මධාරා අක්කා අප වෙනුවෙන් අලංකාර තේ මේසයක් සූදානම් කළා ය. එය විවිධ රස කැවිලි හා කෙටි කෑම වලින් පිරී තිබිණ. මා ඉන් බොහොමයක් කනු ඇතැයි ඇය අපේක්ෂා කළ ද එක ම එක පැටිසක් පමණක් ලෑටි ගාමින් බෝ වෙලාවක් ගත කොට මම තේ එක බීවෙමි. එහි ප්‍රණීත චොකලට් රසයක් වූ බව දැනුණත්, මට එය රස විඳිත හැකි තරම් මානසික ඒකාග්‍රතාවයක් වූයේ නැත.
තේ මේසය සතුටු සාමීචියෙන් පිරී තිබිණ. මධාරා අක්කා හා ඇගේ සැමියාත් ලෝචනත් විවිධාකාර මාතෘකා අල්ලා ගෙන දිග කතා වලට වැටුණ ද මා ඒවාට සහභාගී වූයේ නැති තරම ය. මධාරා අක්කා ‘නේද නිබ්බුතා’ යනුවෙන් විශේෂයෙන් මා විමසන වෙලාවක මඳහසක් පානු හෝ හුම්මිටි තබනු විනා ඇතැම් විටෙක මට ඔවුන් ගේ කතා බහ ඇහුණේ හෝ නැති තරමි. ඒ තරමට මගේ මනසෙහි හොල්මන් කරමින් තිබුණේ තේ බොන වෙලාවේ මධාරා අක්කා විසින් පවසන දෑ ය.
“අපේ අම්ම කොහොමත් ටිකක් අමුතුයි. එයාගෙ හිතේ මොනාද තියෙන්නෙ කියල අපිට පොඩ්ඩක්වත් ගෙස් කරන්න බැරි එයා කිසිම දෙයක් එක්ස්ප්‍රෙශන්ස් වලින් තේරුං ගන්න ඉඩක් නොතියන නිසා. අම්ම මගෙන් ඇහුව ඔයා තාම අපේ ගෙදර යනවද කියල. මං කිව්ව දැන්නං වැඩිය යන්නෑ මගෙ හිතේ කියල. අම්ම එහෙම ඇහුවෙ ඇයි කියලවත් මට තාම තේරෙන්නෑ නිබ්බුතා. සමහර වෙලාවට එයා හරි තද තීන්දු තීරණ ගන්න කෙනෙක්. ගත්ත තීරණයක් වෙනස් නොකරන කෙනෙක්. ඒත් එයා නරක නපුරු කෙනෙක් නෙවෙයි. පොත් දහස් ගාණක් ඇතුළෙ ජීවත් වුණ අම්මට ජීවිතත් දහස් ගාණක් තියෙන්න ඇති. ඒක නිසා සමහර වෙලාවට මට වුණත් අම්මව තේරුං ගන්න පුළුවන් වෙලා නෑ. මල්ලි ඔයා එක්ක සම්බන්දයක් තියනව කියල දැන ගත්තොත් එයා කොහොම රිඇක්ට් කරයිද කියල මන් දන්නෙත් නෑ. ඒක හොඳ ප්‍රතිචාරයක් වෙන්න කියල තමයි මං ප්‍රාර්ථනා කරන්නෙ. මොකද අම්ම වචන දෙකක් කියන කෙනෙක් නෙවෙයි. එකයි. ඒක නිසාම එයා භයානකයි කියල මට හිතුණ තැන් තිබුණා”
මධාරා අක්කා එහෙම කීවේ තේ හදනාතරවාරයේ මාත් එක්ක කුස්සියේදී ය. ‘අනේ අක්කෙ’ කියමින් බිය වන්නට හෝ මට ශක්තියක් වූයේ නැත.
“කොල්ලෙක් ඉන්න ගෙදරකට නිබ්බුතා වගේ ගෑනු ළමයෙක්ට එන්න ඇරල අම්ම සද්ද නැතුව ඉන්නෙ ඇයි කියල ඉස්සර මට හිතිල තියෙනව. ලෝචන වගේ කොල්ලෙක් එක්ක පැටලෙන්න තරං නිබ්බුතා මෝඩ නෑ කියල හිතනවද නැත්තං අපිට ඉන්නෙ කොල්ලෙක්නෙ කියල හිතනවද කියල මං අනන්තවත් හිතල තියෙනව. කවදාවත් අම්ම ඔය දෙන්නා ගැන මාත් එක්කනං වචනයක්වත් කතා කරල නෑ. මේ කතා කළාමයි. එයාගෙ හිතේ මොකක් හරි ඇති නිබ්බුතා. සමහර විට ලංකාවට ආවට පස්සෙ ඔයාගෙන් කෙළින් ම ඒ ගැන අහන්නත් බැරි නෑ කියල මට හිතෙනව”
මගේ හිතේ දෝංකාර දුන්නේ ම ඒ වචන ය. විටෙක සීතල වෙමින් ද විටෙක පිච්චෙමින් ද මම ඒ භයංකර මායාව තුළ සැරිසැරුවෙමි.
තේ බීමෙන් පස්සේ මා මිදුලට ආවේ ලෝචනලා ඔවුන්ගේ පවුලට සම්බන්ධ කතාවක නිරත වූ නිසා ය. ඒ ගෙමිදුල කුඩා වී ද පිළිවෙලට හා අලංකාර ව සකසා තිබිණ. පසෙකින් වන ඔංචිල්ලාවේ හිඳ යන්තමින් පැද්දෙමින් ද මා කල්පනා කළේ මධාරා අක්කා කී දේ වල බරපතලකම ගැන ය. දැන් මට දැනෙන්නේ මා අගාධ ගැට්ටක හිඳිනා සෙයකි. මදුරාපුර මැතිණියගේ පුනරාගමනය මා ඒ අගාධයට තල්ලු කර දමන්නක් විය නො හැකි ද? ඇය විදෙස් ගත වීම ගැන මම තාවකාලික සතුටක් වින්දෙමි. නමුත් තාවකාලික වන සියල්ලෙහි කල් ඉකුත් වන දිනය ඉක්මනින් ම උදා වන්නේ ය.
“මං බැලුව කෝ කියල”
කියමින් ලෝචන ඔංචිල්ලාවේ මට සමීප ව හිඳ ගත්දී මා සසල වූයේ එතරම් ම මා පියවි ලෝකයෙන් ඈත් වෙමින් සිටි නිසා ය.
“ගැස්සුණ හැටි”
කියමින් ඔහු මගේ වරලෙන් මිදුන කියඹු වැලකට පිම්බේ ය. ඒ එක්ක ම වඩාත් නැඹුරු වී කොපුලක් සිප ගත්තේ ය. ඒ සීතල හැඟීම පපුව ඇතුළේ හංගා ගනිමින් මම වෙනකක් පැවසීමි.
“ඔයි..ය…අක්ක දකී”
“ඉතිං දැකපුදෙං”
හිතුවක්කාර ලෙස ලෝචන මගේ සිය දෑත් අතරේ රුවා ගත්තේ ය. මධාරා අක්කා කී දේවල් ගැන මා ලෝචන ට කීවේ ඒ වෙලාවේ ය. නමුත් මා තරම් ඔහු ඒ ගැන කලබල වූයේ නැත.
“මොනාද නිබ්බුතා දවල්ට කන්න ආස.. “
කියාගෙන මධාරා අක්කා අප වෙත ආවේ ඒ වෙලාවේ ය. මම ලෝචන ගෙන් මගේ අත මුදා ගන්නට තැත් කළෙමි. නමුත් ඔහු ඊට ඉඩක් දුන්නේ නැත.
“මොනාද අප්ප ඔයා මේ එක එක ඒව කියල බය කරල තියෙන්නෙ…”
ලෝචන මධාරා අක්කා වෙත ඒ අවනඩුව යොමු කළා ය. මම අසරණ දෑස් මාරුවෙන් මාරුවට ඔවුන් වෙත යොමු කළෙමි.
“ඇයි දැන් කෙල්ල බය වෙලාද…මං කිව්වෙ ඉතිං බලාපොරොත්තුවක් නැතුව එක පාරට ෆේස් කරනවට වඩා රෙඩි වෙලා ඉන්න එක කෝකටත් හොඳ නිසා. ඕගොල්ලො කතා කරල අම්මට ෆේස් කරන විදිහ ගැන ඩිසයිඩ් කර ගෙන ඉන්න. ඒක ලේසි වෙයි. හැබැයි සමහර විට අම්ම ඔය කිසිම දෙයක් ඔයාලගෙන් අහන්නැතුව ඉන්නත් ඉඩ තියෙනව. මල්ලා දන්නවනෙ ඉතිං අම්මගෙ විදිහ. මේ…අපි මෙතන සුපර් මාකට් එකට දුවල එන්නං ටක් ගාල හොඳේ”
කියමින් ඇය නිශාන් අයියා සමග පිටත් ව ගියා ය. මම ලෝචන ගේ උරහිස මත හිස සතපා ගතිමි. මෙදිවියෙහි කිසිවක් මට පහසුවෙන් ලැබුණ ඒවා නොවේ. එනිසා මගේ ප්‍රේමය සම්බන්ධයෙන් ඉරණම වෙනස් විදිහකට මට සලකාවි කියා සිතීමේ උවමනාවක් නැත. නමුත් තවමත් මට ඒ ගැන සිතීමේ දිරියක් ඇත්තේ නැත. මදුරාපුර මැතිණිය විදෙස් ගත වූ වෙලාවේ මා හිත යටින් විකෘති සතුටක් වින්දේ එබැවිනි. නමුත් සත්‍යය කවදා හෝ දිනෙක නග්න ව මා අභිමුවට එන්නට නියමිත ය.
“ඕක ගැන හිතුව කියල තේරුමක් නෑ. අවුල් යන්නැතුව ඉන්න”
ඔහු ගැඹුරු හඬකින් වී ද අඩු නැති ආදරයකින් මිමිණුවේ ය.
“ඒත් ඇත්තටම එදාට මොකද්ද කරන්නෙ අයියෙ…”
එය බොළඳ ප්‍රශ්නයකි. නමුත් ආදරය කරනා පිරිමියා අස එසේ බොළඳ හෝ හුරතල් වීමේ ආශාවක් ගැහැනු හිතක ඉපදීම ගැන පුදුම නොවිය යුතු ය.
“දැං මං කිව්වනෙ ඉතිං…”
“මැඩම් කීයටවත් මේකට කැමති නොවුණොත්…”
“මං ඔයාට කැමති වෙලා ඉවරයි”
ඔහු හිස් මුදුන සිප ගත්තේ ය.
“ඒත් අම්ම කිව්වොත් ඔයාට අපි දෙන්නගෙන් එක්කෙනෙක් තෝර ගන්න කියල…ඔයා තෝර ගන්නෙ කාවද…අම්මවද මාවද…”
ලෝචන දිගු සුසුමක් හෙළනවා ඇසුණේ ය. මම ඔහු ගේ උරයෙන් හිස මුදා ගෙන ඒ මුහුණ දෙස බැලුවෙමි. ඒ ප්‍රදීපාගාර ඇස් මට පාර පෙන්වමින් මගේ ඇස් වලට එබුණේ ය.
“ඔයාව”
එය ඍජු පිළිතුරකි. මට අහිංසක ආඩම්බරයක් දැනිණ. පෙම්වතියක වශයෙන් පෙම්වතාගෙන් එවන් ඍජු වචනයක් ලද හැකි ගෑනු ළමයෙකු වාසනාවන්ත ය. නමුත් අම්මා කියන්නේ මගේ දුප්පත් හදවතේ උඩ ම මළුවෙහි මා පිදුම් කරනා උත්තම පදවියකි. ඒ මගේ අම්මා ද ලෝචන ගේ අම්මා ද කියා මට වෙනසක් නැත්තේ ය.
“දරුවෙක්ට අම්ම කෙනෙක්වත් අමම කෙනෙක්ට දරුවෙක්වත් කවදාවත් නැති වෙන්නෑ නිබ්බුතා. දරුවෙක් මිනියක් මරල ආවත් අම්ම කෙනෙක් ඒ දරුවව ප්‍රතික්ෂේප කරන්නෑ. ඒක එහෙම බැඳීමක්. ටික දවසක් තරහෙං හිටිය වුණත් අම්ම මට නැති වෙන්නෑ කියල මන් දන්නව. ඒත් මිනිහෙක්ට ගෑනියෙක් නැති වෙලා යන්න පුළුවන්. එක පුංචි තීරණයක් නිසා සදහටම අහිමි වෙන්න පුළුවන්. මට එහෙම ඔයාව නැති කර ගන්න බෑ. නැති කර ගන්න ඕන නෑ. මන්දන්නෑ මොන හේතුවක් නිසාද කියල…මගෙ ජීවිතේ ඔයා නැති දවසක් ගැන මට හිතා ගන්න බෑ. ඒක නිසා අම්මයි ඔයයි අතරෙං එක්කෙනෙක් තෝර ගන්න කියන නරකම තැනට මාව තල්ලු වුණොත්…මං ඔයාව තෝර ගන්නව”
“අනේ අයියෙ…”
මම ඔහු ගේ අත් ගොබයේ මුහුණ තද කොට ගතිමි. ඒ හුම්මානයක් වාගේ හැඟුමන් සමුදායක් දැඩි පීඩනයකට නතු ව තිබි වෙලාවකි. මගේ ඇස් වලින් කඳුළක් ව පැන්නේ ඒ ස්නේහ හැඟුමයි.
ඊට පස්සේ ජීවිතය තදින් අල්ලා ගෙන ඉන්නට මට හේතුවක් තිබිණ. ලෝකයේ කොයි කෙලවරක මොනවා සිදු වී ද ලෝචන කියන්නේ මට අහිමි ව නොයන වස්තුවකැයි මම සහේතුක විශ්වාසයක් මට තිබිණ. මල්ලී සාමාන්‍ය පෙළ විභාගය ලිවීම සහ වෛද්‍ය පීඨයේ අධ්‍යයන කටයුතු ඇරඹීම හැරුණු කොට වෙනත් විශේෂ යමක් සිදු නොවෙමින් කාලය ගෙවී ගියේ ය. වෛද්‍ය පීඨයේ අධ්‍යයනයන් වෙනුවෙන් අවශ්‍ය සියලු විය හියදම් දැරුවේ ලෝචන ය. උසස් පෙළ සමත් වූ දා අප ඉදිරියේ තිබූ ලොකු ම ගැටළුව එසේ විසඳෙමින් තිබිණ.
විභාගයෙන් පස්සේ මල්ලී සුභ පැතුම් පත් සෑදීම පූර්ණ කාලීනව කර ගෙන ගියේ ය. ඉස්සර මා හැදුවා මෙන් ගෙදරම මල් වේලීමෙන් පමණක් නොව වෙළෙඳ පොළෙන් මිල දී ගත හැකි යම් යම් දේ යොදා ගෙන ඔහු ඒ කාඩ් පත් වල තත්වය දියුණු කර ගෙන තිබිණ. මල්ලි ගේ කාඩ් හා බුක් මාක් වලට හොඳ වෙළෙඳ පළක් හැදෙන්නට වූයේ ය. ඔහු මගේ නමින් බැංකු ගිනුමක් අරඹා එහි යම් මුදලක් තැන්පත් කරන්නට ද පටන් ගත්තේ ය.
“බිස්නස් කාරයෙක් වුණාට කමක් නෑ ඒ ලෙවල් කරන්න ඕන හරිද…”
මුදල් ඉපයීමේ ලා මල්ලිගේ තිබූ උනන්දුව දෙස බලමින් මම කියමි. එතකොට ඔහු මඳ සිනහවක් නගා ගනී.
දැන් අම්මා සිටින්නේ සතුටෙනි. මහ මෙර හිස මත තියා ගත්තා සේ කල්පනා කරන්නට දෙයක් ඇය ට නැත. මල්ලී මහ ගෙදරත් සමග දිනෙක පැටලෙන්නට යාවී යන බිය හැරෙන්නට, අම්මා ප්‍රශ්න වලින් තොරව සතුටින් සිටි කාලය මෙයයි.
වෛද්‍ය පීඨ ගමන මට වඩාත් ආශ්වාද ජකක වූයේ බොහෝ හැන්දෑ වරු වල ලෝචන හමු වන නිසා ය. ඔහු ගේ රිය කොළඹ වෛද්‍ය පීඨය ආසන්නයේ මග අයිනට කොට නතර වී තිබෙනු දකිත්දී මගේ දවසේ විඩා නිවී යයි.
මල්ලි ගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආ දිනය තරම් මගේ උසස් පෙළ ප්‍රතිඵල ආ දිනයේවත් මා සතුටු වූයේ නැති බව ඉඳුරා පැවසිය හැක. මා වාගේ සියලු විෂයන්ට අධි සාමාර්ථ සහිතව සමත් ව නොතිබී ද ඔහු ට ඔහු බලාපොරොත්තු වූ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ හැදෑරිය හැකි විය. ඒ සාමාර්ථය මල්ලිගේ අනාගතය පිළිබඳ මට තිබූ හිතේ බර හෑල්ලු කළ අතර, ඔහු ට ඔහු ගැන විශ්වාසයක් ඇති කොට තිබිණ.
“මට ඕනෙ දිගට දිගට ඉගෙන ගන්න නෙවෙයි සුදූ. සල්ලි හම්බ කරන්න. ඒකට ටිකක් හරි සුදුසුකමක් විදිහට තමයි මං කොමර්ස් වලින් ඒ ලෙවල් කරන්නෙ. බුක් ශොප් වලට කාඩ්ස් අරං යද්දි මට හිතෙන දෙයක් තමයි අපේ කාඩ් විකුණන්න අපේම තැනක් තියනවනං කියන එක. දවසක මං බුක් ශොප් එකක් පටං ගන්නව”
මල්ලී අනාගතය ගැන සුබ සිහින දකින්නට පටන් ගෙන තිබීම මට සැනසිල්ලක් වූයේ ය. නරක කාලය ගෙවී යාමේ ද හොඳ කාලය උදා වෙමින් තිබීමේ ද සතුට අම්මා හිතේ හැටියට භුක්ති වින්දා ය. මල්ලී ගේ සාමාර්ථය මහ ගෙදර ඇත්තන් කෙසේ දරා ගත්තාද කියා දැන ගත හැකි මගක් වූයේ නැත. මේ වන විට ඔවුන් සිටියේ දැඩි නිශ්ශබ්දතාවයක ය.
එක සිකුරාදාවක මදුරාපුර මැතිණිය ලංකාවට පැමිණෙන්නට නියමිත වූවා ය. මම අලුත් හද ගැස්මක් අත් වින්දෙමි.
සෙනසුරාදා අම්මා සේවයට ගිය අතරේ මදුරාපුර මැදුරට අයත් රියක් අපේ ගේට්ටුව ඉදිරියේ නැවතිණ. මා හිතුවේ ම ලෝචන මදුරාපුර කියා ය. එහෙයින් ම මා ගේට්ටුව වෙත ඉගිල ගියේත් සිනා කටකිනි. නමුත් ඔහු නොව රියෙන් බසිමින් සිටියේ චාම් ක්‍රීම් පැහැති සායකින් හා ඊට ගැලපෙන සිහින් මල් වැටුණ බ්ලවුසයකින් සැරසුණ මදුරාපුර මැතිණියයි. කොටට කොණ්ඩය කැපූ, ඇස් කණ්ණාඩි පළඳන බුද්ධිමත් පෙනුමක් විදහා පාන, මගේ ළමා වියේ පටන් ම මා ගුප්ත බියක නිමග්න කළ ඕ තොමෝ සිනහවකින් හෝ කතාවකින් තොරව ගෙතුළට ඇවිද ගියා ය. මම පණ නැතිව යමින් පැවති දෙපා අද්ද අද්දා ඇය පසුපසින් ගෙට ගොඩ වීමි.