නිබ්බුත ගීත – 10

මධාරා අක්කා හා විවාහාපේක්ෂිත ව සිටින තරුණයා ඔවුන් ගේ නිවසට පැමිණි දිනය මගේ දිවියේ සුවිශේෂී මතක අතරේ පවතින්නකි. එදා ඇය ලා දම් පැහැති ඔසරියක් හැඳ කොණ්ඩා ගෙඩියක් ගෙල මුලට බැඳ අගස්ති මාල ද හවඩි ද කොණ්ඩා කූරු ද පැළඳ උඩරට සම්ප්‍රදායික කුමාරියක සේ පේ වී සිටියා ය. ඒ රූපය කෙතරම් නෙත්තාකර්ෂණීය වූයේ ද යත් මනාලයාට ඇය ව එදා ම කැන්දා ගෙන යන්නට සිතේවියි මම බිය වීමි. එදාට අඳින්නට සුදු මල් වැටුණ කහ පාට ගවුමක් මට අලුතෙන් ම අරගෙන දුන්නේ ද මධාරා අක්කා ය. සති අන්තයක අපි නුගේගොඩ ගොස් ප්‍රකට ඇඳුම් හල් ජාලයක ශාකාවකින් එය මිල දී ගතිමු. මගේ රුචිකත්වය හා තෝරා ගැනීම මත ගත් ප්‍රථම ඇඳුම එය යයි සිතමි. 

ඒ ගවුම ඇඳ ගෙන උදයෙන් ම එහි ගොස් ගේ අතුගාත්දී ලෝචන මදෙස බලා සිටියේ කාන්දම් ඇස් දෙකකින් කියා සිතමි. ඒ වෙලාවේ ගෙතුල කලබලකාරී බවක් නොවන්නට, ඔහු ගේ ඇස් පමණකුදු නොව මුව ද දොඩමළු වන්නට තිබිණ. 

“අනේ ඔය ගවුමට දාඩිය දාගන්නැතුව ඉන්න කෙල්ලෙ. ඔය තරං අතු ගාන්න දෙයක් නෑ. වලාකුළකිං බැහැල නෙවෙයි මගෙ කුමාරය මාව බලන්න එන්නෙ”

වරක් මධාරා අක්කා මගේ අතින් කොස්ස ගනිමින් එසේ කියත්දී ලෝචන එතැනින් ගියේ ය.

“අපේ බ්‍රදර් ඉන් ලෝ ට ටැපලිල මෙයාව ඉල්ලයිද දන්නෑ”

ඔහු එසේ කීවේ වැඩි හඬක් පිට නොවන සේ ය. මධාරා අක්කා ‘බකස්’ ගා සිනහ වූවා ය.

“කියන්නත් බෑ තමයි. කෙල්ල අද සුරංගනාවක් වගේ. ටු බී ඩොක්ටර් නිසා මගෙ කොල්ලා අදහස වෙනස් කර ගන්නත් බැරි නෑ තමයි”

“මන් දන්නව මං එහෙම ලස්සන නෑ කියල. ඒ අයියගෙ ඇස් හොඳට පේනව ඇති. ඒ නිසා නොහොමටවත් එහෙම දෙයක් වෙන්න විදිහක් නෑ”

මා කීවේ ලැජ්ජාව ද ආඩම්බරය ද මුහු වූ ස්වරයකින්, රතු වූ වතක් ඇතිව ය. ඇස් තටු ඔසවා බලත්දී ලෝචන ගේ පිරිමි ඇස් මත්තේ වූ මග හැර යා නො හැකි යමක් තුළ මගේ ගැහැනු ආත්මය පාරක් තොටක් හොයා ගත නො හැකි සේ මංමුලා වෙනවා දැනිණ. මා ඔහු ගෙන් මිදුණේ යම් අසීරුවකිනි. අපේ හදවත් එකට බැඳී තිබී මගේ කොටස ඇද කඩා වෙන් කර මගේ පැත්තට ගත්තා වන් අපහසුතාවක්, හුස්ම ගැනීමේ අසීරුවක් මට දැනිණ.

මනාලයාගේ පාර්ශවය ආවාට පස්සේ ගෙදර අය හිටියේ සතුටු සාමීචියේ ය. තේ මේසයක් සූදානම් කිරීම හැරුණ විට එදා ආහාර පිසීමක් නොවුණෙන් කුස්සියේ ලොකු වැඩක් වූයේ නැත. කෑම පිටතින් ඇණවුම් කොට තිබිණ. කරන්නට විශේෂ යමක් නො කිබුණෙන් මම ගෙයි පැත්තකින් මිදුලේ වන පොකුණ අසලට ගියෙමි. ඒ ගෙදර, මධාරා අක්කා ගේ කාමරය හැරුණ විට මා කැමති ම තැන එතැන ය. කහ පාට මල් වැල් එල්ලෙන ඇහැල ගහක් එතැන සෙවනට වැවී තිබූ අතර ගහ යට සිමෙන්ති බංකුවක් සවි කොට තිබුණේ එහි හිඳ ගෙන පොකුණේ දිය බුං කෙළිනා විශාල කාෆ් මසුන් දෙස ඕනෑ තරම් වෙලා බලා සිටිය හැකි වන සේ ය. පොකුණ ඉවුරේ වූ තාරකා මල් පඳුරු කිහිපය, මා ගෙනැවිත් දැමූ බීජ වලින් ප්‍රරෝහණය වූ ඒවා ය. ඒ මල් පඳුරු දැන් කහ පාට කාරකා මල් සිය දහස් ගණනක් දරා ගෙන තරු පිරි අහස සේ දිස් වේ. මම පොකුණ ඉවුරේ හිඳ ගතිමි. කහ හා තැඹිලි ද තැඹිලි කළු මිශ්‍ර වූ ද දීප්තිමත් සළු හැඳ උන් කාෆ් මාළුවෝ දිය රැළිති නංවමින් විත් මා ළඟ නැංගුරම් ලා ගත්හ. උන් ට කන්න දෙන්න යමක් ගෙන නො ආ එක ගැන පසුතැවීමක් මට ඇති විය. ආයේ නැගිට කුස්සියට යන්නට දිරි වඩා ගත නො හැකි අලස කමක් ද වූයෙන් මා එතැන සිට ම මසුන් දෙස බලමින් තාරකා මලක් දෙකක් කඩා කොණ්ඩා කරලේ ගැවසීමි. ලෝචන ගේ කැමරාවට මා නො දැන ම හසු වී තිබුණේ එතැන දී ය. ‘නිබ්බුත ගීත’ ලෙස නම් කොට ඔහු සිය අනාගත ඡායාරූප ප්‍රදර්ශනය වෙනුවෙන් ඒ සේයාරුවත් එක් කර ගත් බව මා දැන ගත්තේ පසුව ය. 

ටික වෙලාවක් එතැන ගත කොට මා යළි කුස්සියට යන විට අම්මා පේන්නට හිටියේ නැත. නමුත් ලෝචන එහි එමින් සිටියේ ය. 

“මට කූල් ඩ්‍රිංක් එකක් දෙනවද නිබ්බුතා”

කියා ඔහු ඉල්ලීමක් කළෙන් මම නැගිට ශීතකරණය වෙත ගොස් සිසිල් බීම බෝතලයක් ගෙන, වීදුරුවක් සෝදා එය සිසිල් බීම වලින් පුරවා යළි හැරී බලත්දී ලෝචන එහි සිටියේ නැත. මම බීම වීදුරුව කුඩා බන්දේසියක තබා ගෙන ඉස්සරහා පැත්තට ගියෙමි. 

“ඇයි නිබ්බුතා”

මධාරා අක්කා මා දැක මවෙත ආවේ කරුණාවත් හඬකින් හා බැල්මකිනි.

“ලෝචන අයිය කූල් ඩ්‍රිංක් එකක් ඉල්ලුව”

“මෙතන නෑ කෙල්ලෙ. බලන්න රූම් එකේ වෙන්නැති”

මා බීම එකත් ගෙන කාමරයේ දොරකඩට යන විට ඔහු සිටියේ පිටුපා ගෙන ජනේලය ළඟ ය. ඒ ජනේලය අසලට පොකුණ මැනවින් පෙනෙනා බව මට අවබෝධ වූයේ ඒ වෙලාවේ ය.

“අයියෙ ඩ්‍රිංක් එක”

මම දොරකඩ සිට කීවෙමි.

“ගේන්න නිබ්බුතා”

කියමින් ඔහු හැරුණේ ය. මම අඩි කිහිපයකින් ඔහු ට ලං වීමි. ලෝචන හිටියේ තවමත් බිත්තියට හේත්තු වූ ගමන් ය.  බීම වීදුරුව අතට ගන්නා ගමන් ඔහු මගේ දුප්පත් ඇස් වල අනන්ත දුරකට කිමිදී ගත්තේ ය.

“අපිට මෙහෙම දවසක් එන්නෙ කවදද…”

මා අවට ලෝකය බෝම්බ පහරකින් විසුණු වූවා සේ දෙදරීමක් ආත්මයේ අත්‍යන්ත ගැඹුරක සිදු විය. මගේ දෘශ්‍ය පථය පවා ඒ මොහොතේ අවහිර ව, බොඳ ව යන්නට විය. මට ඔහු ඇසූ දේ නෑසුණාවත්දැයි සැකයෙන් මම “ආ..” ගෑවෙමි.

“මං ඇහුවෙ…ඔයාව ඕනෙ කියන්න නිශාන් අයිය වගේ මට එන්න පුළුවන් වෙන්නෙ කවදද කියල”

“ඒ කිව්වෙ…”

මම වේගයෙන් ඇස් පිය සැළුවෙමි. හදවතේ හඬ ලී මෝලේ මැෂින් ක්‍රියාත්මක කර ඇති අවස්ථාවක සේ පිටතට ද ඇසුණේ ය. ලෝචන මේ කියවන්නේ මොනවා ද? ඔහු ට යම් කිසි තැනක් අමතක වී හෝ අතපසු වී ද? මට නො තේරුණේ එය ය.

“ඒ කිව්වෙද…”

එහෙම ම දොර වෙතට ගොස් එය වසා දැමූ ඔහු බීම එක මේසය මතින් තබමින් මවෙත ආවේ ය. 

“ඒ කිව්වෙ මං කවදද ඔයාව ඉල්ලන්න එන්නෙ කියල…වෙන කොහෙන් හරි එන අපතයෙක්ට ඔයාව අරන් යන්න දෙන්න බෑ”

මට හුස්මක් ගන්නට හෝ ඉසිඹුවක් නො තිබූ මොහොතක ලෝචන මදුරාපුර මාව ඔහු වෙතට ගෙන ඉතා තදින් මා වැළඳ ගත්තේ ය. ඒ දෑතත් පපුවත් අතරේ දැඩි ග්‍රහණයට නතු වෙත්දී හෘද ස්ඵන්දනයට කවරක් සිදු වී ද මගේ ඇස් පියන් නම් වැසී ගිය බව විශ්වාස ය. ලෝචන ගේ ලවන් තදින් මගේ මුහුණ සිප ගනු දැනුණේ එසේ ඇස් පියවී තිබියදී ය. 

තත්පර ඉතා දිගු වෙනවා නම් මම කැමති වීමි. ඇස් දෙක පියා ගෙන තව ඕනෑ තරම් වෙලා එහෙම ඉන්නට මහ පුදුම ආශාවක් මට දැනිණ. ලෝචන හැඳ උන් කමිසය මගේ අතට පොඩි වී තිබෙනු දැනුණේ ය. කොයි මොහොතක හෝ දොර විවර වූවොත් සිදු විය හැකි විනාශය ගැන ඇස් දෙක පියවී තිබූ ඒ මොහොතේත් මා නො දැන සිටියා නොවේ. නමුත් කවරක් සිදු වුණත් මට ඒ මොහොත මග හැර යන්නට ඕනෑ වූයේ නැත. සදෙව් ලෝකයක සුවය මට ලෝචන තුරුලේ දැනිණ. ඒ වගේ මොහොතක් හිතේ හැටියට විඳ ගත්තාට පස්සේ මිය ගියත් මොකද කියා යටි හිත කොඳුරා කීවේ ය. අපි කොහොමටත් මිය යන මිනිස්සු වෙමු. අපි දුක් විඳ ම මිය යන මිනිස්සු වෙමු. සතුටක් කියා දෙයක් හීනයෙන් හෝ නො දැක මිය යන මිනිස්සු වෙමු. එහෙව් එකේ මොහොතක හෝ සතුටක් හිත පුරා ම විඳ මිය ගියා ම මොකද? 

“මට ඔයාව ඕනෙ නිබ්බුතා…මං ඔයාට හරි ආදරෙයි”

ඔහු කොඳුරනවා ඇහුණේ ය. බෝම්බයක් පිපිරුවා සේ මා අවදි වූයේ එතකොට ය. පපුව පැලෙන්නට එන වේදනාවක් මා කීරි ගස්වමින් තිබිණ. ලෝචන මෘදු ලෙස මා මුදා හැරියේ ය. බිය වී තැති ගත් දෑසින් ඔහු දෙස බලා මම කාමරයේ දොර හැර ගෙන නික්මුණෙමි. ඒ පිම්ම ගෙදර ම දිව්වේ යන බවක් මධාරා අක්කාට හෝ නොකියා ය. 

පාර දිගට ම මට හැඬුණේ ය. ඉස්සරහාට කවුරුන් මුණ ගැහුණාද කියා වගක් මට නොවූයේ ය. මල්ලී පාසල් ගොස් තිබුණෙන් ගෙදර කිසිවෙකු වූයේ නැත. ගෙතුල බිත්තියක් මුල්ලේ බිම හිඳ ගත් මම ඉකි බිඳිමින් හැඬුවෙමි. විටෙක කෑ ගසමින් හැඬුවෙමි. නමුත් ඒ කෑ ගැසීම වූයේ මා තුළ ම ය.  වක්කඩ කැඩුවා සේ කඳුළු ගලා ගියේ ය. හුස්ම හිර වෙන තරමට ඉකි ගැසුණේ ය. නමුත් මා හඬන්නේ ඇයි දැයි මම නො දැන සිටියෙමි.

සමහර කතා ඇරඹුණු මොහොතේ ම අවසාන වෙයි. මට ඔහු හිමි වූ මොහොතේ ම අහිමි වී ගිය සෙයක් දැනුණේ මන්දැයි තේරුම් ගත නො හැකි ය. තේරුම් කළ ද නො හැකි ය. සමහර ජීවිත පරමායුෂ වැළඳී ද ජීවත් වී නැත්තා සේ දැනේ. නමුත් මට ඒ මොහොත, ජීවිත සිය ගණනක් ජීවත් වූ බවට හැඟීමක් ගෙන ආවේ ය. කඳුළු පැල්ලම් දිය දෝතකින් හෝදා ගෙන මම බංකුව මතට වීමි. දැන් මගේ දෙතොලතර මන්දස්මිතයකි!

තාරකා මල් යාය කහ පලසක් ව දිස් වේ. මගේ අලුත් කහ පාට ගවුමේ සුවඳ මට දැනේ. දැන් ඒ සුවඳ ට ලෝචන ළඟ දැනෙනා පිරිමි සුවඳ මුහු වී ඇත්තේ ය. මට සඳනි සිහි විය. කවදාවත් මදෙස සිනහ මුසු මුහුණකින් බලා හෝ මෘදු ලෙස වදනක් තෙපලා නැති මදුරාපුර මැතිණිය ද මට සිහි වේ. ලෝචන ගේ සුවඳ මම තව තවත් මගේ හදවත තුළ ම සඟවා ගමි.

“කාටවත් කියන්නෙවත් නැතුව ඇවිත්”

කියමින් ලෝචන කටුකම්බි වැට පැන ආවේ බෑග් එකක් එල්ලා ගෙන ය.

“අක්ක මේක දෙන්න කිව්ව”

කියමින් ඔහු ඒ බෑග් එක මවෙත පෑවේ ය. කෑම සුවඳ මට දැනිණ. 

“මං කිව්වෙ ඇත්ත. ඒක බොරුවක් නෙවේ. කවදාවත් ඔයාව රවට්ටල මුලා කරන්න හිතාගෙන නෙවෙයි මං මේකට ෆේස් කළේ. වතුරට පනින්නැතුව පීනන්න බෑනෙ. ඕන දේකට මූණ දෙන්න ඔයා ඉස්සරහින් මං ඉන්නව. ඒ ලෙවල්ස් වලට අවුරුද්දක් තියාගෙන මං මේක ඔයාට කිව්වෙ කිසි දෙයක් අවුල් කරන්න නෙවේ. දැන් ඔයා තවත් මහන්සි වෙලා වැඩ කරන්න ඕන. අලුත් අරමුණක් ඇතුව වැඩ කරන්න ඕන”

මා හිටියේ බිමට යොමා ගත් ඇස් වලින් ම ය. 

“නොකෙරෙන බව දැන දැන නොකෙරෙන දේවල් වලට අපි පැටලෙන්නෙ ඇයි අයියෙ…”

කියා අසන්නට මට ඕන වුණ මුත් ඒ තරම් ධෛර්යයක් සොයා ගන්නා එක පහසු වූයේ නැත. අනිත් අතට මේ හීනය තුළ තවත් ටිකක් කල් ජීවත් වීමේ බොළඳ ආශාවක් ද මා තුළ නූපන්නා ම නොවේ.

“ඔයා ඇයි වචනයක්වත් කතා කරන්නැත්තෙ…”

මම කෙළින් ඔහු ගේ මූණ බැලුවෙමි. සත්තකට මා මොනවා කියා කතා කරන්න ද? එදා පමණක් නොව ඒ වසර පුරාවට ම මට සිදු වූයේ මුණිවත රකින්නට ය. අනිත් අතට සඳනි ළඟදී වෙනදා නොදැනුණ විදිහේ වරදකාර හැඟීමක් දැනෙන්නට වූයේ ය. සිදු වූ දේ නො සඟවා ඇය ට කියන්නට මට අවැසි නො වූවා ම නොවේ. නමුත් එහෙම දෙයක් කියා කොයි තරමක් නම් මා ඇගේ හිත රිදවන්න ද? 

ලෝචන ඉන්පසු මගේ අධ්‍යාපන කටයුතු වලට බාධා වන ආකාරයට කිසිවක් කීවේ කළේ නැත. වෙනදාටත් වඩා මා ඔහු ඉදිරියේ ගොළු වූ නමුත් කවර කලකටත් වඩා මේ වසර තුළ දී මම ඔහු වෙත බැඳෙමින් සිටියෙමි. හැම මොහොතක ම ඔහු මහදේ සිටියේ ය. මගේ සියලු අවශ්‍යතා ගැන සොයා බලා ඔහු ඒවා සපුරාලූවේ ය. උසස් පෙළ පන්තියේ ගත කළ වසර දෙකක කාලය මගේ පාසල් දිවියේ සශ්‍රීක ම කාලය බව කිව හැක. 

උසස් පෙළ ප්‍රතිඵල පැමිණි දවසේ ලෝචන අපේ ගේ දොරකඩ ලෑලි බංකුවේ මා ළඟින් හිඳ “ඔයාට මාත් එක්ක කතා කරන්න මොනාත්ම නැද්ද නිබ්බුතා” කියා අසත්දී මගේ පපුවේ හිර වූ යමක් තිබිණි. නමුත් එය සොයා එළියට ගෙන ඔහු ට කියා ගන්නට තරම් තවමත් මම දිරිය දැරියක නොවුණෙමි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles