලින් උඹල අර මධාරා බබාල ලෝචන බබාල වගේ ලස්සනට කාල ඇඳල ජීවත් වෙනව දැක්කොත් ඇති”
මල්ලී ගේ උරයෙන් ගත් වමත අම්මා වටා ලමින් මම ඇයව ද මගේ සිරුර ට ලං කොට ගතිමි. අම්මා ළඟින් දහදිය පුසුඹක් හැමුවේ ය. ඒ ඇගේ ජීවන සුවඳ සේ මගේ මතක ඉතිහාසයේ තැන්පත් ව තියේ. දවල් දවස පුරා ම අම්මා සිටින්නේ ඔය සුවඳ ද සමග ය. ඒ දවල් දවස පුරා ම ඇය ගෙදරක වැඩ කරනා බැවිනි. හැන්දෑවට ගෙදර ඇවිත් කඩේ ගොස් උයා පිහා අපට කන්නට ද බෙදා දී දිය නා ගැනීම ඇගේ දීර්ඝ කාලීන පුරුද්ද ය. එසේ දිය නා ගත් පසු අම්මා ළඟින් ලයිෆ්බෝයි සබන් වල කාබලික් සුවඳ වහනය වේ. ජීවිතයේ මා වඩාත් ම කැමති සුවඳ ඒක ය.
“මේ ටිකත් අල්ලන් ඉමු”
මල්ලී එසේ කීවේ කාට ද? අම්මා ට ද? ඔහු ට මද? නැත්නම් මට ද? මම නො දනිමි. අප සියලු දෙනා ම තව දුරටත් අල්ලා සිටිය යුතුව තිබිණ. නමුත් කොපමණ කාලයක් එසේ කළ හැකි වනු ඇත්ද කියා මම නො දැන සිටියෙමි.
“මහ මනුස්සයට වාසනාව නැති වුණා මේව දකින්න”
අම්මා ට කියවිණ. මගේත් මල්ලී ගේත් මුහුණු භෞතික වශයෙන් උනුන් වෙත නො හැරී ද අප මනසින් උනුන් දෙස බලන්නට ඇත. අම්මා ඔය අපේ ජීව විද්‍යාත්මක පියා ගැන යමක් සඳහන් කළේ කාලයකට පස්සේ ය. ඇය ට ඔහු අමතකව ම ගොස් ඇතැයි මම සිතා සිටියෙමි. නමුත් අපට සේ ම ඇයට ද ඔහු අමතක නොම වී යටි හිතේ ඈත කොනක නිදා සිට ඇති බව, මේ ක්ෂණික නිමේශය තුළ මම පසක් කොට ගතිමි. මල්ලී යමක් පවසනු ඇතැයි මා බලා සිටිය ද ඔහු වදනකුදු බිනුවේ නැත. පපුවේ යමක් සිරවී තිබුණා විනා මට ද වචනයක් සොයා ගත හැකි වූයේ නොවේ.
තාත්තා කියන්නේ මට නම් ඡායාවක් ලෙස හෝ මතකයේ ඇති තැනැත්තෙකු නොවේ. නමුත් මල්ලී අම්මා ගේ කුසයට එන තුරු ම ඔහු අප සමග හිඳ තිබේ. ඒ මේ මහ ගෙදර වත්තේ නම් නොවේ. අම්මා කියනා ලෙසට කුළී නිවසක ය. එකල අපේ ජීවිත සුවයෙන් සනීපයෙන් ගෙවී ගිය බව බෝ කලකට පෙර අපේ ළමා වියේ දී, කුකුල් පැටවුන් දෙදෙනෙකු පිරිවරා ගත් කිකිලියක සේ හැන්දෑවට කඩේ යන ගමන් අම්මා අපට කියා තිබේ. අප කුඩා කල අම්මා මධාරා අක්කලා ගේ ගෙදර වැඩ කොට පැමිණි ඉක්බිති කඩේ ගියේ අප දෙදෙනාව ද කැටිව ය. මල්ලී අම්මාට ඔහු වඩා ගෙන යන්නට කියමින් කරදර කළ දවස් මට මතක තිබේ. එතකොට මම පොඩි කමට ඔහු වඩා ගෙන යමි. ඒ අම්මා වෙහෙස වී ඉන්නා බව මා දැන සිටි හින්දා ය. කුසගින්න කියන්නේ කුමක් ද කියා නො තේරෙන දැරියක සන්දියේ පටන් අම්මා ගේ වෙහෙස යනු කුමක් දැයි මම දැන සිටියෙමි.
“මෙන්න මේකාගෙ කාලකණ්ණි කමට තමයි බඩට ආව ගමන්ම මහ එකා අම්මණ්ඩිව දාල යන්න ඇත්තෙ”
ඉතා ම ඈත මතකයක ආච්චි මමී ගේ ඒ වචන නිදන් ගත වී තිබී වරින් වර මට සිහි වූයේ ය. ඇය ඒ කියූ දා කෙසේ වී ද පසු ව එය සිහි වන වතාවන් වල මම සිතින් ආච්චි මමී ට රැව්වෙමි. ඒ මල්ලී මට මගේ ජීවිතයේ ඇති ලොකු ම වස්තුව නිසා ය. මල්ලී කිසි සේත් ‘කාලකණ්ණියෙකු’ වන්නේ නැත!
තාත්තා අම්මා ව අතැර ගොස් ඇතිවා නොවේ. අම්මා තාත්තාව අතැර දමා ඇවිත් ය. මේ බව මා දන්නේ ද කුඩා කල අම්මා සේ ම මහ ගෙදර ඇත්තන් ද වරින් වර කියූ කතා ඇසීමෙනි. අපට යමක් කමක් තේරෙන්නට ගත්තා ට පස්සේ අම්මා තාත්තාව අත්හැරීම ගැන කිසිදු පැහැදිලි කිරීමක් අප වෙනුවෙන් සිදු කොට නැත. ඒ කාලේ ඇහුණ කතා බස් වලට අනුව තාත්තාට තවත් දරු පවුලක් ඇති බව දැන ගත් දාක අම්මා මල්ලී කුසයේ සිටියදී ම මාව ද ඔක්කේ ගසා ගෙන තාත්තා ගෙන් සදහට ම වෙන් ව ඇවිත් තිබේ. පසුව ආච්චි මමීලා කතා කරනු මට ඇසුණ ලෙස තාත්තාට තව දරු පවුල් දෙකක් ම වේ. එකක් අම්මා හා විවාහ වීමට පෙර සිට පැවති දරු පවුල ය. ඒ කාන්තාව නෛතිකව විවාහ කර ගැනීමක් සිදු ව නැති නමුදු අම්මා හා විවාහ වන විටත් ඇය තාත්තා ට දාව දරුවන් තිදෙනෙකු බිහි කොට තිබේ. සීයා අම්මාව තාත්තා ට විවාහ කොට දී තිබෙන්නේ එවැන්නක් නො දැන ය. පුදුමය නම් නෛතික විවාහයක් කර ගැනීමෙන් පසු ද තාත්තා නො නැවතීම ය. ඔහු ගේ තෙවන බිරිඳ ගේ වැඩිමල් පුතා මගේ වයසේ ම බව පසුව අම්මා දැන ගෙන තිබේ.
“ඒ වගේ මිනිහෙක් එක්ක පවුල් කනවට වැඩිය මට මේ දරුවො දෙන්නත් එක්ක හිඟා කන එක නම්බුයි”
එදා අප කර පින්නා ගෙන මහ ගෙදර එත්දී, ඊට මාස කිහිපයකට පෙර සීයා මිය ගොස් සිටියේ ය. ආච්චි මමී අප ගෙදරට වද්දා ගැනීමට මැළි වූ නිසාවෙන් අම්මා දර මඩුව අස් පස් කොට අප දෙදෙනා සමග එහි පදිංචි වූවා ය. තවමත් අප මෙහි සිටින්නේ ඒ පිම්ම බව කීවාට කිසිවෙකු පිළිගනු ඇත්ද කියා නො දනිමි.
එදා මට නින්ද නොගියේ විභාගය උසස් ලෙස සමත් වූ සතුටට ද නැත්නම් තාත්තා සිත මතුපිටට විත් ඇති කළ කැළඹුම නිසා ද කියන්නට මම නො දනිමි.
අපේ ගෙදර වූ කලී එක කාමරයක් බව මම මීට පෙර ඔබට කියා ඇත්තෙමි. අපේ පොත් තබා ගන්නා කුඩා මේස කැබැල්ලක් හැරුණු විට එහි වූයේ ඇඳුම් දමා තබනා කාඩ්බෝඩ් පෙට්ටි ටිකක් පමණකි. එද අප ට නිදා ගන්නට තිබුණේ ඉතා කුඩා ඉඩකි. මල්ලී මේසය යට පැදුරු කැබැල්ලක් එලා ගෙන නිදා ගත් අතර මා හා අම්මා ඊට යාබද ව වැතිරෙමු. අප කෙතරම් අපේ සිරුරු වලට සමීප ව සිටියෙමුද යත් අපේ හුස්ම හඬවල් පවා මැනෙවින් ඇසුණේ ය. ඒ රාත්‍රියේ මට පමණක් නොව බෝ රැයක් වන තුරු අප තිදෙනා ගෙන් කිසිවෙකුට නින්ද ගියේ නැත. සියල් කැළඹීම් අතරේ ලෝචන මදුරාපුර ගේ පැනය, “ඔයාට මාත් එක්ක කතා කරන්න මොනාත් ඇත්තෙම නැද්ද නිබ්බුතා” යන පැනය හද බිත්ති අතරේ නින්නාද වෙමින් තිබුණේ ය.