(අ)හිමි සිහින -231

පොලීසි හබය නිමාවුනේ මිනිස්සු ගැන මගේ හිතේ ඇතිවූ කලකිරීම දෙගුණ තෙගුණ කරමින්.මිනිස්සු අවස්ථාවාදී බව මම දැන සිටියා එහෙත් ලැජ්ජා නැති මිනිසුන් මම මේ ප්‍රසිද්ධියේ දකිනවාමයි.වෛරය තන්හාව පලිගැනීම වැනි දේවල් මිනිස්සු කොච්චර අන්ධ කරනවාදැයි සිතන විට මට මානුෂික සබඳතා ගැන ඇතිවෙන්නේ ප්රශ්නාර්ථයක්.

ඔබත් මමත් කිසිදා දැක නැත්නම් ඔබට හෝ මට අප එකිනෙකා දන්නේ නැතැයි කීමට හැකියි.නමුත් කාලාන්තරයක් එකට සිට එකට ආගිය කාබී ඇසුරු කල මිනිසුන් හිටි අඩියේ එකිනෙකා ජීවිතයට නොදන්නා සේ හැසිරීම විහිලු සහගත නොවේද.සුධාරක ගේ පවුලේ අය මා ජීවිතයට දැක නැතැයි නොකියා ” අපි මෙයා එක්ක ඉස්සර හොඳට හිටියා.ඒත් දැන් තරහයි” කීවා නම් ඊට නම්බු යැයි මට සිතෙයි.මේ වැඩුනු මිනිස්සුන්ට වඩා බාලාංශ පන්තියක කුඩා දරුවෙකුට බුද්ධිය ඇතැයි මම සිතමි.

එසේම බොරුවෙන් කවදාවත් ජයගන්නට නොහැක.බොරු කීම ඒ අවස්ථාවේදී සහනයක් සේ පෙනුනත් බොරුවෙන් ගෙවෙන ජීවිතයක් සෑම විටම බයෙන් සැකෙන් චකිතයෙන් ගෙවන්නට සිදුවන බව අනිවාර්යයි.කෙනෙක් සිතනවා නම් එය ජීවිතයේ සහනය කියා ඒ පුද්ගලයා ගැන මට ඇතිවන්නේ විශාල කණගාටුවක්.

පහුගිය කාරණයේ දී මා සුධාරකගේ නිවසේ මවිසින් ගෙවූ බිල්පත් පිලිවෙලට සකසා තිබීම මට මගේ නිදොස් බව පෙන්නන්නට ලොකු සාක්ෂියක් වුනා.ඒ ගැනත් මට ඔබට කියන්නට යමක් තිබෙනවා.

විශ්‍රාමික රාජ්‍ය බැංකු කලමණාකරුවෙකු වූ මගේ පියා සෑම විටම ඉතා පිලිවෙලට පිරිසිදුව වැඩකල අයෙක්. ඔහු කල සියලු දේ කාලාන්තරයක් පවතින ලෙසත් නීත්‍යනුකූල ලෙසත් ඉටුකරන්නට ඔහු වගබලාගත්තා. තාත්තා නිවසේ සියලු බිල්පත් නියමිත දිනට ගෙවා එහි රිසිට්පත ස්ටේප්ලර් කර ෆයිල් කවර තුල පිලිවෙලට තැන්පත් කලා. එපමණක් නොවෙයි.ඔහු නිවසට ආ රාජකාරි ලිපි පවා ඒ ලියුම් කවරය සමග අමුණා සුරක්ෂිතව තැබුවා.ඒ කාලයේ කෙල්ලක වූ මට ඒවා පෙනුනේ තේරුමක් නැති දේවල් හැටියටයි.

සින්නක්කර තමන්ගේ වූ දේපලකට මොකට මේවා එකතුකරනවාද.එසේ ඇසූ දාක තාත්තා මට මෙලෙස පැවසුවා

“අපිට අනාගතේදි මූණදෙන්න වෙන ගැටලු දැන් පේන්නෙ නෑ.තමන් ගේ අයිතිය හෝ නිර්දෝශ බව හෝ පෙන්නන්න තියෙන ලිඛිත සාක්ෂි ටිකක් හෝ අපි තියාගත්තට වරදක් නෑ.එතකොට තමා වඩාත් සුරක්ෂිතයි”

මම ඒතරම් දුරට ඒ කාලයේ ඒවා ගැන නොසිතුවත් වගකීම් දරන්නට මම පටන්ගත් කාලයේ සිට මට නිරායාසයෙන්ම ඔහුගේ සමහර පුරුදු පුරුදවුනා.යමක් මිලදී ගත් වහාම එහි රිසිට්පත වීසිකරන්නට පුරුදුවී සිටින මම එනමුත් වැදගත් බිල්පතක් එය ගෙවාදැමූ රිසිට්පතටම අමුණා සුරක්ෂිතව තැබුවේ කවදාහරි උවමනා වේ යැයි සිතා නොවෙයි.නමුත් මට ඒවා ආශිර්වාදයක් ව පැමිණියේ දෛවෝපගත ලෙසටයි.

සුධාරකට මෙවන් අභාග්‍යසම්පන්න ඉරණමකට මුහුණදෙන්නට සිදුවේ යැයි මා කිසිදා සිතුවේ නෑ.මම ඔහු ආදරයක් සෙනෙහසක් හා පිළිසරණක් ඉල්ලාගෙන දෙවන වතාවේ මා ලඟට ආ දා පටන් මවක් දරුවෙකු රැකගන්නා සේ ඔහු රැක බලාගත්තා.බිරිඳකගේ සියලු යුතුකම් හා වගකීම් ඔහු වෙනුවෙන් ඉටුකලා.ඒ බව දැන සිටියේ අපව ඉතාමත් සමීපයෙන් ඇසුරුකල මිනිසුන් පමණයි. මම ඔහුව ජීවත්කිරීම ගැන අදටත් මට ඇත්තේ මහා සහනයක්.නමුත් අදටත් වෛරී අදහස් ඇත්තන් පවසන්නේ මම ඔහුගේ සැප පහසුකම් බලාගෙන ඔහු හා සම්බන්ධ වූ බවයි.නමුත් මට අපහාස කිරීමේ පරමාර්ථයෙන් කියන කතා හැරුණුකොට ඔවුන්ට ඒ කතා ඔප්පුකරන්නට කිසිවක් නැහැ. නමුත් ඒ කතා බොරුකරන්නට අවශ්‍ය ඕනෑම මාධ්‍යයක සාක්ෂි මා සතුයි.

කිසිදු සාක්ෂියක් නැතිව මා ඔහේ කියවන ගෑණියක වූවා නම් අද මට මගේ නිර්දෝෂී භාවය ඔප්පු කරගන්නට හැකිවන්නේ නැහැ.ඒ නිසා ගැහැණියක හැටියට ඔබ යමක් කරනවා නම් ඒ දේවල් වල ඔබේ දායකත්වය කවදා හෝ ඔප්පුකරන්නට හැකි ඔබ වෙනුවෙන් පෙනී සිටින්නට හැකි සියලු දේ සුරක්ෂිතව තබාගන්න.එය ලිපියක් වන්නට පුලුවන් ජායාරූපයක් වීඩියෝවක් හෝ කුඩා තුණ්ඩු කැබැල්ලක් හෝ වන්නට පුලුවන්.නමුත් ඒ කුමක් හෝ වේවා ජීවිතයේ අසීරුම අවස්ථාවකදී ඔබේ නිර්දෝශීබව ඔප්පුකරන්නට මහත් පිටිවහලක් වන්නට පුලුවන්.

මම මතක එකතුකරන්නියක්…ජීවිතයේ මොන දේටත් වඩා මම මතක සටහන් වලට හරි ලෝබයි.ඒ නිසාම මම හැම විශේෂ අවස්ථාවක්ම මා සතුවූ දුරකථනයෙන් ජායාරූප හා වීඩියෝ ගතකරගත්තේ මගේ හිත සුව පිණිස පමණයි.නමුත් ඒවා අද මට බලවත් සාක්ෂි ලෙස ඉතිරිවී තිබෙනවා.සුධාරක ගේ පවුලේ මිනිසුන් ලඟ මා සමග සිටින ජායාරූපයක් හෝ නැතිවෙන්නට පුලුවන්.ඒ ඔවුන්ට මා හෝ ඒ මතක සටහන් හෝ කිසිවක වටිනාකමක් නොතිබූ නිසා.නමුත් මට එසේ නොවෙයි.එනිසාම ඔවුන් හිතන්නට ඇති ඔවුන් කියන කිසිවක් ඔප්පුකරගන්නට බැරිතරම් මෝඩ ගැහැනියක් ලෙස මා ජීවත්වන්නට ඇති කියා.

එහෙත් ඔවුන් නොදැන සිටි දෙයක් තිබුණා.සුධාරකට මුවාවී ඔහු ඉදිරියට තල්ලුකරගෙන ගිය ඔහුගේ ජීවිතය කඩා වැටෙන්නට නොදී ආ සියලු අභියෝග වලට මුහුණදෙන්නට ඔහුට ශක්තිය වූයේ මා බව ඔවුන් දැනගෙන හිටියේ නෑ.මා නිතර විහිලුතහලු කරගනිමින් බොහොම සරල සැහැල්ලු ජීවිතයක් ගතකරන නිසා ඔවුන් මා ගැන එසේ අවතක්සේරුවක ඉන්නට ඇති.නමුත් අනුරාධා යනු කවුදැයි දැනගන්නාවිට ඔවුන් හැමදේම වරද්දාගෙන ඉවරයි.

දිල්හානි ට වූයේත් ඒ දෙයමයි.ඇය කුමන හෝ ගුප්තව ගතකල ජීවිතයක හේතුවෙන් ජීවිතය වරද්දාගන්නට ඇති. නමුත් ඒවා ඇයට විසඳාගන්නට තිබුණේ මෙසේ නොවෙයි.ඇය නීත්‍යනුකූල අයිතිය ඇති බිරිඳයි කියාගත්තාට සුධාරකට කිසිදා එසේ නොසැලකිය යුතුව තිබුණා.ඔහු ඉතාම විශ්වාසවන්ත ආදරණීය මිනිසෙක්.ඇගේ අතින් යම් වරදක් වූවා නම් ඔහු එය සාධාරණව සිතා ඉවසා ඇගේ ගුප්ත ජීවිතයෙන් ඇයට ගැලවෙන්නට පිළිසරණක් වන්නට තිබුණා.නමුත් ඒ වෙනුවට ඇය කර තිබුණේ ඇගේ වැරදි වසාගන්නට මේ අහිංසක මිනිසාගේ ජීවිතය අපායක් කිරීමයි.

ආදරයක් සෙනෙහසක් තබා මානසික සුවයක් හෝ නැති තැනක කිසිවෙකු රැඳෙන්නේ නැහැ.කොලයක අත්සනක් තබා දරුවන් වැදූ පමණින් දෙහදක් ඒකාත්මික වන්නේත් නැහැ.එහෙම තැනකින් ඉවසා ඉවසා බැරිම.තැන කෙනෙකු නික්ම යන්නේ ඒ ජීවිතය ඔහුගේ හෝ ඇයගේ මානුෂික අයිතියක් නිසා. එසේ තීරණය කර සුධාරක මා ලඟට ආවාට මට කරන්නට දෙයක් නැහැ.

දිල්හානි හා ඇගේ මිතුරන් කියන ලෙස මම ඔවුන්ගේ පවුල් ජීවිතයක් කිසිදා කැඩුවේ නැහැ.ජීවිතයක් ඉල්ලාගෙන අන්ත අසරණ තත්වයකින් මගේ දෙපතුල ලඟට ආ මගේ ආදරණීය ආදරයට පයින්ගසා එලවනවා වෙනුවට මම දැඩි තීරණයක සිටිමින් මගේත් හය හතර නොදන්නා කුඩා දරුවෙකුගේත් ජීවිතය හා ආත්මගරුත්වය ලන්සුවට තබා ඒ මිනිසා වෙනුවෙන් සියලු දේ කැපකලා පමණයි.සමහරවිට එක් අතකින් මම දිල්හානිගේ ජීවිතය බේරුවා වන්නටත් පුලුවන්.එය මට වැටහුණේ සුධාරක දිනක් කියූ එකදෙයකින්.

ඉතාමත් ආර්ථික හා මානසික පරිහානියකට ඇදදමා තිබූ සුධාරක ගෙන් මම එක්තරා දිනක මෙසේ ඇසුවා.

“මහත්තයා දැන් ඔයාට මං හිටපු නිසා හොඳට ගියා.නැති වුනා නං ඔයා මොකද කරන්නේ?”

“මොනව කරන්නද මැණිකේ.මිනිහෙක් තල්ලු කරගෙන තල්ලුකරගෙන ගිහින් බිත්තියට හේත්තුකරගත් දාට ඒ මිනිහට ඉන් එහාට යන්න බැරිවුනාම මිනිහෙක් ඕනම දරුණු තීරණයක් ගන්නවා.මේ ගෑණි මාව කාලා විනාස කළා.එහෙම උනා නං මං ඔය ගෑණිටත් වෙඩි තියලා මමත් වෙඩිතියාගන්නවා”

එය විහිලුවක් වන්නේ කටමැත කියවන මිනිසෙක් කීවානම් පමණයි.නමුත් සුධාරක කියන්නේ ඉතාම ඉවසිලිවන්ත නිහඬ අහිංසක මිනිසෙක් එවැනි මිනිස්සු දරුණු වන විට ඒක සක්කරයාට වත් වලක්වන්නට බැහැ. ඒනිසා එක් අතකට දිල්හානි මරුකටින් ගැලවුණේ මා නිසා වන්නටත් පුලුවන්.

නමුත් සුධාරක නැවත දිනාගන්නවා වෙනුවට දිල්හානි කලේ ඔහුගේ ජීවිතය විනාශ කරන්නට ක්‍රියා කිරීමයි.ඇය විසින් මේ වනවිට පත්ව ඇති තත්වයන් කිසිවකට ඇයම මිස කිසිවකු වගකිවයුතු නැහැ.ඇගේ දරුවන්ගේ ජීවිත පවා විනාශ මුඛයට ඇද දැමූයේ ඇගේ හිතුවක්කාර අත්තනෝමතික තීරණයි. දරුවන් තිදෙනෙකු පලිහකට තබාගෙන ඇය කල සියලු වැරදි වලට කිසිත් නොදැන අනුකම්පාකරන බොහෝ දෙනා.කිසිදා තම දරුවා පලිහක් නොකරගෙන සියලු නින්දා අපහාස හමුවේ නොසැලී සිට කිසිවක් වරද්දා නොගෙන ඇගේ ගමන යන අනුරාධා ගැන දැක්කේම වැරදිමයි. පලාගොස් සැඟවෙනවා නම් එය කලයුතුව තිබුණේ මායි.නමුත් මම හෞදසාක්ෂියට එකඟව කිසිදු වරදක් කලේ නැහැ.අදටත් මා නොසැලී යන මේ ගමනේ පරිපූර්ණ හේතුව එයයි.

පොලීසි ගමනෙන් පසුව නැවතත් සුපුරුදු ලෙස මම නිවස පිලිවෙල කිරීම නවතා තිබූ තැනින් අරඹා කරගෙන ගියා.මගේ අරමුණ වූයේ තුන්මාසයේ දානය මට හැකි ඉහලම අයුරින් දීමයි.

සුධාරකගේ මරණයෙන් දින දහසයක් ගිය තැන පැමිණි නත්තල් දා මට වෙනදා මෙන් විශේෂයක් තිබුණේ නෑ.මැරී ගිය ආත්මයක් ඇතිව කයින් පමණක් කෙලින් සිටි අනුරාධා සුදුවතින් සැරසී නීත්‍යනුකූල අයිතියක් නැතුවාට හදවතින් තමන්ගේවූ ප්‍රාණ සම ආදරණීයයා වෙනුවෙන් විඳවමින් සිටියා.එහෙම හිටි ඒ නත්තල් දවසේ හිටි හැටියේ ම අනුරාධාට කෙනෙක් එව්වා එක්තරා වීඩියෝවක්.

හෙටත් එන්න.එය කුමක්දැයි මම ඔබට අනිවාර්යයෙන්ම හෙට කියන්නම්

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles