මා හද මට නැති විට -27

ප්‍රේමය මහා අඳුරක සඳ  එළියක්ව දැල්වෙන අන්දම නිර්වාන්ට දැනෙන්නට පටන් ගෙන තිබිණ. රුවන්දී සමඟ බැඳීමක් මිස ප්‍රේමයක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා වූවාද නැතිනම් ඇය සමඟ ජීවත් වෙන්නට තමන් හිත හදා ගත්තාදැයි නොවැටහෙන විට නිර්වාන්ට මහත් සාංකාවක් ද තනිකමක් දැනේ. ඔවුන් මොකක්දෝ බැඳීමක් පවත්වාගෙන ගොස් එය අවසන් කර තිබේ

“සමහර කසාද බැඳපු මිනිස්සු අවුරුදු පනස් ගණන්වල ජීවත් වෙනවා වගේ තමයි උඹේ රිලේෂන්ශිප් එකත්.. මොනවද බං. ලව් කියන්නේ ඕකටද?

උෂාන් දවසක් ආඩපාලි කී අන්දම නිර්වාන්ට සිහිවිණ.ඔහු කියන්නේ විවාහය බොහෝ කාලයක් පවත්වාගෙන ගොස් එය අප්‍රිය කරගත් යුවලවල් පවා නිර්වාන් සහ රුවන්දීට වඩා හොඳ බව ය. ආදරය කියන්නේ සැක කිරීමටත් යුතුකම් ඉටු කිරීමටත් නොවන බව කියමින් උෂාන් මොනතරම් සරදම් කළත් ඒ ආදරයේ පිළිවෙල වෙනස් නොවී ය.රුවන්දී සිටියේ රොබෝවරියක විලාසයෙනි.ආදරය ද ජීවිතය තුළ සිදු කළ යුත්තක් බව සිතා සිටි ඇය මතු ජීවන සහකාරයා වන්නට උගත් කඩවසම් තරුණයෙකු තෝරා ගත්තේ ය.

“ගුඩ් මෝනිං” පණිවිඩයකින් ආරම්භ වී “මහන්සියි නිදාගන්නම්” යන පණිවිඩය අතර කෙටි දුරකථන සංවාදයක් සහ වට්ස් ඇප් පණිවිඩ හතරපහකට වඩා හුවමාරු නොවිණ.සාංකාමය හවස්වරු ගෙවී ගිය ද රුවන්දී සංචාරය ප්‍රිය නොකළා ය.ඒ ඇල්මැරුණු ප්‍රේමය අවසන් කරන්නට නිර්වාන් ගෙන ආ යෝජනාව පවා ඇය පිළි ගත්තේ මහත් නිද්‍රාශීලි බවකිනි. බැන වැදීමක්, ආයාචනයක්, හැඬීමක් කිසිවක්ම නොතිබිණ.

උගත් වැදගත් ලස්සන කොලුවා ස්වාමියා නොවී සමු ගන්නට යයි. නැවත එවැනි සමාජ තත්ත්වයක් සහිත කෙනෙකු සොයා විවාහ වී නිදහසේ ජීවත් වන්නට රුවන්දී ඉටා ගත්තා ය.

නිර්වාන් ප්‍රේමයෙන් පැරදිණ!

නමුත් ආදරය කිරීම මහා ආනන්දජනක හැඟීමක් බව ඔහු වටහා ගත්තේ ලාවන්‍යාගේ තාරකාමය දෑස මතකයෙන් ගිලිහ නොයද්දී ය. ඇයට හේතු රහිතවම ආදරය කරන බව ඔහු වටහා ගත් නමුත් එය ඇයට පවසන්නට තරම් නිර්වාන් ධෛර්යයක් නොතිබිණ. ඇය විවාහය තුළ නොවිඳිනා දුක් ඉසිලූ ගැහැනියක බව උෂාන් අනන්ත වාරයක් කියා තිබේ. එහෙත් නිර්වාන්ට ඈ තවම ප්‍රේමය ගැන අත්දැකීම් නැති දැරියක ලෙස දැනේ. නැවත තරුණයෙකුගේ ජීවිතයට ළං වී බොහෝ කටුක අත්දැකීම් දරා ගන්නට  ඇයට සවියක් නැති වග ඔහු දනියි. ඉතින් ඔහුට ඕනෑ ඇය දරා ගන්නට ය. ඇයට හිනැහෙන්නට හිනා අහුලා දෙන්නට ය.

නිර්වාන් සඳැල්ලේ ඕනෑවටත් වඩා සක්මන් කරන අන්දම නිසලි බලා හුන්නා ය. රුවන්දී නම් අහංකාර කෙල්ල මල්ලිව ඇද දැමුවේ පහසු උගුලක නොවන බව නිසලිට සිතෙයි. වේදනාව ඒ හන්දා ය. නිසලි නෙරා ආ කුස පිරිමදිමින් මුළුතැන්ගෙයට ගියේ චොකලට් දැමූ කිරි කෝප්පයක් හදන්නට ය. අම්මාගේ කාමරයෙන් සිහින් පිරිත් නාදයක් ඇසේ. ඇය තෙරුවන් නමදිනවා වන්නට ඇත.

දුම් දමන කිරි කෝප්පය අක්කා අතින් ගත් නිර්වාන් ඇගේ කුසට අතක් තබා තත්පරයක් සිටියේ ය. ඒ දෑස් චංචල ය. කුඩා කාලයේ පටන් අක්කාගේ චොකලට් කිරි කෝප්පය තමන් සන්සුන් කරන බව  ඔහු ඉන් අනතුරුව කල්පනා කළේ ය.

“මං කෙනෙකුට ආදරෙයි..”

මල්ලී මහා බර හඬකින් කියද්දී අක්කා උස් හඬකින් හිනැහුණේ මල්ලිගේ අත් ගොබය පිරිමදිමිනි. “මං අම්මගෙ පීරිසියක් බින්දා” යැයි පැවසූ බාල කාලය තරමටම මේ හඬ අවංක ය.

“ඉතිං හොඳයිනෙ.”

අක්කා කියන තරමට එහි හොඳක් නැත. ඔහු ආදරය කරන යෞවනිය ඒ වගක් දන්නේ නැත. දන්නා බව හැඟුණත් නොදන්නා සේ හිඳින්නට ඇය ප්‍රවේසම් ය. අනෙක් අතට අම්මා ඈට කැමැත්ත පළ කිරීමේ ඉඩ ද අල්ප ය.

“ඉතිං..මං අම්මා ගැන බලාගන්නං..ඔයා හෙමින් හෙමින් ඒ ගර්ල්ට කතා කරලා බලන්න.”

නිසලි කියන්නේ සැහැල්ලුවෙනි.තමන් සම්බන්ධයෙන් අම්මාගේ සමහර තදගති ඉතා ඉක්මනින් මකා දමන මන්තරය අක්කා දැන හිඳිනා බව නිර්වාන් දනියි.නමුත් මේ සම්බන්ධයෙන් නම් ඔහුට විශ්වාසයක් නොවේ. අම්මා ඉතා යහපත් වග ඇත්තකි. එනිසාම මේ කාරණය ඇගේ මිනුම් දඬු කෙසේ ග්‍රහණය කර ගනීවිදැයි සිතීම අසීරු ය.

“ආදරේ කියන්නේ ආපහු ලැබෙයි කියලා බලාපොරොත්තුවකින් කරන්න ඕන දෙයක් නෙවේ..ඒත් තමන්ට ආදරය නොකරන කෙනෙක්ට ආදරය කරන එක ටිකක් අමාරු අත්දැකීමක්..”

අක්කා එහෙම කියන්නේ ඇයිදැයි නිර්වාන් හොඳින් දැන සිටියේ ය. නමුත් ඔහු ඒ වචන කිහිපය නොඇසුණා මෙන් සිටියේ ය. දැන් ඔහු හිඳින්නේ ඒවා අසන මානසිකත්වයක නොවේ. අනෙක් අතට ලාවන්‍යා ගැන කිව යුතුම කතාව ඔහු තවම පැවසුවේ නැත.

“අක්කා, ලාවන්‍යා රේඩියෝ ප්‍රසන්ටර් කෙනෙක් වෙන එක එයා මට වඩා චුට්ටක් වැඩිමල් එක කිසිම දෙයක් ප්‍රශ්න නොවෙන්න ඔයා විසඳයි කියලා මාත් දන්නවා. ඒත් අක්කා එයා ඩිවෝස් වුණු කෙනෙක්. ඒක මටවත් මං ඉන්න සමාජෙටවත් ඔයාටවත් ප්‍රශ්නයක් නෙවෙයි තමා. ඒ වුණාට අම්මට”

නිසලි කුස සීරුවෙන් පිරිමැද්දා ය. රහල්ගේ ගුටිබැට ද අනියම් සම්බන්ධතා ද වෙනුවෙන් අම්මාට යෝජනාවක් තිබිණ. ඒ යෝජනාව කුස තුළ මෝරා වැඩෙමින් තිබේ. ගැහැනුන් කියන්නේ ඉවසන්නට ඕනෑ කොට්ඨාසයක් වගත් කසාදයක් කඩා ගැනීම තරම් මෝඩකමක් තවත් නැති බවත් අම්මා පැවසුවා ය. දැන් නිවැරදි කිරීමට බැරිතරමට සියල්ලම අවුල් වී ගොස් ය.

නිසලිට නොදුටු ලාවන්‍යා ගැන ආදරයක් ඇති විණ. වැඩුණු මිනිසෙකු පුනුරුත්ථාපනය කරන්නට නොයා තමන්ගේ ජීවිතය බේරා ගත් ඇය හිඳින්නේ තමන්ට වඩා ඉහළිනි.

(දැන්වත් ඔයාලා නිර්වාන්ට කැමතිද? බකමූණු තේජට වඩා? 😁)

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles